logo3.gif (702 bytes)

HOME


හිපොක්‍රටෙස්‌
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නො වේ


මෙවර අපේ ප්‍රවාද වෙන් වන්නේ වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතෙහි පළ කරන ලද හිපොක්‍රටීස්‌ හා ග්‍රීක දෙවියෝ යන ලිපියට ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ය. ලිපිය ලිවීම පිළිබඳ ව අප බටහිර වෛද්‍යවරයකු ලෙස පුහුණුවක්‌ ලබා ඇති චන්න ජයසුමන මහතාට ස්‌තුතිවන්න විය යුතු ය. ඒ මහතා ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයකු යෑයි කියන්නකු මුණගැසී සාකච්ඡා කර ඇතැයි කියයි. ඒ වෛද්‍යවරයා ගේ නම සඳහන් කිරීමෙහි යම් බාධාවක්‌ ඇත් දැයි අපි නො දනිමු. ඊශ්‍රායල් ජාතික වෛද්‍යවරයා කියා ඇතැයි සඳහන් වන බොහෝ දේ අසංගත ය. ඒ ගැන කීමට පෙර අපට මූලික හැඳින්වීමක්‌ කිරීමට සිදු වී ඇත්තේ සිංහල වෛද්‍යවරයා ගේ ලිපියට කරන ඌන පූරණයක්‌ ලෙස ය.

අප විසින් විශේෂයෙන් ම පසුගිය අවුරුදු පහක පමණ කාලයක්‌ තිස්‌සේ ලියන ලද ලිපිවල අඩංගු ප්‍රධාන කරුණක්‌ වූයේ දෙවියන් ගෙන් (භූතයන් ගෙන්) දැනුම ලබාගැනීම පිළිබඳ ව ය. වෙන කා හටත් වඩා හොඳින් චන්න ජයසුමන මහතා ඒ බව දනියි. රජරට හා ලංකාවේ වෙනත් පෙදෙස්‌වල නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (එයට කුඹුරු පස හා කිවුල් ජලය ද හේතු වෙයි) බව අප දැනගත්තේ මානුෂික නො වන ප්‍රාණීන් ගෙනි. ඒ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. සේනානායක මහත්මිය වෙත ජයසුමන මහතා යොමු කරන ලද්දේ ද මා විසිනි.

එතෙක්‌ මනුෂ්‍ය ලෝකයෙහි කිසිවෙක්‌ නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි දැන නො සිටියෝ ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒ රෝගය හඳුන්වනු ලැබුයේ ද හේතුව නො දත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස ය. ඒ රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව අපට කියා දුන්නේ නාථ දෙවියන් ලෙස හැඳින්වෙන ප්‍රාණියකු ය. එතුමා මතු බුදු වන මෛත්‍රී බුදුන්වහන්සේ ද නො වේ ය යනු මගේ හැඟීම ය. ඒ කෙසේ වෙතත් නාථ දෙවියන් යනු මනුෂ්‍යයකු නො වේ. දෙවියන් හෝ වෙනත් අයකු හෝ සමග සන්නිවේදනයේ දී ප්‍රියන්තා සේනානායක මහත්මිය අතින් සිදු වූ සේවය විශාල ය. ඇය නො වන්නට අපට ඒ දැනුම ලබාගැනීමට නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ දැනුම බටහිර විද්‍යාවට අවශ්‍ය කෙරෙන අයුරින් පෙන්නුම් කරන ලද්දේ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසිනි. ඒ සඳහා ඇය විසින් කරන ලද කැප කිරීම තවමත් නිසියාකාර පිළිගැනීමකට ලක්‌ වී නැත.

අප දැනුම ලබාගන්නේ කෙසේ ද, දැනුම යනු කුමක්‌ ද ආදී මාතෘතා පිළිබඳව සාකච්ඡා කරන්නේ අවුරුදු විසි පහකට වැඩි කාලයක්‌ තිස්‌සේ ය. දැනුම යනු නිර්මාණයක්‌ බව ද ඒ නිර්මාණය කෙරෙන්නේ සත්ත්වයන් විසින් බව ද එයට හේතුව අවිද්‍යාව බව ද මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ ඒ ඒ අය ගේ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්‌කෘතියට, මනස ඇතුළු ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව මනස විසින් බව ද, සිංහල බෞද්ධයන් ගේ දැනුම් නිර්මාණය නිවනට සාපේක්‍ෂ බව ද (එනම් දැනුම නිර්මාණය අවසන් විග්‍රහයෙහි දී නිවන් අවබෝධය අරමුණු කරගෙන බව) අපි පසුගිය අවුරුදු විසි හපක පමණ කාලයක්‌ පුරා විටින් විට කියා ඇත්තෙමු. මගේ ලෝකය කෘතියෙහි සිට බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ කෘතිය දක්‌වා ලියෑවුණු පොත්වලත් දහස්‌ සංඛ්‍යාත ලිපිවලත් මේ කරුණු අඩංගු වෙයි. ඇතැමුන් මේ අදහස්‌ ඉන්පසුව තමන් ගේ මෙන් ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ ව මට එතරම් කම්පනයක්‌ නැති බවත් සඳහන් කරනු කැමැත්තෙමි. එහෙත් ඒ සමග පෘථග්ජනකුට ඇති වන ඇතැම් හැඟීමක්‌ ඇති නො වන්නේ යෑයි ද මම නො කියමි.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දැනුම පිළිබඳ ඥානවිභාගයක්‌ අවශ්‍ය නම් එය ඇරඹිය යුත්තේ පටිච්චසමුප්පාදයෙනි.

අවිඡ්ජා පච්චයා සංඛාරා යන්නෙන් අවසාන විග්‍රහයෙහි දී කියෑවෙන්නෙත් අවිද්‍යාව හේතුවෙන් දැනුම හටගන්නා බව ය. ඉතා මෑතක දී මෙය තවදුරටත් පැහැදිලි කළෙමි. මා කියා සිටින්නේ පටිච්චසමුප්පාදයෙහි පළමුවැනි කොටස ඵස්‌ස යන්නෙන් අවසාන වන බව ය. පටිච්චසමුප්පාදය එසේ කොටස්‌වලට කැඩිය හැකි දැයි ථෙරවාද බුදුදහමෙහි ඊනියා ආරක්‍ෂකයකු අසනු ඇත. එහෙත් අවිඡ්ජා සිට ඵස්‌ස දක්‌වා විස්‌තර කෙරෙනුයේ සම්මුති දැනුම අනිච්ච දුක්‌ඛ අනාත්ම නො දැනීම හේතුවෙන් ගොඩනැඟෙන ආකාරයයි. මේ දැනුම සම්මුති ලෙස සත්‍ය යෑයි පිළිගැනුණ ද බොරුවකි. මම යන දැනුම ම බොරුවක්‌ වූ කල අනෙක්‌ දැනුම් ගැන කියනුම කවරේ ද?

ඵස්‌ස පච්චයා වේදනා යන්නෙන් පටන්ගැනෙන්නේ පටිච්චසමුප්පාදයෙහි දෙවැනි කොටස ය. වේදනා හේතුවෙන් තණ්‌හා, උපාදාන භව, ජාති, ජරා, මරණ ආදිය ඇතිවෙයි. අපට ඵස්‌ස යන්නෙන් පසු කොටස ඇති වන්නේ අප පෘථග්ජනයන් නිසා ය. අපට අවිද්‍යාව නො වන්නේ නම් ඵස්‌ස දක්‌වා කොටසෙන් පසුව වේදනාවක්‌ ඇති නො වේ. තණ්‌හා උපාදන භව ජාති ජරා මරණ ආදිය එවිට හට නො ගනියි. දැනුම පිළිබඳ ඥානවිභාගයක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගොඩනැෙ`ගන්නේ ඒ අයුරෙනි. එය ඊනියා සිංහල බෞද්ධ ඥානවිභාගයක්‌ නො වන බව ද කිව යුතු ය. මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වනුයේ මා අසා ඇති අන්දමට රහතන් වහන්සේට ඵස්‌ස යන්නෙන් පසු කොටස හට නො ගන්නා බව ය. උන්වහන්සේට සංඛාර ඇති වන්නේ අවිද්‍යාව නිසා බවට අවබෝධයක්‌ වෙයි. අපට ඒ පිළිබඳ තේරුමක්‌ ඇතත් අවබෝධයක්‌ නැත.

සිංහල බෞද්ධ චින්තනයෙහි මේ සම්මුති දැනුම ලබාගැනීමේ ක්‍රමය වනුයේ ප්‍රත්‍යක්‍ෂ ය. නිවන වුව ද ප්‍රත්‍යක්‍ෂ කළ යුතු ය. එහෙත් ඒ පිළිබඳව ද අපට ඇත්තේ තේරුමක්‌ මිස අවබෝධයක්‌ නො වේ. ඒ අවබෝධය සළායතන සම්බන්ධ වූ විඤ්ඤාණයකින් ලබාගත නොහැකි බව පැහැදිලි ය. එය අපේ පෘථග්ජන මනසින් ලබාගත නො හැකි ය. ඒ විඤ්ඤාණ මායා වෙයි. සළායතනවලින් එකක්‌ වූ මනස ද මායාවකි.

අපේ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ද ලබාගත හැකි ය. එනම් අපට දැනුම ආධ්‍යාත්මිකව ලබාගත හැකි ය. එය සෘජු ව හෝ වෙනත් ප්‍රාණියකු ගෙන් වක්‍ර ව කළ හැකි ය. ආධ්‍යාත්මික ව, පසිඳුරන් මැදිහත් නො වී දැනුම ලබාගැනීම සිංහල බෞද්ධයනට සීමා නො වෙයි. ඉතිහාසයෙහි (සාහිත්‍යයෙහි) සඳහන් අන්දමට යුදෙවුවන්, ග්‍රීකයන්, වෛදිකයන් මෙසේ දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. සිංහල බෞද්ධයන් ද වෙනත් බෞද්ධයන් ද එසේ දැනුම ලබාගෙන ඇත. ගුත්තිල පඬිතුමා සක්‌ දෙවියන් ගෙන් ලබාගෙන ඇත්තේ එවැනි දැනුමකි. මේ කරුණු පසුගිය අවුරුදු පහේ දී පමණ සාකච්ඡා වී ඇත්තේ දෙවියන් හා මනුෂ්‍යයන් ආදී වෙනත් ප්‍රාණීන් පිළිබඳ එතෙක්‌ පැවැති දැනුම වෙනුවට වෙනත් දැනුමක්‌ නිර්මාණය කරගැනීමෙන් පසුව ය. ඒ පිළිබඳ ව සඳහනක්‌ බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ කෘතියෙහි වෙයි.

ග්‍රීකයන්ට මෙන් ම වෛදිකයන්ට ද සිංහලයන්ට ද බොහෝ දෙවියෝ වෙති. මේ දෙවියෝ ඒ ඒ ජනයා සමග සම්බන්ධ වෙති. ඒ කරුණු ග්‍රීකයන් ගේ ඔඩිසි හා ඉලියඩ් ආදී කෘතිවල ද වෛදිකයන් ගේ මහාභාරතය හා රාමායණය ආදී කෘතිවල ද සඳහන් වෙයි. ග්‍රීකයන්ට, වෛදිකයන්ට සිංහලයන්ට හා වෙනත් අයට මෙන් නො ව යුදෙවුවන්ට හා මුස්‌ලිමුන්ට ඇත්තේ එක්‌ දෙවි කෙනකු බැවිනි. යුදෙවුවන් ගේ දෙවියෝ යෙහෝවා නමින් ද ඉස්‌ලාම් භක්‌තිකයන් ගේ දෙවියෝ අල්ලා නමින් ද හැඳින්වෙයි. බොහෝ විට මේ දෙදෙනා ම එක්‌ අයකු විය හැකි ය.

ඒ කෙසේ වෙතත් පරණ තෙස්‌තමේන්තුවේ සඳහන් ආකාරයට යෙහෝවා දෙවියන් බොහෝ අවස්‌ථාවල යුදෙව්වන්ට දැනුම ලබා දී ඇත. යුදෙවුවනට අනුව ඔවුහු ලෝකය මැවූ යෙහෝවා දෙවියන් ගේ තෝරාගත් ජනයා වෙති. ඒ දෙවියෝ බොහෝ අවස්‌ථාවල යුදෙවුවන් ආරක්‍ෂා කර ඇතැයි බයිබලයේ සඳහන් වෙයි. නොආ ගේ කතාව මෙන් ම මෝසෙස්‌ ගේ කථාව ද ඒ සඳහා උදාහරණ වෙයි. අප තවදුරටත් සඳහන් කර ඇත්තේ පරණ තෙස්‌තමේන්තුවේ සඳහන් අනාගත වක්‌තෘන්වරුන් එසේ දෙවියන් ගෙන් දැනුම ලබාගත් අය බව ය. අඩු ම තරමෙන් බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ කෘතිය කියවූවන්ට මේ කිසිවක්‌ අලුත් දැනුම නො වේ. චන්න ජයසුමන මහතා ඒ පොතට අමතර ව මගේ වෙනත් පොතපත ද කියවා ඇතැයි සිතමි.

ජයසුමන මහතාට අනුව යුදෙවු ජාතික වෛද්‍යවරයා කියා ඇත්තේ යුදෙවුවනට පමණක්‌ දෙවියන් ගෙන් (ඔවුන් ගේ යෙහෝවා දෙවියන් වහන්සේ ගෙන්) දැනුම ලබාගත හැකි බවත් ඔවුන් අදත් එසේ දැනුම ලබාගන්නා බවත් ය. එහෙත් ඒ සමග ඔහු ජයසුමන මහතාට හිපොක්‍රටෙස්‌ ගැන ද කියා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස සැලකෙන හිපොක්‍රටෙස්‌ දැනුම ලබාගෙන ඇත්තේ ඇස්‌ක්‌ලෙපියස්‌ නම් දෙවි කෙනකු ගෙන් බව ද ඇස්‌ක්‌ලෙපියස්‌ ඉහත ආත්මයෙහි (මෙය පුනරුත්පත්තිය නො වේ නම් කුමක්‌ ද?) ඒ නමින් ම මිනිස්‌ වෛද්‍යවරයකු ලෙස ජීවත් වී ඇති බව ද ඔහුට ග්‍රීක ඇපලෝ දෙවියන් වෙද දැනුම ලබා දී ඇති බව ද, ඇක්‌ස්‌ලෙපියස්‌ට හයිජියා නම් වෛද්‍යවරයකු වූ දියණියක සිටි බව ද හයිජීන් යන ඉංගිරිසි වචනයෙහි නිරුක්‌තිය ඇය කරා විහිදෙන බව ද ජයසුමන මහතා අන්තර්ජාලයෙන් කරුණු ලබාගෙන කියයි. එපමණක්‌ නො ව බටහිර වෛද්‍ය විද්‍යාවේ සංකේතය ලෙස සැලකෙන ඇසෙක්‌ලෙපියස්‌ ගේ දණ්‌ඩ සර්ප විෂ විශේෂඥයකු වූ ඇසෙක්‌ලෙපියස්‌ ගේ උත්පත්තිය සමග සම්බන්ධ බව ද කියෑවෙයි. බටහිර වෙදකමේ හිපොක්‍රටෙස්‌ දිවුරුම ඇපලෝ, ඇසෙක්‌ලෙපියස්‌, හයිජීන් ආදී දෙවිවරුන් නාමයෙන් කෙරෙන්නක්‌ බව ද ජයසුමන මහතාට දැන් මතක්‌ වී ඇත.

යුදෙවු වෛද්‍යවරයා එක්‌ පැත්තකින් දෙවියන් දැනුම ලබාදෙන්නේ තෝරාගත් ජනයා වූ යුදෙවුවන්ට පමණක්‌ බව කියන අතර අනෙක්‌ පැත්තෙන් ඇපලෝ දෙවියන් ගෙන් ලත් දැනුම ගැන කියා ඇත. ඒ එසේ නම් එහි පරස්‌පරයක්‌ වෙයි. අනෙක්‌ අතට පසුගිය සියවසේ ජීවත් වූ ඉන්දීය ගණිතඥයා රාමනුජන් ද හින්දු දේවතාවියක ගෙන් දැනුම ලබාගෙන ඇති බව ඒ මහතා නො දැන සිටින්නට ඇත. එබැවින් අද ද යුදෙවුවන් හැර වෙනත් අය ද දෙවියන් ගෙන් දැනුම ලබාගන්නා බව පැහැදිලි ය. එසේ ම බිම්බිසාර රජු ගේ උත්පත්තිය හා සම්බන්ධ කතාවෙහි චානක්‍ය බමුණා සිදු කළ "සිසේරියන්"සැත්කම ගැන පමණක්‌ නො ව වෙනත් මවුකුසක (එලිච්චියක ගේ) ගැබෙහි දරුවා වර්ධනය කිරීමක්‌ ගැන ද සඳහන් වෙයි. එමෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාවට ග්‍රීකයන් ගෙන් දැනුම ලැබී ඇති ආකාරයට කොපර්නිකස්‌ට ආර්යභට්‌ට භාෂ්කර ආදී වෛදික ගණිතඥයන් ගෙන් හා තාරකා විද්‍යාඥයන් ගෙන් සූර්ය කේන්ද්‍රවාදය ලැබුණු බව ද යුදෙව් වෛද්‍යවරයා නො දැන සිටිය ද මගේ ලිපි කියවන ජයසුමන මහතා දැන සිටින්නට ඇත. ජයසුමන මහතා ගේ ලිපිය දෙවියන් ගෙන් දැනුම ලැබීමට සමච්චල් කරන මෙරට බටහිර වෛද්‍යවරුන් ගේ ඇස්‌ ඇරීමට සමත් වේ දැයි නො දනිමි. එහෙත් ජයසුමන මහතා බොහෝ කරුණු මඟහැර ඇති බව පැහැදිලි ය.

අවසාන වශයෙන් කිව යුත්තේ හිපොක්‍රටෙස්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා නො වන බව ය. ආර්යභට්‌ට හෝ භාෂ්කර හෝ බටහිර තාරකා විද්‍යාවෙහි පියා ලෙස බටහිරයෝ නො සලකති. බටහිර විද්‍යාවේ විධික්‍රමය ග්‍රීක විද්‍යාවේ මෙන් ම වෛදික විද්‍යාවේ ද විධික්‍රමයෙන් වෙනස්‌ වෙයි. ග්‍රීකයන්ට හා වෛදිකයන්ට සිංහලයන්ට මෙන් ම දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමට හැකි විය. එහෙත් වත්මන් බටහිරයන්ට බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද හෙවත් කතාන්දර ගෙතීමට සිදු වී තිබෙන්නේ ම ඔවුන්ට අද දෙවියන් ගෙන් දැනුම ලබාගත නොහැකි බැවිනි. බටහිරයෝ හිපොක්‍රටෙස්‌ ගෙන් මෙන් ම භාෂ්කර ගෙන් ද දැනුම තම සංස්‌කෘතියට අවශෝෂණය කරගනිති. එය අවශෝෂණයක්‌ මිස විධි ක්‍රමයක්‌ ඉදිරියට ගෙන යැමක්‌ නො වේ. හිපොක්‍රටෙස්‌ බටහිර වෛද්‍ය විද්‍යාවෙහි පියා වීමට නම් බටහිර වෛද්‍ය විද්‍යාවේ විධික්‍රමය හා වෙනත් අංග ග්‍රීක වෛද්‍ය විද්‍යාවේ අංගවලට සමාන විය යුතු ය.

නලින් ද සිල්වා