logo3.gif (702 bytes)

HOME


සන්තතික ද 
අසන්තතික ද


මනසක්‌ නැතැයි අප කියන්නේ වාස්‌තවික හා නිරපේක්‍ෂ අර්ථයකින් මිස සාපේක්‍ෂ අර්ථයකින් නො වේ. එය පුටුවක්‌ නැතැයි කීමෙන් වෙනස්‌ නො වේ. සාපේක්‍ෂ අර්ථයකින් පුටු ඇත. එහෙත් නිරපේක්‍ෂ අර්ථයකින් පුටු නැත. පුටුව යන්න අපේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ ය. පුටුව යන්න අනෙක්‌ ඉන්ද්‍රියයන් ගේ ද සහාය ඇති ව මනස විසින් නිර්මාණය කෙරී ඇති තවත් සංකල්පයක්‌ පමණකි. එය සංකල්පීය ලෝකයට අයත් වූවකි. සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්‌ඛ ය, අනාත්ම ය, ශුන්‍ය ය.

සංකල්පීය ලෝකය අපේ නිර්මාණයකි. අප එය නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසා ය. අවිඡ්ජා පච්චයා සංඛාරා යන්නෙන් කියෑවෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන සංස්‌කාර ඇති වන බව ය. එනම් අවිද්‍යාව හේතුවෙන් සංකල්පීය ලෝකය සංස්‌කරණය කෙරෙයි. අවිද්‍යාව යනු අන් කිසිවක්‌ නො ව සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ශුන්‍ය බව නො දැනීම ය. මෙහි චක්‍රීය බවක්‌ දැකිය හැකි නම් එය පුදුමයට කරුණක්‌ නො වේ. අපට ඇත්තේ ඒක රේය චින්තනයක්‌ නො ව චක්‍රීය චින්තනයකි.

චක්‍රීයත්වය පටිච්චසමුප්පාදය පුරා ම දැකිය හැකි ය. නිවන් අවබෝධය යනු එක්‌ අතෙකින් ගත් කල මේ චක්‍රීයත්වය නැති කිරීම ය. සංකල්පීය ලෝකය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ශුන්‍ය බව අවබෝධ කිරීමත් ඒ සමග ඒ ලෝකය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව නැති වී යයි. ඉන් පසු පිරිනිවන් පානා තෙක්‌ මනස සාපේක්‍ෂව ගනිමින් ජීවත් වෙයි. එහෙත් එසේ මනස සාපේක්‍ෂව ගන්නා තෙක්‌ ලෝකය පිළිබඳ සාපේක්‍ෂ දැනුම වෙයි. ජීවත් වීම සඳහා ආහාර අවශ්‍ය බව, නින්ද අවශ්‍ය බව එවැනි සාපේක්‍ෂ දැනුම් වෙයි.

පුටුව යන්නෙන් නිරපේක්‍ෂ වූ දෙයක්‌ නොමැති බව කී විට එය පිළිගැනීම ප්‍රශ්නයක්‌ කර නො ගන්නා ඇතැමුන් මනසක්‌ නැතැයි කී විට ප්‍රශ්න න`ගන්නේ කුමක්‌ නිසා දැයි තේරුම් ගත නො හැකි ය. ඒ ඔවුන් විසින් මාර්ගඵලලාභීන් ලෙස සැලකෙන්නන්, මනසක්‌ වාස්‌තවිකව ඇති බව තේරුම් යන ආකාරයෙන් ලියා ඇති නිසා විය හැකි ය. යම්කිසි අයකු මනස වාස්‌තවිකව පවතින්නේ යෑයි පිළිගන්නේ නම් හෙතෙම මාර්ගඵලලාභියකු විය හැක්‌කේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

වාස්‌තවික ව මනසක්‌ ඇතැයි පිළිගන්නා අයකු මම යනුවෙන් කෙනකු ඇතැයි පිළිගැනීම වැළැක්‌විය නො හැකි ය. එවැන්නකු මාර්ගඵලලාභියකු වන්නේ කෙසේ ද? අනෙක්‌ අතට වාස්‌තවික ව මනසක්‌ ඇතැයි පිළිගන්නා අයකුට ශාස්‌වතවාදියකු හෝ උච්ඡේදවාදියකු හෝ නො වී සිටිය නො හැකි ය. ඊනියා වාස්‌තවික මනස නිවන් අවබෝධයත් සමග එක්‌කෝ දිගට ම පැවතිය යුතු ය. එනම් අදාළ පුද්ගලයා ශාස්‌වතවාදියෙක්‌ වෙයි. එසේත් නැත හොත් ඊනියා වාස්‌තවික මනස නිවන් අවබෝධයත් සමග නැති වෙයි. එවිට එය උච්ඡේදවාදී අන්තය සමග එකඟ වෙයි.

බුදුන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාවෙන් උච්ඡෙදවාදය මෙන් ම ශාස්‌වතවාදය ද ඉවත් කෙරෙයි. මධ්‍යම ප්‍රතිපදාව යනු ශාස්‌වතවාදය හා උච්ඡෙදවාදය යන දෘෂ්ටි දෙක ම එකට ගැනීම නො ව ඒ දෙක ම ඉවත් කිරීම ය. මෙය චතුස්‌කෝටිකයේ හතරවැනි අවස්‌ථාව ය. එහි දී කියෑවෙන්නේ A ප්‍රස්‌තුතයක්‌ නම් හා ~A යනු එහි නිෂේධය නම්, A හා ~A යන ප්‍රස්‌තුත දෙක ම අසත්‍ය බව ය. ප්‍රස්‌තුතය "ශාස්‌වතවාදය සත්‍යයක්‌ වේ" ලෙස ගනිමු. එවිට ප්‍රස්‌තුතයෙහි නිෂේධය "උච්ඡෙදවාදය සත්‍යයක්‌ වේ" ලෙස ගත හැකි ය. චතුස්‌කෝටිකයෙහි හතරවැනි අවස්‌ථාවට අනුව ශාස්‌තවාදය ද උච්ඡෙදවාදය ද යන දෙක ම අසත්‍ය වෙයි.

මනස සන්තතික ද අසන්තතික ද යන ප්‍රශ්නයට පිළිතුර කුමක්‌ ද? සාමාන්‍යයෙන් අපි චිත්ත පේළි, චිත්ත වීථි, චිත්ත පරම්පරා ආදිය ගැන කතා කරමු. එමෙන් ම එක්‌ චිත්තයක්‌ පසුපස තවත් චිත්තයක්‌ හඹා ඒම ගැන කියමු. මෙහි දී කියෑවෙන්නේ චිත්ත දෙකක්‌ අතර කාලාන්තරයක්‌ නැති බව ය. එසේ ම එක්‌ චිත්තයක්‌ විත්කක්‍ෂණයකට පමණක්‌ පවතින බව ද අපි කියමු. මනස යනු චිත්ත පරම්පරාවක්‌ නම්, මනසෙහි සන්තතික අසන්තතික බව ගැන ඉන් කිව හැක්‌කේ කුමක්‌ද? සන්තතික අසන්තතික සංකල්ප එහි දී වලංගු වේ ද?

එපමණක්‌ නො ව චිත්තයක්‌ පසුපස වැළ නො කැඩී තවත් චිත්තයක්‌ පහළ වීම යන සංකල්පය ද කෙතරම් දුරට වලංගු ද? චුති චිත්තය අත්හැරිය විගස පටිසන්ධි චිත්තය පහළ වීම තේරුම් ගන්නේ කෙසේ ද? අන්තරාභවය පිළිබඳ සංකල්පය හා චිත්ත පහළ වීම කූඩැල්ලා තම ගමනෙහි දී එක්‌ කොණක්‌ අත්හරින්නේ වෙනත් කොණක්‌ අල්ලා ගෙන ය යන්න සමග සංසන්දනය කරන්නේ කෙසේ ද?

චිත්තයක්‌ පසුපස තවත් චිත්තයක්‌ කාලාන්තරයක්‌ නැති ව පහළ වන්නේ ය යන්න සන්තතික පෙරහැරක්‌ පිළිබඳ අදහස අපට ගෙන එයි. ඒ අතර එක්‌ චිත්තයක්‌ පිළිබඳ අපේ සිත්වල ඇත්තේ කිනම් රූපයක්‌ ද? ඒ චිත්තය විත්තක්‍ෂණයක්‌ පවතින්නේ සම්පූර්ණ චිත්තයක්‌ ලෙස ද? එසේත් නැත්නම් විකාශය වන චිත්තයක්‌ ලෙස ද? එයින් අදහස්‌ කෙරෙන්නේ චිත්තයක්‌ පහළ වූ පසු ඒ චිත්තය යම් ක්‍ෂණයක්‌ පැවතී ක්‍ෂණයක අන්තරයක්‌ වත් නොමැති ව තවත් චිත්තයක්‌ පහළ වී ඒ චිත්තය ද ක්‍ෂණයක කාලයක්‌ වෙනස්‌ නො වී පවතින බව ද?

චිත්තයක්‌ කිසිදු වෙනස්‌ වීමකින් තොර ව ක්‍ෂණයක කාලයක්‌ පැවතී ඉන් ඉක්‌බිති ක්‍ෂණයක කාලාන්තරයක්‌ වත් නොමැති ව වෙනත් චිත්තයක්‌ පහළ වීමත් ඒ ක්‍රියාවලිය සංසාරය පුරාම චුති චිත්ත හා පටිසන්ධි චිත්තය ද ඇතුළත් ව ක්‍රියාත්මක වීම අසන්තතික ක්‍රියාවලියකි. එය පෙරහැරකි. පෙරහැරක දෙදෙනකු අතර ඉඩක්‌ නොමැති ව මිනිසුන් යන්නේ යෑයි සිතමු. එවිට අපට ඇත්තේ වෙනස්‌ නො වන මිනිසුන් හා ඒ මිනිසුන් එකිනෙකා පසුපස යන ප්‍රවාහයකි. එය ද අසන්තතික ප්‍රවාහයකි.

අපි දැන් ගලන දිය පහරක්‌ සලකමු. එය සන්තතික ද? එසේත් නැත්නම් අසන්තතික ද? යම් ද්‍රවයක්‌ සෑදී ඇත්තේ ද්‍රව අංශුවලින් යෑයි බටහිර තරල ගතිකයෙහි ඉගැන්වෙයි. එහෙත් මේ ද්‍රව අංශු එසේත් නැත්නම් තරල අංශු නිව්ටෝනීය අංශු මෙන් නො වේ. නිව්ටෝනීය අංශු දෘඪ ය. එහෙත් තරල ගතිකයෙහි සැලකෙන අංශු එලෙස නො වේ. එහි සන්තතික බවක්‌ වෙයි. තරල අංශුවක්‌ තවත් තරල අංශුවක්‌ පසුපස ගිය ද අංශු කිහිපයක පරිමාව කාලයත් සමග වෙනස්‌ විය හැකි ය. එනම් තරල අංශුවක ද පරිමාව කාලයත් සමග වෙනස්‌ වෙයි.

එහෙත් නිව්ටෝනීය දෘඪ වස්‌තුවල අංශු එසේ නො වේ. ඒ අංශුවල හා එවැනි අංශුවලින් සමන්විත වස්‌තුවල පරිමාව වෙනස්‌ නො වේ. මෙහි දී උෂ්ණත්වය වෙනස්‌ වීමත් සමග පරිමාවේ ඇති වන වෙනස්‌කම් සලකා නො බැලෙයි. කෙසේ වෙතත් තරලයක සාමාන්‍ය චලිතය සන්තතික වෙයි. තරලය, දිය පහර ගලක්‌ වැනි වස්‌තුවක ගැටුණ හොත් චලිතය යම් ආකාරයක අසන්තතික වෙනසකට භාජන වෙයි.

නිව්ටෝනීය වස්‌තුවල ද චලිතය සාමාන්‍යයෙන් ගත හොත් සන්තතික යෑයි කියෑවෙයි. එය පෙරහැරක යන මිනිසුන් ගේ චලිතය වැන්නක්‌ නො ව තනි වස්‌තුවක්‌ සම්බන්ධව චලිතයකි. තනි වස්‌තුවක්‌ යම්කිසි සන්තතික බලයක්‌ යටතෙහි යම් කාල පරාසයක චලනය වන්නේ සන්තතික ව ය. එහි පිහිටීම, ප්‍රවේගය, ත්වරණය සන්තතිකව වෙනස්‌ වෙයි. පෙරහැරක අප විසින් සලකනු ලබන්නේ වස්‌තු සමූහයකි. එහි විවිධ වස්‌තු වෙයි. ඒ වස්‌තු මූලික වශයෙන් මිනිස්‌සු වෙති.

තරලයක ද විවිධ වස්‌තු, එනම් විවිධ තරල අංශු වෙයි. එහෙත් නිව්ටෝනීය ගතිකයෙහි අප සාකච්ඡා කරන්නේ තනි අංශුවක එසේත් නැත්නම් තනි වස්‌තුවක චලිතය ය. සන්තතික බලයක්‌ යටතෙහි මේ තනි අංශුව හෝ තනි වස්‌තුව හෝ සන්තතික චලිතයෙහි යෙදෙයි. එහෙත් බලය අසන්තතික වූ විට ඒ මොහොතෙහි, එනම් අසන්තතික බලය යෙදෙන මොහොතෙහි, අංශුවෙහි හෝ වස්‌තුවෙහි හෝ චලිතය අසන්තතික වෙයි.

එහි දී අංශුවෙහි හෝ වස්‌තුවෙහි හෝ පිහිටීම සන්තතික ව වෙනස්‌ වෙයි. අංශුවට හෝ වස්‌තුවට හෝ අවකාශයෙහි අසන්තතික චලිතයක්‌ නැත. එහෙත් අංශුවෙහි හෝ වස්‌තුවෙහි හෝ ප්‍රවේගය අසන්තතික ව වෙනස්‌ වෙයි. අසන්තතික චලිතයක්‌ සඳහා උදාහරණයක්‌ නම් ආවේගී චලිතය ය. ආවේගී බලයක්‌ යනුවෙන් හැඳින්වෙන බලයක්‌ යෙදීමෙන් ආවේගී චලිතයක්‌ ලැබෙයි. අංශු හෝ වස්‌තු හෝ ගැටීමෙහි දී ද අසන්තතික චලිත ඇති වෙයි.

සන්තතික අසන්තතික යන සංකල්ප මිනිසුන් විසින් ඇති කරගනු ලැබ ඇත්තේ තම එදිනෙදා අත්දැකීම් විස්‌තර කිරීමට ය. පුටු අතර දුරක්‌ වෙයි. අඩු ම තරමෙන් අප තනාගෙන ඇති පුටු අතර හිඩැස්‌ වෙයි. අප තනාගෙන ඇති පුටු යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ අප විසින් නිර්මාණය කෙරී ඇති පුටු පිළිබඳ සංකල්ප ය. පුටු අතර හිඩැස්‌ ඇති බැවින්, එනම් අවකාශය ඇති බැවින් අපි පුටු අසන්තතික වස්‌තු යෑයි සලකමු.

මිනිසුන් ද එලෙස ම අසන්තතික වස්‌තු ලෙස සැලකෙයි. එහෙත් යම් නිශ්චිත අවකාශයක වූ ද්‍රව්‍යයක්‌ හෝ වායුවක්‌ හෝ, එනම් සාධාරණ වශයෙන් තරලයක්‌ සන්තතික වස්‌තු ලෙස සැලකෙයි. එහි අංශු අතර හිඩැස්‌ ඇතැයි නො සැලකෙයි. හිඩැස්‌ යන සංකල්පය එතරම් නිරවුල් නො වුවත් අපේ කාර්යය සඳහා ඒ ප්‍රමාණවත් වෙයි. එකිනෙකින් වෙන් වූ මේස දෙකක්‌ අසන්තතික වස්‌තු ලෙස සැලකෙන නමුත් එක ම දෘඪ මේසයක අංශු සන්තතික අංශු ලෙස සැලකෙයි. ගණිතයෙහි සන්තතික යන සංකල්පය වඩා නිරවුල් ව අර්ථදැක්‌වෙන බව මෙහි දී සඳහන් කරමු.

අප තාත්වික සංඛ්‍යා සැලකුව හොත් නිල හෙවත් පූර්ණ සංඛ්‍යා අසන්තතික වෙයි. නිල දෙකක්‌ අතර තාත්වික සංඛ්‍යා අනන්තයක්‌ ඇත. එපමණක්‌ නො ව ඕනෑ ම තාත්වික සංඛ්‍යා දෙකක්‌ අතර වුව ද තවත් තාත්වික සංඛ්‍යා අනන්තයක්‌ ඇත. ඒ කෙසේ වුවත් තාත්වික සංඛ්‍යාවලින් සමන්විත වන තාත්වික රේඛාව සන්තතික යෑයි සැලකෙයි. එහෙත් නිල සන්තතික නො වෙයි. අවකාශය ද එලෙස ම සන්තතික ලෙස සැලකෙයි. එපමණක්‌ නො ව කාලය ද අවකාශ-කාලය ද සන්තතික ලෙස සැලකෙයි.

නිව්ටෝනීය ගතිකයෙහි සන්තතික යෑයි සැලකෙන චලිතවල ඒ ඒ අංශුව හෝ වස්‌තුව හෝ ගන්නා අවකාශය හෝ ප්‍රවේගය හෝ පිළිබඳ අගය සන්තතික වෙයි. අංශුව හෝ වස්‌තුව හෝ අවකාශයෙහි එක්‌ පිහිටුමක සිට තවත් පිහිටුමකට සන්තතිකව චලනය වෙයි. එසේ ම එහි ප්‍රවේගය ද වෙනස්‌ වන්නේ සන්තතික ව ය. මෙහි දී කාලයෙහි සන්තතික බව ද වැදගත් වෙයි. යම් හෙයකන් කාලය සන්තතික නො වී නම් ඒ කිසිවක්‌ වලංගු නො වීමට තිබිණි. නිව්ටෝනීය ගතිකයෙහි අංශුවකට හෝ වස්‌තුවකට හෝ අවකාශය හෝ කාලය සම්බන්ධයෙන් කිසි විටෙක අසන්තතික අගයන් නො ලැබෙයි. අසන්තතික චලිතයෙහි පවා එය එසේ ම වෙයි. එහෙත් ප්‍රවේගය සම්බන්ධයෙන් එය එසේ ම නො වේ. අසන්තතික චලිතයෙහි දී ප්‍රවේගය අසන්තතික අගයක්‌ ගනියි. ආවේගී චලිතයෙහි එය විද්‍යමාන වෙයි. ආවේගී බලයක්‌ යෙදීමට මොහොතකට පෙර අංශුවෙහි හෝ වස්‌තුවෙහි හෝ ප්‍රවේගය ආවේගී බලය යෙදීමෙන් මොහොතකට පසුව අංශුවෙහි හෝ වස්‌තුවෙහි හෝ ප්‍රවේගයෙන් අසන්තතික ව වෙනස්‌ වෙයි.

නලින් ද සිල්වා