logo3.gif (702 bytes)

HOME


ද්‍රව්‍යවාදී හෝ විඥානවාදී හෝ නොවීම

ඇතැමුන්ට අනුව මම බෞද්ධයෙක්‌ නො වෙමි. ඔවුන් එසේ කියන්නේ මනසෙහි ඊනියා වාස්‌තවික පැවැත්මක්‌ මා ප්‍රතික්‍ෂෙප කරන බැවිනි. මම සාපේක්‍ෂතාව පිළිගනිමි. අවශ්‍ය නම් අයකුට මා සාපේක්‍ෂතාවාදියකු යෑයි කිව හැකි ය. තවත් දුර ගොස්‌ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු යෑයි කිව හැකි ය. ඒ දාර්ශනිකව ය. එසේ වුවත් තමන් බෞද්ධයන් යෑයි කියාගන්නා අය මෙන් ම මම ද මතු දිනයක නිවන් අවබෝධ කරගැනීමට උත්සාහ කරමි. මා නිවන් අවබෝධ කරගත් දිනයක මගේ මනසට කුමක්‌ සිදු වේ ද? නිවන් අවබෝධයෙන් කලක්‌ ගත වී පිරිනිවන් පානා අවස්‌ථාවේ දී මනසට කුමක්‌ සිදු වේ ද? නිවන් අවබෝධයෙන් පසු මා යන්නෙන් කෙනකු ගැන කිව හැකි ද?

මනසක්‌ පවතින්නේ යෑයි කී විට එය නිරපේක්‍ෂව පවතින්නේ ද නැත් ද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය යුතු ය. මනස නිරපේක්‍ෂව වාස්‌තවිකව පවතින්නේ යෑයි කියන්නෝ ද්‍රව්‍යවාදී විඥානවාදියෝ වෙති. පසුගිය සතියේ අපේ ප්‍රවාද ලිපියෙහි මාතෘකාව විඥානවාදී ද්‍රව්‍යවාදීහු ලෙස සඳහන් වී තිබුණේ මුද්‍රණ දෝෂයකිනි. එය ද්‍රව්‍යවාදී විඥානවාදියෝ යනුවෙන් නිවැරැදි විය යුතු ය. මා දන්නා තරමට බෞද්ධයෝ ද්‍රව්‍යවාදී විඥානවාදීන් තබා විඥානවාදීහු වත් නො වෙති.

පෙර දවස විඥානවාදීන් ලෙස හඳුන්වනු ලැබූ ගුරුකුලයක්‌ තිබූ බව සැබෑ ය. එලෙසින් ම පුද්ගලවාදීන් ආදී වශයෙන් ද ගුරුකුල බෞද්ධයන් අතර විය. ශාස්‌වතවාදීන් උච්ඡේදවාදීන් ආදී වශයෙන් විවිධ දාර්ශනික කුල පෙර දවස තිබී ඇත. විඥානවාදීන් යනුවෙන් හඳුන්වනු ලැබූ ගුරුකුලයක්‌ පැවතුණු පමණින් සියලු බෞද්ධයන් විඥානවාදීන් නො වන්නේ ඔවුන් පුද්ගලවාදීන් නො වන අයුරින් ම ය.

ජාතිකවාදීන් අතර සිටින මගේ විරුද්ධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතික ව්‍යාපාරයෙන් මා ඉවත් කිරීම ය. ඒ සඳහා ඔවුහු කළ හැකි සියල්ල කරති. බලය ලබාගැනීම මා ගේ ජාතිකවාදී දේශපාලනයට අයත් නො වුවත් බොහෝ ජාතිකවාදීන්ට බලය ලබාගැනීමේ ව්‍යාපෘති වක්‍ර ව හෝ සෘජු ව ඇත. ඔවුන්ට මා හිසරදයකි. මා කියන කරන කිසි ම දෙයක ගෞරවයක්‌ මට ලබා නො දීමට ඔවුහු කටයුතු කරති. අසංඛෙය්‍ය කල්පවලින් මැනෙන සංසාර චක්‍රයක අවුරුදු හැත්තෑවක අසූවක කාලයක්‌ යනු ගෞරවයක්‌ ලබාගැනීමට තරම් වත් කාලයක්‌ නො වේ.

අනෙක්‌ අතට මිනිසුන් වැඩ කළ යුත්තේ ගෞරව අපේක්‍ෂාවෙන් නො වේ. පෘථග්ජනයන් ලෙස, ගෞරවයක්‌ ලැබෙන්නේ නම් එයින් සතුටක්‌ ලැබීම එක්‌ දෙයකි. කෙසේ වෙතත් අප යමක්‌ කරන්නේ ම එයින් සතුටක්‌ ලැබෙන බැවිනි. එයට ගෞරවයක්‌ තබා පිළිගැනීමක්‌ වත් නො ලැබුණත් එය ප්‍රශ්නයක්‌ නො විය යුතු ය. ප්‍රශ්න ඇති කර ගැනීම ම සංසාරය දික්‌ කර ගැනීමකි. ගෞරව අපේක්‍ෂාවෙන් සංසාරය දික්‌ කර ගැනීම නොමනා ක්‍රියාවකි. එසේ ම අනෙක්‌ අයකුට ලැබිය යුතු ගෞරවය නො දී තමා ම ඒ ගෞරවයට හිමිකම් කීම ද සසර දික්‌ කර ගැනීමකි.

මා බෞද්ධයකු නො වන්නේ ය යනුවෙන් ප්‍රචාරයක්‌ ගෙන යැමට හැකි නම් මා ජාතික ව්‍යාපාරයෙන් ඉවත් කිරීමට ඇති හැකියාව ද වැඩි ය. එයින් අවසාන වශයෙන් ගත් කල වාසියක්‌ අත් වන්නේ ජාතික ව්‍යාපාරයට නො ව ජාතිකත්වයට විරුද්ධ වන්නන්ට ය. එහෙත් තාවකාලිකව ජාතිකත්වය දඩමීමා කරගනිමින් දේශපාලන වශයෙන් බලයට පත් වීමට උත්සාහ දරන්නන්ට ද වාසියක්‌ වනු ඇත.

අප විසින් හඳුන්වා දෙනු ලැබ ඇති දර්ශනයක්‌ වෙයි. ඒ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයයි. ඒ අනුව දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ මිස සොයාගනු ලබන දෙයක්‌ නො වේ. දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක්‌ නො වේ. සියලු ප්‍රාණීහු නිරීක්‍ෂකයෝ වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයා ගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ ය.

නිරීක්‍ෂකයන් හෙවත් සත්ත්වයන් දැනුම නිර්මාණය කරන්නේ අනිත්‍ය, දුක්‌ඛ අනාත්ම අනවබෝධය හේතු කොටගෙන ය. නිවන් අවබෝධ කිරීමෙන් පසුවත් දැනුම නිර්මාණය නො කෙරුණත් දැනුම ඇත. දැනුම නැති වන්නේ පරිනිර්වාණයත් සමග ය. දැනුම නිර්මාණය කරන්නේ නිරීක්‍ෂකයා යෑයි කීව ද එසේ කෙරෙන්නේ නිරීක්‍ෂකයා ගේ මනස විසිනි. මනස දැනුම නිර්මාණය කිරීමේ දී ඇතැම් විට පංචෙන්ද්‍රියයන් ගේ ද සහාය ලබාගනියි.

මෙය දැනුම පිළිබඳ අපේ ප්‍රවාදය වෙයි. වෙනත් ආකාරයකින් කිව හොත් සිංහල බෞද්ධ සංස්‌කෘතියට සාපේක්‍ෂව අප විසින් දැනුම පිළිබඳ නිර්මාණය කෙරී ඇති දැනුම ය. එසේත් නැත්නම් දැනුම පිළිබඳ ව අප විසින් ගොතනු ලැබ ඇති කතාව ය. මේ කතාවේ හෙවත් ප්‍රවාදයේ තවත් වැදගත් කොටසක්‌ ඉතිරි වී ඇත. තමන් බුදුදහමේ ආරක්‍ෂකයන් ලෙස සිතා සිටින කිහිප දෙනා ගේ විවේචනයට භාජන වී ඇත්තේ ඒ ඉතිරි කොටස ය.

ඉතිරි කොටසෙන් කියෑවෙන්නේ මනසේ පැවැත්ම පිළිබඳ ව අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම ය. සියල්ල පවතින්නේ සාපේක්‍ෂව ය. නිරපේක්‍ෂව වාස්‌තවිකව නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්තව පවත්නා කිසිවක්‌ නැත. එහි තේරුම සියල්ල නැත යන්න නො වේ. පැහැදිලිව ම සියල්ල ඇත යන්න ද ඉන් නො කියෑවෙයි. යමක්‌ පවතින්නේ යමකට සාපේක්‍ෂව ය යන්න පමණක්‌ ඉන් කියෑවෙයි.

අපේ දැනුම සංකල්ප හා ඒ ඇසුරෙන් ගොඩන`ගාගන්නා ප්‍රවාදවලින් සමන්විත වෙයි. මේ දැනුම ශුන්‍ය වෙයි. එනම් සංකල්පීය දැනුම ශුන්‍ය වෙයි. අප විසින් නිර්මාණය කෙරෙන සංකල්ප මනසට සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ බවක්‌ නැත. කිසිවක්‌ නිරපේක්‍ෂව නො පවතියි. සැම දෙයක්‌ ම, එනම් පවතින්නේ යෑයි අප සිතන සැම දෙයක්‌ ම මනසට සාපේක්‍ෂ වෙයි. මෙය පටිච්ච සමුප්පාදයට පටහැනි නො වේ. එහි කියෑවෙන්නේ යමක්‌ ඇත්නම් එවිට තවත් යමක්‌ ඇත යන්නත් යමක්‌ නැත්නම් එවිට තවත් යමක්‌ නැති බවත් ය.

බෞද්ධයන්ට මනස ප්‍රධාන ය. එහෙත් අපට මනස තවත් ඉන්ද්‍රියයක්‌ වෙයි. අනෙක්‌ ඉන්ද්‍රිය පහෙන් එකකට වත් මනස නමැති ඉන්ද්‍රිය නොමැති ව ක්‍රියාත්මක විය නො හැකි ය. මනස හැරෙන්නට අනෙක්‌ සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. ඒ සියල්ල මනසේ නිර්මාණ වෙයි. නැවතත් අවාධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. නැවතත් අවධාරණය කළ යුතු කරුණ නම් සියල්ල මනසෙහි නිර්මාණ වේ ය යන්නෙන් සියල්ල නැත යන්න ගම්‍ය නො වන බව ය.

අනෙක්‌ සියල්ල, එනම් සංකල්පීය ලෝකය නිර්මාණය කෙරී ඇත්තේ මනස විසින් නිසා මනස නොමැති ව ඒ එකක්‌ වත් සංකල්ප ලෙස නො පවතියි. පුටුව යන්න අපේ සංස්‌කෘතිය තුළ මනස විසින් නිර්මාණය කෙරී ඇති සංකල්පයකි. එය වාස්‌තවික නො වේ. එය නිරපේක්‍ෂ නො වේ. එය මනසට සාපේක්‍ෂව පමණක්‌ පවතියි. පුටුව පමණක්‌ නො ව අනෙක්‌ සියලු සංකල්ප ගැන ද කිව හැක්‌කේ එපමණකි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කා හට සාපේක්‍ෂව ද යන්න ය. එය තවත් සුපිරි මනසකට සාපේක්‍ෂ වන්නේ යෑයි සිතමු. එවිට සිදු වන්නේ ප්‍රශ්න වැලක්‌ ඇසීමකි. එයින් නිශ්චිත පිළිතුරක්‌ නො ලැබෙයි. ඒ අනෙක්‌ ස්‌වාභාවික යෑයි සිතන සංකල්ප සත්තකින් ම පවතින්නේ ද? ඒවා පවතින්නේ සුපිරි මනසට සාපේක්‍ෂ ව ද? සුපිරි මනස යනු කුමක්‌ ද? මේ ප්‍රශ්න වැලට අප දෙන පිළිතුරු වාස්‌තවික පවතින සුපිරි මනසක්‌ ගැන කියන්නේ ද?

මේ ප්‍රශ්න වැලට පිළිතුරු දුන්නත් ඉන් ගැලවීමක්‌ නැත. ප්‍රශ්න වැලෙන් හා පිළිතුරුවලින් ගොඩ ඒමක්‌ මනස මනසට සාපේක්‍ෂ යෑයි සැලකීමෙන් සිදු වෙයි. අනෙක්‌ සංකල්ප මෙන් ම මනස ද පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. මනසක්‌ යනුවෙන් කිව හැකි දෙයක්‌ නැත. කෙටියෙන් කිව හොත් මනසට සාපේක්‍ෂ නො වන මනසක්‌ නැත. මනස ද ඇත්තෙහි මනසෙහි ම ය. මනස ද මනසෙහි මවා ගැනීමක්‌ පමණකි.

වෙනත් වචනවලින් කිව හොත් මනසක්‌ යනුවෙන් කිව හැකි කිසිවක්‌ නැත. ඇත්තේ මනසක්‌ නො ව නැති මනසකි. මනසක්‌ නැති තැන අපි මනසක්‌ ඇතැයි ගනිමු. එය පුටුවක්‌ නැති තැන පුටුවක්‌ ඇතැයි ගැනීමට සමාන වෙයි. පුටුව නැතැයි ගැනීම හා සියල්ල නැතැයි ගැනීම අතර වෙනසක්‌ වෙයි. පුටුවක්‌, ආදී වශයෙන් කිසිවක්‌ නැති වුවත් එසේ වන්නේ සංකල්පීය වශයෙනි. එබැවින් සියල්ල නැතැයි ගැනීම හා පුටුවක්‌ නැතැයි ගැනීම අතර වෙනසක්‌ ඇත.

සියල්ල නැතැයි ගැනීම මෙන් ම සියල්ල ඇතැයි ගැනීම ද වැරැදි ය. එහෙත් පුටුවක්‌ ඇතැයි ගැනීම පමණක්‌ වුවත් වැරැදි ය. පුටුවක්‌ යනුවෙන් දෙයක්‌ නැත. පුටුව යන සංකල්පය ශුන්‍ය වෙයි. පුටුවක්‌ යනුවෙන් පමණක්‌ නො ව මනසක්‌ යනුවෙන් දෙයක්‌ ඇතැයි ගැනීම වුවත් වැරැදි ය. අප ඇතැයි යනුවෙන් ගන්නේ නැති මනසකි. නැති පුටුවකි.

අද ඇතැමුනට ප්‍රශ්නය වී ඇත්තේ මනස යනුවෙන් දෙයක්‌ නොමැති යෑයි අප විසින් පවසනු ලැබීම ය. මනස ද මනසෙහි ම නිර්මාණයකි. මනස නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. මනස යනුවෙන් යමක්‌ ඇතැයි ගන්නේ ම මනස ය. නැති මනසක්‌ ඇති මනසක්‌ ලෙස ගැනීම ම සියලු ප්‍රශ්නවලට මුල ය. නැති මනසක්‌ ඇතැයි ගැනීම නිසා ම අපි දැනුම නිර්මාණය කරමු. සංසාරයේ සැරිසරමු.

නැති මනස නැති මනසක්‌ බව අවබෝධ වූ විට දැනුම නිර්මාණය ද නවතියි. එහෙත් එතෙක්‌ පැවැති දැනුම නැති වී නො යයි. ඒ දැනුම එසේ ම පවතින අතර අලුතෙන් දැනුම් නිර්මාණය නවතියි. දැනුම නිර්මාණය නැති වීම යනු නිවන් අවබෝධය ය. දැන් ප්‍රශ්නය වනුයේ නැති මනස නැති මනසක්‌ බව අවබෝධ කරගන්නේ කවුද යන්න ය. එය කිසිසේත් ම මනස විය නො හැකිය.

නැති මනස නැති මනසක්‌ බව අබෝධ කර ගත යුත්තේ නැති මනස විසින් බව පැහැදිලි ය. එසේ නො වුණ හොත් මනසේ නිරපේක්‍ෂ පැවැත්මක්‌ ඇතැයි පිළිගැනීමට සිදු වෙයි. යමකු මනසින් නිවන් අවබෝධ කරගැනීමට සිතන්නේ නම් එය තව තවත් ප්‍රශ්නවලට තුඩු දෙනු ඇත.

දැන් ප්‍රශ්නය වනුයේ ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම නිසා ම මා බෞද්ධයකු නො වන්නේ කෙසේ ද යන්න ය. ඉහත සඳහන් කරුණු ප්‍රකාශ කිරීම හේතු කොටගෙන මා බෞද්ධයකු නො වන්නේ කෙසේ ද? විඥානවාදීන් පුද්ගලවාදීන් ආදීන් බෞද්ධයන් වීමටත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් යෑයි හැඳින්වෙන්නත් අබෞද්ධයන් වීමටත් හේතුව කුමක්‌ ද?

ඉතා පැහැදිලිව මෙහි ඇත්තේ දේශපාලන ප්‍රශ්නයකි. එසේ නො වන්නට කළ යුතු ව තිබුණේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීන් ද වැඩි ම වුව හොත් තවත් බෞද්ධ ගුරු කුලයක්‌ ලෙස හඳුනාගැනීම ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදීහු බෞද්ධයන් වනු පමණක්‌ නො ව ඔවුහු විඥානවාදීහු හෝ ද්‍රව්‍යවාදීහු ද නො වෙති.

නලින් ද සිල්වා