logo3.gif (702 bytes)

HOME


විඥානවාදී ද්‍රව්‍යවාදීහු

ඊනියා භෞතිකවාදීන් විඥනවාදීන් වනුයේ ඔවුන් මනසේ පැවැත්ම පිළිගන්නා නිසා පමණක්‌ නො වේ. ඔවුන්ට ද මනසින් තොර ව කිසිවක්‌ කිරීමට නො හැකි ය. ඒ අරුතින් ගත් කල ඔවුන්ට ද මනස ප්‍රධාන ය. එහෙත් ඔවුහු ඒ බව නො පිළිගනිති. ඔවුන් පිළිගන්නේ ඇස්‌ කන් නාසාදී පංචෙන්ද්‍රිය ප්‍රධාන බව ය. පංචෙන්ද්‍රිය නොමැති ව ඊනියා බාහිර ලෝකයක්‌ නොමැති බව ඔවුන් ගේ දැනුමේ වෙයි. වෙනත් අයුරකින් කිව හොත් ඔවුහු ඒ බව උපකල්පනය කරති. පංචෙන්ද්‍රිය තිබුණ ද මනස නැත්නම් ඊනියා බාහිර ලෝකයක්‌ ඔවුන්ට නොමැති බව ඔවුහු නො පිළිගනිති. එහෙත් කැමරා, විවිධ උපකරණ ආදිය කොතෙකුත් තිබුණ ද, ඒ උපකරණවලට ඊනියා බාහිර ලෝකයක්‌ නැත්තේ ඒවාට මනස්‌ නොමැති බැවිනි.

ඊනියා භෞතිකවාදීන්ට මනස නොමැති ව කිසි ම සංකල්පයක්‌ තනාගත නො හැකි බව අපි කීප වතාවක්‌ ම කියා ඇත්තෙමු. සංජානනයන් පංචෙන්ද්‍රිය සමග පමණක්‌ නො ව මනස ඔස්‌සේ සංකල්ප සමග ද බැ`දී ඇත. එහෙත් ඊනියා භෞතිකවාදීහු ඒ බව ද නො පිළිගනිති. මෙහි දී ඊනියා යන වචනය යොදා ගැනෙන්නේ එසේ හැඳින්වුව ද එසේ නො වන යන අරුතින් ය. භෞතිකවාදීන් තමන් භෞතිකවාදීන් යෑයි කියා ගත්ත ද, ඔවුහු එසේ නො වෙති. එබැවින් ඊනියා භෞතිකවාදීන්ට ඊනියා භෞතිකවාදීන් යෑයි කීමට සිදු වී ඇත.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට ඔවුන් කුමක්‌ කීවත් මනස නොමැති ව සංකල්ප නිර්මාණය කළ නො හැකි ය. මනස නොමැති ව සංකල්ප නිර්මාණය කරන ආකාරයක්‌ හෝ සංකල්ප නොමැති ව සංජානන ලැබෙන ආකාරයක්‌ හෝ ගෙනහැර දැක්‌වීමට ද්‍රව්‍යවාදීන් යෑයි කියාගන්නා අයට නො හැකි ය. ඊනියා ද්‍රව්‍යවාදීන් ගේ ද දැනුම රඳා පවතින්නේ මනස මත ය. මනසින් නිර්මාණය වන සංකල්ප හා ප්‍රවාද නොමැති ව කිසි ම ප්‍රාණියකුට (සත්ත්වයකුට) දැනුමක්‌ නැත.

එසේ නම් ඊනියා ද්‍රව්‍යවාදීන් හා විඥානවාදීන් අතර වෙනසක්‌ නැද්ද? වෙනසක්‌ ඇත. විඥානවාදීහු මනස ප්‍රධාන යෑයි ගනිති. ද්‍රව්‍යවාදීහු මනස ද්‍රව්‍යයෙහි විකාශයක්‌ ලෙස සලකති. ද්‍රව්‍යවාදීන්ට අනුව මනස යනුවෙන් කිසිවක්‌ නැත. ඒ වෙනත් කරුණක්‌ නිසා නො ව ඔවුන්ට මනස හා සම්බන්ධ අවයවයක්‌ දැකගත (නිරීක්‍ෂණය) නොහැකි නිසා ය. පෙනීම නමැති ඉන්ද්‍රිය ඇස නම් අවයවය හා සම්බන්ධ වුවත් මනස හා සම්බන්ධ අවයවයක්‌ නැත. එනම් මනස හා සම්බන්ධ සිතීම, විඳීම ආදී දේ සමග සම්බන්ධ වූ අවයවයක්‌ දැකගත නොහැකි බැවිනි. එබැවින් බටහිර ද්‍රව්‍යවාදීහු මනස මොළය නිසා සිදු වන්නක ප්‍රතිඵලයක්‌ ලෙස ගනිති. එහෙත් ඒ තවත් දැනුමක්‌ පමණකි. ඒ දැනුම ද මනසින් නිර්මාණය කරන ලද්දකි. අප පෙන්වා දී ඇත්තේ මනස හා මොළය අතර ඇත්තේ සහසම්බන්ධයක්‌ පමණක්‌ බව ය.

ද්‍රව්‍යවාදීන් කැමැති වුවත් නැතත් ඔවුන් මනසක්‌ ඇතැයි නො පිළිගත්තත්, මනස යනු මොළයේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ ලෙස ගත්තත් ඔවුන්ට සිතීමට අවශ්‍ය ය. සංකල්ප නිර්මාණය කිරීම, ප්‍රවාද ගෙතීම ආදී දැනුම සම්බන්ධ ක්‍රියාවන්හි යෙදීමට අවශ්‍ය ය. මොළයක්‌ තිබූ පමණින් මෘත දේහයකට හෝ ජීවත් වන බොහෝ දෙනාට ද එය කළ නො හැකි ය. එහෙත් ජීවත් වන්නෝ භේදයකින් තොර ව සිතති, විඳිති. අප කලින් පෙන්වා දී ඇත්තේ මනස මොළයේ ක්‍රියාවලියකට ඌනනය කළ නොහැකි බව ය.

ඊනියා ද්‍රව්‍යවාදීන් මනස යන්නෙන් කිසිවක්‌ නැතැයි කීව ද ඔවුහු මනස යොදා ගනිති. මනස යොදා ගන්නේ, එසේත් නැත්නම් මනස යොදා ගැනීමට හැකි වන්නේ, මනස යනුවෙන් යමක්‌ දැනෙන බැවිනි. ද්‍රව්‍යවාදීන් එහි දී ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ මනස යනු මොළයේ ක්‍රියාවලියක්‌ බව පැවසීමෙනි. මොළයේ එක ම ක්‍රියාවලිය මනස නො වන බැවින් මනස යනුවෙන් අඩු ම තරමෙන් අනන්‍ය වූ ක්‍රියාවලියක්‌ පවතින බව පිළිගැනීමට ඊනියා ද්‍රව්‍යවාදීන්ට සිදු වෙයි. එය මොළය සමග සම්බන්ධ වුවත් නැතත් එය අනන්‍ය ක්‍රියාවලියකි.

ඊනියා ද්‍රව්‍යවාදීන්ට ඒ අනන්‍ය ක්‍රියාවලිය නො පවතින්නේ යෑයි කිව නො හැකි ය. එනම් ඔවුන් කෙතරම් වලිකෑවත් මනස ලෙස ගත හැකි යම් අනන්‍ය ක්‍රියාවලියක පැවැත්ම පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. අපි ඊනියා ද්‍රව්‍යවාදීන් මනස මොළයේ ක්‍රියාවලියක්‌ ය යන්න සමග එකඟ නො වෙමු. අප මෙහි දී කියා සිටින්නේ ඊනියා ද්‍රව්‍යවාදීන් කෙතරම් නැතැයි කීවත් ඔවුන් මනස පවතින්නේ යෑයි පිළිගන්නා බව ය. ඔවුන්ට මනසක්‌ (අඩු ම තරමෙන් මොළයේ අනන්‍ය වූ ක්‍රියාවලියක්‌ ලෙස) ඇති බව පිළිගැනීමට සිදු වෙයි.

ද්‍රව්‍යවාදීන් එසේ මනසක්‌ ඇති බව පිළිගැනීම හේතුවෙන් ඔවුන් එක්‌තරා ආකාරයක විඥානවාදීන් පිරිසක්‌ ලෙස අපි ගනිමු. සාම්ප්‍රදායික විඥානවාදීහු මනසක්‌ ඇති බව පිළිගනිති. ඔවුන්ට එය මොළයේ අනන්‍ය ක්‍රියාවලියක්‌ නො වේ. ඔවුන්ට සැකයකින් තොර ව මනස පවතියි. එහෙත් මනසෙහි පැවැත්ම කා හට කුමකට සාපේක්‍ෂ ද යන ප්‍රශ්නයට විඥානවාදීහු පිළිතුරු නො දෙති. විඥානවාදීන්ට අනුව මනස පවතියි. එය පවතින්නේ කොහේ ද?

මනස පවතින්නේ කිසිවකට සාපේක්‍ෂ ව නො වේ නම් එයින් කියෑවෙන්නේ එය නිරපේක්‍ෂව පවතින බව ය. මනස නිරපේක්‍ෂව ද සාපේක්‍ෂව ද පවතින්නේ යෑයි කියා ප්‍රශ්නයෙන් පැන යා හැකි නො වේ. ඇතැම් විඥානවාදීන්ට අනුව ද්‍රව්‍ය පවතින්නේ මනස නිසා ය. ඔවුන්ට අනුව ද්‍රව්‍ය යනු මනසෙහි නිර්මාණයකි. මෙහි දී කියෑවෙන්නේ මනස විසින් අහසෙහි ද්‍රව්‍ය නිර්මාණය කෙරෙන්නේ ය යන්න නො වේ. එයින් කියෑවෙන්නේ ද්‍රව්‍ය පිළිබඳ සංකල්ප මනසින් නිර්මාණය කෙරෙන බව ය.

සියලු සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. පුටුව යනු මනසෙහි නිර්මාණයකි යන්නෙහි තේරුම මනස විසින් පංචෙන්ද්‍රියයන් ගේ ද ආධාර ඇති ව පුටුව නම් සංකල්පය නිර්මාණය කෙරී ඇති බව ය. අප පුටුව යන්නෙන් නිර්මාණය කර ඇති සංකල්පය වෙනත් සංස්‌කෘතියක අයකු නිර්මාණය කරන සංකල්පයක්‌ සමග සර්ව සාම්‍ය විය යුතු නො වේ. බසයේ ඇති ආසන අපට පුටු නො වේ. සිංහල බෞද්ධයන් ගේ ආසන යන සංකල්පය මිනිසුන් වාඩි වීම සඳහා යොදාගන්නා වූ උපකරණවලට පමණක්‌ සීමා නො වේ. සිංහල බෞද්ධයනට මල් ආසන යනුවෙන් ද ආසන වර්ගයක්‌ වෙයි.

සිංහල බෞද්ධයන් ආසන යනුවෙන් හඳුන්වන උපකරණ කුලකය හැඳින්වීම සඳහා තනි වචනයක්‌ හෝ වචන කිහිපයක්‌ හෝ වෙනත් සංස්‌කෘතියක තිබිය යුතු නො වේ. සංකල්ප ඇතුළු දැනුම සංස්‌කෘතියට සාපේක්‍ෂ වෙයි. එසේ ම සංකල්ප ඇතුළු දැනුම නිර්මාණය කෙරෙන්නේ මනස විසිනි. එය විඥානවාදියාට මෙන්ම ද්‍රව්‍යවාදියාට ද පොදු ය. විඥානවාදියා මනසෙන් තොර ව වාස්‌තවිකව පවත්නා ද්‍රව්‍ය නැතැයි කියයි. පුටුව යන්න පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන්නකි.

එහෙත් ද්‍රව්‍යවාදියාට මනසෙන් තොර ව පවත්නා පුටුවක්‌ වෙයි. ද්‍රව්‍යවාදියාට වාස්‌තවිකව පවත්නා පුටුවක්‌ වෙයි. විඥානවාදියාට වාස්‌තවික ව පවත්නා පුටුවක්‌ නැත. විඥානවාදියාට අනුව පුටුව යනු පංචෙන්ද්‍රියයන් සමග එකතු වී මනසෙන් නිර්මාණය කෙරෙන්නකි. ඒ නිර්මාණයෙහි දී සංස්‌කෘතිය ද බලපාන බව පැහැදිලි ය. එසේ ම ඒ ඒ නිර්මාණය පංචෙන්ද්‍රියයන්ට ද මනසට ද සංස්‌කෘතියට ද සාපේක්‍ෂ ය.

ඇතැම් විඥානවාදීන්ට අනුව තවත් ආකාරයක නිර්මාණ මනසින් හෝ ආධ්‍යාත්මික ව හෝ කළ හැකි ය. ඇතැම්හු අහසෙහි රත්රන් මවති. මා මෙවැනි ක්‍රියාවක්‌ දැක නොමැති වුව ද මෙය තේරුම්ගත හැකි ක්‍රම කිහිපයක්‌ වෙයි. ආධ්‍යාත්මික ශක්‌තිය වර්ධනය කළ අයකුට ඇතැම් විට එක්‌ තැනක ඇති වස්‌තුවක්‌ වෙන තැනකට ගෙන යැමේ හැකියාව තිබෙන්නට පුළුවන. ඒ ගෙන යැම යන්නෙන් අදහස්‌ වන්නේ අවකාශය හා කාලය ඔස්‌සේ ගෙන යැමක්‌ ම නො විය හැකි ය. අවකාශය හා කාලය යන සංකල්ප ද අප විසින් නිර්මාණය කෙරී ඇති සංකල්ප ය. නිව්ටෝනීය මෙන් ම සාමාන්‍ය පෘථග්ජනයන් නිරීක්‍ෂණය කරන චලිතයෙහි දී අවකාශය හා කාලය යොදා ගැනෙන නමුත් වෙනත් චලිත ද තිබිය හැකි ය.

අනෙක්‌ අතට අවකාශ කාලයට ද ශක්‌තිය ඇති බවත් ඒ ශක්‌තිය වෙනත් ශක්‌තීන්ට හැරවිය හැකි බවත් කැලණිය විශ්වවිද්‍යාලයයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. වසන්ත කටුගම්පොළ මහතා ගේ අධ්‍යයනයකට අනුව විශ්වයේ ත්වරණයක්‌ සහිතව සිදු වන ප්‍රසාරණය අවකාශ කාලයේ ශක්‌තිය හේතු කොටගෙන සිදු වෙයි. මෙයින් කියෑවෙන්නේ අවකාශ කාලය යනුවෙන් වාස්‌තවික ව පවත්නා දෙයක්‌ ඇති බව නො වේ. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ අප නිරීක්‍ෂණය කරන ඇතැම් සංසිද්ධීන් තේරුම් ගැනීම සඳහා කතාන්දර ගෙතීම පමණ ය.

ඒ කෙසේ වෙතත් මනස වර්ධනය කරගත් අයට සාමාන්‍ය අයට කළ නොහැකි දේ කිරීමට හැකි බව බුදුදහමට වුව ද එකඟ ය. බුදුන් වහන්සේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ප්‍රාතිහාර්ය පෑම තම ශ්‍රාවකයන් වහන්සේට තහනම් කළ නමුදු අවශ්‍ය අවස්‌ථාවන්හි දී උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑ සේක. වෙනත් ආගම්වල ද ඇතැම් ප්‍රාතිහාර්යයන් ගැන කියෑවෙයි. විඥානවාදීන් ආධ්‍යාත්මික වර්ධනය ඇති අය ගැන කියන කතා ඉවත දැමීමට අප ඉක්‌මන් විය යුතු නො වේ. මනස පිළිබඳ හරිහමන් ප්‍රවාදයක්‌ ගොඩන`ගා ගැනීමට නොහැකි බටහිර විද්‍යාඥයන් හා ද්‍රව්‍යවාදීන් කියන කතා අපේ අවධානයට යොමු කළ යුතු ද නො වේ.

එහෙත් අපට ප්‍රශ්නය වනුයේ විඥානවාදීන් මනසේ පැවැත්ම ගැන කියන කතාව ය. ඔවුන්ට අනුව මනස පවතියි. එපමණක්‌ නො ව මනස නිරපේක්‍ෂව පවතියි. ඒ වාස්‌තවික පැවැත්මකි. මනසේ පැවැත්ම ප්‍රශ්නයක්‌ නො වන නමුත් නිරපේක්‍ෂ වාස්‌තවික පැවැත්මක්‌ පිළිගත නො හැකි ය. මනසේ වාස්‌තවික පැවැත්මක්‌ පිළිගන්නා විඥානවාදීහු එක්‌තරා අයුරකින් ගත් කල ද්‍රව්‍යවාදීහු වෙති. අපි ඔවුන්ට ද්‍රව්‍යවාදී විඥානවාදීන් යෑයි කියමු.

මනසේ පැවැත්ම ක්‍ෂණයකට වුව ද උපකල්පනය කරන විඥානවාදීහු ද ද්‍රව්‍යවාදී විඥානවාදීහු වෙති. පළමුවෙන් ම ක්‍ෂණයක්‌ යනු කුමක්‌ ද යන ප්‍රශ්නය වෙයි. කාලය පඤ්ඤත්තියක්‌ වන කාල ක්‍ෂණයක්‌ යන්න කිසිසේත් ම වාස්‌තවික වූවක්‌ විය නො හැකි ය. ක්‍ෂණය යන්න අර්ථදක්‌වා ගැනීමට නොහැකි ව ක්‍ෂණයක දී පවත්නා මනසක්‌ හෝ චිත්තයක්‌ හෝ චිත්ත පරම්පරාවක්‌ හෝ ගැන කතා කරන්නේ කෙසේ ද? බෝධි හිමියන්ට අනුව යමින් චිත්තක්‍ෂණයක්‌ යනු අපේ මනසට ගෝචර වන අවම කාලය යෑයි අර්ථදැක්‌විය හැකි ය. එවිට චිත්තක්‍ෂණය ද සාපේක්‍ෂ සංකල්පයක්‌ බවට පත් වෙයි.

ද්‍රව්‍යවාදීන් මෙන් විඥානවාදීන් ද තම තම දර්ශනවල ගැටලුවලට මුහුණ පා ඇති අන්දම පැහැදිලි ය. අපට මෙයින් ගැලවීමට ක්‍රමයක්‌ නැද්ද? එයට ඇති එක්‌ ම`ගක්‌ නම් මනස පවතින්නේ සාපේක්‍ෂව යෑයි ගැනීම ය. දැන් ප්‍රශ්නය වනුයේ මනස පවතින්නේ කා හට සාපේක්‍ෂව ද යන්න ය. එයට ඇති පිළිතුරක්‌ නම් මනස පවතින්නේ මනසට සාපේක්‍ෂ ව ය යන්න ය. මනස මනසට සාපේක්‍ෂව පවතින්නේ ය යන්න ද යම් ප්‍රමාණයකට ගැටලුසහගත ය.

එයින් කියෑවෙන්නේ මනසක්‌ කලින් තිබී තවත් මනසක්‌ කලින් කී මනසට සාපේක්‍ෂව පවතින බව ද? මේ සියල්ලෙන් කියෑවෙන්නේ මනස මනසට සාපේක්‍ෂව ඇති වන බව ය. මනස නිර්මාණය වන්නේ ම මනසට සාපේක්‍ෂව ය. ඒ කලින් තිබූ මනසට සාපේක්‍ෂව ඇති වන්නක්‌ නො වේ. මනස එලෙස මනසට සාපේක්‍ෂව නිර්මාණය වන්නේ කෙසේ ද යන්න කලකට පෙර ලියන ලද සිංහල බෞද්ධ මනස යන ලිපියෙහි සඳහන් වෙයි.

නලින් ද සිල්වා