logo3.gif (702 bytes)

HOME


වෙනස්‌වීම පිළිබඳ ප්‍රවාද

පසුගිය සතියේ ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් සඳහන් කරන විට අප කියා සිටියේ අංශු විවෘත ව තිබුණත් සංවෘත ව තිබුණත් අංශුව නිරීක්‍ෂණයට පසු ඇත්තේ නිරීක්‍ෂණය කිරීමට පෙර පැවැති අංශුව නො වන බව ය. එහෙත් මෙය වලංගු වන්නේ යම් අවශ්‍යතා යටතේ ය. ක්‌වොන්ටම් භෞතිකයට අනුව පළමුවෙන් ම අංශුව සම්බන්ධයෙන් ඒ නිරීක්‍ෂණය ම කලින් කර ඇත්නම් හා ඉන්පසු වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී නැත්නම් එවිට නිරීක්‍ෂණයෙන් පසුව ඇත්තේ පෙර පැවැති අංශුව ම ය. අංශුව වෙනස්‌ වන්නේ යම් නිරීක්‍ෂණයකට පෙර වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී ඇත්නම් හා ඉන්පසු ව පළමු වරට කෙරෙන්නේ අදාළ නිරීක්‍ෂණය නම් ය.

දෙවනුව සිංහල බෞද්ධ ක්‍රමයට නම් නිරීක්‍ෂණයට පසුව නිරීක්‍ෂකයා යම් අංශුවක්‌ නිර්මාණය කරයි. නිරීක්‍ෂණයෙන් නිරීක්‍ෂණයට අංශු නිර්මාණය කෙරෙනු මිස අංශුවක වෙනස්‌ වීමක්‌ සිදු නො වේ. අංශුවක්‌ යනුවෙන් වාස්‌තවික වූවක්‌ නො පවතියි. නිරීක්‍ෂකයා විසින් අංශු නිර්මාණය කෙරෙයි. එසේ ම නිරීක්‍ෂකයා ද දිගින් දිගට ම නිර්මාණය කෙරෙයි. එසේ වන්නේ අංශු නිර්මාණය කෙරෙන්නේ මනසට සාපේක්‍ෂව බැවින් හා මනස ද මනසට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන්නක්‌ බැවිනි.

මිනිසකුට ගඟකට බැසීමට හැකි වන්නේ එක්‌ අවස්‌ථාවකට පමණකි යන හෙරෙක්‌ලිටස්‌ ගේ ප්‍රකාශයෙහි ගඟ වෙනස්‌ වන බව අවධාරණය කෙරෙයි. එහෙත් ගඟ පමණක්‌ නො ව ගඟට බසින්නා ද වෙනස්‌ වෙයි. වෙනස්‌ නො වන අයකු වෙනස්‌ වන ගඟකට බැසීමක්‌ මෙහි දී බොහෝ අය උපකල්පනය කළ ද, එය එසේ නො වේ. වෙනස්‌ නො වන ගඟක්‌ පමණක්‌ නො ව වෙනස්‌ නො වන නිරීක්‍ෂකයකු ද නොමැත. නිරීක්‍ෂකයා යනු නිරීක්‍ෂකයා ගේ මනස මිස අනෙකක්‌ නො වේ. මෙයින් අදහස්‌ වන්නේ ද්‍රව්‍ය (ගඟ) මෙන් ම මනස ද වෙනස්‌ වන බව ය.

මෙය බුදුදහමට විශේෂිත වූ ධර්මතාවකි. පැරැණි ග්‍රීකයන් සමහරකු ඇතුළු ඇතැම්හු ද්‍රව්‍ය වෙනස්‌ වන බව සැලකුව ද මනස වෙනස්‌ වන බව නො සැලකූ හ. ඒ බොහෝ දෙනකුට අනුව මනස වෙනස්‌ නො වී ය. ආත්මවාදය පැනන`ගින්නේ එවැනි පසුබිමක ය. බුදුදහම විඥානවාදී හෝ ද්‍රව්‍යවාදී හෝ නො වන්නේ ද හටගන්නා සියල්ල නැති වන්නේ යෑයි ද කියෑවෙන්නේ මනස ද ඇතුළත් වන පරිදි මිස මනස අත්හැර නො වේ. බුදුදහම ද්‍රව්‍යවාදය මෙන් ම විඥානවාදය ද අත්හරියි. ශාස්‌වතවාදය මෙන් ම උච්ඡෙදවාදය ද අත්හරියි. මනස නිරපේක්‍ෂව ක්‍ෂණයකට වුවත් පවතින්නේ යෑයි උපකල්පනය කළ හොත් බුදුදහම එක්‌ අන්තයක හිර වනු ඇත.

ක්‌වොන්ටම් භෞතිකයෙහි කියෑවෙන අංශු සම්බන්ධයෙන් මෙහි දී අපට බුදුදහම මත පදනම් වී බටහිරයන්ට කිව නොහැකි දෙයක්‌ කිව හැකි ය. පළමුවෙන් ම කිව හැක්‌කේ අනෙක්‌ සංකල්ප මෙන් ම ක්‌වොන්ටම් සංකල්ප ද මනස විසින් නිර්මාණය කෙරුණු දේ බව ය. ක්‌වොන්ටම් අංශු ද පවතින්නේ මනසට සාපේක්‍ෂ ව ය. මනස පවතින්නේ ද මනසට සාපේක්‍ෂව බව පිළිගත හොත් ක්‌වොන්ටම් අංශු ද ඇතුළත් අනෙක්‌ සියල්ල පවතින්නේ මනසට සාපේක්‍ෂව බව පිළිගැනීම අපහසු නැත. ඒ කෙසේ වෙතත් අපේ විවරණයෙහි (විද්‍යාලංකාර විවරණයෙහි) ක්‌වොන්ටම් අංශු පවතින්නේ මනසට සාපේක්‍ෂව ය.

මනසට සාපේක්‍ෂව ක්‌වොන්ටම් අංශුවකට විවිධ ගුණ ඇත. එහෙත් ඒ සැම ගුණයක්‌ ම එක්‌ විට නිරීක්‍ෂණය කළ හැකි නො වේ. යම් ගුණයක්‌ නිරීක්‍ෂණය කළ හැකි නම්, ඒ ගුණය මැනගෙන එයට අගයක්‌ දිය හැකි නම්, එහි ප්‍රතිබද්ධ ගුණය මැනගත නො හැකි ය. ඒ ප්‍රතිබද්ධ ගුණය එක්‌ විට විවිධ අගයන් ගනියි. එනම් විවිධ අවස්‌ථාවල පසු වෙයි. එසේ විවිධ අවස්‌ථාවල පසු වන්නේ යෑයි අප කියන්නේ ද මනසට සාපේක්‍ෂව ය. එසේ නොමැති ව අංශුව ඒ ප්‍රතිබද්ධ ගුණය සම්බන්ධයෙන් නිරපේක්‍ෂව විවිධ අවස්‌ථාවල පසු වන බවක්‌ මෙයින් ගම්‍ය නො වේ. කෙසේ වෙතත් ඒ ප්‍රතිබද්ධ ගුණය අපට මැනගත නො හැකි ය. උදාහරණයක්‌ වශයෙන් අංශුව එක්‌ විට කිහිප තැනක වේ නම් එවිට අපට අංශුවේ පිහිටුම දැනගත නො හැකි ය.

අප යම් උපකරණ යොදාගෙන ඒ ප්‍රතිබද්ධ ගුණය මැනගත හොත් අපට එවිට ඒ ගුණය සඳහා නිශ්චිත අගයක්‌ ලැබෙයි. එහෙත් මැනීමට පෙර ඒ අගය ගැන අපට කිසිවක්‌ කිව නො හැකි ය. අපට කිව හැක්‌කේ මැනගැනීමෙන් පසු ඒ ගුණය ලබාගැනීමට යම් නිශ්චිත සම්භාවිතාවක්‌ ඇති බව පමණකි. එහෙත් මැනීමෙන් පසුව එකී ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක්‌ ලැබෙන අතර කලින් මැනගෙන තිබූ ගුණය දැන් මැනගත නොහැකි වෙයි. කලින් මැනගෙන තිබූ ගුණයට දැන් අගයන් රාශියක්‌ ඇති අතර එය අවස්‌ථා කිහිපයක එක්‌ විට පවතියි.

දැන් ප්‍රශ්නය වනුයේ මැනීමෙන් පසුව ඇත්තේ මැනීමට පෙර තිබූ අංශුව ද යන්න ය. කිසිසේත් ම නැත. එක ම අංශුවක්‌ දිගින් දිගට ම නො පවතියි. එසේ නො පවතින්නේ නිරපේක්‍ෂව පමණක්‌ නො වේ. මනසට සාපේක්‍ෂව ද එසේ දිගින් දිගට පවතින අංශුවක්‌ නැත. මනසට සාපේක්‍ෂව ව මැනීමෙන් පසු පවතින්නේ මැනීමට පෙර තිබූ අංශුව නො වේ. එපමණක්‌ නො වේ. මැනීමට පසුව ඇත්තේ මැනීමට පෙර තිබූ මනස ද නො වේ. එසේ නම් කිසිවකුට ප්‍රශ්න රාශියක්‌ ඇති වීම වැළැක්‌විය හැකි නො වේ. මැනීමට පෙර තිබූ මනස මැනීමට පසු නැත්නම් අප දිගින් දිගට ම මතකයක්‌ පවත්වා ගෙන යන්නේ කෙසේ ද?

මේ ප්‍රශ්නය තරමක බැරෑරුම් ප්‍රශ්නයක්‌ වෙයි. මනස ගැන හෝ ක්‌වොන්ටම් අංශු ගැන හෝ නො සිතා නිව්ටෝනීය අංශු හෙවත් සාමාන්‍ය අංශු ගැන සිතන්න. නිව්ටෝනීය අංශුවක්‌ හෝ වස්‌තුවක්‌ හෝ ගත්ත ද එය ද පවතින්නේ මනසට සාපේක්‍ෂව ය. අප අසළ ඇති පුටුව අපට සාපේක්‍ෂව වුව ද දිගින් දිගට ම එක ම ආකාරයෙන් නො පවතින බව අපි දනිමු. එය වෙනස්‌ වන ආකාරය අපට නො පෙනේ. එහෙත් කල් ගත වීමෙන් පුටුව දිරාපත් වී ඇති බව හෝ එහි කුණු තැවරී ඇති බව හෝ අපට පෙනී යයි. එලෙස දිරාපත් වීම සිදු වූයේ කිනම් අවස්‌ථාවක ද?

එය එක්‌ මොහොතක, ක්‍ෂණයක, එසේත් නැත හොත් ක්‍ෂණ කිහිපයක දී සිදු විණි යෑයි විශ්වාස කළ හැකි නො වේ. වඩා විශ්වසනීය වන්නේ එය දිගින් දිගට ම සිදු වන්නක්‌ ලෙස සැලකීම ය. මතක තබාගත යුත්තක්‌ නම් එය මගේ අනුමානයක්‌ පමණක්‌ බව ය. අවශ්‍ය නම් හිතළුවක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ බව ය. සියළු ප්‍රවාද හිතළු බව අවධාරණය කළ යුතු ය. මා මෙහි දී ඉහත සඳහන් හිතළුව උපකල්පනය කරන්නේ මට එයට වඩා විශ්වසනීය හිතළුවක්‌ හිතට නො එන බැවිනි. එයට වඩා විශ්වසනීය හිතළුවක්‌ වෙනත් කා හට වුව පැවසිය හැකි නම් මා එය සලකා බැලීමට සූදානම් ය.

මෙහි දී මතක තබාගත යුතු කරුණක්‌ නම් මා ප්‍රවාදයක්‌ හෙවත් හිතළුවක්‌ ගැන කල්පනා කරන්නේ මනස සම්බන්ධයෙන් නො වේ. බුදුදහමේ භාරකරුවන් තමන් යෑයි සිතන ඇතැම් පඬියෝ මනස පිළිබඳ ප්‍රවාද නිර්මාණය කිරීම අප විසින් නො කෙරිය යුතු කටයුත්තක්‌ යෑයි කියති. ඔවුන්ට අනුව එසේ කිරීම නො මනා කටයුත්තක්‌ වන වන අතර එය ඔවුන් විසින් මාර්ගඵලලාභීන් ලෙස සැලකෙන අය පමණක්‌ කළ යුත්තක්‌ වෙයි. අපි මේ පඬියන්ට මොහොතකට, මොහොත යනු කුමක්‌ වුවත් ඉඩ දෙමු. එනම් මෙහි දී මනස පිළිබඳ ප්‍රවාද නිර්මාණය කිරීමෙන් වැළකීමේ සික්‌ඛාපදය සමාදම් වෙමු.

එහෙත් අප ඉහත සඳහන් ප්‍රවාදයක්‌ හෙවත් හිතළුවක්‌ ගොඩනැ`ගුවේ මනස පිළිබඳව නො වේ. අපේ ප්‍රවාදය පුටුවක්‌ ගැන ය. අප සික්‌ඛාපදය බිඳ නැත. කිසිවකු පුටුව පිළිබඳ ප්‍රවාද ගොඩ නො නැ`ගිය යුතු යෑයි කීමට ද ඉඩ ඇත. එහෙත් එසේ කළ හොත් ප්‍රවාද ගොඩනැ`ගීමේ පූර්ණ අයිතිය බටහිරයන්ට අයත් වනු ඇත. සමහර විට බුදුදහමේ ආරක්‌ෂකයන් ලෙස පෙනී සිටින ඇතැමුන්ට අවශ්‍ය වන්නේ එය විය හැකි ය.

ඒ කෙසේ වෙතත් අපි දැනට පුටුව නිරන්තරයෙන් අපට සාපේක්‍ෂව වෙනස්‌ වන්නේ යෑයි සිතමු. එහෙත් අප බොහෝ විට පෙන්වා දී ඇති පරිදි පුටුව වෙනස්‌ වන්නේ යෑයි කිව හොත් එවිට වෙනස්‌ වන්නේ පුටුව නමින් ඇති වස්‌තුවක්‌ යෑයි ගනිමු. එය ද ආත්මවාදයකි. අපි සියලු ආත්මවාද ප්‍රතික්‍ෂෙප කරමු. එබැවින් පුටුව වෙනස්‌ වන්නේ යෑයි නො ගෙන දිගින් දිගට ම පුටුව ඇති වී නැති වී යන්නේ යෑයි උපකල්පනය කරමු. දිගින් දිගට ම වෙනස්‌ වීමක්‌ සිදු වේ. එහෙත් එය පුටුව වෙනස්‌ වීමක්‌ නො ව පුටු ඇති වී නැති වීමකි. එය ද වන්නේ නිරපේක්‍ෂව නො ව නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය.

එහි දී අපි උපකල්පනයක්‌ කරමු. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව පුටු ඇති වී නැති වන්නේ යෑයි කී විට එයින් අදහස්‌ වන්නේ නිරීක්‍ෂකයා පැය විසි හතර පුරා ම දිගින් දිගට පුටු (පුටුව) නිරීක්‍ෂණය කරන්නේ ය යන්න නො වේ. එයින් අදහස්‌ වන්නේ නිරීක්‍ෂකයා පුටුව (පුටු) අසල සිටින්නේ යෑයි සැලකුව හොත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව පුටුව (පුටු) වෙනස්‌ වන බව ය. මෙයින් අදහස්‌ වන්නේ නිරීක්‍ෂකයා නැතත් පුටුව (පුටු) වෙනස්‌ වන බවක්‌, එනම් වෙනස්‌ වීම වාස්‌තවික බවක්‌ නො වේ. පුටුව යන සංකල්පය ම ඇත්තේ නිරීක්‍ෂකයාට ය. නිරීක්‍ෂකයා නැත්නම් පුටුව යන සංකල්පය වත් නැත.

ඒ අනුව ගත හොත් පැළයක වැඩීම (වෙනස්‌ වීම) වුව ද අපට සැලකීමට සිදු වන්නේ නිරන්තරයෙන් සිදු වන ක්‍රියාවලියක්‌ ලෙස ය. ඇතැම් විට කිසිවකු සිතනු ඇත්තේ පැළයක්‌ යම් ක්‍ෂණයක දී ඉතා සුළු ප්‍රමාණයකින් වැඩී ඉන්පසු සුළු කාලයකට නො වැඩී නැවත ක්‍ෂණයක දී සුළු ප්‍රමාණයකින් වැඩෙන බව ය. එහෙත් නැවතත් පැළය නො වැඩෙන කාලවල දී පැළය නො වෙනස්‌ ව පවතින බව එහි දී උපකල්පනය කිරීමට සිදු වෙයි. එවිට පැළය නිරීක්‍ෂයකුට සපේක්‍ෂව සුළු කාලවල දී නො වැඩෙන, නො වෙනස්‌ වන බව උපකල්පනය කෙරෙයි.

අප සාධාරණ ව අසන ප්‍රශ්නය කුමක්‌ දැයි කා හටත් දැන් පැහැදිලි විය යුතු ය. ඕනෑ ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම් කිසිවක වෙනස්‌ වීම නිරන්තරයෙන් සිදු වන ක්‍රියාවලියක්‌ ද, එසේත් නැත්නම් කඩින් කඩ සිදු වන ක්‍රියාවලියක්‌ ද? වෙනත් වචනවලින් කිව හොත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කිසිවක්‌ වෙනස්‌ වන්නේ සන්තතිකව ද? එසේත් නැත්නම් අසන්තතිකව ද? එහෙත් කිසිවක්‌ වෙනස්‌ වන්නේ ද යන්න වැරැදි ප්‍රශ්නයකි. එයට හේතුව කිසිවක්‌ වෙනස්‌ වන්නේ යෑයි කී විට යම් වෙනස්‌ නො වන ආත්මයක, හරයක, බාහිර වෙනස්‌ වීමක්‌ ඉන් ගම්‍ය වීම ය.

අප කළ යුත්තේ පැළයක්‌ හෝ පුටුවක්‌ හෝ වෙනත් යමක්‌ හෝ වෙනස්‌ වන්නේ යෑයි කියනු වෙනුවට පැළ පේළියක්‌, වීථියක්‌, පරම්පරාවක්‌, පෙරහැරක්‌ ඇති වෙමින් නැති වෙමින්, හටගනිමින් විනාශ වෙමින් නිරීක්‍ෂකයකුට ගෝචර වන බව පැවසීම ද? මෙහි දී නිරීක්‍ෂකයා යනුවෙන් නො වෙනස්‌ වන අයකු නැති බව ද අමතක කළ යුතු නො වේ. මෙහි දී අප කුමක්‌ උපකල්පනය කළත් එය ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය. ඒ කුමක්‌ වුවත් ඒ හිතළුවක්‌ වෙයි. ඒ ප්‍රවාදයක්‌ වෙයි. අපට කළ හැක්‌කේ ඒ හිතළුව, එනම් ප්‍රවාදය ඇසුරෙන් තව තවත් අනුමාන ලබාගැනීම පමණ ය. ඒ අනුමාන සංගත දැයි විමසීම ය. අපට මේ කරුණු ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගන්නා ක්‍රමවේදයක්‌ වේ ද? ක්‌වොන්ටම් භෞතිකය කඩින් කඩ සිදු වන්නේ යෑයි කියන ප්‍රපංච අරභයා ගොතන ලද ප්‍රවාදයක්‌ ද?

නලින් ද සිල්වා