logo3.gif (702 bytes)

HOME


මනසේ පැවැත්ම

සිත මිස කය නැති බඹුන් ගේ මනස්‌ අපට සාපේක්‍ෂව වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යෑයි අපි කීවෙමු. ඒ බඹුන් ගේ මනස්‌ හෝ මනසක්‌ හෝ අපට සිතෙන් මවාගත නො හැකි ය. අපට බඹුන් ගේ මනස්‌ තබා ඔවුන් ගේ සිත් වුව ද මනසට වත් ගෝචර නො වේ. එබැවින් බඹුන් ගේ සිත් ද අපට සිතෙන් මවාගැනීමට නො හැකි ය. එසේ ගත් කල බඹුන් ගේ සිත් ද අපට වියුක්‌ත සංකල්පයක්‌ පමණකි.

එහෙත් ඒ බඹුන්ට තම මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එමෙන් ම අපට අපේ මනස්‌ ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? අප මනස යනුවෙන් අදහස්‌ කරන්නේ සිත් පරම්පරාවකි. එය ඉන්ද්‍රියයක්‌ ලෙස ද සැලකෙයි. මට මගේ සිත් පිළිබඳ හැඟීමක්‌ වෙයි. මට දිගින් දිගට ම සිත් පහළ වන බව මගේ සිත දනියි. එහෙත් මට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. පරචිත්ත විජානන ඥානය ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට හැකි වුව ද ඒ ඥානය නො ලැබූවකුට අනෙකකු ගේ සිත් දැනගැනීමට නො හැකි ය. ඉන් කියෑවෙන්නේ අනෙකකු ගේ සිත් යන්න පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට වියුක්‌ත සංකල්පයක්‌ බව ය.

පරචිත්ත විජානනය ලැබූවකුට අනෙකකු ගේ සිත් ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? එවැනි අයකුට තම සිතෙන්, එනම් සිත් පරම්පරාවකින් අනෙක්‌ අයකු ගේ සිත් දැනගත හැකි ය. එනම් පරචිත්ත විජානන ඥානය ලැබූ අයකු ගේ සිතට අනෙක්‌ අය ගේ සිත් ගෝචර වෙයි. එයින් කියෑවෙන්නේ පරචිත්ත විජානන ඥානය ලැබූ අයකුට අනෙක්‌ අය ගේ සිත් චෛතසික සංකල්පයක්‌ වන බව ය.

පරචිත්ත විජානන ඥානය නො ලැබූවකුට අනෙක්‌ අයකු ගේ සිත් වියුක්‌ත සංකල්පයක්‌ වුවත් තම සිත චෛතසික සංකල්පයක්‌ වෙයි. ඒ තමා ගේ සිතට තම සිත ගෝචර වන බැවිනි. කිසිවකුට තම සිත සංයුක්‌ත සංකල්පයක්‌ නො වන්නේ ඔහුට තම සිත තම සිතට ගෝචර කර ගැනීමේ දී මනස හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ යොදා නො ගන්නා බැවිනි. එලෙස ම දිව්‍ය තිරිසන් අමනුෂ්‍ය භවවල උපත ලැබූවන්ටත් ඒ ඒ අය ගේ සිත් චෛතසික සංකල්ප වනු ඇත.

කය ඇති බ්‍රහ්ම ලෝකවල ද තත්ත්වය එබඳු ම වෙයි. එහි ද බ්‍රහ්මයන්ට තම සිත් චෛතසික සංකල්ප වෙයි. එහෙත් මේ වර්ගීකරණය කය නැති බඹලොවට අදාළ නො වන බව පැහැදිලි විය යුතු ය. එහෙත් කය නැති බඹලොව බඹුන් ගේ සංකල්ප ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? කය නැති බඹලොවෙහි සංකල්ප අතර සංයුක්‌ත සංකල්ප නැති බව පැහැදිලි විය යුතු ය. අපේ වර්ගීකරණය අනුව යම් සත්ත්වයකුට සංයුක්‌ත සංකල්පයක්‌ ඇති වන්නේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් එකක්‌ හෝ වැඩි සංඛ්‍යාවක්‌ හෝ එකතු වීමෙනි.

එහෙත් කය නැති බඹලොව බඹුන්ට වෙනත් ඉන්ද්‍රියයන් නැති බව පැහැදිලි ය. මෙය මගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. කය නැති බඹලොව ගැන දේශනා කර ඇත්තේ බුදුන් වහන්සේ ඇතුළු මගේ විඤ්Cදුන් වහන්සේ ය. මම එවැනි බඹලොවක්‌ ඇති බව පිළිගනිමි. කය නැත්නම් වෙනත් ඉන්ද්‍රිය නැති බව දැනට මගේ පිළිගැනීම ය. මෙහි දී මා නිවැරැදි නො විය හැකි ය. මා කරන්නේ ඉන්ද්‍රිය පිළිබඳ අපේ දැනුම, එනම් අප විසින් නිර්මාණය කෙරී ඇති දැනුම, සිත මිස කය නැති බඹලොව බඹුන් සඳහා යොදා ගැනීම ය.

සූත්‍ර පිටකයෙහි මේ සම්බන්ධ වෙනත් යමක්‌ කියෑවී ඇත්නම් එය පිළිගැනීමට මම සූදානමෙන් සිටිමි. එහෙත් දැනට සිත මිස කය නැති බඹලොව බඹුන්ට මනෙන්ද්‍රිය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ නැතැයි මම උපකල්පනය කරමි. පඬිවරයකු යම් අයකු ලියා ඇති අභිධර්ම ග්‍රන්ථයකින් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කළ හොත් මම එය විමසා බලමි. එසේ විමසා බැලීමෙන් පසුව ඒ ඉදිරිපත් කෙරෙන කරුණු සූත්‍ර පිටකය සමග එකඟ වන්නේ නම් පමණක්‌ එය පිළිගනිමි. එසේ නොමැති ව අදාළ අභිධර්ම ග්‍රන්ථය රචනා කළ තැනැන්තා බුද්ධකාලයෙන් පසුකාලීන අයකු නම් ඒ තැනැත්තා මාර්ගඵල ලාභීද නැද්ද යන්න මත පදනම් වී මම නිගමනවලට නො එළඹෙමි.

ඇතැම් විට මනුෂ්‍යයන්ට හා දෙවියන්ට ද මේ සංකල්ප වර්ගීකරණය වලංගු නො වනවා විය හැකි ය. මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට මෙන් නො ව ඔවුන් ගේ සිරුරුවල පඨවි ධාතුව අඩු යෑයි ගැනීමට සිදු වෙයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන් හා දෙවියන් නො පෙනෙන්නේ ද එබැවින් යෑයි සිතිය හැකි ය. ඇතැම් විට ඇතැම් තිරිසනුන්ට මේ පඨවි අඩු සිරුරු යම් ආකාරයකට ගෝචර වනවා විය හැකි ය. සූත්‍ර පිටකය ඔස්‌සේ ඒ පිළිබඳ කරුණු විමසීමකට අවස්‌ථාව ඇත. දෙවියන් ගේ හෝ අමනුෂ්‍යයන් ගේ හෝ පඨවි අඩු සිරුරුවල ඉන්ද්‍රිය හා අවයව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සූත්‍ර පිටකය ඇසුරෙන් දැනගත යුතු ය. එසේත් නැත්නම් සිත දියුණු කර ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලබාගැනීමට උත්සාහ කළ යුතු ය.

ඒ කෙසේ වෙතත් අපි විශේෂයෙන් ම මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්‌ත, චෛතසික හා වියුක්‌ත සංකල්ප යන වර්ගීකරණය ආශ්‍රිත ව සංකල්ප පිළිබඳ දැනුම නිර්මාණය කරමු. එහෙත් එයින් කියෑවෙන්නේ අපේ ප්‍රවාද ඒ වර්ගීකරණය මත හා මත ම පමණක්‌ පදනම් වන බව නො වේ. මිනිසුන්ට සාපේක්‍ෂව තම තමන් ගේ මනස චෛතසික සංකල්පයක්‌ ලෙස ද අනෙක්‌ අය ගේ මනස වියුක්‌ත සංකල්පයක්‌ ලෙස ද ඇතැයි අපි සලකමු.

අනෙක්‌ අය ගේ මනස්‌ ද තමන් ගේ මනස මෙන් ම චෛතසික සංකල්පයක්‌ නො වන්නේ දැයි කිසිවකුට ඇසිය හැකි ය. එහෙත් එහි දී අපට සංකල්පයකින් ඔබ්බට යැමට සිදු වෙයි. අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව අප දකින්නේ කෙසේ ද? එක්‌කෝ ඒ බව අපේ විඤ්Cදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබී අපි ඒ බව පිළිගනිමු. එය, එනම් අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව, සාමාන්‍ය මිනිසුන් ගේ මනසට ගෝචර නො වේ. එය පැණවීමක්‌ වෙයි. එනම් පඤ්ඤත්තියක්‌ වෙයි.

එසේත් නැත්නම් අපට, එනම් සාමාන්‍ය මිනිසුන්ට, අනෙක්‌ මිනිසුන්ට මනස්‌ ඇති බව එක්‌කෝ උපකල්පනය කිරීමට සිදු වෙයි. නැත්නම් උද්ගමනය කිරීමට සිදු වෙයි. එසේත් නැත හොත් තර්කයෙන් අනුමාන කිරීමට සිදු වෙයි. ඔහු මිනිසෙකි. මම ද මිනිසෙක්‌මි. මට මනසක්‌ ඇත. ඔහු ද මිනිසකු බැවින් ඔහු ද මා වැනි විය යුතු ය. එබැවින් ඔහුට ද මනසක්‌ තිබිය යුතු ය. එය තර්කයෙන්, මෙහි දී පැරැණි භාරතීය තර්කයෙන් ලබාගත් ප්‍රතිඵලයක්‌, අනුමානයක්‌ (inference) වෙයි. එවිට අනෙක්‌ මිනිසුන්ට ද මනස්‌ ඇති බව අනුමානයක්‌ මිස සංකල්පයක්‌ නො වේ. ඉහත සඳහන් අනුමානය ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙන් (syllogism) වෙනස්‌ වන බව අවධාරණය කළ යුතු ය.

ඇරිස්‌ටෝටලීය සංවාක්‍යයෙහි නිගමනවලට එළඹෙන්නේ එසේ නො වේ. එහි තර්කය මෙසේ ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත. අසවලා මිනිසෙකි. එබැවින් අසවලාට මනසක්‌ ඇත. මේ නිගමනයක්‌ ලෙස හැඳින්වුව ද ඒ එසේ නො වේ. මුළු තර්කය ම පදනම් වන්නේ සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න මත ය. සියලු මිනිසුන්ට මනස්‌ ඇත යන්න උද්ගමනයෙන් ලබාගන්නකි. එය සියලු කපුටෝ කළුපාට වෙති යන්න වැනි උද්ගමනයකි.

එහෙත් මේ කිසිවකින් මනස යනුවෙන් කිසිවක්‌ මනසින් ස්‌වායක්‌ත ව පවතින බවක්‌ නො කියෑවෙයි. පුටුවක්‌ මේසයක්‌ මගේ මනසික්‌ ස්‌වායත්ත ව නො පවතියි. මගෙන් ස්‌වායත්තව බල්ලකු බළලකු නැත. බල්ලා ද පුටුව ද යනු හුදු සංජානන නො වේ. ඒ සංකල්ප සමග බැඳී ඇත. සංකල්ප ඇත්තේ මනසෙහි ය. සංකල්ප නොමැති ව අපට නිරීක්‍ෂකයන් ලෙස කිසිවක්‌ නැත. අපට ඇත්තේ සංකල්ප හා ඒ මත පදනම් වූ ප්‍රවාද ය, අනුමාන ය. එයට වඩා යමක්‌ නැත. ඒ ලෝකය සංකල්පීය ලෝකයකි. එය මගේ ලෝකය වෙයි. සංකල්පීය ලෝකයක්‌ ලෙස එය ශුන්‍ය වෙයි.

පුටුවක්‌, මේසයක්‌, බල්ලකු, බළලකු මනසෙන් තොර ව මනසෙන් ස්‌වායත්ත ව නො පවතී නම් මනස මනසෙන් තොර ව පවතින්නේ කෙසේ ද? මනස බාහිර ව තිබී එය පුටුව හා මේසය යන සංකල්ප තනන මනසට ගෝචර වන්නේ ද? එවිට මනස්‌ දෙකක්‌ ගැන මනස්‌ගාතයක්‌ කීමට සිදු වනවා පමණක්‌ නො ව සංකල්ප තනන මනස හා වෙනත් මනසක්‌ ගැන කීමට ද සිදු වෙයි. අනෙක්‌ සංකල්ප මෙන් ම මනස ද මනසට සාපේක්‍ෂ වෙයි.

දැන් ප්‍රශ්නය වනුයේ මනස මනසට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද යන්න ය. එය තේරුම් ගැනීමට හුදු සංකල්පයකින් නො හැකි ය. ඒ සඳහා ප්‍රවාදයක්‌ නිර්මාණය කළ යුතු ය. සිංහල බෞද්ධ මනස යනුවෙන් කලකට පෙර "දිවයින" පුවත්පතෙහි පළ වූ ලිපියෙන් කෙරුණේ ඒ ප්‍රවාදය නිර්මාණය කිරීම ය. එය නැවත විස්‌තර කිරීම මගේ අරමුණ නො වෙයි. මෙහි දී මට කීමට ඇත්තේ මනස යන්න නිර්මාණය කෙරෙන ක්‍රියාවලිය ම මනස බව ය.

කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණක්‌ බව අපි බොහෝ අවස්‌ථාවල කියා ඇත්තෙමු. එයින් කියෑවෙන්නේ එය මනසට වත් ගෝචර නො වන වියුක්‌ත සංකල්පයක්‌ බව ය. කාලය යන්න සිතෙන් මවාගත හැකි පෘථග්ජන මිනිසකු නැත. කාලය යන්න මනසට ගෝචර නො වේ. එහෙත් මනස මනසට ගෝචර වෙයි. එපමණක්‌ නො ව මනස තනනු ලබන්නේ ද, නිර්මාණය කරනු ලබන්නේ ද මනස විසින් ම ය.

මනසට ගෝචර නො වන කාලයෙහි ක්‍ෂණයක්‌ යනු කුමක්‌ ද? ක්‍ෂණයක්‌ යන්න අර්ථදක්‌වන්නේ කෙසේ ද? කාලය මෙන් ම එහි අත්‍යණුක කොටසක්‌, ඉතා කුඩා කොටසක්‌ ලෙස සැලකෙන ක්‍ෂණය ද සිතෙන් මවාගත හැකි නො වේ. ඇතැම්හු සිතක්‌ පවතින කාලය අනුව ක්‍ෂණය තේරුම් ගැනීමට උත්සාහ ගනිති. එහෙත් සිතක්‌ පවතින කාලය කුමක්‌ ද? සිත් පරම්පරාවක්‌ යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ කුමක්‌ ද? එක්‌ සිතක්‌ ඊළඟ සිතෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව අනුමාන කිරීම වැරැදි යෑයි කිසිවකු කීමට ඉඩ ඇත. එසේ වුවත් මනස පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දී මේ සියල්ල වැදගත් වෙයි.

මනස ක්‍ෂණයකට වත් නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතින්නේ නම් මනස ඒ ක්‍ෂණයෙන් පසු නැති වී වෙනත් මනසක්‌ ඇති විය යුතු ය. කෙසේ වෙතත් එහි දී ක්‍ෂණයක්‌ වත් තිබූ මනසක්‌ නැති වෙයි. මෙය උච්ඡේදවාදය වෙයි. ඇති ව තිබූ යමක්‌ නැති වීම උච්ඡෙදවාදය මින අනෙකක්‌ නො වෙයි. අනෙක්‌ අතට දිගින් දිගට ම මනස පවතින්නේ නම් එනම් මනස යනුවෙන් යමක්‌ නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව දිගින් දිගට ම පවතින්නේ නම් එයින් කියෑවෙන්නේ ශාස්‌වතවාදයයි. මනස ක්‍ෂණයකට පවතින්නේ යෑයි ගත්ත ද, දිගින් දිගට ම පවතින්නේ යෑයි ගත්ත ද අපි එක්‌කෝ උච්ඡෙදවාදයට එසේත් නැත්නම් ශාස්‌වතවාදයට හසු වන්නෙමු. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ඒ වාද දෙක ම බැහැර කිරීමට ය.

නලින් ද සිල්වා