logo3.gif (702 bytes)

HOME


සිත මිස කය නැති බඹලොව මනස

මනස මනසට ගෝචර වන්නේ ද යන්න ප්‍රශ්නයකි. අපට පහළ වන්නේ චිත්ත ය. අපි මනසට හා තවත් ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ ගෝචර වන සංකල්ප සංයුක්‌ත සංකල්ප ලෙස හඳුනාගත්තෙමු. වෙනත් ඉන්ද්‍රියයක්‌ නොමැති ව මනසට පමණක්‌ ගෝචර වන, එනම් මනසින් මවාගත හැකි සංකල්ප වියුක්‌ත සංකල්ප ලෙස වර්ගීකරණයට ලක්‌ කළෙමු. මනසට ගෝචර නො වන එනම් මනසින් මවාගත නොහැකි සංකල්පවලට වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති යෑයි කීවෙමු.

අප එසේ තීරණය කරන්නේ අප මාර්ගඵල ලබා ඇති බැවින් දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. අප ප්‍රශ්න අසන්නේ ද පිළිතුරු දෙන්නේ ද මූලික වශයෙන් ගත් කල ලෞකිකත්වය හා සම්බන්ධ වූ දේ ගැන ය. මනස යනු ලෞකික සංකල්පයක්‌ මිස අනෙකක්‌ නො වේ. මනස ලෝකෝත්තරය හා සමග බැඳෙන්නේ නිවන් අවබෝධ වීමේ දී මනසක්‌ ඇත්නම් එයට කුමක්‌ වන්නේ ද යන්න සාකච්ඡා කිරීමේ දී ය. එසේ ලෞකික වත් සාකච්ඡා කිරීම නො කළ යුතු දෙයක්‌ යෑයි ඇතැම් පඬිවරු පවසති. ඔවුන් ගේ මතය වී ඇත්තේ මනස වැනි දේ සම්බන්ධයෙන් සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම, තැනීම නුසුදුසු බව ය.

එහෙත් ඔවුන් ඒ නුසුදුසු යෑයි කියන්නේ අපට ය. එයට හේතුව අප මාර්ගඵලලාභීන් නො වීම ය. එසේ වුවත් බුදුදහමට අටුවා සපයා ඇත්තේ මාර්ගඵලලාභීන් පමණක්‌ යෑයි අපි නො සිතමු. අනෙක්‌ අතට අප බොහෝ විට කියා ඇති පරිදි ලෞකික සංකල්ප සම්බන්ධයෙන් මාර්ගඵලලාභීන්ට ද වැරැදි සිදු විය හැකි ය. අද දවසේ අපේ කාර්යභාරය විය යුත්තේ මෑතක දී ලියෑවුණු අභිධර්ම පොතපතින් එහාට නො ගොස්‌ මෙතෙක්‌ ලියෑවී ඇති පොතපතෙහි සඳහන් කරුණු පුනරුච්චාරණය කිරීම පමණක්‌ ද?

එහෙත් ඒ පොතපත වුව ද අප එකිනෙකා කියවන්නේ ඒ ඒ අයට සාපේක්‍ෂව එක්‌ එක්‌ අයුරෙන් ය. එවිට අප එකිනෙකා ගේ ඒ සම්බන්ධ අදහස්‌ ද වෙනස්‌ වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එමෙන් ම මේ අය නො දන්නා කරුණක්‌ නම් පොතක්‌ කියවීම යනු ද නිර්මාණයක්‌ බව ය. ලෝකයේ හුදු කියවීම් නැත. සැම කියවීමක්‌ ම නිර්මාණයක්‌ වෙයි. එකිනෙකා ගේ කියවීම් වෙනස්‌ වන්නේ ද මේ නිර්මාණකරණය හේතු කොටගෙන ය.

අප මනස ඇතුළු සංකල්ප සඳහා සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ප්‍රවාද නිර්මාණය නො කළ යුතු යෑයි පවසන්නෝ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මනස ආදිය පිළිබඳ ව සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කිරීම ප්‍රතික්‍ෂෙප නො කරති. ඔවුහු ඇතැම් විට ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා සිටිනු පමණක්‌ නො ව ඒ මත පුනරුච්චාරණය ද කරති. මෙයටත් වඩා කුහකකමක්‌ වේ ද? අග්ගඤ්ඤ සූත්‍රය මත පිහිටා නව දැනුම් නිර්මාණය නො කර ඩාවින් ගේ පරිණාමවාදය ගැන සාඩම්බරයෙන් හෝ වෙනත් ආකාරයකට හෝ කතා කිරීමට ද වඩා මනස පිළිබඳ බටහිර ප්‍රවාද හා සංකල්ප දෙස බැලීම භයානක ය.

මනස එය හැරෙන්නට වෙනත් ඉන්ද්‍රියයක්‌ ඇසුරෙන් ගෝචර වන්නක්‌ නො වේ. එබැවින් මනස යන්න සංයුක්‌ත සංකල්පයක්‌ නො වෙයි. පසුගිය ලිපියෙහි මනස සංයුක්‌ත සංකල්පයක්‌ යෑයි ප්‍රකාශ කර තිබුණේ

වැරැදීමකිනි. මනස යන්න කිසිසේත් ම ඇස කණ ආදී වෙනත් ඉන්ද්‍රියයක්‌ ඇසුරු කොට ගෝචර වන්නක්‌ නො වේ. එබැවින් එය සංයුක්‌ත සංකල්පයක්‌ විය නො හැකි ය. අපට තීරණය කිරීමට ඇත්තේ මනස යන්න චෛතසික සංකල්පයක්‌ ද නැත්නම් පඤ්ඤත්තියක්‌ ද යන්න ය.

මනස යනු සරල රේඛාවක්‌ හෝ කාලය වැනි සංකල්පයක්‌ ද? සරල රේඛාවක්‌ හෝ කාලය හෝ මනසෙන් මවාගත හැකි නො වේ. පළලක්‌ හෝ ඝනකමක්‌ හෝ නොමැති රේඛාවක්‌ සිතෙන් මවා ගන්නේ කෙසේ ද? කාලය ද එසේ මනසෙන් මවාගත නොහැකි සංකල්පයකි. ඒ සංකල්ප දෙක ම පඤ්ඤත්ති වෙයි. එහෙත් පරසතු මලක්‌ යන්න මනසෙන් මවාගත හැකි මනසට ගෝචර වන සංකල්පයකි.

මනස යන්න මනසෙන් මවාගත හැකි ද? මනස අපෙන් තොර ව පවතින්නක්‌ ද යන ප්‍රශ්නය හමුවේ බොහෝ දෙනා කම්පනය වෙති. එහෙත් බොහෝ පඬිවරුන් මාර්ගඵලලාභීන් යෑයි කියන්නන් ගේ කෘති උපුටා දක්‌වමින් කියන්නේ මනස අපෙන් තොර ව පවතින බව ය. අපෙන් තොර ව යන්නෙන් අදහස්‌ කරන්නේ මනස මනසෙන් ස්‌වායත්ත බව ය. මනසට මනස නැති ව පැවතිය හැකි ද? එසේ නම් මනස පවතින්නේ කොහේ ද? කෙසේ ද?

එසේත් නැත්නම් ඒ ප්‍රශ්නය වැරැදි ද? මනස පවතින්නේ ද යන ප්‍රශ්නය ම වැරැදි ද? එහෙත් සාපේක්‍ෂව වත් පවතින මනසක්‌ ගැන අපි දනිමු. එබැවින් මනසේ පැවැත්ම ගැන කතා කිරීම වරදක්‌ නො වේ. ප්‍රශ්නය වන්නේ මනසේ පැවැත්ම නො ව මනස පවතින්නේ සාපේක්‍ෂව ද නිරපේක්‍ෂව ද යන්න ය. මනස නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක්‌ ද? මලක්‌ නිරපේක්‍ෂව පවතින්නේ ය යන්නෙහි තේරුම එය නිරීක්‍ෂකයා ඇතත් නැතත් පවතින්නේ ය යන්න ය. එහෙත් ඒ එසේ නො වේ. නිරීක්‍ෂකයා ගේ මනස නොමැති ව මලක්‌ යන සංකල්පය හට නො ගනියි. එබැවින් නිරීක්‍ෂකයකු නොමැති ව මලක්‌ නො පවතියි. යමකු එසේ පවතින්නේ යෑයි කිව හොත් එය උද්ගමනයක්‌ මිස අනෙකක්‌ නො වේ.

සියලු උද්ගමන මනසෙන් කෙරෙයි. මෙහි සියලු යනුවෙන් කී විට එය ද උද්ගමනයක්‌ වෙයි. අපට සියලු උද්ගමන අද දැන ගැනීමට ක්‍රමයක්‌ නැත. එමෙන් ම අප දන්නා උද්ගමන මනසෙන් කෙරෙයි. උද්ගමනය යන සංකල්පය කිනම් වර්ගයක සංකල්පයක්‌ දැයි මේ අතර ප්‍රශ්න කළ හැකි ය. ඒ කෙසේ වෙතත් මලක්‌ නිරීක්‍ෂකයකු ගෙන් තොර ව පවතින්නේ ය යන්න කිසියම් නිරීක්‍ෂකයකු ගේ ප්‍රත්‍යක්‍ෂය යෑයි කිව හැකි ද? මලක්‌ පවතින්නේ ය යන්න ම නිරීක්‍ෂකයකු ගේ නිරීක්‍ෂණයකි. එය නිරීක්‍ෂකයකු ගෙන් ස්‌වායත්ත නො වේ. මනස නොමැති නිරීක්‍ෂකයකුට, එවැන්නක්‌ ඇත්නම්, මලක්‌ පැවතිය හැකි ද?

සංජානනයක්‌ සංකල්පයකින් තොර ව ඇති විය හැකි නො වේ. එහෙත් සංජානනයකින් තොර ව සංකල්ප ඇති විය හැකි ය. චෛතසික සංකල්ප හා වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති එසේ සංජානනයකින් තොර ව ඇති වන සංකල්ප වෙයි. ඒ සංකල්ප ඇති වන්නේ මනසෙහි ය. මනස නොමැති ව ඇති විය හැකි සංකල්ප කුමක්‌ ද? සංකල්ප නොමැති ව අප දක්‌නා ලෝකයක්‌ වේ ද? ලෝකය ම මේ බඹයක්‌ පමණ වූ සිරුර තුළ පැණවේ යෑයි බුදුන් වහන්සේ මිනිසුන්ට දේශනා කර ඇත්තේ එබැවිනි. බුදුන් වහන්සේ එවැන්නක්‌ අමනුෂ්‍යයකුට හෝ දෙවියකුට හෝ බ්‍රහ්මයකුට හෝ දේශනා කර ඇති බවක්‌ දැනගන්නට නැත. අමනුෂ්‍යයන් ආදීන් ලෝකය නිර්මාණය කිරීමේ දී මනස සමග යොදා ගන්නා වෙනත් ඉන්ද්‍රිය වේ ද?

සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක ගැන අපි අසා ඇත්තෙමු. අපි බෞද්ධයන් ලෙස එවැනි ලෝකවල පැවැත්ම පිළිගනිමු. සිත යනුවෙන් මෙහි දී කියෑවෙන්නේ සිත් පරම්පරාවකට හෙවත් මනසට ය. මනස යනුවෙන් අප විසින් හැඳුන්වන්නේ තනි සිතක්‌ හෙවත් චිත්තයක්‌ නො වේ. අපට මනස යනු සිත් පරම්පරාවකි. අප ඇතැම් විට මනස සාපේක්‍ෂව යන්නත් ඇතැම් විට සිතට සාපේක්‍ෂව යන්නත් යොදා ගෙන ඇත. මනස යනු සිත් පරම්පරාවක්‌ වුවත් අපට යමක්‌ ගෝචර වන්නේ ඒ සිත් පරම්පරාවෙහි අප සිතන අයුරෙන් එක්‌ සිතකට ය.

එහෙත් එක්‌ සිතක්‌ යන සංකල්පයෙන් ම ප්‍රශ්න රැසක්‌ ඇති කෙරෙයි. ඒ සිත පවතින්නේ කිනම් කාලයකට ද එක්‌ සිතක්‌ අනෙක්‌ සිත්වලින් වෙන් කර ගන්නේ කෙසේ ද ආදී වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට අපට සිදු වෙයි. සිත මිස කය නැති බඹලොව යන්නෙන් අදහස්‌ කරන්නේ එක්‌ සිතක්‌ පමණක්‌ ඇති බ්‍රහ්ම ලෝකයක්‌ නො වේ. එහි දී සිත යනුවෙන් කියෑවෙන්නේ සිත් පරම්පරාවක්‌ හෙවත් මනස ය.

එහෙත් අවශ්‍ය නම් මෙහි දී කිසිවකුට එවැනි බ්‍රහ්ම ලෝකයක උපදින සත්ත්වයා සමාධිගත ව එකම සිතක පසු වන්නේ ය යෑයි තර්ක කළ හැකි ය. එහෙත් එහි දී එක ම සිත යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌ ද? සිත නොවෙනස්‌ ව එකක්‌ ම ලෙස පැවතීම ද එසේත් නැත්නම් එක ම අරමුණක වූ සිත් පහළ වීම ද? මේ ප්‍රශ්න එතරම් සරල ප්‍රශ්න නො වේ. අරමුණක්‌ නැතිව සිතක්‌ නැත. මේ අරමුණු මනුෂ්‍ය ලෝකයෙහි හෝ දිව්‍ය ලෝකයෙහි හෝ වූ ආකාරයෙන් ඊනියා බාහිරව පවතින පිච්ච මලක්‌ හෝ පරසතු මලක්‌ හෝ නො වේ. අරමුණ ඇත්තේ ද සිතෙහි ම ය.

එවිට ප්‍රශ්නය වනුනේ එක්‌ අරමුණක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න ය. නොවෙනස්‌ වන අරමුණක්‌ තිබිය හැකි ද? එය නිත්‍ය අරමුණක්‌ වන්නේ ද? එවිට අනිත්‍ය යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌ ද? අප මේ ප්‍රශ්න ගැඹුරෙන් සලකා බැලිය යුතු ය. එහෙත් මේ ඒ සඳහා අවස්‌ථාව නො වේ. කෙසේ වෙතත් සිත මිස කය නැති බඹ ලොව යන්නෙන් අදහස්‌ කරන්නේ ඒක වචනයෙන් කියෑවෙන සිතක්‌ නො ව බහුවචනයෙන් කියෑවෙන සිතක්‌ එසේත් නැත්නම් සිත් පරම්පරාවක්‌ හෙවත් මනසක්‌ ය යන්න මගේ විශ්වාසය වෙයි.

කය නැති බ්‍රහ්ම ලෝකයෙහි මනස සිරුරක්‌ තුළ නොමැත. එහෙත් එලොව ද මනසක්‌ වෙයි. සිරුරක්‌ නැත. දැන් මෙසේ කියන්නේ කවු ද? එය බුදුන් වහන්සේ ගේ දේශනාව ය. ඇතැම් රහතන් වහන්සේලා පමණක්‌ නො ව ධ්‍යානලාභීන් ද ඒ බව ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගෙන ඇත. එය අනුමානයක්‌ හෝ වියුක්‌ත බටහිර විද්‍යා ප්‍රවාදයක්‌ නැත්නම් විද්‍යා කතාන්දරයක්‌ හෝ නො වේ. අප විශ්වාස කරන්නේ අපේ විඤ්Cදුන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ප්‍රකාශ කර ඇති වදන් ය. ඒ පිළිබඳ අපට ගැටලුවක්‌ නැත. ගැටලුවක්‌ ඇති අයකුට භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් හෝ වෙනත් ක්‍රමයකට හෝ ධ්‍යාන ලබා ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත හැකි යෑයි සිතමි. ප්‍රශ්නය වනුයේ මේ මනස, එනම් කය නැති බඹ ලොවෙහි බඹුන් ගේ මනස්‌ කිනම් සංකල්ප වර්ගයට අයත් ද යන්න ය.

ඇපල් මලක්‌ යන්න ඒ දැක ඇති මිනිසුන්ට සාපේක්‍ෂව සංයුක්‌ත සංකල්පයක්‌ වෙයි. එහෙත් ඇපල් මල් දැක නැති අයට සාපේක්‍ෂව ඇපල් මලක්‌ යන්න චෛතසික සංකල්පයක්‌ වෙයි. මෙයින් කියෑවෙන්නේ එක්‌ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව එක්‌ වර්ගයකට අයත් සංකල්පයක්‌ තවත් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වෙනත් වර්ගයකට අයත් වන්නේ ය යන්න නො වේ. ඇපල් මල් දැක ඇති අය ගේ ඇපල් මලක්‌ පිළිබඳ සංකල්පය ඇපල් මල් දැක නැති අය ගේ ඇපල් මලක්‌ පිළිබඳ සංකල්පයෙන් වෙනස්‌ වෙයි.

සිත මිස කය නැති බඹ ලොව වසන්නකු ගේ මනස අප සාකච්ඡා කරන අයුරෙන් පවතින්නේ අපට සාපේක්‍ෂව ය. ඒ මනස්‌ පිළිබඳ අපට ඇත්තේ සංයුක්‌ත සංකල්පයක්‌ විය නො හැකි ය. ඒ මනස්‌ අපේ මනස හැරෙන්නට අනෙක්‌ ඉන්ද්‍රියයන්ට කෙසේ වත් ගෝචර නො වෙයි. ඒ මනස්‌ පිළිබඳ චිත්ත රූපයක්‌ අපට ඇති කරගත නො හැකි ය. අපට එලොව ඇත්තන් ගේ මනස්‌ අපේ සිතකින් මවාගත නො හැකි ය. එබැවින් එලොව ඇත්තන් ගේ මනස්‌ අපට චෛතසික සංකල්ප වත් නො වේ. ඒ මනස්‌ ද අපට වියුක්‌ත සංකල්ප හෙවත් පඤ්ඤත්ති පමණක්‌ වෙයි.

නලින් ද සිල්වා