logo3.gif (702 bytes)

HOME


මනසේ රඟ

චෛතසික සංකල්ප ගැන සඳහන් කරද්දී ඒවා අපේ නො වූව ද යම් ප්‍රාණීන් ගේ සංයුක්‌ත සංකල්ප යෑයි කීවෙමු. එය මුළුමනින් ම නිවැරැදි යෑයි කිව නො හැකි ය. පරසතු මල්, ඇපල් මල් ආදිය සම්බන්ධයෙන් එය එසේ වන නමුත් කකුල් පහේ සතුන් ආදීන් සම්බන්ධයෙන් එය එසේ නො වනවා විය හැකි ය. ලොවෙහි, එනම් අද කියන ආකාරයට විශ්වයෙහි, කිසි ම ප්‍රාණියකුට කකුල් පහේ සතකු ඉන්ද්‍රිය ගෝචර වී නොමැතිවා වන්නට හැකි ය. වෙනත් වචනවලින් කිව හොත් විශ්වයෙහි කිසි ම ප්‍රාණියකු කකුල් පහේ සතකු දැක හෝ අත ගා බලා හෝ නැතිවා වන්නට හැකි ය. එලෙස කකුල් පහේ සතකු විශ්වයේ නොමැති වීම එයට හේතුව වන්නට හැකි ය. එහෙත් අපට කකුල් පහේ සතකු සිතෙන් මවාගැනීමට එය බාධාවක්‌ නො වේ.

මෙයින් කියෑවෙන්නේ විශ්වයෙහි කිසි ම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නො වූ සංකල්පයක්‌ වුව ද ඇතැම් විට අපට සිතෙන් මවාගත හැකි බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් විශ්වයෙහි කිසි ම ප්‍රාණියකුට ඉන්ද්‍රිය ගෝචර නො වූ සංකල්ප වුව ද අපට චෛතසිත සංකල්ප විය හැකි බව ය. එහෙත් ඒ චෛතසික සංකල්ප අප සංයුක්‌තව දන්නා සංකල්ප, එනම් සංයුක්‌ත සංකල්ප ඇසුරෙන් ගොඩනඟා ගන්නා සංකල්ප වෙයි. කකුල් පහේ නයකු වුව ද අපට සිතෙන් මවාගත හැකි ය. අපි කකුල් ඇති සතුන් ද, නයින් ද දැක ඇත්තෙමු. අප කළ යුත්තේ අපේ ඒ සංයුක්‌ත සංකල්ප යොදාගනිමින් අපේ ඉන්ද්‍රියවලට කිසි දා ගෝචර නො වූ කකුල් පහේ නයා පිළිබඳ චෛතසික සංකල්ප ගොඩන`ගා ගැනීම ය.

මෙයින් පැහැදිලි වන්නේ විශ්වයෙහි නො පවතින වස්‌තුවක්‌, ජීවත් නො වන ප්‍රාණියකු වුව ද අපට සිතෙන් මවාගත හැකි බව ය. එනම් ඒ පිළිබඳ චෛතසික සංකල්පයක්‌ ඇති කරගත හැකි බව ය. මෙහි දී වැරැදි වටහා ගැනීම්වලට ඉඩ නො තබා කරුණක්‌ කිව යුතු ය. විශ්වයෙහි නො පවතින වස්‌තු ගැන හා ජීවත් නො වන ප්‍රාණීන් ගැන කතා කරන්නේ පවතින වස්‌තු හෝ ජීවත් වන ප්‍රාණීන් හෝ වාස්‌තවික ව, නිරපේක්‍ෂව ඇති නිසා නො ව අප සම්මුතියෙන් එවැනි වස්‌තු හා ප්‍රාණීන් ගැන කතා කරන බැවින් ය. වස්‌තුවක්‌ පවතින්නේත් ප්‍රාණියකු ඇත්තේත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව නිරික්‍ෂකයා ගේ මනසෙහි මිස නිරපේක්‍ෂව වාස්‌තවිකව නො වේ. එපමණක්‌ නො ව ඇතැම් බෞද්ධයන් අටුවාවෙහි හෝ අහවල් භික්‍ෂුන් වහන්සේ ගේ පොත්වල ඇතැයි කියමින් කුමක්‌ ප්‍රකාශ කළත් මනස ද නිරපේක්‍ෂව පවතින්නක්‌ නො වේ.

එසේ පවතින්නේ යෑයි දේශනා කරන භික්‍ෂුන් වහන්සේ මාර්ගඵල ලබා ඇතැයි කියනු මා අසා ඇත. එහෙත් රහතන් වහන්සේට වුවත් සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරැදි සිදු විය හැකි ය. බුදුන් වහන්සේ හා සැරියුත් මහ රහතන් වහන්සේ හැරුණු විට අනෙක්‌ රහතන් වහන්සේට සංකල්පීය ලෝකය ගැන මෙනෙහි කරද්දී වැරැදි සිදු විය හැකි බවට හොඳ ම සාක්‍ෂිය මුගලන් මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ විශ්වයේ කෙළවර දකින්නට වෑයම් කළේ සෘද්ධියෙන් අගතැන්පත් වුව ද ලෞකික ප්‍රඥාවෙන් අගතැන්පත් නො වූ බව ප්‍රදර්ශනය කරමිනි.

ඇතැමකු මෙහි දී මා බෞද්ධයකු ද ආදී වශයෙන් ප්‍රශ්න කරනු ඇත. සංකල්පීය ලෝකය පිළිබඳ මගේ දැනුම ගැන ප්‍රශ්න කරනු ඇත. එහෙත් මට තේරුම් යන බුදුදහමට අනුව මනස වුව ද වාස්‌තවික වශයෙන් නො පවතියි. මනස ද මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද පවතින්නේ සාපේක්‍ෂ ව ය. එහෙත් එය සාපේක්‍ෂ වන්නේ මනසට ය. ප්‍රශ්නය ඇත්තේ එතැන ය. මනස පිළිබඳ ව මනසෙහි ඇති වන සංකල්පය කිනම් වර්ගයට අයත් එකක්‌ දැයි ඊළඟට ප්‍රශ්න කළ හැකි ය.

මෙය ඉතා වැදගත් ප්‍රශ්නයකි. අපි සංයුක්‌ත සංකල්ප, චෛතසික සංකල්ප හා වියුක්‌ත සංකල්ප යනුවෙන් සංකල්ප වර්ගීකරණයකට ලක්‌ කළෙමු. ඇතැමුන් ඒ වර්ගීකරණය සමග එකඟ නො වනු ඇත. එය ප්‍රශ්නයක්‌ නො වේ. අප සියලු දෙනා ලෝකය දකින්නේ එක ම ආකාරයට නො වේ. අප ලෝකය එක ම ආකාරයකට දකින බව හෝ දැකිය යුතු බව හෝ කියන්නෝ බටහිර විද්‍යාඥයෝ ය. ඔවුහු ඊනියා වාස්‌තවික ලෝකයක්‌ අප සියලු දෙනා ම එක ම ආකාරයෙන් දැකිය යුතු යෑයි පවසති. එහෙත් ඒ එක ම එක ආකාරය වෙනත් කිසිවක්‌ නො ව ඔවුන් ලෝකය දකින, ඔවුන්ට සාපේක්‍ෂ වූ ආකාරය බව නො කීමට තරම් ඔවුහු පරෙස්‌සම් වෙති.

බුදුදහම වුව ද අප තේරුම් ගන්නේ එකිනෙකාට සාපේක්‍ෂ ව ය. එසේ නො වන්නට හීනයාන, මහායාන යනුවෙන් හෝ ථෙරවාද, සර්වස්‌ථවාද, සෞත්‍රන්තවාද, පුද්ගලවාද, විඥානවාද, මාධ්‍යමිකවාද ආදී වශයෙන් හෝ විවිධ ගුරුකුල තිබිය නො හැකි ය. එපමණක්‌ නො වේ. ථෙරවාදීන් අතර වුව ද විවිධ මතවාද තිබිය හැකි ය. එසේ විවිධ මතවාද තිබූ පමණින් අප හැරෙන්නට අනෙක්‌ අය අබෞද්ධ යෑයි කීම ම සාපේක්‍ෂතාවාදී බුදුදහමට විරුද්ධ ය. එවැනි ප්‍රකාශයක්‌ ලෝකය වාස්‌තවික යෑයි කියන ඊනියා පරම සත්‍යයක්‌ ගැන විශ්වාස කරන යථාර්ථවාදයට නම් එකඟ ය.

කෙසේ වෙතත් මනස යන සංකල්පය කිනම් වර්ගයකට අයත් දැයි කීමේ දී අපට මනස දැනෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය වෙයි. පොල් මලක්‌ අපට දැනෙන්නේ ඉන්ද්‍රිය කිහිපයක මාර්ගයෙනි. අප පොල් මල දකින්නේ ඇසෙන් හා මනසෙනි. අප එය ස්‌පර්ශ කරන්නේ අතින් හා මනසෙනි. ඕනෑ ම වස්‌තුවක්‌ ඉන්ද්‍රිය ගෝචර වන්නේ අපේ යම් ඉන්ද්‍රියකට හෝ ඉන්ද්‍රිය කිහිපයකට හෝ සාපේක්‍ෂව ය. එහෙත් ඒ කිසි ම අවස්‌ථාවක මනස නොමැති ව අපට කිසිවක්‌ ග්‍රහණය කරගත හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි මනස සමග බැඳී ඇත.

බුදුදහමට අනුව මනස ද ඉන්ද්‍රියක්‌ වෙයි. මනස නම් ඉන්ද්‍රිය නොමැති ව අපට කිසිවක්‌ සාමාන්‍යයෙන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර නො වේ. වෙනත් ඉන්ද්‍රියකට මනස නොමැති ව ක්‍රියාත්මක වීමට නොහැකි වුවත් මනසට වෙනත් ඉන්ද්‍රියක්‌ නොමැති ව ක්‍රියාත්මක විය හැකි ය. මනස අනෙක්‌ ඉන්ද්‍රියයන් ගෙන් වෙනස්‌ වන ප්‍රධාන කරුණක්‌ වනුයේ එයයි. එය ද්‍රව්‍ය මූලික නො වේ. ඇස කණ ආදී අනෙක්‌ ඉන්ද්‍රියයන් ද්‍රව්‍යයෙන් සෑදී ඇතත් මනස එසේ ද්‍රව්‍යයෙන් නිර්මාණය වී නැත.

ද්‍රව්‍ය බෙදිය හැකි ය. එකතු කළ හැකි ය. වතුර බිංදුවකට තවත් වතුර බිංදුවක්‌ එකතු කළ හැකි ය. එසේත් නොමැති නම් ද්‍රව දෙකක්‌ මිශ්‍ර කළ හැකි ය. එසේ මිශ්‍ර කිරීමෙන් අපට වෙනත් ද්‍රවයක්‌, මිශ්‍රණයක්‌, ලැබෙයි. බටහිර විද්‍යාවේ එවැනි දෑ භෞතික වෙනස්‌කම්, මිශ්‍රණ ලෙස හඳුන්වනු ලැබෙයි. අනෙක්‌ අතට හයිඩ්‍රජන් හා ඔක්‌සිජන් රසායනික ව ක්‍රියා කිරීමෙන් ජලය ලැබෙයි. එවැනි වෙනස්‌කම් රසායනික සංයෝජනයක්‌ ලෙස හැඳින්වෙයි. එසේ ම පරමාණුවක ඉලෙක්‌ට්‍රෝන සංඛ්‍යාව හා ප්‍රෝටෝන සංඛ්‍යාව (බොහෝ විට න්‍යුට්‍රෝන ද සමගින්) වෙනස්‌ කිරීමෙන් වෙනත් ම මුල ද්‍රව්‍ය ලැබෙයි.

එසේත් නැත හොත් ඉලෙක්‌ට්‍රෝනයක්‌ හෝ ප්‍රෝටෝනයක්‌ හෝ බිඳිය හැකි ය. ක්‌වාක්‌, තන්තු ආදී වශයෙන් බටහිර විද්‍යාඥයෝ මෙලෙස බෙදීමෙන් ලැබෙන නව ද්‍රව්‍ය හඳුන්වති. තන්තුවල චලනය අනුව ඒවා ඉලෙක්‌ට්‍රෝන, ප්‍රෝටෝන ආදී වශයෙන් විවිධ ස්‌වරූප ගන්නේ යෑයි බටහිර විද්‍යාඥයෝ අපට කියා දෙති. ද්‍රව්‍ය බෙදීමට ද එකතු කිරීමට ද හැකි ය යනුවෙන් අපට මේ සියල්ල ප්‍රකාශ කළ හැකි ය.

එහෙත් මනස ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? අභිධර්මයෙහි විවිධ චිත්ත ගැන ඉගැන්වෙයි. එහෙත් ඒ මනස බෙදීමක්‌ නො වෙයි. මනස හෝ විඥානය හෝ පරමාර්ථ වශයෙන් ගත් කල නොමැති වුවත් අප සම්මුති වශයෙන් ගන්නා මනස හෝ විඥානය හෝ බෙදිය නො හැකි ය. අනෙත් අතට මනස්‌ දෙකක්‌ හෝ කිහිපයක්‌ හෝ එකතු කර අලුත් මනසක්‌ නිර්මාණය කළ හැකි නො වේ. මගේ මනසට වෙනත් අයකු ගේ මනසක්‌ එකතු කිරීමෙන් අලුත් මනසක්‌ නිර්මාණය කරගත හැකි නො වේ.

මොළය යනු ද්‍රව්‍යයෙන් නිර්මිත වූ අවයවයකි. මනසේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වයට ඌනනය කිරීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මිනිසුන්ට යම් යම් දේ සිතෙන විට මොළයේ විවිධ ප්‍රදේශ ක්‍රියාත්මක වන බව බටහිර විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙත් එයින් කියෑවෙන්නේ මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාකාරී වීමෙන් මනස ඒ ඒ අයුරෙන් ක්‍රියාත්මක වන බව නො වේ. යමක්‌ යමකට හේතුව බව පෙන්වීමට නිර්ණායක රැසක්‌ අවශ්‍ය බව බටහිර විද්‍යාඥයෝ ම, විශේෂයෙන් ම බටහිර වෛද්‍යවරු ම කියති.

එහෙත් මොළය ක්‍රියාත්මක වීමෙන් මනස නම් ප්‍රපංචය ඇති වන්නේ යෑයි පෙන්වීමට ඒ නිර්ණායකය සම්පූර්ණ වන බව පෙන්වා දීමට බටහිර වෛද්‍යවරුන්ට හැකි ද? හියුම් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයාට අනුව හේතුව යන්නෙන් දෙයක්‌ නැත. ඒ කෙසේ වෙතත් මනස හා මොළය අතර වැඩි ම වුව හොත් ඇත්තේ සහසම්බන්ධයක්‌ පමණකි. ඉන් එහාට ගෙස්‌ මනස මොළයට ඌනනය කිරීමක්‌ කළ නො හැකි ය.

මොළය නමැති අවයවය කොටස්‌වලට කැඩිය හැකි ය. එහෙත් මනස එසේ කොටස්‌වලට කැඩිය නො හැකි ය. මනසේ යම් ෙච්තනාවකට හේතු වන්නේ යෑයි කියන මොළයේ අදාළ කොටස අක්‍රිය වුවත් ඇතැම් අවස්‌ථාවල මනසේ අදාළ ෙච්තනාව ඇති වන බව බටහිර වෛද්‍ය විද්‍යාඥයෝ ම කියති. අනෙක්‌ අතට කොටස්‌වල එකතුවක්‌ වූ මොළය ඒ කොටස්‌ ලෙස සමගාමී ව පවතියි. එහෙත් මනසේ අදාළ චිත්ත එක්‌වර නො පවතියි. චිත්ත පහළ වන්නේ වෙන් වෙන් වශයෙන් එකක්‌ අනෙක පසුපස ය.

මේ සියල්ල මෙසේ තිබිය දී බටහිර වෛද්‍යවරුන් මනස මොළයට ඌනනය කිරීමට කැසකවන්නේ බටහිර විද්‍යාවේ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හේතු කොටගෙන ය. බටහිර විද්‍යාව පංෙච්න්ද්‍රියයන්ට සීමා වූ දැනුම් පද්ධතියකි. බටහිර විද්‍යාවේ දී තේරුම් කෙරෙන්නේ ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර සංසිද්ධි ය. ඉන්ද්‍රිය ගෝචර නො වන සංසිද්ධි (සංකල්ප) නොමැති යෑයි බටහිර විද්‍යාවේ උපකල්පනය කෙරෙයි. එය උපකල්පනයක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ මේ උපකල්පනය හේතුවෙන් මිස එය ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ අනුව පෙන්වා දී ඇති නිසා නො වේ. මනස අපේ ඇසට නො පෙනෙයි. එය අපේ කනට නො ඇසෙයි. කෙටියෙන් කිව හොත් මනස පංචෙන්ද්‍රියයන් ගෙන් කිසිවකට ගෝචර නො වෙයි. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන මනස බටහිර විද්‍යාවට නැත.

එහෙත් බටහිර විද්‍යාඥයෝ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන සංසිද්ධි තේරුම් ගැනීම සඳහා පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්ප යොදා ගනිති. එපමණක්‌ නො ව ඒ සංකල්පවලින් පවතින දේ නියෝජනය වන්නේ යෑයි ද සිතති. පොල් ගෙඩි වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් ගැනීමට එසේ ඉන්ද්‍රිය ගෝචර නො වූ ගුරුත්වාකර්ෂණය යොදාගන්නවා පමණක්‌ නො ව ගුරුත්වාකර්ෂණය පවතින්නේ යෑයි ද විශ්වාස කරති. මෙයට වඩා කුහක කමක්‌ තවත් තිබිය හැකි ද?

මේ සියල්ල කීමෙන් පසු මනස පිළිබඳ සංකල්පය වර්ග කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට නැවත යමු. පැහැදිලිව ම මනස මනසට සාපේක්‍ෂ වෙයි. මනස මනසට ගෝචර වෙයි. එය සම්මුති අර්ථයෙන් පවතියි. මලක්‌ හා මනස අතර ඇති වෙනස මනස අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය. එහෙත් මල මෙන් ම මනස ද මනසට ගෝචර වෙයි. මනස ද බුදුදහමට අනුව ඉන්ද්‍රියයකි. අපේ ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමිනි. මනසට ගෝචර වන මනස මලක්‌ මෙන් ම සංයුක්‌ත සංකල්පයකි.

නලින් ද සිල්වා