logo3.gif (702 bytes)

HOME


විද්‍යා සන්නිවේදනය හරිහැටි සිදු වීමට
මාධ්‍යකරුවන් හා විද්වතුන් යන දෙපිරිසේ ම
වගකීම් සහිත දායකත්වයක්‌ අවශ්‍යයි


ශ්‍රී ලංකාවේ හා ආසියා කලාපයේ මාධ්‍ය ක්‌ෂේත්‍රයේත්, සංවර්ධන හා පර්යේෂණ ක්‌ෂේත්‍රවලත් වසර 25ක අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන, විද්‍යා ලේඛකයකු හා විද්‍යා සන්නිවේදකයකු ලෙස විවිධ භූමිකාවන්ට පණපොවා තිබේ. මුද්‍රිත මාධ්‍යයේත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යයේත් සක්‍රිය වන අතර ම වෙබ් මාධ්‍යය හරහා නව අත්හදාබැලීම් කරන ඔහු ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන් ම ව්‍යක්‌ත ලෙස බස හැසිරවීමෙහි සමතෙකි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වසරේ හොඳ ම විද්‍යා ලේඛකයාට පිරිනැමෙන සම්මානය දෙවරක්‌ (ඉංග්‍රීසි මාධ්‍යයෙන්) දිනාගත් ඔහු තනි මාධ්‍යයකට, තනි රටකට සීමා නො වී ස්‌වාධීන විද්‍යා සන්නිවේදකයකු ලෙස ක්‍රියා කරයි. ක්‌ෂේත්‍රයේ ඔහු සතු පුළුල් අත්දැකීම් නිසා විද්‍යා සන්නිවේදනය සඳහා මාධ්‍යවේදීන් මෙන්ම විද්‍යාඥයන් ද පුහුණු කිරීමට ආසියාවේ විවිධ රටවල් ඔහු ගේ සේවය ලබා ගනියි.

නාලක ගුණවර්ධන මහතා විදුසර ආරම්භ කිරීමේ දී උපදේශකත්වය සැපයූ විද්‍යාඥයන් ගෙන් හා මාධ්‍යවේදීන් ගෙන් සැදුම් ලත් විද්වත් මණ්‌ඩලය ද නියෝජනය කළ බව බොහෝ දෙනකු නො දන්නා කරුණක්‌ විය හැකි ය. මේ විදුසර 25 වසරක්‌ සැපිරීම නිමිත්තෙන් ඒ මහතා සමග විදුසර කළ සාකච්ඡාවකි.


* විද්‍යා සන්නිවේදනය හා ඒ තුළ විද්‍යා මාධ්‍යවේදයට හිමි තැන පහදා දෙන්න.

විද්‍යා සන්නිවේදනය යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ පොදු ජන සමාජය තුළ විද්‍යාත්මක තොරතුරු බෙදාහැරීම. සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, විද්‍යා මධ්‍යස්‌ථාන, විද්‍යා කෞතුකාගාර ඇතුළු පුළුල් පරාසයක විහිදෙන සන්නිවේදන ක්‍රමවේද ඔස්‌සේ මෙය සිදු කෙරෙනවා. විද්‍යාඥයන් අතර සිදු වන විද්‍යාත්මක තොරතුරු හුවමාරුවත් විද්‍යා සන්නිවේදනයක්‌ ලෙස සැලකිය හැකියි.

විද්‍යා මාධ්‍යවේදය, ප්‍රධානකොට ම මුද්‍රිත, විද්යුත් හා ඩිජිටල් යන බහු මාධ්‍ය භාවිතාව ඔස්‌සේ සිදු කෙරෙන්නක්‌. එය විද්‍යා සන්නිවේදන ක්‌ෂේත්‍රයට අයත් එක්‌ උපකුලකයක්‌ පමණයි. හැබැයි එහි නැවක කුඹ ගස මෙන් සෙසු විද්‍යා සන්නිවේදන ක්‍රමවේදයන් අභිබවා කැපී පෙනෙන ස්‌වභාවයක්‌ තිබෙනවා. මෙයින් උත්සාහ කරන්නේ හැම දෙනකු ම විද්‍යාඥයන් හෝ විශේෂඥයන් කිරීම නො වෙයි. සංකීර්ණ වත්මන් සමාජයේ යහතින් දිවි ගෙවීමට උපකාර වන මූලික විද්‍යා හා තාක්‌ෂණ දැනුමත්, තර්කානුකූලව සිතීමත් හැම දෙනකුට ම ලබා දීමයි.

* විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ ලැබෙන විද්‍යා දැනුමත් විද්‍යා සන්නිවේදනයක්‌ ලෙස සලකන්නට පුළුවන් ද?

එක්‌තරා විදියකට එය අදාළයි. එනමුත් අප රට වැනි රටක පන්ති කාමර අධ්‍යාපනය සැලකුව හොත් බොහෝ දෙනා සාමාන්‍ය පෙළ මට්‌ටමෙන් ඔබ්බට විද්‍යා අධ්‍යාපනය ලැබීමට යොමු වන්නේ නැහැ. ඒ වගේ ම අධ්‍යාපන ක්‍රමවේදයන්හි පවතින දුර්වලතා හේතුවෙන් බොහෝ දෙනාට විද්‍යා අධ්‍යාපනය ප්‍රියජනක මතක සටහන් ඉතිරි කර දෙන අත්දැකීමක්‌ වන්නෙත් නැහැ. එම නිසා පොදු ජනතාව ගේ මූලික අවශ්‍යතා විසඳන ආකාරයේ දැනුම ලබා දෙන මාධ්‍යයක්‌ විදියට විධිමත් අධ්‍යාපනය ක්‍රියා කරනවා ද යන්න ගැටලුසහගතයි. විද්‍යා සන්නිවේදනය සමාජයේ විවිධ ස්‌තර නියෝජනය කරන දැනුවත් නො දැනුවත් බාල මහලු කොයි කවුරුත් ඉලක්‌ක විය යුතු දෙයක්‌.

* විද්‍යා ජනමාධ්‍යය සෙසු ජනමාධ්‍යවලින් සුවිශේෂී ලෙස වෙනස්‌ වූවක්‌ ද?

ඒ එසේ යෑයි මා සිතන්නේ නැහැ. මේ සියල්ල පොදු ජනමාධ්‍යයට අනන්‍ය වූ මූලික ගුණාංග, හර පද්ධතීන් රැකගෙන ක්‍රියාත්මක වන එක්‌ එක්‌ අංශ. තම තමන් රිසි ආකාරය අනුව ජනමාධ්‍යවේදීන් විසින් තෝරාගන්නා ලද වෙන් වෙන් අංශ. උදාහරණයක්‌ ලෙස ක්‍රීඩාවන් ගැන කතා කරන මාධ්‍යවේදීන් ක්‍රීඩා මාධ්‍යවේදීන් ලෙස හඳුන්වනවා වගේ ම තමයි විද්‍යාව ගැන උනන්දු මාධ්‍යවේදීන් විද්‍යා මාධ්‍යවේදයෙහි යෙදීම.

* ලෝකයේ ඇතැම් රටවල විද්‍යා මාධ්‍යවේදය පිළිබඳ උපාධි පාඨමාලා පවා ක්‍රියාත්මක වනවා. ජනමාධ්‍යවේදයට අමතරව ඒවායේ ඉගැන්වෙන්නේ මොනවා ද?

පොදු ජනමාධ්‍යයේ සම්මත රාමුව තුළ පිහිටා විද්‍යා විෂය ක්‌ෂේත්‍රයට අදාළව වඩාත් හොඳින් මාධ්‍යය හසුරුවන්නේ කොහොම ද කියන එකයි එහි දී පුහුණු කෙරෙන්නේ. ජනමාධ්‍යවේදය වගේ ම විද්‍යාත්මක විෂය කරුණුත් එහි දී සම සම ව ඉගැන්වෙනවා.

* පොදු ජනයා වෙත විද්‍යාව සන්නිවේදනය කිරීමේ අරමුණ තවදුරටත් පැහැදිලි කළොත්....

උදාහරණයකින් පැහැදිලි කළොත්, අප බහුතරයක්‌ දෙනා වෘත්තීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් හෝ ක්‍රිකට්‌ විශේෂඥයන් නො වෙයි. එහෙත් ක්‍රිකට්‌ තරගයක්‌ නරඹමින් ක්‍රීඩාව ගැන හොඳ විග්‍රහයක්‌ කිරීමේ මූලික දැනුම හා අවබෝධය අප බොහෝ දෙනකුට තිබෙනවා. එසේ ම අප සිනමාකරුවන් හෝ සාහිත්‍යකරුවන් නො වුණත් චිත්‍රපටයක්‌ නරඹා, නවකථාවක්‌ කියවා ඒ ගැන හරවත් අදහස්‌ දැක්‌වීමේ හැකියාව තිබෙනවා.

වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ ගැන පිටතින් සිට බලා සිට ඔවුන් ගේ ක්‍රියාකලාපය හා එහි සමාජීය බලපෑම් ගැන තේරුම්ගන්නටත් අපට හැකියාව ලැබේ නම් කෙතරම් හොඳ ද? විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ විද්‍යාව හා තාක්‌ෂණය නමති පුළුල් ක්‌ෂේත්‍රය ගැන සමාජයේ හැම කෙනකුට ම අවම මට්‌ටමේ අවබෝධයක්‌ හා විචාරශීලී බවක්‌ ලබා දීමයි.

අද අප ජීවත් වන්නේ ලොව විද්‍යාවේ හා තාක්‌ෂණයේ කරපිට නැ`ගී ඒ මහිමයෙන් ගමන් කරන යුගයක. එහෙම නම් විද්‍යාව හා තාක්‌ෂණය හා බැඳුණු හොඳ නරක වටහාගැනීමේ, හරවත් ව විග්‍රහ කිරීමේ, ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාවත් ජන සමාජයේ අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතුයි. විද්‍යාව හා තාක්‌ෂණයට වැඳ නමස්‌කාර කිරීමත් එකහෙළා බැහැර කිරීමත් යන අන්ත දෙකෙන් ම මිදුණු දැක්‌මක්‌ මේ සඳහා තිබිය යුතුයි. දිවි සුරකින දැනුමක්‌ තමයි මෙයින් ලැබෙන්නේ.

* විද්‍යාත්මක සාක්‌ෂරතාව යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද?

පෞද්ගලික වගේ ම ජාතික මට්‌ටමින් ද නිවැරැදි තීරණ ගැනීමට විද්‍යා හා තාක්‌ෂණ දැනුම උපයෝගි කරගැනීමේ හැකියාව ලෙස විද්‍යාත්මක සාක්‌ෂරතාව කෙටියෙන් හඳුන්වා දෙන්නට පිළිවන්. විද්‍යාත්මක චින්තනය නැතිනම් විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කිරීම, තාර්කිකව කරුණු විග්‍රහ කිරීම ආදිය විද්‍යාත්මක සාක්‌ෂරතාවේ මූලික අංග ලෙස සැලකිය හැකියි. කිසිවකට මුළා නො වී, නො බිය ව නිවැරැදි තෝරාගැනීම සිදු කිරීමට මෙයින් හැකියාව ලැබෙනවා.

විද්‍යාත්මක සාක්‌ෂරතාවේ ඌනතාව පිළිබඳ උදාහරණයක්‌ වශයෙන් මේ වසර අවසානයේ දී ලෝකය විනාශ වෙතැයි යන මතයක්‌ දැඩි ව සමාජගත වී තිබීම දක්‌වන්නට පිළිවන්. අපේ රටේ ඇතැම් පිරිස්‌ මේ මතය සැලකිල්ලට ගෙන විවාහ වීම, දරුවන් හැදීම, නිවාස ඉදි කිරීම පවා කල් දමා තිබෙන බව මා අත්දැකීමෙන් දන්නවා.

මේ වසරාවසානයේ දී ලෝකය විනාශ වන බව අතීත මායාවරුන් සඳහන් කර ඇතැයි යන්න මේ කතාවේ මූලාශ්‍රයයි. එහෙත් ඔවුන් ගෙන් පැවැත එන නූතන පරපුර පවා මෙය කරුණු විකෘති කිරීමක්‌ ලෙසයි පෙන්වා දෙන්නේ.

තවත් නිදසුනක්‌ ලෙස විවිධ ඇදහිලි මුල් කරගෙන ජනතාව මුළා කර මුදල් ඉපයීමට පරිසරයක්‌ මෙවැනි ජන සමාජයක නිර්මාණය වී තිබීම පෙන්වා දිය හැකියි. මෙවැනි බියගැන්වීම්වලට, රැවටීම්වලට හසු නො වී නුවණින් කරුණු විමසා බලා, චින්තනය මොට නො කරගෙන ජීවත් වීමේ හැකියාව විද්‍යාත්මක සාක්‌ෂරතාවෙන් ජන සමාජයකට ලැබෙනවා.

අනෙක්‌ අතට විද්‍යාව හා තාක්‌ෂණය විසින් ම දායාද කරනු ලැබ ඇති නවීන තාක්‌ෂණික මෙවලම් හා සේවා නිවැරැදිව හා ආරක්‌ෂාකාරීව භාවිත කරන්නේ කොහොම ද යන්න පිළිබඳ අවබෝධයත් විද්‍යාත්මක සාක්‌ෂරතාවේ ම ප්‍රතිඵලයක්‌. ජංගම දුරකථන, පරිගණක, මෝටර් රථ ආදිය මීට උදාහරණ වනවා.

තුන්වැනුව කිසියම් නව හඳුන්වාදීමක්‌ ජන සමාජයකට සුදුසු ද යන්න පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගැනීමටත් විද්‍යාත්මක සාක්‌ෂරතාව ඉවහල් වනවා. ඩෙංගි මර්දනය පිණිස හඳුන්වා දුන් Bti බැක්‌ටීරියාව, ජාන තාක්‌ෂණයෙන් සැකසූ ආහාර ආදිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ අප රටේ ඇති වුණේ ඒ ආකාරයේ කතිකාවක්‌.

* ජනමාධ්‍ය මගින් ජනතාව තුළ විද්‍යාත්මක සාක්‌ෂරතාව ඉහළ නැංවීමට කෙරෙන දායකත්වය සතුටුදායක ද?

බහුතරයක්‌ ජනමාධ්‍ය එවැනි චින්තනයකට ජනතාව හුරු කරන බවක්‌ පෙනෙන්නට නැහැ. ඔවුන් බොහෝ විට කරන්නේ පසුගාමී මත තව තවත් ජනතාව මත පැටවීමක්‌. ජනතාවට ස්‌වාධීනව හිතන්න වත් ඉඩ තියල නැහැ. ජනමාධ්‍යය හැසිරිය යුත්තේ විවෘත ව විවාද කරගත හැකි වේදිකාවක්‌ විදියටයි. කලින් ම සූදානම් කරගත් මතවාද ජනතාව ගේ හිස්‌ තුළට වත් කිරීම ජනමාධ්‍යයේ වගකීම නො වෙයි.

හැබැයි මේ වේදිකාවට න`ගින පිරිස ශිෂ්ට සම්පන්න ව එය භාවිත කළ යුතුයි. ඔවුනට ද්වේශය, අපහාසය ආදිය එහි වපුරන්නට ඉඩ තැබීම වැරැදියි. අනෙක්‌ අතට අපක්‌ෂපාතී ශිෂ්ට සම්පන්න වේදිකාවක්‌ තනා තිබුණත් එයට නැ`ගීමට බොහෝ විද්වතුන් දක්‌වන මැළිකමත් මා අඩුපාඩුවක්‌ විදියටයි දකින්නේ. මේ කාර්යය මැනැවින් කෙරෙන්නට නම් මාධ්‍යකරුවන් හා විද්වතුන් යන දෙපිරිසේ ම, වගකීම් සහිත දායකත්වය අවශ්‍ය කරනවා.

* විද්‍යා ජනමාධ්‍යය තුළ අදහස්‌ පළ කළ හැකි විෂය සීමාව කුමක්‌ ද? සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂය ක්‌ෂේත්‍ර විද්‍යා ජනමාධ්‍යයට අකැප ද?

පාසල් කාලෙ දි ඉඳන් ම අපට කාවද්දන සංකල්ප සමුදායක්‌ තියෙනවා. මේ තමයි විද්‍යා විෂය පථය, මේ තමයි සෙසු විෂය පථ කියලා එහි දී බෙදා දක්‌වනවා. එසේ බෙදා තිබෙන්නේ පරිපාලන, අගැයීම් වැනි කටයුතු පහසු හා ක්‍රමවත් කිරීම පිණිස. ඒත් අද කාලයේ සමාජයට පිවිසුණාට පසු එහෙම බෙදීමක්‌ අදාළ කරගන්න බැහැ. මොකද සමාජය කියන්නේ සියල්ල සංකලනය වූ තැනක්‌. එතන දි අපට සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි කරුණුත් බද්ධ කරගෙන සන්නිවේදනයේ යෙදෙන්නට වෙනවා. විද්‍යා සන්නිවේදන මාධ්‍යයටත් එහි වෙනසක්‌ නැහැ. අනෙක්‌ අතට සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති කරුණු කියන්නෙත් පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ මත ගොඩනැ`ගී තිබෙන විෂයයන් පදනම් කරගත් කරුණු. ඒ පදනමින් ගත්තත් එවැනි විෂයයක්‌ හා බද්ධ වූ කරුණු විද්‍යා සන්නිවේදන මාධ්‍යයක්‌ ඔස්‌සේ කතා කිරීමේ හැකියාව තිබෙනවා.

* අපේ ඉපැරැණි දැනුම හා ශිල්ප ක්‍රම ගැන විද්‍යා සන්නිවේදනය යටතේ කතා කළ හැකි ද? එසේ නම් ඒ කවර පදනමකින් ද?

විද්‍යාව යනු සංවිධානාත්මක දැනුම ගවේෂණයයි. එය පැරැණි හා නූතන කියා හෝ පෙරදිග හා අපරදිග කියා හෝ බෙදා වෙන් කිරීමක්‌ මා දකින්නේ නැහැ. පුරාණ චීනයේ, භාරතයේ, ග්‍රීසියේ හා ඊජිප්තුවේ දැනුම ගවේෂකයන් මතු කළ මහා ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට සහශ්‍ර ගණනක්‌ ගත වුණා.

විද්‍යාව කියන්නේ පර්යේෂණාගාර වත්, තාක්‌ෂණය කියන්නේ ගැජට්‌ වත් නො වේ. මෙසේ පටු ලෙස විග්‍රහ නො කර පුළුල් අරුතින් ගත් කල ඉතිහාසය පුරා ම පැවත එන දැනුම ගවේෂණයේ පැතිකඩ අපේ විද්‍යා සන්නිවේදනයන්ට කාලීන හා තර්කානුකූල ලෙසින් අදාළ කරගත හැකියි. එහි කිසිදු වරදක්‌ හෝ නො ගැලපීමක්‌ හෝ නැහැ.

එනමුත් සිහිනෙන් දුටු දෙයක්‌ හෝ ගුප්ත බලවේගයකින් පෙන්වා දුන් දෙයක්‌ හෝ පදනම් කරගනිමින් සහ එම මූලාශ්‍ර අන් අයට ගෝචර නො වන නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට නො එන ලෙස ද වැඩිදුරටත් සඳහන් කරමින් අදහස්‌ පළ කිරීම වගේ දේ නම් විද්‍යා සන්නිවේදනයට එකඟ නැහැ.

* එදාට සාපේක්‌ෂව අද විද්‍යා ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ ලෝක ප්‍රවණතා මොනවා ද?

නව මාධ්‍යය (New media) කියන සංකල්පය හරහා සමස්‌ත ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ ම නව මානයන් දැන් බිහි වෙමින් තිබෙනවා. දෙවැනි පරපුරේ වෙබ් ප්‍රකාශන (Web 2.0) ලෙසිනුත් මෙය හඳුන්වනවා. සමාජ ජාල වෙබ් අඩවි කියා හඳුන්වන්නෙත් මේ ප්‍රවණතාවයි. එක අතකින් විද්‍යාඥයන් සාම්ප්‍රදායක ජනමාධ්‍ය මත නො යෑපී සෘජුව ම බ්ලොග්, ෆේස්‌බුක්‌, ට්‌විටර් වැනි සමාජ ජාල මාධ්‍ය හරහා පොදු ජනතාවට සිය පර්යේෂණ තොරතුරු හා පණිවිඩ ගෙන යමින් සිටිනවා. ඔවුන් සමග සංවාදයේ යෙදෙනවා.

අනෙක්‌ අතින් සාම්ප්‍රදායික ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ නියෑළි විද්‍යා මාධ්‍යවේදීන් ද නව මාධ්‍යය වෙත යොමු වෙමින් සිටීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබෙනවා. එයට හේතුව සාම්ප්‍රදායික මාධ්‍ය තුළ ඔවුන් ගේ තැන අහිමි වීම. විශේෂයෙන් ම CNN වැනි ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ආයතන වියදම් කපා හැරීමේ පියවරක්‌ ලෙස පරිසර, සෞඛ්‍ය හා විද්‍යා මාධ්‍යවේදීන් සේවයෙන් ඉවත් කරමින් සිටිනවා. ඉතින්, ටෙලිවිෂන් එකේ සේවය කළ මාධ්‍යවේදීන් යූ ටියුබ් වැනි වෙබ් මාධ්‍ය හරහාත් මුද්‍රිත මාධ්‍යයේ සේවය කළ අය බ්ලොග් හා ට්‌විටර් හරහාත් මාධ්‍යකරණයේ යෙදෙන්නට පටන් අරගෙන. හැබැයි තවමත් නව මාධ්‍යය සඳහා වෙළෙඳපොළ ආකෘති හැදිල නැහැ. ඒ කියන්නේ ජීවත් වීම සඳහා වෘත්තියක්‌ ලෙස මේ මාධ්‍ය සකස්‌ වෙලා නැහැ.

මෙවන් ප්‍රවණතා හේතුවෙන් ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන් හෝ මේ යෑයි කියා ඉරි ගසා වෙන් කර පෙන්වීම අසීරු තත්ත්වයක්‌ දැන් උදා වෙමින් තිබෙනවා. ටෙලිවිෂන් හෝ රේඩියෝ මාධ්‍ය තවදුරටත් විද්යුත් මාධ්‍ය ද නැතිනම් ඩිජිටල් මාධ්‍ය ද යන්න වෙන් කර දැක්‌වීමටත් දැන් අසීරුයි. මොකද විද්යුත් මාධ්‍යවල ඩිජිටල් (වෙබ්) විකාශනයකුත් තිබෙන නිසා.

ජනමාධ්‍ය ක්‌ෂේත්‍රය බලා සිටිය දී වේගයෙන් පරිණාමය වෙමින් තිබෙනවා.