logo3.gif (702 bytes)

HOME


පිච්ච මල්, පරසතු මල් හා චුම්බක ක්‍ෂෙත්‍ර

අපි සංකල්ප වර්ග තුනක්‌ ගැන කතා කළෙමු. එයින් සංයුක්‌ත සංකල්ප ලෙස අප විසින් හඳුන්වනු ලැබෙන්න සංජානන හා බැඳී ඇත. සංජානන ලැබෙන්නේ බාහිර ලෝකයකින් යෑයි කියෑවෙයි. මල් ඇත්තේ බාහිර ලෝකයේ යෑයි කියනු ලැබෙයි. එහෙත් මල පිළිබඳ සංකල්පය ඇත්තේ සිතෙහි ය. මලක්‌ නමැති සංකල්පය නිර්මාණය කෙරෙන්නේ සිතෙහි ය. ඒ සංකල්පය නොමැතිව කිසිවකුට මලක්‌ නැත. චක්‌ඛු විඤ්ඤාණය නොමැතිව කිසිම නිරීක්‍ෂකයකුට මලක්‌ නො පෙනෙයි. මලක්‌ නමැති සංකල්පය නිරීක්‍ෂකයකු නොමැතිව නූපදියි. මලක්‌ මලක්‌ වන්නේ නිරීක්‍ෂකයකුට ය.

අපට මලක්‌ වශයෙන් දැනෙන්නේ අපේ පංෙච්න්ද්‍රියයන් ඇසුරෙන් සිතෙන් නිර්මාණය කෙරෙන ගුණ සමූහයක එකතුවකට ය. ඒ ගුණ සමුච්චය නිරීක්‍ෂකයා විසින් මලක්‌ යනුවෙන් හඳුනාගනු ලැබෙයි. මෙම මලෙහි සුවඳ, පැහැය, මොළොක්‌ බව ආදිය වෙයි. මලක්‌ යනුවෙන් අප හඳුනාගන්නා දෙයෙහි වෙනත් සත්ත්වයකු හඳුනාගත හැකි රශ්මි ආදී වෙනත් ධාරාවන් ඇත්නම් ඒවා අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවන බැවින් අපේ මලෙහි ඒ ගුණ නැත. එහෙත් වෙනත් සත්ත්වයකුගේ "මලෙහි" ඒ ගුණ තිබිය හැකි ය.

පැහැදිලිව ම අප නිර්මාණය කරන මල අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ ය. මෙයින් කියෑවෙන්නේ ඒ ඒ අයගේ මල් එකිනෙකෙන් වෙනස්‌වන බව ය. අප විසින් පිච්ච මලක්‌ ලෙස ගනු "ලබන්න"වෙනත් සත්ත්වයකු විසින් වෙනත් දෙයක්‌ ලෙස ගනු ලබන්නේ එයට වෙනත් ගුණ එකතු කරමින් හා තවත් ගුණ අඩුකරමිනි. මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් අප විසින් පිච්ච මලක්‌ ලෙස ගනු ලබන්න වෙනස්‌ සත්ත්වයන් විසින් වෙනත් දේ ලෙස හඳුනා ගැනෙයි යන්න ව්‍යවහාරයෙහි දී යොදා ගත්තත් එය නිවැරදි නොවන බව ය. වෙනත් සත්ත්වයන්ට අපට ගෝචර වන, එනම් අප විසින් නිර්මාණය කෙරෙන පිච්ච මල වෙනත් ආකාරයෙන් ගෝචර වන්නේ නො වේ. ඔවුන්ට ගෝචර වන්නේ, එසේත් නැත්නම් ඔවුන් නිර්මාණය කරන්නේ වෙනත් ම දේ ය.

අපි දැන් අන් මිනිසුන් ඇතුළු සත්ත්වයන් අමතක කර එක්‌ මිනිස්‌ නිරීක්‍ෂකයකු පමණක්‌ සලකමු. ඔහු විවිධ පිච්ච මල් නිරීක්‍ෂණය කරයි. ඒ සියල්ල ඔහු විසින් පිච්ච මල් ලෙස හඳුනා ගැනෙයි. එහෙත් එයින් කියෑවෙන්නේ ඒ සියලු පිච්ච මල් එක සමාන බව නො වේ. ඇතැම් පිච්ච මලක්‌ කුඩා විය හැකි ය. ඇතැම් මලක පෙත්තක යම් කඩතොළුවක්‌ තිබිය හැකි ය. ඒ ඒ පිච්ච මල එකිනෙකින් වෙනස්‌වන බව සුපරීක්‍ෂාකාරීව නිරීක්‍ෂණය කළහොත් පෙනෙනු ඇත. එහෙත් නිරීක්‍ෂකයා එපමණකින් පිච්ච මල් යනුවෙන් මල් වර්ගයක්‌ නැතැයි නො කියයි.

පිච්ච මලක්‌ හා පිච්ච මල් අතර ඇති වෙනස කුමක්‌ ද? අපි පිච්ච මල්වල කුලකය ගැන කතා කරමු. පිච්ච මල් කුලකයට සියලු පිච්ච මල් අයත් වෙයි. ඒ කුලකය සිතා ගැනීම අපහසු නම් නිරීක්‍ෂකයාගේ ගෙවත්තේ ඇති පිච්ච මල්වල කුලකය ගත හැකි ය. ඒ පිච්ච මල් කුලකයෙහි වුව ද එක්‌ එක්‌ මල එකිනෙකෙන් වෙනස්‌ වෙයි. එහෙත් නිරීක්‍ෂකයාට ඒ මල් එක්‌ වර්ගයකට අයත් යෑයි හඳුනාගැනීමේ අපහසුතාවක්‌ නැත. ඒ ඒ මලෙහි ප්‍රමාණය වෙනස්‌විය හැකි වුව ද, පෙති අතර වෙනස්‌කම් තිබුණ ද නිරීක්‍ෂකයාට ඒ සියලු මල් පිච්ච මල් ලෙස හඳුනාගත හැකි ය.

එසේ වන්නේ කෙසේ ද? ඒ ඒ පිච්ච මල් අතර ඇතැම් වෙනස්‌කම් තිබුණ ද ඒ සියලු මල්වලට වූ පොදු ගුණ ඇත. මෙහි දී අවධාරණය කළ යුත්තක්‌ නම් ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගෙන් ස්‌වායත්ත ව පවතින බව නො වේ. ඒ පොදු ගුණ ද නිරීක්‍ෂකයාගේ නිර්මාණ වෙයි. ඔහු තම පංෙච්න්ද්‍රියයන් ආධාර කරගනිමින් ඒ පොදු ගුණ නිර්මාණය කරමින් හඳුනා ගනියි. මේ පොදු ගුණ සහිත පිච්ච මල සංයුක්‌ත සංකල්පයක්‌ නො වේ. එය පඤ්ඤත්තියකි ත වියුක්‌ත සංකල්පයකි. එය සිතෙන් මවාගත හැකි නො වේ. පිච්ච මලක්‌ සිතෙන් මවාගත හැකි වුව ද පිච්ච මල යන්න සිතෙන් මවාගත හැකි නො වේ.

මෙය තවදුරටත් පැහැදිලි කළ යුතු ය. මේ සියල්ල බටහිර විද්‍යාව ඉගෙන ගැනිමේ දී ද අපට හමුවන බව අමතක නො කළ යුතු ය. ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ ඒ පිළිබඳ ව විස්‌තරයක්‌ නොකරනවා විය හැකි ය. එහෙත් වර්ගීකරණය පිටුපස මේ සියල්ල ඇත. පොත්පත්වල ද ඒ පිළිබඳ සඳහනක්‌ නොමැති වුව ද සංකල්ප අතර ඇති වෙනස හැකිතාක්‌ නිරවුල් ව දැනගැනීමෙන් බටහිර විද්‍යාවේ වියුක්‌තිය ගැන යම් අවබෝධයක්‌ ලබාගත හැකි ය.

පිච්ච මල යන්න සිතෙන් මවාගත නොහැකි වුව ද, පරසතු මලක්‌ සිතෙන් මවාගන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්නයක්‌ විය හැකි ය. එහෙත් මෙහි දී සිතෙන් මවාගත හැකි වන්නේ පරසතු මල නොව පරසතු මලකි. පරසතු මලක්‌ සිතෙන් මවාගත හැකි ය. පිච්ච මල සිතෙන් මවාගත නොහැකි වුව ද පිච්ච මලක්‌ දැක ගැනීමට වුව ද හැකි ය. පරසතු මලක්‌ හා පිච්ච මලක්‌ අතර ඇති වෙනස පිච්ච මලක්‌ පිළිබඳ සංජානන අපට වීමත් පරසතු මලක්‌ පිළිබඳ සංජානනයක්‌ අපට නොවීමත් ය. අපි පිච්ච මල් දකිමු. පිච්ච මලක්‌ පිළිබඳ සංකල්පය අප විසින් නිර්මාණය කෙරෙන්නේ සංජානනයක්‌ සහිත ව ය. අප දැක ඇති පිච්ච මලක්‌ අපි සිතෙන් මවා ගනිමු. එසේ පිච්ච මලක්‌ සිතෙන් මවාගැනීමේ දි, එසේත් නැත්නම් පිච්ච මලක්‌ ගැන අප සිතිමේ දී අපට ඇත්තේ අප දැක ඇති පිච්ච මලක්‌ හෝ පිච්ච මල් හෝ අනුසාරයෙන් අපට ලැබෙන පිච්ච මලකි. අප සිතෙන් මවාගන්නා පිච්ච මලක්‌ පිළිබඳ සංජානනයක්‌ අපට නැත. එහෙත් පිච්ච මලක්‌ හෝ පිච්ච මල් හෝ නිරීක්‍ෂණය කිරීමේ දී අපට සංජානන වෙයි.

අපි පිච්ච මලක්‌ ගැන සිතීමේ දී, එනම් පිච්ච මලක්‌ සිතෙන් මවා ගැනීමේ දී, සේපාලිකා මලක්‌ ගැන නො සිතමු. යම් ආකාරයකින් අපට සේපාලිකා මලක්‌ සිහිවුණහොත් එය පිච්ච මලක්‌ නොවන බව අපි දනිමු. පරසතු මලක්‌ යන්න එයට හාත්පසින්ම වෙනස්‌ වෙයි. පරසතු මලක්‌ අපට සිතෙන් මවාගත හැකි ය. එහෙත් ඒ දෙවියන් හෝ වෙනත් සත්ත්වයන් හෝ දැක ඇති පරසතු මලක්‌ නොවිය හැකි ය. අප පරසතු මලක්‌ සිතෙන් මවා ගන්නේ පරසතු මලක්‌ ගැන පංචෙන්ද්‍රියයන් ආධාරයෙන් ලබාගන්නා කිසිම සංජානනයක්‌ නො මැතිව ය.

පරසතු මලක්‌ යන්න සංජානනයක්‌ සහිත සංයුක්‌ත සංකල්පයක්‌වත් පඤ්ඤත්තියක්‌ හෙවත් වියුක්‌ත සංකල්පයක්‌වත් නො වේ. එය එක්‌තරා ආකාරයකට ගත හොත් ඒ දෙක අතර ඇති සංකල්පයකි. පරසතු මලක්‌ යන්න සංජානනයක්‌ නොමැතිව වුවත් සිතෙන් මවාගත හැකි සංකල්පයකි. එලෙස අප මවා ගන්නා පරසතු මල දෙවියන් දකින පරසතු මලක්‌ නො විය හැකි ය. දෙවියන් දැක නැති අපට දෙවියකු ගැන ද ඇත්තේ සංජානනයක්‌ නොමැති ව සිතෙන් මවාගන්නා සංකල්පයකි. අපි එවැනි සංකල්පවලට චෛතසික සංකල්ප යෑයි කීවෙමු.

පරසතු මලක්‌ ලෙස අප සිතෙහි මැවෙන්නේ අප කිසිදා දැක නොමැති දෙයකි. මෙයින් කියෑවෙන කරුණක්‌ නම් ඇතැම් විට ලෝකයෙහි (විශ්වයෙහි) කිසිවකු දැක නොමැති (කිsසිවකුගේ මනසට ගෝචර නොවු, ඊනියා නොපවතින) දෙයක්‌ වුව ද අපට සිතෙන් මවාගත හැකි බව ය. සංජානනයක්‌ නොමැතිව සිතෙන් මවාගත හැකි සංකල්ප අපි එක්‌ වර්ගයකට දමමු. එවිට පරසතු මල්, දෙවියන් පමණක්‌ නොව කඟවේණුන්, කකුල් පහේ සතුන් ආදීන් පිළිබඳ සංකල්ප ද අයත්වන්නේ මෙම වර්ගයට ය.

අප සම්මතයක්‌ ලෙස ලෝකයෙහි පවතින දේ යනුවෙන් අදහස්‌ කරන්නේ සංජානනයන් සහිත ව, එනම් පංෙච්න්ද්‍රියයන්ට ගෝචර ව සිතෙහි මවාගත හැකි දේ ට හා බටහිර විද්‍යාවේ ප්‍රවාදවල හෙවත් කතන්දරවල ඇති සංකල්පවලට අනුරූප දේට ය. උදාහරණ ලෙස පුටුව, පැන්සල, මල ආදිය මෙන් ම ගුරුත්වාකර්ෂණය, විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍රය ආදිය ද දැක්‌විය හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාදවල ඇති සංකල්ප පවතින දේ නිරූපණය කරන්නේ යෑයි කියන්නේ බටහිර විද්‍යාඥයන් තම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ දේශපාලන බලය යොදා ගනිමින් ය. එසේ නොමැතිව ඉතා පැහැදිලිව ම නැති ගුරුවාකර්ෂණයක්‌ පවතින දෙයක්‌ ලෙස පාසල්වල හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ හැකියාවක්‌ නැත.

බටහිර විද්‍යාවේ වියුක්‌ත සංකල්ප යනු සිතෙන් මවාගත නොහැකි සංකල්ප වෙයි. එහෙත් බටහිර විද්‍යාවේ සඳහන් වන බල රේඛා සිතෙන් මවාගත හැකි ය. එයට හොඳ ම උදාහරණය චුම්බක ක්‍ෂෙත්‍රයක ඇතැයි කියන බල රේඛා වෙයි. බටහිර භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට බල රේඛා පිළිබඳ පාඩමක්‌ මේසයක්‌ මත තැබු චුම්බකයක්‌ අසල යකඩ කූඩු අතුරා මේසයට තට්‌ටු කිරීමෙන් කියා දිය හැකි ය. තට්‌ටු කිරීමෙන් පසු යකඩ කූඩු යම් වක්‍ර දිගේ පැතිරෙනු දැකගත හැකි ය. යකඩ කූඩු එසේ පැතිරෙන්නේ බල රේඛා දිගේ යෑයි කියා දෙනු ලැබේ. එහෙත් කිසිවකුටවත් ඊනියා චුම්බක ක්‍ෂෙත්‍රයක්‌ දැකගත හැකි නො වේ.

බල රේඛා සිතෙන් මවාගත හැකි වුවත් චුම්බක ක්‍ෂෙත්‍රය සිතෙන් මවාගත නොහැකි වියුක්‌තයක්‌ පමණක්‌ වෙයි. සිතෙන් මවා ගැනීමටවත් නොහැකි චුම්බක ක්‍ෂෙත්‍රය ඇතැයි අප කියන්නේ අපට එසේ පුරුදු කර ඇති බැවින් මිස වෙනත් කරුණක්‌ නිසා නො වේ. චුම්බක බල රේඛා මෙන් ම චුම්බක ක්‍ෂෙත්‍ර ද අපට පවත්නා දේ ය. එහෙත් මේවා බටහිර විද්‍යාඥයන් ඇතැම් නිරීක්‍ෂණ තේරුම් ගැනීම සඳහා මවා ඇති, නිර්මාණය කර ඇති සංකල්ප මිස අන් කිසිවක්‌ නො වේ. ගුරුවාකර්ෂණය දැක බලාගත් කිසිවකු මෙදියත නැත.

පුටුව, මල ආදිය පවතින්නේ යෑයි කෙනෙකු කීවත් චුම්බක ක්‍ෂෙත්‍රය, කාලය ආදිය පවතින්නේ යෑයි කිසිවකුටවත් පෙන්වා දිය නො හැකි ය. බටහිර විද්‍යාවේ ප්‍රවාද ද මිනිසුන් විසින්, මෙහි දී බටහිර විද්‍යාඥයන් විසින්, නිර්මාණය කෙරුණු කතන්දර පමණ ය. ඒවා ආධාර කරගෙන යම් යම් නිරීක්‍ෂණ තේරුම්ගත හැකි බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රවාදවල හෙවත් කතන්දරවල ඇත්තක්‌ වේ යෑයි, ඒ සංකල්පවල පැවැත්මක්‌ ඇතැයි, තර්ක කිරීමට නො හැකි ය.

සිතෙන් මවාගත හැකි එහෙත් සංජානනයක්‌ නැති සංකල්පවලට අපි චෛතසික සංකල්ප යෑයි කීවෙමු. පරසතු මල්, බල රේඛා, ආදිය චෛතසික සංකල්ප වෙයි. අප පරසතු මල් සිතෙන් මවා ගන්නේ අප දැක ඇති පිච්ච මල්, සේපාලිකා මල් ආදිය ඔස්‌සේ ය. එලෙස ම අප බල රේඛා සිතෙන් මවා ගන්නේ චුම්බකයක්‌ අසල යකඩ කුඩු පැතිරෙන ආකාරය ඔස්‌සේ ය. චුම්බක ක්‍ෂෙත්‍ර සිතෙන්වත් මවා ගැනීමට නොහැකි පඤ්ඤත්ති හෙවත් වියුක්‌ත සංකල්ප පමණ ය. ඒවා අපේ පැණවීම් මිස වෙනත් කිසිවක්‌ නො වෙයි.

අප මේ සියල්ලෙන් කියන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවලට හා ඒ ආශ්‍රිත සංකල්පවලට පුටුව, පැන්සල, මල වැනි සංකල්පවලින් නිරූපනය කෙරෙන්නේ යෑයි කියන දේ තරමටවත් පැවැත්මක්‌ නැති බව ය. දෙවියන්ට සාපේක්‍ෂව පරසතු මල් තිබුණත් නැතත් මිනිසුන්ට සාපේක්‍ෂව පරසතු මල් සිතෙන් මවාගත් දේ පමණ ය. එලෙස ම බල රේඛා ද සිතෙන් මවා ගත් දේ පමණ ය. ඒ අතර චුම්බක ක්‍ෂෙත්‍රය, ගුරුත්වාකර්ෂණය ආදිය පඥ්ඤත්ති හෙවත් අපේ පැණවීම් පමණ ය.

නලින් ද සිල්වා