logo3.gif (702 bytes)

HOME


චින්තනය හා සුසමාදර්ශ

චින්තනය යන්න මා යොදාගන්නේ සිතීම යන අර්ථයෙන් නො වේ. යම් සංස්‌කෘතියක මිනිසුන් හා ගැහැනුන් විසින් නිර්මාණය කෙරී ඇති විද්‍යාව, කලාව, ගෙවල් දොරවල්, ඇඳුම් පැළඳුම්, කෑම බීම, වෙදකම, ඉංජිනේරු ශිල්පය, ලිංගිකත්වය ආදී සියල්ල බැඳ තබන හුයක්‌ වේ නම්, ඒ චින්තනය වෙයි. චින්තනය යන්න සමස්‌තය ගැන කියෑවෙන සංකල්පයකි. යම් සංස්‌කෘතියක මිනිසුන් හා ගැහැනුන් නිර්මාණ කරන්නේ යම් චින්තනයක ය. චින්තනයකට ඥාන විභාගයක්‌, දාර්ශනික පසුබිමක්‌ හා ආකල්ප වෙයි. ඒ එකිනෙකට බැඳී ඇති අතර එකිනෙකින් ස්‌වායත්ත නො වේ. එමෙන් ම ඒ සංස්‌කෘතියෙහි ම කොටස්‌ වෙයි. ඥාන විභාගය ද ආකල්ප ද දාර්ශනික පසුබිම ද දැනුමෙහි කොටස්‌ ලෙස ගත් විට බිහි වන්නේ චින්තනයක ය. එහි ඇත්තේ චක්‍රීය (cyclic) ස්‌වභාවයකි. ආකල්ප ආදිය නිර්මාණය වන විට චින්තනය ද වෙනස්‌ වන බව පැහැදිලි විය යුතු ය. කිසි ම සමාජයක ස්‌ථිතික චින්තනයක්‌ නැත. එමෙන් ම චින්තනය යනු සියලු දෙනා බැඳගන්නා ඒකශෛල පබ්බතයක්‌ වැනි දෙයක්‌ ද නො වෙයි. එහෙත් ඕනෑ ම සමාජයක විශාල බහුතරයක්‌ සතු පොදු චින්තනයක්‌ දැකගත හැකි ය. ඒ ඒ සමාජයේ ඇතැම් පුද්ගලයන් පොදු චින්තනයෙන් බැහැර ව කටයුතු කරන බව ද පැහැදිලි ය. එමෙන් ම ඇතැම් පුද්ගලයන් අතින් සමාජයක චින්තනය වෙනස්‌ කරන ක්‍රියාවලීන් ද සිදු විය හැකි ය. චින්තනයක්‌ එක රැයකින් වෙනස්‌ නො වන බව ද පැහැදිලි විය යුතු ය.

චින්තනයට සියල්ල ඌනනය කළ හැකි ය යන්නක්‌ ද මෙයින් නො කියෑවෙයි. චින්තනය යනු සමස්‌තය ගැන කියෑවෙන සංකල්පයකි. එහෙත් යම් චින්තනයකට අයත් සියලු දෙනා කිසි ම වෙනසකින් තොර ව එක ම චින්තනයකට අයත් වන බවක්‌ ද නො කියෑවෙයි. ප්‍රාදේශීය වශයෙන් ගුරුකල ආදී වශයෙන් පුද්ගලයෝ එකිනෙකා ගෙන් වෙනස්‌ වෙති. එසේ වුවත් ඒ වෙනස්‌කම් අතර පොදු බවක්‌ ද වෙයි. බටහිරයන්ට මේ තත්ත්වය අවබෝධ කරගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්‌කෝ සැම දෙනා ම අනෙක්‌ සැම දෙනා ගෙන් ම වෙනස්‌ වෙති. එසේත් නැත්නම් සියල්ලෝ ම එක ම ආකාරයේ වෙති. බටහිර නූතනත්වයට අනුව සියලු මිනිස්‌සු සමාන වෙති. අප සියලු දෙනාට පොදු බවක්‌ ඇත. අප සියලු දෙනාට ම එක ම ශාරීරික උෂ්ණත්වයක්‌ ඇතැයි බටහිර වෛද්‍ය විද්‍යාවේ දී උපකල්පනය කෙරෙන්නේ එබැවිනි. බටහිර පශ්චාත්නූතනවාදී අදහස්‌ බිහි වන්නේ ඒ එසේ නො වන බව තේරුම් ගැනීමත් සමග ය. එහෙත් බටහිරයන්ට හුරු පුරුදු ඇරිස්‌ටෝටලීය න්‍යායට අනුව ඔවුහු එහි දී අනෙක්‌ අන්තයට ගොස්‌ පොදු බවක්‌ නැතැයි යන අන්තයට යති.

එහෙත් අපි මේ අන්ත දෙක ම ප්‍රතික්‍ෂෙප කරමු. මිනිසුන් වශයෙන් අප අතර පොදු බවක්‌ ඇති අතර එකිනෙකා අතර වූ වෙනස්‌කම් ද වෙයි. සිංහලයන් වශයෙන් ගත්ත ද ඒ එසේ ම ය. ඒ වෙනස්‌කම් ඇති නිසා සිංහල යනුවෙන් ජාතියක්‌ නැතැයි කීමට මොවුහු උත්සාහ කරති. එහෙත් ඒ අතර දෙමළ ජනයා ගේ එකිනෙකා අතර ඇති සියලු වෙනස්‌කම් මැද දෙමළ යනුවෙන් ජනවර්ගයක්‌ ඇති බව ඔවුහු පිළිගනිති. එලෙස ම මිනිසුන් යනුවෙන් සත්ත්ව වර්ගයක්‌ ඇති බව ද ඔවුහු විශ්වාස කරති. බටහිරයන්ට අද කන්න ඕන වුණා ම කබරගොයා තලගොයා කරගැනීමට හැකි වී ඇත්තේ මේ කසිකබල් පශ්චාත්නූතනවාදී අදහස්‌ මත පිහිටමිනි. යම් කුලකයක අවයව අතර සමානකම් මෙන් ම අසමානකම් ද ඇත යන්න බටහිරයන්ට තේරුම්ගත නො හැකි ය. ඔවුන්ට අනුව එක්‌කෝ කුලකයේ සාමාජිකයෝ සමාන වෙති. නැත්නම් සියල්ලෝ අසමාන වෙති. එවිට පොදු බවක්‌ නැති හෙයින් කුලකයක්‌ ද නො මැත. මීළඟ ලිපියෙන් මේ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ කිරීමට බලාපොරොත්තු වෙමි. එවිට සාධාරණීකරණය පිළිබඳ ව ද තවදුරටත් දැනගත හැකි වනු ඇත.

චින්තනයක සුසමාදර්ශ කිහිපයක්‌ පැවතිය හැකි ය. අද බටහිර චින්තනය අප විසින් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය නමින් හැඳින්වෙයි. ඒ චින්තනයෙහි නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්‌ටයිනීය සුසමාදර්ශය මෙන් ම ක්‌වොන්ටම් සුසමාදර්ශය ද වෙයි. ක්‌වොන්ටම් සුසමාදර්ශය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ඇත්තේ විකෘති ස්‌වභාවයකින් ය යනු මගේ වැටහීම ය. ඒ සුසමාදර්ශය වැඩෙනු ඇත්තේ සිංහල බෞද්ධ හෝ වෙනත් ථෙරවාදී චින්තනනයක ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මෙන් ම බටහිර සාහිත්‍යය හා කලා ශිල්ප ද ගොඩනැගී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. ඒ චින්තනය බටහිර එක රැයකින් පහළ වූවා නො වේ. අවුරුදු පන් සීයකට පමණ පෙර බටහිර යුරෝපයේ පැවතියේ කතෝලික චින්තනය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය කලින් සඳහන් කර ඇති ආකාරයෙන් සකස්‌ වෙමින් වර්ධනය වුයේ කතෝලික චින්තනය ක්‍රමයෙන් පසුබස්‌වමිනි. තවමත් කතෝලික චින්තනය මුළුමනින් ම පරාජය වී ඉවත් ව ගොස්‌ නැත. අද දා වින්චි කෝඩ් පොතින් හා චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ මේ අරගලය තවමත් තිබෙන බව ය. ඒ කෘතිවලට විරුද්ධ වන්නේ කතෝලික චින්තනයෙහි පදනම් වෙමිනි. තවමත් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට තමන්ට අවශ්‍ය යේසුස්‌ ක්‍රිස්‌තූන් වහන්සේ නිර්මාණය කරගැනීමට නොහැකි වී ඇත. ඉහත සඳහන් කෘතීන් වත්මන් බටහිර චින්තනයට අවශ්‍ය ක්‍රිස්‌තුස්‌ වහන්සේ නිර්මාණය කිරීමෙහි ලා යම් කාර්යභාරයක්‌ ඉටු කරයි.

කතෝලික චින්තනය මත පදනම් වූ දේශපාලන දර්ශන දෙකක්‌ ම විසිවැනි සියවසෙහි යුරෝපයෙහි දැකගත හැකි විය. එනම් ෆැසිස්‌ට්‌වාදය හා මාක්‌ස්‌වාදය ය. මාක්‌ස්‌වාදීන් මේ කියමන සමග කෙසේ වත් එකඟ නො වනු ඇත. එහෙත් ඒ දෙක ම පැන නැඟුණේ එක ම මූලාශ්‍රයෙන් ය. එහි මුල ඇත්තේ හෙගල් විද්වතා ය. ඔහු ගේ දර්ශනය කතෝලික චින්තනය මත පදනම් විය. එහි නැවත වතාවක්‌ සමස්‌තයට යැමේ ප්‍රවනතාවක්‌ විය. එහි න්‍යාය කතෝලික චින්තනයෙහි මෙන් ම ත්‍රිකෝටික විය. කාල් මාක්‌ස්‌ පඬිවරයා කළේ හෙගල් පඬිවරයා ගේ විඥානවාදී පදනමෙන් ද්‍රව්‍යවාදී පදනමකට මාරු වීම ය. ඒ කතෝලික චින්තනයෙහි වෙනත් සුසමාදර්ශයක්‌ පමණක්‌ විය. කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන කතා කළ ද මාක්‌ස්‌වාදීන්ට කිසි දිනෙක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ ගොඩනඟාගත හැකි නො වේ. ඔවුන් ගේ හා ෆැසිස්‌ට්‌වාදීන් ගේ සමස්‌තයෙහි සමාජය මිස තනි තනි පුද්ගලයන් නැත. ඒ සමස්‌තය යුරෝපීය මධ්‍යකාලීන සමාජවල පාප්වහන්සේ ගේ ආධිපත්‍යය යටතේ පැවති සමස්‌තයෙන් වෙනස්‌ නො වේ. හිට්‌ලර් මෙන් ම ස්‌ටාලින් ද ඒ ඒ සමාජවල ඉටු කළේ පාප් වහන්සේ ගේ කාර්යභාරය ය. ෆැසිස්‌ට්‌වාදය මෙන්ම මාක්‌ස්‌වාදය ද නැවතත් කතෝලික චින්තනය වෙත යුරෝපය කැඳවා ගෙන යැමේ ප්‍රවණතා විය. ඒ දෙක ම ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වූ රාජ්‍ය විසින් යථා කාලයේ දී පරාජය කරනු ලැබිණි. අද කතෝලික චින්තනය බටහිර ලෝකයෙහි ආධිපත්‍යයක්‌ නො දරයි. අද පාප්වහන්සේට ද ජීවත් වීමට සිදු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියක පමණක්‌ නො වේ. එතුමා ගේ පැවැත්ම සඳහා ම අද එතුමාට යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි රාජ්‍ය වෙනුවෙන් සේවය කිරීමට සිදු වී ඇත. සෝවියට්‌ ක්‍රමය බිඳවැට්‌ටවීමේ දී (එවකට සිටි) පාප්වහන්සේ පෝලන්තයේ සිදු කළ කාර්යභාරය බොහෝ අයට මතක ඇත.

කතෝලික චින්තනයෙහි බටහිර විද්‍යාව බිහි වීමේ ඉඩක්‌ නො තිබිණි. එහෙත් පහළොස්‌වැනි සියවසේ දී පමණ බටහිරයන්ට තම චින්තනය වෙනස්‌ කර ගැනීමේ අවශ්‍යතාවක්‌ විය. එයට ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ ආසියාවෙන් ලැබුණු දැනුම ය. අපි මේ ක්‍රියාවලිය කලින් සාකච්ඡා කළෙමු. පාප්වහන්සේ හා කතෝලික පල්ලිය මුල සිට බටහිර විද්‍යාවට විරුද්ධ වූයේ චින්තනයේ තිබූ වෙනස්‌කම හේතුවෙනි. පසු කලෙක ඩාවීනීය පරිණාමවාදයට විරුද්ධ වූයේ කතෝලික චින්තනය මත පදනම් වෙමිනි. පරිණාමවාදය යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණයක්‌ වූවත්. බොහෝ දෙනා පරිණාමවාදය යුදෙව් ක්‍රිස්‌තියානි මැවුම්වාදයට විරුද්ධ යෑයි සිතන්නේ පරිණාමවාදයෙහි දෙවියන් වහන්සේ කෙනකු ගේ මැදිහත් වීමක්‌ නොමැති බැවිනි. එහෙත් එහි ඇත්තේ ඒක රේය චින්තනයකි. මිනිස්‌ පරිණාමය ගැන ඩාවීනීය පරිණාමවාදයෙහි සඳහන් නො වෙතත් අද මානව විද්‍යාවේ කියෑවෙන අදහස්‌ අනුව සියලු මිනිසුන් පරිණාමය වී ඇත්තේ එක්‌ කාලයක අප්‍රිකාවේ වාසය කළ මිනිස්‌ වර්ගයාට අයත් ස්‌ත්‍රියක ගෙනි. ඇය ගේ මුතුන් මිත්තන් ඔස්‌සේ ආපස්‌සට යන අපට අවසානයේ දී ඒක සෛල ජීවයක්‌ හමු වේ. ඒ ජීවය ද පසු කරමින් ආපස්‌සට ගිය විට අපට රසායනික පරිණාමය ද එය ද ඉක්‌මවා ගිය කල අවසානයේ දී මහා පිපිරුම ද හමු වෙයි. බටහිර විද්‍යාවේ පරිණාමය පටන්ගැනෙන්නේ මහා පිපිරුමෙනි. මහා පිපිරුම ඇති වූයේ කෙසේ ද යන්නට බටහිර විද්‍යාව පිළිතුරක්‌ නො දෙයි. මහා පිපිරුමෙන් පටන්ගෙන මන්දාකිණි හා තාරකා ඇති වී ඉන්පසු පෘථිවිය වැනි ග්‍රහවස්‌තු ඇති වී එහි ජීවය පහළ වී අවසානයේ දී මනුෂ්‍යයා ඇති වීම බයිබලයේ සඳහන් වන එක්‌ උත්පත්ති කතාවකින් ආකෘතික වශයෙන් වෙනස්‌ නො වේ. බටහිර විද්‍යාවේ දෙවියන් වහන්සේ කෙනකු අතින් සිදු වන මැවීමක්‌ නැත. එහෙත් ලෝකය (විශ්වය) මැවුණේ වෙයි. බටහිර විද්‍යාවේ ලෝකෝත්පත්තියෙහි සිට පරිණාමය දැක්‌වෙන්නේ බයිබලයේ උත්පත්ති කතාවක්‌ පරිදි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර විද්‍යාවේ ඒ ප්‍රවාද නිර්මාණය වී ඇත්තේ බයිබලයට එකඟ ව ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ග්‍රීක යුදෙව් චින්තනයෙහි නිර්මාණය කෙරී ඇත.

එපමණක්‌ නො ව නිව්ටන් ගේ අවස්‌ථිති සමුද්දේශ රාමු (inertial frames of reference) ද බාහිර බල ද පිටුපස ඇත්තේ දෙවියන් වහන්සේ ය. මුල් අවස්‌ථිති සමුද්දේශ රාමුව හෙවත් නිරපේක්‍ෂ අවකාශයෙහි (absolute space) සමුද්දේශ රාමුව යනු දෙවියන් වහන්සේ ගේ සමුද්දේශ රාමුව මිස අනෙකක්‌ නො වෙයි. බටහිර විද්‍යාවෙහි සැම පද්ධතියක ම සැම ක්‍ෂෙත්‍රයක ම පාහේ බටහිර බලවේග ගැන සඳහන් වෙයි. එහි අභ්‍යන්තර ව ප්‍රශ්නයක්‌ විසඳීම ගැන සඳහන් නො වීමෙන් පෙන්නුම් කරන්නේ සැම අවස්‌ථාවක ම සිටින්නා වු දෙවියන් වහන්සේ ප්‍රශ්න විසඳීමෙහි දී අද ද බාහිර ව මැදිහත් වන්නේ ය යන්න ය. මුළු මහත් බටහිර විද්‍යාවෙහි ම මුල ඇත්තේ දෙවියන් වහන්සේ ය. මේ සම්බන්ධ යම් විස්‌තරයක්‌ විද්‍යා කතාන්දර කෘතියෙහි වෙයි.

බටහිර විද්‍යාවට පදනම් වූ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ලක්‍ෂණ මගේ ලෝකය කෘතියෙහි යුදෙව් චින්තනය යටතෙහි දැකිය හැකි ය. (දැනට අවුරුදු විස්‌සකට පමණ පෙර මා ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය හැඳින්වූයේ යුදෙව් චින්තනය ලෙස ය) මෙහි දී ඉන් එක්‌ ආකල්පයක්‌ ගැන පමණක්‌ සඳහන් කෙරෙයි. ග්‍රීක යුදෙව් චින්තනයෙහි එක්‌ ආකල්පයකට අනුව මිනිසා තමා ස්‌වභාව ධර්මයෙහි ස්‌වාමියා ලෙස ද, ස්‌වභාව ධර්මය තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති ලෙස ද සලකයි. ඒ පරණ තෙස්‌තමේන්තුවෙන් එන අදහසකි. දෙවියන් වහන්සේ ලෝකය මවා ඒ ආදම්ට භාර දුන්නේ ඔහු ගේ ස්‌වාමීත්වය යටතට ගැහැනිය වු ඒවා ද ඇතුළු සියල්ල පත් කරමින් ය. බටහිර මිනිසා අද ලෝකය දෙස බලන්නේ මේ ආකල්පයෙනි. මේ හේතුවෙන් බටහිරයෝ තම ඉන්ද්‍රිය පිනවීම සඳහා බටහිර විද්‍යාව ද යොදා ගනිමින් මුළු ලෝකය ම (ස්‌වභාව ධර්මය) සූරා කති. ඒ අතර පරිසරය රැකගැනීම පිළිබඳ කතා කරති. බටහිර විද්‍යාවෙන් හා එයට පදනම් වු ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි රැකගත හැකි පරිසරයක්‌ නැත. පරිසරය රැකගනිමින් බටහිර විද්‍යාවට වර්ධනය විය නොහැකි අතර, මිනිසුන්ට රිසි සේ ඉන්ද්‍රිය පිනවීම ද නො කළ හැකි ය.

බටහිර විද්‍යාව යනු මිනිසා විසින් නිර්මාණය කෙරී ඇති තවත් දැනුම් පද්ධතියක්‌ පමණකි. බටහිර විද්‍යාව පිළිබඳ දාර්ශනිකයන් සඳහන් කරන ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වැනි සුවිශේෂ ලක්‌ෂණ එහි නොමැත. එමෙන් ම බටහිර විද්‍යාව වර්ධනය වන්නේ ධනපති ක්‍රමය නිසා ද නො වේ. පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක බටහිර විද්‍යාවේ වර්ධනයට හේතුව බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇති ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ය. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ එයට පදනම් වු චින්තනය නිසා මිස එහි ඇතැයි කියෑවෙන වෙනත් මහේශාක්‍ය ගුණයක්‌ නිසා නො වෙයි.

නලින් ද සිල්වා