logo3.gif (702 bytes)

HOME


වියුක්‌තකරණය හා සාධාරණීකරණය

වියුක්‌ත සංකල්ප අර්ථදැක්‌වීම හා සාධාරණීකරණය භෞතික විද්‍යාවෙන් ඈතට යත් ම ක්‍රමයෙන් අසීරු වෙයි. සමාජීය විද්‍යාවන්හි වියුක්‌තකරණය අර්බුදයක තත්ත්වයට මෝරයි. සිත් පිත් නැති භෞතික ලෝකයෙහි මෙන් නො ව ජීව විද්‍යාවන්හි හා විශේෂයෙන් ම මිනිසුන් හා සම්බන්ධ සමාජීය විද්‍යාවන්හි වියුක්‌ත සාධාරිත සංකල්පයක්‌ අර්ථදැක්‌වීමෙහි දී ගැටලුවලට මුහුණපෑමට සිදු වෙයි. බටහිර භෞතික විද්‍යාවේ වියුක්‌ත සාධාරිත සංකල්ප හා ප්‍රවාද අනුගමනය කිරීමට බටහිර සමාජයීය විද්‍යාවන්හි ද උත්සාහ ගැනෙනු දැකිය හැකි විය. සමාජීය විද්‍යාවන් ඇරඹි මුල් කාලයේ දී ඒ ප්‍රයත්නය දැරිණි. කාල් මාක්‌ස්‌ පඬිවරයා බටහිර භෞතික විද්‍යාවේ ආකෘතියෙන් කෙතරම් වශී වී සිටියේ ද කිව හොත් ඉතිහාසය පවා ඒ ආකෘතිය අනුව හැදෑරීමට ඔහුට අවශ්‍ය විය. බටහිර භෞතික විද්‍යාවේ ඇති අනාවැකි ඉතිහාසයේ ද කිරීමට ඔහු මැළි නො වී ය. ධනපති ක්‍රමයේ බිඳ වැටීම, සමාජවාදය හා කොමියුනිස්‌ට්‌වාදය බිහි වීම ගැන ඔහු අනාවැකි පළ කෙළේ ය. මේ අනාවැකි එකක්‌ වත් ඉටු නො වීම ද පසු කලෙක බටහිර සමාජයීය විද්‍යාවන්හි කඩාවැටීමට හේතු විය. බටහිර සමාජයීය විද්‍යාවන්ට අද සමාජය තේරුම් කර දිය හැකි ද යන්න ම ප්‍රශ්නයකි.

අපි බටහිර ජීව විද්‍යාවෙහි සංකල්ප සාධාරණීකරණය සලකා බලමු. බටහිර ජීව විද්‍යාවට ජීවියා හා ප්‍රාණියා අතර වෙනස නො තේරුණ ද, ලිංග භේදය යම් ප්‍රමාණයකට තේරෙයි. පිරිමි සතුන් හා ගැහැනු සතුන් අතර වෙනස හඳුනාගැනීමට බටහිර ජීව විද්‍යාව බොහෝ විට සමත් වෙයි. පිරිමි සතා යන්න පිළිබඳ වියුක්‌ත සංකල්පයක්‌ ගොඩනඟා ගැනීමට ද බටහිර ජීව විද්‍යාවට හැකි ය. ප්‍රජනනයේ දී ගැහැනු සතා ගේ කාර්යය ආදිය පිළිබඳව ජීව විද්‍යාව මූලික වශයෙන් ගත් කල ගැටලු නැත. එහෙත් බටහිර භෞතික විද්‍යාව පසුපස යැමට වලිකන බටහිර සමාජයීය විද්‍යාවන්ට ගැහැනුකම, පිරිමිකම සංකල්පගත කිරීමට නො හැකි ය. සාමාන්‍ය ගැහැනුකම නැත්නම් වියුක්‌ත ගැහැනුකම යනු කුමක්‌ දැයි නිර්වචනය කිරීම බටහිර සමාජයීය විද්‍යාවන්ට නො හැකි ය. ගැහැනුකමට අයත් වන්නේ කිනම් ලක්‍ෂණ ද? ගස්‌ නැඟීම පිරිමිකම ප්‍රදර්ශනය කෙරෙන්නක්‌ ද? ගැහැනු සාමාන්‍යයෙන් ප්‍රචණ්‌ඩත්වයට එරෙහි වන්නෝ ද? පිරිමින්ට ගැහැනුන්ට වඩා බුද්ධියක්‌ වේ ද? ගැහැනු පිරිමින්ට වඩා සංයුක්‌තව සිතන්නෝ වෙත් ද? බටහිර ජීව විද්‍යාවේ සාමාන්‍ය ගැහැනිය යන්න වියුක්‌තව නිර්වචනය කළ හැකි වුව ද, බටහිර සමාජයීය විද්‍යාවන්හි ගැහැනුකමෙන් හෙබි සාමාන්‍ය ගැහැනියක්‌ යනු කවුද යන්නට පිළිතුරු සෙවීම කළුනික සෙවීමක්‌ වෙයි. ජෛවීය ගැහැනිය හා පිරිමියා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට සාමාන්‍යයෙන් හැකි වුව ද සමාජීය වශයෙන් ගත් කල සාධාරණ (General) ගැහැනුකම (ගුණය) හඳුනා ගැනීමේ දී ප්‍රශ්න ඇති වෙයි.

එහෙත් මෙයින් කියෑවෙන්නේ සමාජයීය වශයෙන් සාධාරණ ගැහැනුකම යනුවෙන් ගුණයක්‌ නොමැති බව ද? එසේත් නැත හොත් එයට වැඩි දෙයක්‌ ඉන් කියෑවෙන්නේ ද? මෙයින් කියෑවෙන්නේ බටහිර විද්‍යා දැනුමෙහි සීමා ය. බටහිර සමාජයීය විද්‍යාවට අද ජාතිය යන්නට නිර්වචනයක්‌ සැපයිය නො හැකි ය. ඊනියා ගෝලීයකරණය යටතේ ජාතිය යන්න දිය වී ඇතැයි ඔවුහු කියති. එහෙත් ලෝක පාපන්දු කුසලාන සඳහා වූ තරගවල දී ඒ බවක්‌ නො පෙනිණි. අනෙක්‌ අතට ඇමෙරිකා එක්‌සත් ජනපද රාජ්‍යය හා ජාතිය (ජාතික රාජ්‍යය) දිය වී යන බවක්‌ නො පෙනෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි සිත් පිත් තබා ජීවයක්‌ නැති ද්‍රව්‍ය, විකිරණ අධ්‍යයනය කෙරෙයි. ගැලීලියෝ විද්වතා පෙන්වා දුන්නේ එහි දී නිරීක්‍ෂණ උද්ගමනය කළ හැකි බවත් වියුක්‌ත සංකල්ප නිර්මාණය කළ හැකි බවත් වියුක්‌ත ප්‍රවාද ගොඩනැඟිය හැකි බවත් ය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස බටහිර ගණිතය ඉතා සාර්ථක ලෙස බටහිර භෞතික විද්‍යාවෙහි යොදාගත හැකි ය. බටහිර වියුක්‌ත ගණිතය යම් ක්‍ෂෙත්‍රයක සාර්ථකව යොදා ගැනීමට නම් ඒ ක්‍ෂෙත්‍රයෙහි වියුක්‌ත සංකල්ප තිබිය යුතු අතර වියුක්‌ත ප්‍රවාද ගොඩනැඟීමෙහි හැකියාව ද තිබිය යුතු ය. බටහිර භෞතික විද්‍යාවෙහි ඒ අංග බොහෝ දුරට ඇති බැවින් එහි බටහිර ගණිතය යොදා ගැනීමේ හැකියාව පවතියි. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙන් ඈතට යත් ම ඒ ඒ ක්‍ෂෙත්‍රවල බටහිර ගණිතය යොදා ගැනීම ක්‍රමයෙන් අඩු වෙයි. රසායන විද්‍යාවෙහි භෞතීය රසායන විද්‍යාව හැරුණු විට අනෙක්‌ සැම අංශයක ම පාහේ බටහිර ගණිතයට එතරම් වැදගත්කමක්‌ හිමි නො වන්නේ ඒ විද්‍යාවෙහි වියුක්‌ත සාධාරණ ප්‍රවාද හා සංකල්ප නිර්මාණය කිරීමේ අසීරුතාවේ තීව්‍රතාව කියන්නාක්‌ මෙන් ය.

බටහිර භෞතික විද්‍යාවෙහි සංඛ්‍යානාත්මක යාන්ත්‍රිකය (Statistical Mechanics) යනුවෙන් අංශයක්‌ වෙයි. මෙහි දී පරමාණු අණු ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් සැදි පද්ධති අධ්‍යයනය කෙරෙයි. ඒ එක්‌ එක්‌ අංශුවක්‌ වෙන වෙන ම ගෙන අධ්‍යයනය කිරීමට නොහැකි බැවින් එහි දී පද්ධතිය සැලකෙයි. එහෙත් මෙහි දී කිවයුත්තක්‌ නම් එහි පද්ධතිය ලෙස සැලකෙන්නේ අංශු රාශියක එකතුවක්‌ මිස වචනයේ පරිසමාප්තාර්ථයෙන් පද්ධතියක්‌ නො වන බව ය. බටහිර විද්‍යාවට හා දැනුමට එසේ සමස්‌තයක්‌ එකතුවක්‌ ලෙස නො ගෙන අධ්‍යයනය කිරීමට සංකල්ප නොමැත. අනෙක්‌ අතට බටහිර විද්‍යාවෙහි පද්ධතියක්‌ කුඩා කොටස්‌වලට කඩා විශ්ලේෂණය පමණක්‌ අවධාරණය කෙරෙයි. කෙසේ වුවත් අපි මේ අංශු එකතුවට සීමිත අර්ථයකින් වුව ද පද්ධතියක්‌ යෑයි කියමු. මේ පද්ධතිය සැලකීමේ දී බටහිර භෞතික විද්‍යාවට සංඛ්‍යානයෙහි සංකල්ප යොදා ගැනීමට සිදු වෙයි. එහෙත් පද්ධතියෙහි ඕනෑ ම අංශුවක්‌ මත ක්‍රියා කරන බල වෙනත් අංශුවක්‌ මත ක්‍රියා කරන බලවලින් වෙනස්‌ නො වන බව ද එක්‌ අංශුවක්‌ වෙනත් අංශුවකින් වෙනස්‌ නො වන බව ද බටහිර භෞතික විද්‍යාව දනියි. එසේ වුව ද සංඛ්‍යානාත්මක යාන්ත්‍රිකයට වැදගත් වූ තාපගතිකය නිව්ටෝනීය යාන්ත්‍රිකයට ඌනනය නො කළ හැකි බව ද බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති.

බටහිර ජීව විද්‍යාවෙහි මෙන් ම බටහිර සමාජයීය විද්‍යාවන්හි දී ද සංඛ්‍යානාත්මක ක්‍රම භාවිත වන්නේ වෙනත් ආකාරයකට ය. බොහෝ විට එහි දී විචල්‍ය දෙකක්‌ අතර සහසම්බන්ධයක්‌ (correlation) තිබේ දැයි සෙවීමට සංඛ්‍යානාත්මක ක්‍රම භාවිත කෙරෙයි. තරබාරු සත්තු වැඩිකල් ජීවත් වෙති වැනි නිගමනයකට එළඹීමට හෝ නො එළඹීමට හෝ සත්ත්ව විද්‍යාඥයා සතුන් ගේ තරබාරුකම හා මිය යන විට වයස ලකුණු කර ගන්නේ යෑයි සිතමු. දැන් ඒ විද්‍යාඥයාට තරබාරුකම හා වයස අතර සහසම්බන්ධයක්‌ ඇත්නම් එය සංඛ්‍යානාත්මක ක්‍රම භාවිතයෙන් දැනගත හැකි ය. මෙහි දී කෙරෙන්නේ උද්ගමනයක්‌ ය. තරබාරු සතුන් කිහිප දෙනකු වැඩි කාලයක්‌ ජීවත් වී ඇත්නම් විද්‍යාඥයාට ඒ දැනුම සියලු සතුන් සම්බන්ධයෙන් වලංගු වේ දැයි අධ්‍යයනය කිරීමට අවශ්‍ය වෙයි. එහෙත් සියලු සතුන් සඳහා එවැනි අධ්‍යනයනයක්‌ කළ නොහැකි ය.

අනෙක්‌ අතට බටහිර භෞතික විද්‍යාවේ සාමාන්‍යයෙන් නො වන දෙයක්‌ ද මෙහි දී සිදු වෙයි. ගැලීලියෝ විද්වතා විසින් කරන ලදැයි කියන පර්යේෂණයට අනුව සියලු වස්‌තු පොළොව ආසන්නයේ දී එක ම ත්වරණයකින් පොළොව දිශාවට චලනය වෙයි. එහි දී දැනට කර ඇති එවැනි පර්යේෂණවල දී සියලු වස්‌තු එලෙස එක ම ත්වරණයකින් පොළොවට වැටෙන බව පෙනී ගොස්‌ ඇත. එහෙත් ජීව විද්‍යාඥයා ගේ අධ්‍යයනයෙහි දී ඇතැම් තරබාරු සතුන් අඩු කාලයක දී මිය යන බව දැනගැනීමට ලැබීමට ඉඩක්‌ ඇත. සියලු සතුන් ගැන කෙරෙන පර්යේෂණයකින් හෝ අධ්‍යයනයකින් හෝ තොර ව සියලු තරබාරු සත්තු වැඩි කාලයක්‌ ජීවත් වෙති යන නිගමනයට එළඹීමට නොහැකි බව බටහිර ජීව විද්‍යාඥයා දැනගනියි. තරබාරු සතුන් ගැන එවැනි සාධාරණ නිගමනයකට එළඹීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසුව බටහිර ජීව විද්‍යාඥයා කරන්නේ සතුන් ගෙන් වැඩි ප්‍රමාණයකට ඒ නිගමනය වලංගු වන්නේ යෑයි සොයා බැලීම ය. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හා බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙලෙස සංඛ්‍යානාත්මක ක්‍රම භාවිතයට ගැනෙයි. ඕනෑ ම ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඵෙක්‍යය සෘජු කෝණ දෙකක්‌ වේ ය හෝ ඕනෑ ම වස්‌තුවක්‌ පොළොවට ආසන්නයේ දී එක ම ත්වරණයකින් ඇද වැටෙයි ආදී ප්‍රකාශ බටහිර සමාජයීය විද්‍යාවන්හි කිරීමට නොහැක්‌කේ සාධාරණීකරණයෙහි දී (උද්ගමනයෙහි දී) ඇති වන ගැටලු හේතු කොටගෙන ය.

බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය පිළිබඳව මෙහි වැඩිදුර යමක්‌ සඳහන් කළ යුතු නො වන්නේ පෝල් ෙයරාබන්ඩ් විද්වතා තම "විධික්‍රමයට එරෙහි ව" හා වෙනත් කෘති මගින් ඒ බොරුව හෙළිදරවු කර ඇති බැවිනි. එමෙන් ම තෝමස්‌ කූන් පඬිවරයා පෙන්වා දී ඇත්තේ බටහිර විද්‍යාවෙහි සාමාන්‍ය කාලවල දී බටහිර විද්‍යාඥයන් කරන්නේ එවකට සම්මත වී ඇති ප්‍රවාදයක්‌ තහවුරු කිරීම සඳහා කටයුතු කිරීම මිස කාල් පොපර් විද්වතා පෙන්වා දී ඇති අයුරින් ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට උත්සාහ කිරීමක්‌ නො වන බව ය. කූන් විද්වතාට අනුව බටහිර විද්‍යාවේ විප්ලවකාරී යෑයි කිව හැකි අවස්‌ථාවල දී එහි සුසමාදර්ශී වෙනසක්‌ (Paradigm shift) සිදු වෙයි. ඔහුට අනුව මේ යම් කාලයක දී බටහිර විද්‍යාවෙහි ප්‍රවාද නිර්මාණය වන්නේ යම් සුසමාදර්ශයක ය. එහෙත් මේ සුසමාදර්ශ ඉඳහිට වෙනස්‌ වෙයි. අයින්ස්‌ටයින් විද්වතා එවැනි සුසමාදර්ශ වෙනසක්‌ සිදු කළේ ය. ඔහු නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට අයින්ස්‌ටයිනීය සුසමාදර්ශය ඉදිරිපත් කළේ ය. ඉන් පසු කාලය හා අවකාශය පිළිබඳ බටහිර භෞතික විද්‍යාවේ අදහස්‌ වෙනස්‌ විය.

බටහිර විද්‍යාවේ එවැනි සුසමාදර්ශී වෙනසක්‌ වන විට එය බටහිර අනෙක්‌ ක්‍ෂෙත්‍රවලට බලපායි. පහළොස්‌වැනි සියවසේ පමණ සිට බටහිර භෞතික විද්‍යාවේ සුසමාදර්ශය නිව්ටෝනීය සුසමාදර්ශය විය. ගැලීලියෝ විද්වතා ගේ කාලයේ දීත් මේ සුසමාදර්ශය තිබූ නමුත් සාමාන්‍යයෙන් එය නිව්ටෝනීය සුසමාදර්ශය ලෙස හැඳින්වෙයි. නිව්ටෝනීය සුසමාදර්ශය ක්‍රියාත්මක වූයේ බටහිර භෞතික විද්‍යාවේ පමණක්‌ නො වේ. මුළු මහත් බටහිර දැනුමෙහි ම එකල ක්‍රියාත්මක වූයේ නිව්ටෝනීය සුසමාදර්ශය ය. අයින්ස්‌ටයින් විද්වතාට පළමුව ද බටහිර විද්‍යාවෙහි හා ඒ ආශ්‍රිතව අනෙක්‌ ක්‍ෂෙත්‍රවල ද සුසමාදර්ශී වෙනසක්‌ සිදු විය. ඒ තාපගතික (Thermodynamic) සුසමාදර්ශ සම්බන්ධයෙන් විය. තාපගතිකය නිව්ටෝනීය යාන්ත්‍රිකයට ඌනනය කරගත නො හැකි විය. ඉන්පසු ඇති වූ සුසමාදර්ශය වූයේ අයින්ස්‌ටයිනීය සුසමාදර්ශය ය. කලින් සඳහන් කළ ආකාරයෙන් ඒ සුසමාදර්ශය ද අනෙක්‌ ක්‍ෂෙත්‍රවලට ද බලපෑවේ ය. පිකාසෝ චිත්‍ර ශිල්පියා ගේ චිත්‍රවල අවකාශය අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙන් ගලා එයි. අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙහි මගේ අවකාශය තවත් කෙනකු ගේ අවකාශයෙන් වෙනස්‌ වෙයි. මගේ අවකාශයෙන් කොටසක්‌ තවත් අයකු ගේ කාලයෙන් කොටසක්‌ විය හැකි ය. සිද්ධි (events) දෙකක්‌ අතර මා මනින දුර වෙනත් අයකු මනින දුරට වඩා වෙනස්‌ විය හැකි ය. පිකාසෝ ගේ චිත්‍රවල ද මේ ලක්‍ෂණය දැකිය හැකි ය. පිකාසෝ ශෛලියෙහි මිනිසකු ගේ හෝ ගැහැනියක ගේ හෝ චිත්‍රයක්‌ ඇඳීමේ දී සාමාන්‍යයෙන් දක්‌වන ක්‍රමයට, එනම් නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ආකාරයට, නහයට පහළින් කට ආදී වශයෙන් තිබිය යුතු ය. එහි දී නහය ඇතැම් විට සිරසෙහි තිබිය හැකි ය. ඒ ඒ නිරීක්‍ෂකයා අවකාශය ග්‍රහණය කරගන්නේ ඒ ඒ ආකාරයට ය.

පිකාසෝ චිත්‍ර පැහැදිලිව ම අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයෙහි නිර්මාණය වූ චිත්‍ර ය. එක්‌තරා ආකාරයකින් ගත හොත් නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ඇති දෘඪ බව එහි නැත. බටහිර නාට්‍ය කලාවෙහි ද අනෙක්‌ ක්‍ෂෙත්‍රවල ද මේ වෙනස දැකගත හැකි ය. අපේ ශාන්තිකර්ම හා ශෛලිගත යෑයි කියෑවෙන නාට්‍ය නිව්ටෝනීය සුසමාදර්ශයක බිහි වූ නාට්‍ය නො වෙයි. ඒ අයින්ස්‌ටයිනීය සුසමාදර්ශයට ද අයත් නො වේ. ඒ අයත් වන්නේ වෙන ම චින්තනයකට ය. එහෙත් මේ අපේ නාට්‍ය ගැන විස්‌තරයක්‌ කිරීමට අවස්‌ථාව නො වෙයි. මෙහි දී මට අවශ්‍ය වන්නේ සුසමාදර්ශී වෙනස්‌කම්වලට ද වඩා ගැඹුරු චින්තන වෙනස්‌කම් ඇති බව කීමට පමණ ය.

නලින් ද සිල්වා