logo3.gif (702 bytes)

HOME


පරිසර නියමු භටයකු වී පරිසරය රැකගන්න

සොබාදහමෙන් ලැබුණු අමිල දායාදයක්‌ වූ ස්‌වාභාවික පරිසරය සුරැකීමට මෙරට සිසු පරපුර මෙහෙයවන එක ම රාජ්‍ය ආයතනය වන මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පරිසර නියමු ජාතික කඳවුර මෙවර රන්දෙනිගල රන්ටැඹේ වනජීවී පුහුණු කේන්ද්‍රය හා ජාතික ශිෂ්‍ය භට බලකා කඳවුරු පරිශ්‍රයේ දී පැවත්වීමට නියමිත ය. මේ ඒ නිමිත්තෙන් සැකසෙන ලිපියකි.

අනාගත ශ්‍රී ලාංකේය දරු පරපුර පරිසර හිතකාමීන් ලෙස සමාජගත කිරීමේ පරමාර්ථය ඇති ව අධ්‍යාපන අමාත්‍යංශයේ හා පරිසර අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ වඩාත් පුළුල්ව ක්‍රියාත්මක කරනු ලබන පාරිසරික ජාලයක්‌ ලෙස පරිසර නියමු වැඩසටහන හැඳින්විය හැකි ය. වර්ෂ 1984 ද කොළඹ මාලිගාවත්ත නව නගරය කේන්ද්‍ර කරගෙන සිසුන් 25 දෙනකු ගෙන් යුත් කුඩා කණ්‌ඩායමක්‌ ලෙස ඇරඹි මෙය වර්තමානයේ ප්‍රධාන අංශ තුනක්‌ යටතේ දීප ව්‍යාප්ත ව ඇත. එනම් පෙර පාසල් වැඩසටහන, පරිසර ළමා වැඩසටහන සහ පරිසර නියමු වැඩසටහන යනුවෙනි.

පෙර පාසල් වැඩසටහන

කුඩා දරුවන් ගේ සිත් සතන් තුළ පාරිසරික රසවින්ඳනය තීව්‍ර කිරීමත් සම`ග පරිසර හිතකාමී ආකල්ප හා කුසලතා සෞන්දර්යාත්මකව වර්ධනය කිරීම මේ පෙර පාසල් වැඩසටහනේ මූලික අරමුණ වේ. මේ වන විට සිංහල දෙමළ මාධ්‍ය ඔස්‌සේ ඉතා ම හොඳින් ක්‍රියාත්මක කරන මේ පෙර පාසල් වැඩසටහනට අයත් පෙර පාසල් ගණන 16750කි. පරිසර සංරක්‌ෂණයට අත් පොත් තබන පෙර පාසල් දරුවා ඉන් පසු ප්‍රවේශ වන්නේ පරිසර ළමා වැඩසටහනට ය.

පරිසර ළමා වැඩසටහන

පරිසර ළමා වැඩසටහනේ දී සිසුවෙක්‌ පාසල තුළ දී පරිසර නියමුවකු වශයෙන් දිගු ගමනක්‌ යැම සඳහා මූලික පියවර තබයි.

මෙහි දී පරිසර නියමු සිසුවා මූලික ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වෙයි. එනම් පාසල තුළ කැපී පෙනෙන චරිතයක්‌ බවට පත් වන පිරිසර නියමු සිසුවා පරිසර සංරක්‌ෂණය වෙනුවෙන් කැප වන ක්‍රියාකාරි පුද්ගලයෙකු බවට පත් වෙයි.

දිවයින පුරා පිහිටි පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්‌වා ඉගෙනුම ලබන ප්‍රාථමික පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් පරිසර ළමා සමාජ (Eco club) වැඩ සටහන වසර 2000 සිට මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙයි. මෙයට දායකත්වය ලබා දෙන පාසල් ගණන 2650ක්‌ වෙයි.

පරිසර ළමා වැඩසටහන යටතේ ක්‍රියාකාරි වන සිසුන් විෂයානුබද්ධ ඉගැන්වීම් ඔස්‌සේ පාසල් හා බාහිර පරිසර පද්ධති පිළිබඳ සරල ප්‍රායෝගික දැනුමක්‌ ලබා ගන්නා අතර සාර්ථක ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල යෙදුණු සිසුන් සඳහා ඔවුන් නිම කරනු ලබන ක්‍රියාකාරකම් අනුව තුරුලතා, විහ`ග, සොබා යන පදක්‌කම් තුන සහ වටිනා ත්‍යාග පිරිනැමේ.

මෙහි දී 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්‌වා ඉගෙනුම ලබන සිසුන්ට අවට පරිසර පද්ධති කෙරෙහි අවබෝධයෙන් යුතුව කටුයුතු කිරීමෙන් තුරු ලතා පදක්‌කම හිමි කරගත හැකි වෙයි.

විහ`ග පදක්‌කම හිමි කර ගත හැකි වන්නේ ජීවී අජීවී සත්ත්වයන් ගේ ක්‍රියාකාරකම් සහ ඒ අශ්‍රිත නිර්මාණාත්මක දැනුම කෙරහි මූලික අවධානය යොමු කිරීමෙනි.

මේ පරිසර ළමා සමාජ පවත්වාගෙන යැමට උනන්දු වී ක්‍රියා කරන ගුරුවරුන් සඳහා මනා පුහුණුවක්‌ සම`ග ම`ගපෙන්වීමක්‌ මධ්‍යයම පරිසර අධිකාරිය විසින් ලබා දෙනු ලැබේ.

පරිසර නියමු වැඩසටහන

පරිසර නියමුවා යනු මානව හිතවාදී නෙතකින් අවට පරිසරය කෙරෙහි නිරන්තර කැප වන මනා පෞරුෂයකින් පිරිපුන් චරිතයකි. පරිසරය සුරක්‌ෂිත කිරීමෙහි ලා නව මං සොයන නියමුවන් තෝරා ගැනීම හා ඔවුන් කණ්‌ඩායම්ගත කිරීම නිලධාරීන්ගේ අධීක්‌ෂණය යටතේ සිදු වෙයි.

මෙහි දී 6 ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලබන පරිසර නියමු කණ්‌ඩායමට බැඳීමට කැමැති සිසුන් ගෙන් වර්ෂය මුල දී අයදුම්පත් කැඳවයි. මෙයින් සිසුන් 25 දෙනකු ගෙන් යුත් කණ්‌ඩායමක්‌ තෝරා ගැනීම විදුහල්පතිවරයා ගේ අනුමැතිය අනුව සිදු වෙයි.

"පරිසරය අපි රකියි. රකිමු අපි පරිසරය" යන තේමාව යටතේ ශ්‍රී ලාංකේය පාරිසරික උරුමය සුරැකීමට පියන`ගන පරිසර නියමුවකුට පරිසර ක්‍රියාකරකම් ගණනාවක්‌ හා සම්බන්ධ වෙමින් පරිසර නියමු පදක්‌කම, හරිත වර්ණ පදක්‌කම, රජත වර්ණ පදක්‌කම, ස්‌වර්ණ වර්ණ පදක්‌කම සහ ජනාධිපති පදක්‌කම යන පදක්‌කම් 5ක්‌ ලබා ගැනීමට හැකි වෙයි.

මෙහි දී පාසල් භූමියේ දී හෝ තම ගෙවත්තේ දී හෝ අවට පරිසරයේ ගස්‌ වැල් හඳුනා ගනිමින් පරිසර නියමු ලාංඡනය පළඳින පරිසර නියමුවා විවිධ කඩඉම් ඔස්‌සේ ඉදිරියට ගොස්‌ ජනාධිපතිවරයා අතින් ජනාධිපති පදක්‌කම ද ලබා ගැනීමට සමත් වෙයි. මේ වන විට මෙරටට බිහි කර ඇති ජනාධිපති පදක්‌කම්ලාභී සිසුන් ගේ ගණන 205ක්‌ වේ.

පරිසර වැඩසටහන පාසල් පද්ධතියට හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාසල් සිසුන් අතර පරිසරය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම, විවිධ පරිසර මාතෘකා ඔස්‌සේ පැවැත්වෙන දේශන සඳහා සවන් දීමට හුරු වීම, පරිසරය නිරීක්‌ෂණය කිරීම සඳහා ක්‌ෂේත්‍ර චාරිකාවල නියෑළීම, මානව ක්‍රියාකාරකම් තුළින් හා ඉන් බැහැර ව සිදුවන පරිසර ගැටලු හඳුනා ගැනීම වැනි අවස්‌ථාවන් හා ක්‍රියාකරකම්

රැසකට සිසුන්ට සහභාගි වීමට අවස්‌ථාව සැලසීම ය.

ජාතික පරිසර ක`දවුර

හෙට දවසේ නායකත්වයට පිවිසෙන පාසල් සිසු සිසුවියන් අතරින් වරින් වර, වසරින් වසර දලු ලා වැඩෙන පරිසර නියමු වැඩසටහන් ක්‍රියාත්මක පාසල්වල සිසුන් ගේ සංඛ්‍යාව ලක්‌ෂයක්‌ ඉක්‌මවයි. පරිසර නියමු වැඩසටහනේ සුවිශේෂී අවස්‌ථාව වන්නේ පරිසර නියමු කඳවුරු කලාපීය හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් මෙන්ම ජාතික වශයෙන් පැවත්වීමයි. පරිසර නියමු කඳවුරු කලාප කොමසාරිස්‌වරුන් ගේ අධීක්‌ෂණය යටතේ පැවැත්වෙන අතර දිස්‌ත්‍රික්‌ කඳවුරු පරිසර නියමු කොමසාරිස්‌වරුන් ගේ අධීක්‌ෂණය යටතේ පැවැත්වේ.

දිවයින පුරා පැතිරී සිටින නියමුවන් ගෙන් තෝරා ගන්නා ඉහළ කුසලතා ඇති නියමුවන් ගේ සහභාගිත්වයෙන් පරිසර නියමු ජාතික කඳවුරු පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සැම ප්‍රදේශයකින් ම පැමිණෙන පරිසර නියමුවන් 400ක්‌ පමණ දෙනා සාමාන්‍යයෙන් දින 3ක්‌ පුරා පැවැත්වෙන පරිසර ජාතික කඳවුරට සහභාගි වෙති.

ඒ අනුව මෙවර එනම්, වසර 2012 ජාතික පරිසර නියමු කඳවුර රන්දෙණිගල රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකා මූලස්‌ථානය හා වනජීවී පුහුණු කේන්ද්‍රය ආශ්‍රිතව සැප්තැම්බර් 21 සිට 25 දක්‌වා පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙවර කඳවුරේදී වැඩි අවධානයක්‌ න්‍යායික පාරිසරික දැනුම ලබා දීමට වඩා ප්‍රායෝගික පාරිසරික කරුණු කෙරෙහි යොමු වනු ඇත.

ඒ අනුව පරිසර හිතකාමී නව නිර්මාණ එළි දැක්‌වීම, ඒ ඒ පළාත්වලට ආවේනික පාරිසරික සංස්‌කෘතිකාංග එළි දැක්‌වීම ට අමතරව ක්‌ෂේත්‍ර පරිසර ගවේෂණ චාරිකා ද සිදු කෙරේ. එම ක්‌ෂේත්‍ර චාරිකා අතරට සොරබොර වැව, මහවැලි ගෙ`ග් වැලි ගොඩ දමන ප්‍රදේශය, මිණිපේ ජල හැරවුම, රන්දෙණිගල ජලාශය සහ වැදි ජනතාව ජීවත් වන දඹාන ප්‍රදේශ ද ඇතුළත් ය. මේ ක්‍රියාකාරකම්වලට අමතරව පරිසරය හා සම්බන්ධ විද්වත් කතිකා, පරිසරය හා බැඳුණ යෝගි ව්‍යායාම් යනාදි අංග ගණනාවක්‌ මෙවර පරිසර කඳවුරට ඇතුළත් වී ඇත.

එහෙයින් මෙරට මාපියනි, ඔබේ දරුවා පෙර පාසල් සමයේ සිට පරිසරය හා සම්බන්ධ දැනුමක්‌ ලබා දීමට හා එහි ක්‍රියාකාරකම්වලට යොමු කිරීමට කටයුතු කර රටට දැයට වැඩදායී පුරවැසියකු කරනු මැනැවි.

අමල් උඩවත්ත
විශේෂ ස්‌තූතිය මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ඒකකය (ඡායාරූප ( මාධ්‍ය ඒකකය මධ්‍යම පරිසර අධිකාරිය)