|
පනතින් ආරක්ෂිත සැබැවින් අනාරක්ෂිත
මල් ලොව අග රැජින
මල්
ලොව රැජිණ ලෙස විරුදාවලිය ලත් උඩවැඩියා හෙවත් ඉංගී්රසි භාෂාවෙන් ඕකිඩ්
(Orchid) යනු ඕකිඩාසියේ කුලයට (Orchidaceae
family) අයත් සපුෂ්ප ශාක හෙවත් මල් පීදෙන ශාක විශේෂයකි. කිසියම් ආධාරකයක්
හෙවත් ධාරක ශාකයක් මත භූමියෙන් ඉහළ පෙදෙසක වැඩෙන බැවින් උඩවැඩියා යනුවෙන්
හඳුන්වන්නට ඇත. ලෝකයේ උත්තර හා දක්ෂිණ ධ්රැව දෙකෙන් හා ඉතා දැඩි උණුසුම්
කාන්තාර පෙදෙස්වල හැර සියලු ම මහාද්වීපවල විවිධ දේශගුණික කලාප අශ්‍රිතව
උඩවැඩියා සරුවට වැඩේ.
වර්ෂ 1845 දී ජෝන් ලින්ඩේල් විසින් කැරොලස් ලිනේයස් ගේ ශාක වර්ගීකරණයට අනුව
උඩවැඩියා ඕකිඩාසියේ කුලයට අයත් බැව් පෙන්වා දෙන ලදී. ගොඩබිමේ වැඩෙන උඩවැඩියා
ශාකයේ අල වෘෂණ කෝෂයක හැඩයට හා සමාන වූ බැවින් ග්‍රීක බසින් ඕකිස් (Orchis) යන
අරුත ඇති ව හැඳින්වුවත් ලතින් ශාක නාමකරණයට අනුව ඕකිඩේසියේ (Orchidaceae)
යනුවෙන් හඳුන්වන ලදී. සපුෂ්ප ශාක කුළ අතර විශාලතම ශාක කුලය වන ඕකිඩේසියේ කුලයට
අයත් ශාක විශේෂ ගණන 21950ත් 26049ත් අතර ප්‍රමාණයක් වෙයි. මේ සියලු ම විශේෂ ගණ
880කට අයත් වෙයි. එසේ ම උප කුල 5කට බෙදෙයි. මේ උප කුල 5 ඇපොස්ටසියෝඩියේ (Apostasiodeae),
සිප්රිපෙඩියෝඩියේ (Cypripediodeae), එපිඩෙන්ඩ්රොබියේ (Epidendrodeae),
වැනිලොයිඩියේ (Vanilloideae), ඕකිඩොයිඩියේ (Orchidoideae) යනුවෙන් හැඳින්වෙයි.
ආසියාව, දකුණු ඇමෙරිකාව සහ මධ්‍යම ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව, ඝර්ම කලාපීය
ඇමෙරිකාව, ඝර්ම කලාපීය අප්‍රිකාව සහ යුරෝපි රටවල උඩවැඩියා දක්නට ලැබේ. ආසියානු
රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ උඩවැඩියා විශේෂ 200කට වඩා වැඩි සංඛ්‍යාවක් දක්නට
ලැබෙන අතර මෙයින් විශේෂ 78ක් වැනි ප්‍රමාණයක් ආවේනික වෙයි. මේ වන විටත් විශේෂ
04ක් වඳ වී ගොස් ඇති අතර විශේෂ 26ක් වඳ වී යැමේ දැඩි තර්ජනයට ලක් ව ඇත. එසේ
ම විශේෂ 44ක් වඳ වී යැමේ තර්ජනයට ලක් ව ඇත. විශේෂ 52ක් වඳ වී යැමේ අවදානමට
ලක් ව ඇත. දත්ත රහිත උඩවැඩියා විශේෂ 4ක් වේ.
|