logo3.gif (702 bytes)

HOME


නව හාල් දණ්‌ඩන් විශේෂයක්‌ ද මේ?

ශ්‍රී ලංකාවට ආවේනික යෑයි සිතිsය හැකි නව හාල්දණ්‌ඩන් විශේෂයක්‌ කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් හඳුනා ගැනීමට මෙරට පරිසරවේදියකු මෙන්ම ජෛවවිවිධත්ව සංරක්‌ෂකයකු වන විජය ආනන්ද් මහතා සමත් ව සිටී.

කුඩා කාලයේ සිට ම පරිසරය පිළිබඳ වත් වන සතුන් පිළිබඳ වත් අධ්‍යයනය කරන ස්‌වාධීන පර්යේෂකයකු වන ඒ මහතා කලක්‌ ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන් ගේ සංගමයට බැඳී උරගයන් පිළිබඳව අධ්‍යයන කටයුතු සිදු කළ අයෙකි.

කළුතර දිස්‌ත්‍රික්‌කයට අයත් වනාන්තර පද්ධතියක ගවේෂණ කටයුතුවල නිරත ව සිටි අවස්‌ථාවේ දී මේ නව හාල්දණ්‌ඩන් විශේෂය හඳුනා ගැනීමට ලැබී තිබේ.

"ශ්‍රී ලංකාවේ වෙසෙන හාල්දණ්‌ඩන් විශේෂ ගණන 5ක්‌ වෙනවා. වෙනත් හාල්දණ්‌ඩන් ගේ ශරීර ලක්‌ෂණවලට වඩා වෙනස්‌ ශරීර ලක්‌ෂණ මේ නව හාල්දණ්‌ඩන් විශේෂයේ දක්‌නට ලැබෙනවා. නමුත් බාහිර ලක්‌ෂණවලින් එසේ වුවත් තවදුරටත් විද්‍යාත්මකව පර්යේෂණ කරලා මේ විශේෂය ශ්‍රී ලංකාවට ආවේනික ද නැද්ද යන්න සොයාගත යුතුයි." යනුවෙන් ආනන්ද් පවසයි.

සොයාගත් මේ හාල්දණ්‌ඩා දිගින් සෙන්ටිමීටර 119ක්‌ පමණ වේ. ශරීරය කහ වර්ණයක්‌ ගන්නා අතර ශරීරයේ විසිතුරු මුදු ආකාරයක්‌ දක්‌නට ලැබෙයි. හිසේ වර්ණ රටාවක්‌ ද දක්‌නට ඇත.

"මේ හාල්දණ්‌ඩා සොයාගත් පරිසර පද්ධතියත් අනෙක්‌ හාල්දණ්‌ඩන් වෙසෙන පරිසර පද්ධතියත් අතර වෙනසක්‌ නැහැ. නමුත් තවදුරටත් විද්‍යාත්මක වශයෙන් පිළිගත හැකි පර්යේෂණ තුළින් මේ විශේෂයේ තොරතුරු අනාවරණය කර ගත යුතුයි. කෙහොම වෙතත් බාහිර ලක්‌ෂණවලින් ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙක්‌ හාල්දණ්‌ඩන්ට වඩා විශේෂ ලක්‌ෂණ මේ විශේෂය තුළින් දක්‌නට ලැබෙනවා." යනුවෙන් ආනන්ද් පවසයි.



හාල්දණ්‌ඩා

ශ්‍රී ලංකාවේ හාල්දණ්‌ඩන් විශේෂ 5ක්‌ වෙසෙයි.

(වගුව බලන්න)

ශ්‍රී ලංකාවේ සර්පයන් පිළිබඳ පර්යේෂණවල නිරත වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ රුචිර සෝමවීර මහතා විසින් වසර 2006 දී ලියන ලද "ශ්‍රී ලංකාවේ සර්පයන්" නම් පර්යේෂණ ග්‍රන්ථයේ හාල්දණ්‌ඩන් විශේෂ 4ක්‌ පිළිබඳව සඳහන් වෙයි. එසේ වුවත් වසර 2011 සැප්තැම්බර් 07 වැනි දින රුචිර සෝමවීර මහතා විසින් ම යාවත්කාලීන කරන ලද Reptiles of Sri lanka නම් පර්යේෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වෙසෙන හාල්දණ්‌ඩන් විශේෂ 5ක්‌ පිළිබඳව සඳහන් වෙයි. මේ පර්යේෂණ වාර්තාවේ පඳුරු හාල්දණ්‌ඩන්, වයිරි හාල්දණ්‌ඩන්, තුරු හාල්දණ්‌ඩන් සහ ෂොකාරි ගේ හාල්දණ්‌ඩන් යන විශේෂ හතරට අමතරව Common Tree Snake
(Dendrelaphis punculatus) යන විශේෂය ඇතුළත් ය.

මේ පර්යේෂණ වාර්තාවේ ෂොකාරි ගේ හාල්දණ්‌ඩා (Schokari's Bronzeback) විද්‍යාත්මකව Dendrelaphis schokari යනුවෙන් හැඳින්වේ. ඊට අමතරව මේ විශේෂය Forest Bronze back යනුවෙන් වෙනත් වාර්තාවල හඳුන්වා ඇත. තවත් පර්යේෂණ වාර්තාවල මේ විශේෂ Dendrelaphi tristis යන විද්‍යාත්මක නමින් ස`දහන් වෙයි.

රුචිර සෝමවීර ගේ වාර්තාවේ තුරු හාල්දණ්‌ඩන් (Common Bronzeback), Dendrelaphis pictus යන විද්‍යාත්මක නමින් හඳුන්වා ඇත.

මෙවැනි පරස්‌පරතා පවතින හෙයින් මේ පර්යේෂණ වාර්තා පිළිබඳව වැඩිදුර විමසීමක්‌ කළ යුතු බැව් පෙනේ. මේ අතරතුර විජය ආනන්ද් මහතා විසින් හඳුනාගන්නා ලද හාල්දණ්‌ඩන් විශේෂය (Dendrelaphis. spp) දැනට ශ්‍රී ලංකාවෙන් හමු වන විශේෂ අතරට එක්‌ වන නව විශේෂයක්‌ වේ වි ද?

අමල් උඩවත්ත
ඡායාරූප දිවංක රන්දුල