logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 140
(ධනේෂ් විසුම්පෙරුම)

රළ පහරේ බලය අඩු කරන්නට
කඩොලාන සතු හැකියාව

කඩොලාන වැනි පරිසර පද්ධති වෙරළබඩ පරිසරයේ හා ගොඩබිම් තීරුවේ ආරක්‌ෂාව සඳහා වැදගත් බව බෙහෙවින් පිළිගැනෙන කරුණකි. විශේෂයෙන් සුළඟ නිසා හටගන්නා දැඩි රළ පහරින් ගොඩබිම ආරක්‌ෂා කිරීම සඳහා කඩොලාන බොහෝ ප්‍රයෝජනවත් ය. සුළිසුළං හා කුණාටු වැනි ස්‌වාභාවික ආපදාවලින් පරිසරයට සිදු වන හානිය වළක්‌වා ලීම සඳහා ද කඩොලාන වනාන්තරවලට හැකියාව තිබේ. එසේ ම ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති පරිදි එසේ ම සුනාමි වැනි ප්‍රබල තත්ත්වවල දී ද කඩොලාන පරිසරය යම් බාධකයක්‌ ලෙස සීමා සහිත ව හෝ ක්‍රියා කරයි.

කෙසේ වෙතත් සුළඟ මගින් ඇති කරන රළ පහර නිසා ඇති වන බලපෑම් වැළැක්‌වීමට කඩොලාන වනාන්තර බොහෝ සේ ප්‍රයෝජනවත් ය. මේ පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනයක්‌ පසුගිය අගෝස්‌තු මාසයේ දී ප්‍රකාශයට පත් විය. එය ප්‍රකාශයට පත් කර ඇත්තේ තෙත්බිම් ජාත්‍යත්තරය (Wetlands International) හා නේචර් කොන්සර්වන්සි (Nature Conservancy) නම් ජාත්‍යන්තර ආයතන මගිනි. මේ හා සම්බන්ධව ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයන වාර්තා යොදාගනිමින් දියුණු කර ඇති පුළුල් ආකෘතික අධ්‍යයනයක්‌ ලෙස සිදු කර ඇති මේ පර්යේෂණයේ දී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත්තේ සෙන්ටිමීටර් 70කට වඩා අඩු උසක්‌ ඇති සුළඟ මගින් ඇති වන රළ පහර (swell waves) නිසා ඇති වන බලපෑම් පිළිබඳව ය.

රළ පහරේ බලපෑම් අඩු කිරීම

ඒ අනුව මීටර් සියයක්‌ පමණ දිගු කඩොලාන තීරුවක්‌ මගින් රළවල උස සියයට 13ත් 66ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ඇති බව මෙහි දී හෙළි වී තිබේ. මේ ආකාරයෙන් රළවල ශක්‌තිය හා උස අඩු කිරීම සඳහා කඩොලාන තීරුව ක්‍රියා කරන්නේ රළ පහරේ ශක්‌තිය හානි කිරීමට බාධකයක්‌ ලෙස ය. ඉන් හෙළි වන කරුණු අනුව රළ පහරේ උස අඩු කිරීම සඳහා කඩොලාන තීරුව කෙතරම් පළල වේ ද යන්න සැලකිය යුතු සාධකයක්‌ වේ.

මේ බලපෑම සඳහා හේතු වන ප්‍රධාන සාධකය වන්නේ කඩොලාන අතර දැකිය හැකි විශාල ශාක වර්ග ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, නොගැඹුරු ජලයේ දී වැඩි බලපෑමක්‌ ඇති කරන්නේ කඩොලාන ශාක අතර ඇති වායුධර මුල් සහිත ශාක මගිනි. අනෙක්‌ අතට වඩා ගැඹුරු ජලයේ දී ගස්‌වල පහත මට්‌ටමේ ඇති අතු මගින් ද ඒ හා සමාන බලපෑමක්‌ ඇති වේ. මේ තත්ත්වය සඳහා වෙරළේ දැකිය හැකි බෑවුම ද වැදගත් වේ. උක්‌ත අධ්‍යයනයේ දී අනාවරණය වූ කරුණු යොදාගනිමින් වියට්‌නාමයේ කඩොලාන මගින් සිදු කරන රළ අඩු කිරීම පිළිබඳව කිසියම් පුරෝකථනයක්‌ සිදු කිරීමට ද හැකියාව ලැබී ඇත.

කෙසේ වෙතත් මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි බොහෝ අධ්‍යයන මගින් අවධානය යොමු කර ඇත්තේ සාපේක්‌ෂව අඩු උසක්‌ වන සෙ.මී. 70ට අඩු උසක්‌ ඇති රළ පිළිබඳව ය. මේ නිසා වඩා අධික උසක්‌ ඇති රළ පහර සම්බන්ධව හා වඩා ප්‍රබල සුළං පිළිබඳව දක්‌වන ප්‍රතිචාරය පිළිබඳව තවත් අධ්‍යයන අවශ්‍ය ව තිබේ. කෙසේ වෙතත් රළ පහරේ වේගය අඩාල කිරීමට කඩොලානවලට හැකියාව ඇති බැවින් මනාව කළමනාකරණය කරන ලද කඩොලාන තීරුවකින් ලැබෙන ප්‍රයෝජන සැලකිය යුතු තරම් ය.

මේ ප්‍රයෝජනය නො සලකා හැර තිබේ ද?

උක්‌ත අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ කඩොලාන පරිසර පද්ධති මගින් ඇති වන එක්‌ හිතකර හා වැදගත් බලපෑමකි. එහෙත් අපේ පරිසරයට මෙන්ම මිනිසුන්ට ද බොහෝ ප්‍රයෝජන ලබා දෙන මේ අපූරු පරිසර පද්ධති මේ වන විට මුහුණ දී ඇති තර්ජනය මහත් ය. ඉන් වඩාත් බරපතළ වන මිනිසුන් විසින් සිදු කරනු ලබන විනාශයට අමතරව දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති වී තිබෙන්නේ ද දැඩි තර්ජනයකි. මේ නිසා ස්‌වාභාවික ආපදාවලින් ඇති වන බලපෑම් වැළැක්‌වීමට දක්‌වන මිල කළ නොහැකි තරම් වන දායකත්වය ලෝකයට ලබා දීමට මේ අගනා පරිසර පද්ධතියට තවත් කෙතෙක්‌ කලක්‌ හැකි වේ ද යන්න අද ලෝකය හමුවේ ඇති ගැටලුව වේ. (මූලාශ්‍රයReductionofwindandswellwavesbymangroves”www.naturalcoastalprotection.org/documents/reduction-of-wind-and-swell-wavesby-mangroves)


ආක්‌ටික්‌ සාගරයේ පා වන අයිස්‌ දිය වීම


ආක්‌ටික්‌ සාගරය මතුපිට පා වන අයිස්‌ දිය වීමේ වේගය අපේක්‌ෂා කළ වේගයට වඩා අධික බව විද්‍යාඥයන් යළිත් තහවුරු කර තිබේ. පසුගිය මාසයේ අග භාගයේ දී මේ අයිස්‌ මට්‌ටම මෙතෙක්‌ වාර්තාගත අවම මට්‌ටමට ළඟා වූ අතර එය තවදුරටත් අඩු වෙමින් තිබේ. සාමාන්‍යයෙන් ආක්‌ටික්‌ සාගරයේ අයිස්‌ ආවරණයේ අවම මට්‌ටම ඇති වන්නේ සැප්තැම්බර් මස මැද දී පමණ ය.

අයිස්‌ දිය වන වේගය මීට වර්ෂ විස්‌සකට පමණ පෙර අපේක්‌ෂා කළ ප්‍රමාණයට වඩා ඉහළ බව පෙන්වා දී තිබේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් 1980 වර්ෂයේ දී පැවැති අයිස්‌ ආවරණයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 8ක්‌ පමණ වූ අතර 2007 වර්ෂයෙන් පසුව එය මිලියන 4ක්‌ පමණ දක්‌වා අඩු වී තිබේ. (මෑත කාලයේ දී සිදු වී ඇති අයිස්‌ දිය වීමේ තරම සිතියමෙන් දැක්‌වේ. එහි ළා පැහැ ඉරකින් දැක්‌වෙන්නේ 1979-2000 කාලයේ දී ග්‍රීෂ්ම Rතුවේ පැවැති අයිස්‌ ආවරණයේ සාමාන්‍ය මට්‌ටමයි. 2012 වර්ෂයේ පවත්නා අයිස්‌ ආවරණය සුදු පැහැයෙන් දැක්‌වේ.)

අයිස්‌ තට්‌ටුව දිය වීමෙන් ඇති විය හැකි තත්ත්වය බරපතළ ය. එවිට සාගර මතුපිට ඇති සුදු පැහැය සාපේක්‌ෂව අඩු වේ. මේ සුදු පැහැය නිසා ඒ මතට වැටෙන ආලෝකය පරාවර්තනය වීම සිදු වන අතර සුදු පැහැ අයිස්‌ තට්‌ටුව වෙනුවට පවත්නා අඳුරු පැහැ ජලය මගින් ආලෝකයේ ඇති තාපය වැඩි වශයෙන් අවශෝෂණය කරයි. එහි ප්‍රතිඵලය නම් සාගර ජලය තවදුරටත් උණුසුම් වීම ය. මේ ආකාරයෙන් අවශෝෂණය කරගන්නා තාප විකිරණ ප්‍රමාණය වසර විස්‌සක කාලයක්‌ තිස්‌සේ වායුගෝලයට එකතු වන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය හා සමාන බව පෙන්වා දී තිබේ.

එමෙන් ම අයිස්‌ තට්‌ටුව තුනී වීම නිසා ද යම් බලපෑමක්‌ ඇති විය හැකි ය. තුනී අයිස්‌ තට්‌ටුවක්‌ හරහා ආලෝකය ගමන් කරන ප්‍රමාණය අධික ය. මේ නිසා ද ජලයේ උෂ්ණත්වය වඩා ඉහළ යයි.

මේ ආකාරයෙන් දිගින් දිගට ම අයිස්‌ දිය වීම සිදු වුව හොත්, අනාගතයේ දී ග්‍රීෂ්ම Rතුවේ දී ආක්‌ටික්‌ ප්‍රදේශවල අයිස්‌ සම්පූර්ණයෙන් ම නොමැති විය හැකි බව පෙන්වා දී තිබේ. මේ තත්ත්වය නිසා ඇති විය හැකි බලපෑම් පිළිබඳව දැන් අවධානය යොමු වී ඇත. එය යුරෝපයේ කාලගුණයට යම් අහිතකර බලපෑමක්‌ කළ හැකි බව මේ වන විට පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය ඇමෙරිකාවේ ජාතික හිම සහ අයිස්‌ දත්ත මධ්‍යස්‌ථානය, http://nsidc.org/arcticseaicenews)


පුවත් සැකෙවින්

කාන්තාර ජෛවවිවිධත්වයත් මිනිසුන් නිසා අනතුරේ?

මානව මූලික කටයුතු නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවල පිහිටි කාන්තාර පරිසර පද්ධතිවල සත්ත්ව විවිධත්වය හායනයට ලක්‌ වන බව පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඒ අනුව වැඩි ම බලපෑමකට ලක්‌ ව ඇත්තේ කාන්තාර වැනි ශුෂ්ක හා අර්ධ ශුෂ්ක පරිසර පද්ධතිවල වාසය කරන ක්‌ෂීරපායින් ය. ක්‌ෂීරපායි ප්‍රජාව ගේ විවිධත්වයට හා ප්‍රාදේශීය වඳ වීම්වලට හේතු වන මෙවැනි සාධක අතර පශු පාලනයේ දී සතුන් අධික ලෙස තෘණ ආහාරයට ගැනීම, දැව කැපීම, දඩයම් කිරීම, ගිනි හා ආක්‍රමණීක ජීවී විශේෂ ආදිය වේ.

කාන්තාරබද සත්ත්ව විශේෂ 110ක්‌ පමණ ආවරණය කරමින් සිදු කර ඇති ඇති අධ්‍යයන 25ක්‌ සමාලෝචනය කරමින් සිදු කරන ලද මේ පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්වා දී ඇති ආකාරයට මේ සංකීර්ණ පරිසර පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මිනිසුන් නිසා සැලකිය යුතු බලපෑමක්‌ ඇති විය හැකි ය. සාමාන්‍යයෙන් නිසරු හෝ විවිධත්වයෙන් අඩු පරිසර පද්ධතියක්‌ සේ සැලකෙතත් වියළි හා කාන්තාර පරිසර පද්ධතිවල ජෛවවිවිධත්වය සැලකිය යුතු තරම් ඉහළ ය. මේ අනුව කාන්තාර ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීම සඳහා වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව ඉතා පැහැදිලි ය. (මූලාශ්‍රය:Journal of Arid Environments, DOI:10.1016/j.jaridenv.2012.06.016&)


කෙන්යා කන්ද වටා විදුලි වැටක්‌

අප්‍රිකාවේ දෙවැනි උස ම කන්ද වන කෙන්යා කන්දේ (Mt Kenya) ජීවත් වන වනජීවීන් අවට ප්‍රදේශවලට පැමිණීම වැළැක්‌වීම සඳහා කන්ද වට කරමින් විදුලි වැටත් ඉදි කිරීමට කෙන්යා රජය තීරණය කර තිබේ. මේ කඳු ප්‍රදේශයේ සිට අවට ප්‍රදේශවලට පිවිසෙන අලින් හා වෙනත් වන සතුන් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ වගාබිම්වලට ඇති වී තිබෙන ගැටුම් නිමාවට පත් කිරීම එහි අරමුණ වේ.

මේ අනුව වර්ග කිලෝමීටර් දෙ දහසක පමණ වනාන්තර ප්‍රදේශයක්‌ ආවරණය කරමින් කිලෝමීටර් 400ක්‌ පමණ දිගු විදුලි වැටක්‌ ඉදි කිරීමට නියමිත ය. එහි ඇති විශේෂත්වය වන්නේ උසින් මීටර් දෙකක්‌ පමණ වීම හා භූගත ව තවත් මීටරයක පමණ ගැඹුරක්‌ දක්‌වා විහිදීම ය.


බැංකොක්‌ දේශගුණ සමුළුවෙන් මිශ්‍ර ප්‍රතිඵල


පසුගිය සතියේ තායිලන්තයේ බැංකොක්‌හි දී අවසන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා වටයේ දී කිසියම් වර්ධනයක්‌ සිදු වී ඇති බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන නමුත් සත්‍ය වශයෙන් ඇති වී තිබෙන්නේ මිශ්‍ර ප්‍රතිඵලයක්‌ බව පැවසිය හැකි ය. මෙහි දී සෙල්සියස්‌ අංශක 2 සීමාවේ උෂ්ණත්ව ඉහළ යැම පවත්වා ගැනීමට නම් 2020 වන විට හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සැලකිය යුතු තරම් විය යුතු බවට රටවල් එකඟ වී ඇති අතර එය අප මේ වන විටත් දන්නා මෙන්ම ලෝකය කලින් ද එකඟ වී සිටි කරුණකි. කියෝටෝ සන්ධානය දිගු කිරීම පිළිබඳව යම් එකඟතාවක්‌ මෙහි දී ඇති වී ඇති අතර වන විනාශයේ හා වන හායනයේ විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණයේ ද යම් වර්ධනයක්‌ සිදු විය. එසේ ම 2015 දී ඇති කර ගැනීමට නියමිත ගිවිසුම සම්බන්ධ කරුණුවල යම් වර්ධනයක්‌ ඇති වී තිබේ.

එහෙත් පුළුල්ව සලකා බැලීමේ දී මේ වර්ධනය කෙතෙක්‌ ප්‍රමාණවත් වේ ද යන්න පැවසීමට තවමත් කල් වැඩි ය. ඇතැම් රටවල් සුපුරුදු පරිදි මේ සාකච්ඡා වටය ද දියාරු කර හැරීමට උත්සාහ කරනු මේ සාකච්ඡා අතර පවා දැකිය හැකි විය. එසේ ම මේ තීරණ හෝ එකඟතා පිළිබඳව වර්ෂය අවසානයේ දී දෝහාහි දී පැවැත්වෙන දේශගුණ සමුළුවේ දී සම්මුතියකට පැමිණියවිය යුතු ය.