logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ගොවිජනතාව බේරා ගැනීමට
විකල්ප ගොවිතැනක්‌ ගැන සිතිය යුතුයි

- මොණරාගල රෝහලේ අධිකරණ වෛද්‍ය කුමුදු දහනායක

අමල් උඩවත්ත

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇති ව මෙතෙක්‌ කරන ලද පර්යේෂණවලින් රජරට වකුගඩු රෝගයට ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහවල බලපෑමක්‌ තිබිය හැකි බව අනාවරණය වී ඇත. එහෙත් මීට අදාළ වාර්තාව වසර 1 1/2කට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබුණ ද එය වසන් කරගෙන සිටි බවක්‌ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී හෙළිදරව් කෙරිණි. රජරට විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය චන්න ජයසුමන, පදවි ශ්‍රීපුර රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි චින්තක ජයවර්ධන, මොණරාගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක, කැලණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය ප්‍රියානි පරණගම සහ උද්භිද විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය මාලා අමරසිංහ යන පර්යේෂකයන් ද ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ ජගත් ගුණවර්ධන මහතා ද එහි දී අදහස්‌ දැක්‌වූ හ.

මෙහි දී මාධ්‍යවේදීන් ඇමතූ පදවි ශ්‍රී පුර රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය චින්තක විඡේවර්ධන මහතා, "පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ වගුගඩු රෝගීන් ගේ වාර්ෂික වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. මේ ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයත් සෞඛ්‍ය ප්‍රශ්නයත් මේ වකුගඩු රෝගයයි. මේ ප්‍රදේශයේ ජනතාව ගෙන් සියයට 20ක්‌ වකුගඩු රෝගීන්. මේ රෝගීන් අතර අවුරුදු 13 දරුවෙකුත් ඉන්නවා. ඒ වගේ ම අවුරුදු 40ට වැඩි අය බහුතරයක්‌ ඉන්නවා. කුඹුරුවල වැඩ කරන අය තමයි මේ රෝගයට වැඩියෙන් ගොදුරු වෙන්නේ. පිරිමි අය ගේ ප්‍රතිශතය ගැහැනු අය ගේ ප්‍රතිශතයට වඩා විශාලයි. කෘමිනාශක ඉසින අය ගෙන් සියට සියයක්‌ වකුගඩු රෝගයට ගොදුරු වෙලා. පොදු ජල මූලාශ්‍ර පිළිබඳව කළ පර්යේෂණවලින් පෙනී යන්නේ ඒවායේ වැඩි කිවුල් ස්‌වභාවයක්‌ අන්තර්ගත බවයි. රෝගය වළක්‌වන්න කළ හැකි එක ම උපක්‍රමය වකුගඩු බද්ධ කිරීමයි. ඒත් මේ ප්‍රදේශයේ ගොවිජනතාවට එවන් ශල්‍යකර්මයක්‌ කිරීමට හැකියාවක්‌ නැහැ. වසරක කාලයක්‌ රුධිරය පිරිසිදු කළත් ඔවුන් අවසානයේ මිය යනවා. අපි කළ පර්යේෂණ ප්‍රතිඵල බොහෝ දෙනා විසින් අවමානයට ලක්‌ කෙරුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කළ පර්යේෂණවලත් අපේ පර්යේෂණවලත් ප්‍රතිඵලවල සමානතාවක්‌ ඇති බැව් පෙනී යනවා." යනුවෙන් පැවසී ය.

මෙහි දී අදහස්‌ දැක්‌වූ මොණරාගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමුදු දහනායක මහතා "වෛද්‍යවරයකු වශයෙන් මම මිය ගිය අය පශ්චාත් මරණ පරික්‍ෂණයට ලක්‌ කළා. ශරීර අභ්‍යන්තර කොටස්‌ පරීක්‌ෂාවට ලක්‌ කළා. මේ පශ්චාත් මරණ පරීක්‍ෂණවලින් පෙනී ගිය දෙයක්‌ තමයි මේ රෝගීන් ගෙන් බහුතරයක ආසනික්‌ හෙවත් මේ ප්‍රදේශයේ වැසියන් හඳුන්වන ආකාරයට මී පාසානම් ශරීරගත ව තිබීම. අපි වකුගඩු රෝගය පිළිබඳව කළ පර්යේෂණයෙන් ලත් ප්‍රතිඵල මේ රටේ බලධාරීන් හෑල්ලුවට ලක්‌ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ පිළිබඳව පර්යේෂණ කළා. ඔවුන් ගේ වාර්තාවලට අනුව මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ගෙන් සියයට 63ක ගේ ආසනික්‌ ශරීරගත වී තිබෙනවා. මේ රෝගීන් ගේ මුත්‍රා සාම්පල සියයට 88ක ප්‍රමාණයක ආසනික්‌ අඩංගුයි. මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ගෙන් සියයට 90ක ගේ නියපොතුවල ආසනික්‌ වගේ ම අනෙක්‌ බැර ලෝහත් අඩංගුයි. මේ අගය තිබිය යුතු සාමාන්‍ය අගයට වඩා දහ ගුණයක්‌ වැඩියි. ආසනික්‌ විෂ වීමෙන් ජනතාව බේරා ගත යුතුයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ වකුගඩු රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක්‌ නෑ. තරමක්‌ දුරට පාලනය කිරීමක්‌ පමණයි තිබෙන්නේ. ඒ නිසා කුමක්‌ හෝ වෛද්‍ය ක්‍රමයකින් වකුගඩු රෝගයට නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක්‌ පිළිබඳව අපි අත්හදා බලමිනුයි සිටින්නේ. ඒ වගේ ම ආසනික්‌ විෂෙන් ගොවිජනතාව බේරා ගැනීම සඳහා විකල්ප ගොවිතැන් ක්‍රමවලින් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන තවදුරටත් අත්හදා බලමිනුයි සිටින්නේ. ඉදිරියේ දී ආර්ථික බෝග සඳහාත් මේ විකල්ප ගොවිතැන් ක්‍රම භාවිත කරන්න පර්යේෂණ කරනවා" යනුවෙන් පැවසී ය.