logo3.gif (702 bytes)

HOME


රජරට නියඟයට හේතුව සාම්ප්‍රදායික ජල හසුරුව පිටුදැකීම

රජරට දැනට පවත්නා දැඩි නියඟයට මූලික ම හේතුව වර්ෂාපතනයේ අඩුවක්‌ නො වන බැව් දැන් ඉතා පැහැදිලි ය. කලා වැවෙන් ඇරඹෙන යෝධ ඇළ ආශ්‍රිත ප්‍රදේශයට මෙන්ම අඹන් ගඟ ආශ්‍රිත පරාක්‍රම සාගරය පිරිවසා යන ප්‍රදේශවලට බලපාන මේ නියඟය වූ කලී අතීත පාංශූ-ජල පද්ධතිවල එකී ක්‍රියාදාමයනට දැඩි ලෙස පටහැනි ව ක්‍රියා කෙරුමේ ප්‍රතිඵල ය.

අතීත ජල හසුරුවට අනුව පෝෂක ප්‍රදේශවලින් සහ විවිධ ඇළ මාර්ග ඔස්‌සේ මහ වැව්වලට එකතු වන ජලය පහළ පිහිටි කුඩා වැව්වලට නැවත යෑවේ. මහ වැව ආසන්නයේ ම ඇති වැව්වලට මුලින් ම ජලය පිරෙන අතර ඒවා පිරෙත් ම ක්‍රමයෙන් එම ජලය පහළ වැව්වලට යයි. මෙසේ ජලය පහළට යන්නේ ඇළ මාර්ග ඔස්‌සේ ජලය පිරී ඉතිරී යන ආකාරයට ය. මේ නිසා ඉහළ වැව් පිරී ඉතිරෙන විට පහළ වැව්වලට ජලය යෑවේ. මෙසේ ම ඉහළ වැව්වලට ඒවාට අදාළ පෝෂක ප්‍රදේශවලින් එකතු වන ජලයක්‌ ඇත්නම් එම වැව පිරුණු පසු එම ජලය ද මුලින් එම වැවට ජලය ගලාගෙන ආ ඇළවල් ඔස්‌සේ ම පහළ වැව්වලට යෑවේ. කුඹුරුවලට ජලය ලබා ගන්නේ මේ කුඩා (ගම් වැව්) වැව්වලිනි. ප්‍රධාන ඇළෙන් (යෝධ ඇළෙන්) කුඹුරුවලට ජලය ගැනෙන්නේ නැත. මේ අනුව ප්‍රධාන වශයෙන් පාලනයක්‌ අවශ්‍ය වන්නේ මේ කුඩා වැව්වලින් පිට කෙරෙන ජලය සඳහා ය. මේ පද්ධතිය තුළ මහ වැව්වල ජලය මහ ඇළවල් (යෝධ ඇළ) ඔස්‌සේ ගොවීනට හොරෙන් (නො දැනෙන පරිදි) හෝ ගොවීනට ජලය අවශ්‍ය නො වන අවස්‌ථාවල දී පහළ ප්‍රදේශවලට ගෙන යා නොහැකි ය. මන්ද මේ ජලය පහළට ගලන්නේ දෙපස වැව් පුරවාලමින් වන නිසා ය. වර්තමාන නියඟයට එක්‌ හේතුවක්‌ වන්නේ අදාළ යෝධ ඇළ ඔස්‌සේ ගොවීනට නො දැනෙන පරිදි හෝ ගොවීනට අවශ්‍ය නො වන අවස්‌ථාවල දී ජලය විවිධ කටයුතු සඳහා පහළට ගෙන යැම බව ද සැළ ය. මේ හැකියාව ලැබී ඇත්තේ එම මහ ඇළවල් ආශ්‍රිත කුඩා වැව් නොමැති නිසා ය. අද ගොවියන් ජලය ලබා ගන්නේ මහ ඇළෙන් සහ ඉන් පිට වන ද්විතීයික ඇළ මාර්ග මගිනි. මේ අනුව ඇළේ යන ජලය අදාළ කාලයේ දී තම කුඹුරුවලට නො ගත්තොත් එම ජලය පහළට යනු ඇත. මේ අනුව මහ වැවෙන් ජලය නිකුත් කෙරුම සමඟ ගොවියන් මනා සැලසුමකට අනුව තම ජලය ලබා ගැනීමට සැරසී සිටිය යුතු ය. මේ කාලසටහන් වෙනස්‌ වුව හොත් ජලය නො ලැබේ. මේ ජල පාලන/ බෙදාහැරීම අතිsශය සංකීර්ණ ය. මහත් ගැටලු සහගත ය. මහවැව්වල සිට සෘජු ව ඇළ මාර්ග ඔස්‌සේ කුඹුරුවලට ජලය අවශ්‍ය පරිදි බෙදා හැරීම අතිශය බැරෑරුම් කර්තව්‍යයකි. එය ප්‍රායෝගිකව ගත් කල නිසි පරිදි කළ නොහැකි තරම් ය.

එහෙත් තමනට අදාළ ගම් වැවෙන් ජලය ලබා ගන්නා විට ජල පාලනය අතිශය සරල ය. එම`ගින් අදාළ පරිසරයට සිදු වන දහසකුත් එකක්‌ මෙහෙවරට අමතරව එම`ගින් ගොවිතැන් කටයුතු සඳහා මනා ජල පාලන ක්‍රමවේදයන් ද සපයයි. අපේ පැරැන්නන් ගේ ගොවිතැන වූ කලී ඇළ මාර්ග ආශ්‍රිත එකක්‌ නො ව වැව (කුඩා) ආශ්‍රිත එකකි. මේ නිසා ම මේ ජල පද්ධති තුළ ජලය නැවත නැවත භාවිතය ද සිදු විණි. අද මේ පද්ධති බොහෝ දුරට වියෑකී ගොසිනි. අද මහ වැව් (ජලාශ)වලට එකතු වන ජලය නළ මාර්ග වැනි ඇළ මාර්ග ඔස්‌සේ කුඹුරුවලට බෙදා හැරීම සිදු කෙරේ. මෙහි දී මහවැවට අදාළ පෝෂක ප්‍රදේශයට අදාළ වර්ෂාපතනය හා එහි ක්‌ෂේත්‍රඵලය ඇසුරෙන් ලැබෙන මුළු ජල ප්‍රමාණය ගණනය කෙරෙන අතර කුඹුරු හෙක්‌ටයාරයකට අවශ්‍ය ජල ප්‍රමාණය ගණනය කර පෙර කී ජල ප්‍රමාණය කුඹුරු හෙක්‌ටයාරයකට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් බෙදා අස්‌වැද්දිය හැකි කුඹුරු ප්‍රමාණය තීරණය කෙරේ. එහෙත් පැරැණි පද්ධතිවලට මේ සමීකරණය කොහෙත් ම ගැලපෙන්නේ නැත. එහි දී නැවත නැවත ජලය භාවිත කෙරෙන අතර සමස්‌ත ප්‍රදේශය ම යම් ආකාරයක පෝෂක ප්‍රදේශයක්‌ ද වේ. එහි දී ඇළවලට ද පෝෂක ප්‍රදේශ ඇත. එසේ ම ඉහත ද සඳහන් පරිදි ඇතැම් කුඩා වැව්වලට ජලය පැමිණෙන ඇළ ඔස්‌සේ එම වැව් පිරුණ පසු ජලය පහළ වැව්වලට ගැලීම ද කෙරේ. මෙය ඇත්තටම ස්‌වාභාවිකව ක්‍රියාත්මක කෙරෙන සංකීර්ණ පද්ධතියකි. එහෙත් එහි මිනිසාට මැදිහත් වී සංකීර්ණ පාලක ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු නැත. එහෙත් අද ඇළ මාර්ග (නළ මාර්ග වැනි) කේන්ද්‍ර කර ගත් පද්ධතිය පාලනය කෙරුම ඉතා සංකීර්ණ ය.



ඉහත සියල්ල පසුබිමෙහි තබාගෙන දැන් අපි අගෝස්‌තු 19 ඉරිදා දිවයිනෙහි පළ වූ "ගොවිදුක්‌ සුසුම් මැඬ නැඟෙන බුල්ඩෝසර් හ`ඩ" නමැති කරුණාරත්න ගමගේ මහතා විසින් ලියන ලද ලිපිය දෙස හැරෙමු. එහි දී සාකච්ඡා කෙරෙන්නේ අඹන් ගෙඟන් ජලය ලබා ගන්නා ඇළහැර අමුණ ආශ්‍රිත යෝධ ඇළ පිරිවසා යන ප්‍රදේශවල සහ පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිත ප්‍රදේශවල දැනට පවත්නා නියඟය පිළිබඳවයි. අඹන් ගඟ හරහා ඉදි වන ඇළහැර අමුණෙන් එම යෝධ ඇළට ජලය සැපයෙන අතර එය ඊට පහළ ඇති ගම් වැව් රාශියත් පෝෂණය කරමින් එසේ ම එම පෝෂක ප්‍රදේශවලින් ද නිසි පරිදි ජලය ලබා ගනිමින් ඉදිරියට ගොස්‌ ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ වැව්වලට ද ජලය සපයයි. (සටහන). මෙසේ ම මේ ඇළහැරින් පිට වෙන ජලය යෝධ ඇළ (පරාක්‍රම සාගරය) ඔස්‌සේ අවට වැව්වලට සහ අනතුරුව කුඹුරුවලට ලබා දෙන අතර එම කුඹුරුවලින් පිට කෙරෙන වෙල් පහු ජලය නැවත අඹන් ගඟට එකතු වේ. මෙය වූ කලී ජලය නැවත භාවිතයකි. මේ ජලය ද රැගෙන පහළට ගලන අඹන් ගඟ අංගම්මැ`ඩිල්ල අමුණ ඔස්‌සේ පරාක්‍රම සමුද්‍රයට ද ජලය සපයයි. මේ කිසිවක්‌ කිසිදු සැලකිල්ලකට නො ගත් අදාළ නිලධාරීන් මෙවර සිදු කර ඇත්තේ වර්ෂාපතනය සහ අදාළ පෝෂක ප්‍රදේශ වර්ගඵලය අනුව අඹන් ගෙඟන් ලබාගත හැකි ජල ප්‍රමාණය ගණනය කර ඒ අනුව එම ප්‍රමාණය ඇළහැර අමුණ ඔස්‌සේ ඇළහැර යෝධ ඇළට (පරාක්‍රම සාගරයට) දීමට තරම් ප්‍රමාණවත් නො වන බවට තීරණය කොට එම ජලය අඹන් ගඟ ඔස්‌සේ පරාක්‍රම සමුද්‍රය දෙසට යොමු කෙරුම ය. අනතුරුව පරාක්‍රම සමුද්‍රයේ ඇළ මාර්ග ඔස්‌සේ ඒවා පහළ කුඹුරු සහිත ප්‍රදේශවලට යෑවී ඇත. එහෙත් ඒ ජලය යෑවෙන අවස්‌ථාවල දී ගොවීන් එම ජලය තම කුඹුරුවලට ලබා ගැනීමට සූදානමින් සිට නැත. ඒ නිසා ඒ ජලය නිරපරාදේ පහළට ගලා ගොස්‌ ඇත. පරාක්‍රම සමුද්‍රය පහළ කුඩා-ගම් වැව් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් මේ නස්‌පැත්තිය සිදු වන්නේ නැත. ඉතින් දැන් කුඹුරුවලට ජලය අවශ්‍ය විට පරාක්‍රම සමුද්‍රයේ ජලය නැත. ඇළහැරින් යෝධ ඇළ ආශ්‍රිත ප්‍රදේශයට ජලය ලබා නො දුන් නිසා ඒ ප්‍රදේශය ද අද නියඟයට හසු ව ඇත. එසේ ඉතිරි කර ගත් ජලය නළ මාර්ග වැනි ඇළ මාර්ග ඔස්‌සේ යෑවීම නිසා ඒවා ද අපතේ ගොස්‌ ඇත. එහෙත් පැරැණි ක්‍රමය ක්‍රියාත්මක වූයේ නම් ඇළහැර යෝධ ඇළ ආශ්‍රිත ප්‍රදේශයට නියඟයක්‌ නොමැති වනු ඇති අතර එම කුඹුරුවලින් පිට කෙරෙන ජලය නැවත අඹන් ගඟට එකතු වන නිසා පරාක්‍රම සමුද්‍රයට ලැබෙන ජලයේ ද එතරම් අඩුවක්‌ වන්නේ නැත. එසේ ම පරාක්‍රම සමුද්‍රය පහළ කුඩා ගම් වැව් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ඇළ මාර්ග ඔස්‌සේ ජලය අපතේ යන්නේ නැත. ඒ වෙනුවට එම ජලය අදාළ ගම් වැව්වල එකතු වනු ඇති අතර ගොවීනට අවශ්‍ය කාලයේ දී අවශ්‍ය පරිදි ඒවා භාවිත කළ හැකි වනු ඇත.

මේ අනුව කලා වැව ආශ්‍රිත යෝධ ඇළට අදාළ ප්‍රදේශවල මෙන්ම අඹන් ගෙ`ග් ඇළහැර ප්‍රදේශයට සහ පරාක්‍රම සමුද්‍රයට අදාළ ප්‍රදේශවලට ද දැනට බලපා ඇති නියඟයට මූලික ම හේතුව පැහැදිලි ය. මේ මූලික ම හේතුව පසුබිමේ මේ නියඟයට ද්විතීයික හේතු ද ඇත. ඒ අතර ප්‍රධාන හේතුව ලෙස දැක්‌වෙන්නේ අනිසි පරිදි මහ වැව්වලින් ඇළ මාර්ග ඔස්‌සේ ජලය මුදා හැරීමයි. ඒ සමඟ ම බැඳුණු අනෙක්‌ හේතුව ලෙස දැක්‌වෙන්නේ නිසි ජල කළමනාකරණයක්‌ නොමැති වීම යන්නයි. එහෙත් මේ හේතු මූලික හේතුව සමඟ අත්‍යන්තයෙන් ම බැඳී ඇත. අතිශය සංකීර්ණ ජල කළමනාකරණ අවශ්‍යතාව ඇති කොට (වැව් වනසා ඇළ මාර්ග මත පදනම් වීම මත) අනතුරුව එය නිසි පරිදි ක්‍රියාත්මක නො කරන්නේ යෑයි අවලාද නැඟීsමේ තේරුමක්‌ නැත. එසේ ම අනිසි පරිදි අනිසි කටයුතු සඳහා ඇළ මාර්ග ඔස්‌සේ ජලය මුදා හළ හැකි ක්‍රමවේද හඳුන්වා දී දැන් ඇමැතිවරුන් සහ නිලධාරීන් වැව් තාවුළුවල හෝටල් තැනීමේ කටයුතු සහ සී ප්ලේන් බැස්‌වීමේ කටයුතු ආදිය සඳහා වැව්වල ජලය හොරෙන් ඇළ මාර්ග ඔස්‌සේ බස්‌වන්නේ යෑයි කීමෙන් ද එතරම් ඵලක්‌ නැත. කළ යුත්තේ මූලිකව ම වැරදුණ තැන හඳුනාගෙන ඊට පිළියම් කෙරුම ය.

මෙහි දී තවත් වැදගත් කරුණක්‌ සඳහන් කළ යුතු ව ඇත. එනම් ඉහත සඳහන් යෝධ ඇළ පද්ධතිවලට සබැඳියාවක්‌ නොමැති යම් ආකාරයකට තවමත් පුරාණ එල්ලංගා වැව් පද්ධති (Cascade system) තුළ ක්‍රියාත්මක කෙරුණ පාංශූ ජල පද්ධතිවලට මේ නියඟයෙන් බලපෑමක්‌ නො වූ බවයි. අනුරාධපුර රත්මල්ගහවැව ප්‍රදේශය මේ සඳහා කදිම නිදසුනකි. එහි ක්‍රියාත්මක වන්නේ පුරාණ එල්ලංගා ක්‍රමයයි. එහි කිසිදු නියඟයක්‌ නැත.

මේ අනුව ප්‍රධාන වශයෙන් අපට නිගමනය කළ හැක්‌කේ කඳුකරයට ලැබෙන වර්ෂා ජලය නළ මාර්ග වැනි ඇළ මාර්ග ඔස්‌සේ ගොවි බිම්වලට බෙදා හැරෙන ප්‍රදේශවලට පමණක්‌ මේ නියඟය බලපා ඇති බවයි. එසේ ම මේ නළ මාර්ග වැනි ඇළ මාර්ග සහ කුඹුරු සාදා ඇත්තේ

පැරැණි පද්ධති වනසා බව ද මෙහි දී සිහි කළ යුතු ය. ඉතින් මෙවැනි කෘත්‍රිම නියඟ මඟින් කියාපාන්නේ අදාළ ප්‍රදේශවල ජනතාව දුක්‌ විඳින තත්ත්වයට පත් වීම පමණක්‌ ම නො ව අපේ පැරැන්නන් ගොඩන`ගා තිබූ අපේ සශ්‍රීක භූමිය ද පාංශූ ජල පද්ධතිය ද විනාශ වී යැමයි. එය සුද්දන් වැව් තාවුලුවල තැනූ හෝටල්වල නිදි කරවා උපයන ඩොලර්වලින් නැවත ගොඩනැ`ගිය නොහැකි ය. මේ පාරිසරික විනාශයන් මගින් අපේ රජරට සශ්‍රීක පාංශූ ජල පද්ධතිය කාන්තාරයක්‌ වූ දාට මේ ඩොලර්වලින් කුමක්‌ කරන්න ද?

කපිල පීරිස්‌