logo3.gif (702 bytes)

HOME


කාලය හා මායා දින දර්ශනය

අප උත්සාහ කරමින් සිටින්නේ ක්‌වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. එහෙත් අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ බව දැනගැනීමෙන් නො වේ. අපේ ප්‍රත්‍යක්‍ෂ නිවැරැදි යෑයි මෙයින් අදහස්‌ නො කෙරෙයි. අපේ ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ (සංස්‌කාර) වෙයි. අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්‌කෘතිය විසින් සකස්‌ කෙරී අපට ලබා දුන් සංකල්පයක්‌ සහිත ඊනියා වස්‌තුවකි. එවැනි වස්‌තුවක්‌ ඇතැයි සැලකීමට අපට සංස්‌කෘතියෙන් උගන්වනු ලැබ ඇත.

ක්‌වොන්ටම් අංශු අපට දෘශ්‍යමාන නො වෙයි. දෘශ්‍යමාන නො වෙයි යන්නෙන් මේ ලිපිවල දී පමණක්‌ නො ව අදාළ වෙනත් ලිපිවල දී ද අදහස්‌ වන්නේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වන බව ය. එයින් කිසිසේත් ම හුදෙක්‌ ඇසට නො පෙනෙන බව පමණක්‌ ගම්‍ය නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නො වේ යෑයි කී විට එය ඇසට නො පෙනෙන නමුත් ඇඟට දැනෙන්නේ යෑයි කියන්නෝ වෙති. එහෙත් ඔවුහු ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි නො කියති.

ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නො වේ යන්නෙන් එවැන්නක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වේ ය යන්න අදහස්‌ වන බව, මගේ ලිපිවලට දේශපාලන පක්‍ෂ විසින් හා වෙනත් අය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිවල කමෙන්ට්‌ නමින් හැඳින්වෙන පඬි මත දක්‌වන අය නො දන්නා බව පැහැදිලි ය. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. ඒ අය කළ යුත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි කා හටත් පැහැදිලි වන අයුරෙන් ප්‍රකාශ කිරීම ය. එසේ නැති ව තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කීමෙන් පලක්‌ නොමැත.

පසුගිය දා නිරීක්‍ෂණය කරන ලදැයි කියෑවෙන හිග්ස්‌ බෝසෝනය ද දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දළ සේයා පටිවල ඇති වූ රේඛා මගින් හිග්ස්‌ බෝසෝනය අර්ථ දක්‌වා ඇත. හිග්ස්‌ බෝසෝනය දුටු අයකු, එනම් පංෙච්න්ද්‍රියට ගෝචර කරගත් අයකු සර්න් පරීක්‍ෂණාගාරය ඇතුළු ලෝකයේ කිසි තැනක නැතත් මෙරට ඇතැම් පඬියන් කතා කරනුයේ තමන් හිග්ස්‌ බෝසෝනය දුටු අයුරෙනි. ඔවුන් වැඩි ම වුව හොත් කරන්නේ අද ලෝකයේ විඤ්Cදූන් බවට බලහත්කාරයෙන් බටහිරයන් විසින් පත් කෙරී තිබෙන බටහිර විද්‍යාඥයන් ගේ මත අතිමහත් විශ්වාසයකින් පුනරුච්චාරණය කිරීම පමණකි.

ඔවුන් තමන් මහත් උනන්දුවකින් කතාකරන අනුගමනය කරන්නේ යෑයි කියන කාලාම සූත්‍රයෙහි පළමු කොටස අනුගමනය නො කරති. ඔවුහු තමන් නිරීක්‍ෂණය නො කර ම හිග්ස්‌ බෝසෝනය ඇතැයි කියන්නේ වෙනත් අය කියා ඇති බැවින් මිස තමන් අනුගමනය කරන්නේ යෑයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ අනුව හෝ ඊනියා විද්‍යාත්මක ආකල්පයක්‌ නිසා හෝ නො වේ. ඔවුහු කාලාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස හැඳින්විය හැකි විස්‌තරයෙන් කියෑවෙන පරිදි එලොවටත් මෙලොවටත් වැඩදායක වන පරිදි විඤ්Cදූන් කරන කියන දෑ කිරීමටත්, නො කරන නො කියන දෑ නො කිරීමටත් පෙලඹවී ඇතැයි කිසිවකුට සිතිය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නයක්‌ වනුයේ ඔවුන් ගේ විඤ්Cදූන්a වූ මේ බටහිර විද්‍යාඥයෝ හා වෙනත් බටහිර පඬිවරු එලොවටත් මෙලොවටත් වැඩදායක වන අයුරෙන් ක්‍රියා නො කිරීම ය.

අප උත්සාහ කරන්නේ අපට දෘශ්‍යමාන නො වන ක්‌වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. දෘශ්‍යමාන නො වන අංශුවල චලිතය තේරුම් ගැනීම එක්‌ විට ම අපහසු විය යුතු බැවින් අප පළමුව පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන වස්‌තුවල චලිතය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. එහෙත් අපට එය කළ හැකි වනුයේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් මිස වෙනත් ක්‍රමයකට නො වේ. හුදු සංජානන කිසිවකු සම්බන්ධයෙන් ඇති නො වේ. අප වැනි පෘථග්ජනයන් ගේ සංජානන සංකල්පවලින් බැහැර නො වේ. අපට සංකල්පයක්‌ නොමැති සංජානනයක්‌ නැත.

පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන වස්‌තුවල චලිතය, අවකාශය, කාලය, විස්‌ථාපනය ආදී සංකල්ප උපයෝගී කරගනිමින් අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමු. එහෙත් එහි දී අපට වස්‌තුවක්‌ අවකාශයේ පිහිටි ස්‌ථාන දෙකක්‌ අතර චලනය වීමේ දී නොයෙකුත් උපකල්පන කිරීමට සිදු විය. විශේෂයෙන් ම වස්‌තුවක සීමාකාරී අවස්‌ථාවක්‌ වූ අංශුවක චලිතය සාකච්ඡා කිරීමේ දී අවකාශය හිඩැස්‌වලින් තොර වූ සන්තතික භූතාර්ථයක්‌ ලෙස සැලකීමට අපට සිදු විය. භෞතික වූ අවකාශයක්‌ ඇති බවත් එය සන්තතික බවත් පමණක්‌ නො ව එම භෞතික අවකාශය ගණිතමය අවකාශයක්‌ වූ යුක්‌ලීඩීය අවකාශයට සමාන බවත් (භෞතික අවකාශය හා ත්‍රිමාන යුක්‌ලීඩීය අවකාශය අතර එකට එක අනුරූපිතයක්‌ ඇති බවත්) උපකල්පනය කළෙමු.

මේ සියල්ල උපකල්පන වෙයි. ඒ උපකල්පන නොමැති ව අපට අංශුවක චලිතය තේරුම් ගත නො හැකි ය. එහෙත් එය තේරුම් ගැනීමක්‌ ද යන ප්‍රශ්නය පැන නඟින්නේ එය උපකල්පන මත රැඳී ඇති බැවිනි. අප කරන්නේ යම් උපකල්පන මත පදනම් වෙමින් ආකෘති ගොඩනැඟීම ය. භෞතික අවකාශය ද අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපි ඊනියා භෞතික අවකාශයක්‌ නිර්මාණය කරමු. එහෙත් එසේ කරන්නේ ගණිතමය යුක්‌ලීඩීය ත්‍රිමාන අවකාශය මත පදනම් වෙමිනි. ගණිතමය යුක්‌ලීඩීය අවකාශය කිසිසේත් ම පංෙච්න්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් එය සමග එකට එන අනුරූපිතයක්‌ ඇතැයි සැලකෙන භෞතික අවකාශයක්‌ ද ඒකමාන වූ කාලයක්‌ ද අපි නිර්මාණය කරගන්නෙමු.

කාලය සම්බන්ධයෙන් ද කිව යුත්තේ එය ද අවකාශයෙක්‌ ලෙස ගැනෙන බව ය. එය ඒකමාන ගණිතමය අවකාශයක්‌ සමග එකට එක අනුරූපිතයක්‌ සාදන්නේ යෑයි උපකල්පනය කෙරෙයි. කාලය පිළිබඳ අප දන්නේ යෑයි සිතන බොහෝ දෑ මේ ගණිතමය අවකාශයෙන් ගලා එයි. අප ගන්නා ගණිතමය ඒකමාන අවකාශය සන්තතික ය. එහි හිඩැස්‌ නැත. අපට භෞතික අවකාශයෙහි මෙන් ම කාලයෙහි ද අතරමැද ස්‌ථාන හෝ ලCෂ්‍ය ක්‍ෂණ හෝ පන්නා යා හැකි නො වේ. ලCෂ්‍ය ක්‍ෂණයක්‌ ලෙස මෙහි දී අර්ථ දැක්‌වෙන්නේ කාල අන්තරයක්‌ ශුන්‍ය කරා එළඹීමේ සීමාව ය. එය වස්‌තුවක පරිමාව ශුන්‍ය කරා එළඹීමේ දී අංශුව ලැබෙන්නාක්‌ මෙනි. මේ කාල අවකාශය ඇතැම් සංස්‌කෘතිවල ගණිතමය සරල රේඛාවක්‌ ලෙස ගැනිණි. (අවශ්‍ය නම් ස්‌වඡෙදනයක්‌ නො වන වක්‍ර රේඛාවක්‌ ලෙස ද ගත හැකි ය. වක්‍ර රේඛාව තමන් ඡේදනය නො කළ යුතු ය. එය සන්තතික වක්‍රයකි.)

කිනම් සංස්‌කෘතියක වුව ද යෑයි කිව හැකි තරමට මිනිසුන් කාලය මනින්නේ අද තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙන සංඛ්‍යා ආශ්‍රය කරමිනි. අපි එක්‌ සිද්ධියක සිට තවත් සිද්ධියකට ගත වී ඇති කාලය තත්පර දහයක්‌ යෑයි කියමු. එසේත් නැත්නම් අවුරුදු පහක්‌ යෑයි කියමු. පහ, දහය ආදිය තාත්වික සංඛ්‍යා වෙයි. සංකීර්ණ සංඛ්‍යාවලින් කාලය මනින සංස්‌කෘතියක්‌ ඉතිහාසයේ කිසි දිනෙක වත් තිබූ බවට සාක්‍ෂියක්‌ නැත.

චලිතය ගැන යමක්‌ දැන සිටි සියල්ලන් ඉහත සඳහන් ආකාරයෙන් සිතුවේ යෑයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන්ට ගණිතමය අවකාශය පිළිබඳ දැනුමක්‌ නො තිබෙන්නට ඇත. අඩු ම තරමෙන් යුක්‌ලිඩීය ජ්‍යාමිතිය සකස්‌ කළ ග්‍රීකයන්ට වුව ද ඒ දැනුම නො තිබිණි. එහෙත් ඒ බොහෝ දෙනා අවකාශය ගැන සිතුවේ හිඩැස්‌ නොමැති භූතාර්ථයක්‌ ලෙස ය. එලෙස ම කාලය පිළිබඳ රේය සංකල්පයක්‌ තිබූ සංස්‌කෘතිවල කාලය ද ක්‍රමයෙන් වැඩි වන්නක්‌ ලෙස සැලකිණි.

එහෙත් කාලය ගැන එලෙස නො සිතූ සංස්‌කෘතීන් ද විය. ඔවුන් ගේ කාලය එක්‌කෝ සර්පිලාකාර විය. එසේත් නැත්නම් වෘත්තාකාර හෝ වෙනත් සංවෘත කාලයක්‌ විය. සංවෘත කාලයක්‌ පිළිබඳ සංකල්පය ඇති වන්නේ චක්‍රීය චින්තනයක ය. සිංහල බෞද්ධයන්ට ඇත්තේ චක්‍රීය චින්තනයකි. සංසාරය ගැන අප සිතන්නේ ද එක්‌තරා ආකාරයකින් සංවෘත කාලයක්‌ හෝ සර්පිලාකාර කාලයක්‌ හෝ ආශ්‍රයෙනි.

අද බොහෝ දෙනා කතා කරන මායාවරුන් ගේ දින දර්ශනය සංවෘත කාලයක්‌ ඇසුරෙන් නිර්මාණය කරගෙන ඇතැයි සිතිය හැකි ය. ඔවුන් 2012 දී ලෝකය විනාශ වන බව නො ව ලෝකය නැවත තම මාර්ගය දිගේ ගමන් අරඹන බව සිතුවා වන්නට හැකි ය. චක්‍රීය චින්තනයක එසේ සිතීම අරුමයක්‌ නො වේ. ලෝකයේ එක්‌ යුගයක්‌ අවසාන වී තවත් යුගයක්‌ ආරම්භ කිරීම 2012 දී සිදු වන්නේ යෑයි ඔවුන්ට සිතෙන්නට ඇත. එබැවින් 2012න් පසුව දින දර්ශනය දිගින් දිගට ම ගලා යැමට සැලැස්‌වීමට ඔවුන්ට අවශ්‍යතාවක්‌ නො තිබෙන්නට ඇත.

වෛදික සංස්‌කෘතියෙහි ද එක්‌ එක්‌ යුග ඇත. අද ඇත්තේ කලියුගය යෑයි කියනු ලැබේ. බෞද්ධයෝ ද ලෝකය ප්‍රසාරණය වී පසුව සංකෝචනය වන්නේ යෑයි ද නැවතත් ප්‍රසාරණය වන්නේ යෑයි ද ආදී වශයෙන් ගනිති. ඒ ඒ කල්පවල දී බුදුන් වහන්සේලා පහළ වන බවත් නැවතත් ධර්මය දේශනා කරන බවත් බෞද්ධයෝ දනිති. ඒ ක්‍රියාවලිය චක්‍රීය වෙයි. එක්‌ කල්පයක දී එක්‌ බුදුන් වහන්සේ නමක්‌ පමණක්‌ පහළ වන්නේ යෑයි නො සිතිය යුතු ය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුන් වහන්සේ පස්‌ නමක්‌ පහළ වෙති. මේ කල්පය භද්‍ර හෙවත් යහපත් වන්නේ එබැවිනි.

එහෙත් බුදුන් වහන්සේ නමක්‌ පහළ නො වන කල්ප ද තිබිය හැකි ය. එමෙන් ම බුදුන් වහන්සේලා දෙනමක්‌ අතර ධර්මය නැති වී යන කාල ද වෙයි. එවැනි කාල අබුද්දස්‌ස කාල ලෙස බෞද්ධයන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් පැහැදිලි වන කරුණක්‌ නම් ඕනෑ ම කල්පයක්‌ වෙනත් කල්පයක පිටපතක්‌ නො වන බව ය. එනම් කල්ප අතර එක අනුරූපිතයක්‌ ද නැත. මේ සියල්ලෙන් අපට කියන්නේ කාලය විවෘත රේය වශයෙන් ගන්නා සංස්‌කෘතීන් හැර තවත් සංස්‌කෘතීන් ද ඇති බව ය.

මායාවරුන් ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක්‌ සිදු වන බවක්‌ ගැන කතා කරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කාලය විවෘත, ඒක රේය වීම ය. එහි කාලයට ආරම්භයක්‌ ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදු විණි යෑයි යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්‌කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.

බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්‌කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනය අවසානයක්‌ ඇත්නම් එයින් කියෑවෙන්නේ ඉන්පසු ලෝකයක්‌ නැති බව ය. සරල රේඛා ඛණ්‌ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට අගක්‌ මුලක්‌ ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක්‌ නො කියෑවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසාන ලෙස ගත් හ. විවෘත ඒක රේය චින්තනයක්‌ ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියෑවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්‌කෘතියෙහි සිතන ආකාරයට අනෙක්‌ සංස්‌කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡස්‌භාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම් වත් නිහතමානී නො වෙති.

නලින් ද සිල්වා