logo3.gif (702 bytes)

HOME



වන ගිනි පාලනය කිරීමට නම්....  

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි වනාන්තර ගිනි තැබීම් පිළිබඳව දිනපතා ම පාහේ ජනමාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ. ඒ අනුව පසුගිය මාස හතරක පමණ කාලය තුළ අපේ රටේ වියළි කලාපයේ වන ගිනි විශාල ලෙස ඉහළ ගොස්‌ ඇති බවක්‌ පෙනේ. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ ප්‍රකාශකයකුට අනුව මේ මස මුල වන විට මාස හතරක්‌ තුළ වන ගිනි 100ක්‌ වාර්තා වී තිබේ. ඉන් විනාශයට පත් වනාන්තර ප්‍රමාණය හෙක්‌ටයාර 4000ක්‌ (අක්‌කර 10,000ක්‌) පමණ බව පැවසේ. මේ ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික බව පළමු වගුව විමසීමෙන් පෙනේ. (එහෙත් වගුවේ සඳහන් වන්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති වන ගිනි පමණක්‌ බව සැලකිය යුතු ය). ඊට හේතුවක්‌ ව ඇත්තේ මේ වර්ෂයේ පවත්නා දැඩි නියඟයයි.

මෙසේ ගිනි තබා ඇති ඇතැම් ස්‌ථාන ජාතික වනෝද්‍යාන, අභය භූමි හෝ රක්‌ෂිත වනාන්තර වැනි ආරක්‌ෂිත ප්‍රදේශ වේ. ඉන් විශාලතම ගින්න ඇති වූයේ ඉදල්ගස්‌හින්න-ඔහිය-පට්‌ටිපොල ප්‍රදේශයේ වනාන්තරයක ය. ඉන් හානි වූ ප්‍රමාණය හෙක්‌ටයාර 600ක්‌ තරම් ය. එසේ ම අගෝස්‌තු මාසයේ ම සෝමාවතී ජාතික වනෝද්‍යානයේ ගිනි දෙකක්‌ වාර්තා විය. ස්‌වාභාවික වනාන්තර මෙන්ම වන වගා ද මෙසේ ගින්නෙන් හානියට ලක්‌ වූ ස්‌ථාන අතර වේ.

වර්ෂයේ මේ කාලයේ රටේ වියළි හා අතරමැදි කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යැම පුදුමයක්‌ නො වේ. ජූනි-සැප්තැම්බර් දක්‌වා කාලය මේ ප්‍රදේශවලට ඉතා වියළි කාලයකි. මේ කාලයේ දී තෙත් කලාපයට වැසි ලැබෙතත් වියළි කලාපයට වර්ෂාවක්‌ නො ලැබේ. එහි වනාන්තර හා පතන් බිම් ආශ්‍රිතව දැකිය හැකි තෘණ හා වෙනත් පඳුරුමය ශාක මේ කාලය වන විට බෙහෙවින් වියළී ගොස්‌ තිබේ. මේ නිසා වනාන්තර ගිනි වේගයෙන් පැතිර යයි. වියළි සුළං, ගිනි මගින් සිදු වන හානිය ඉහළ යැම සඳහා ද බලපායි. මෙවැනි ගිනි වැඩි ප්‍රමාණයක්‌ වාර්තා වන්නේ ඌව පළාත හා මධ්‍යම පළාතේ නැඟෙනහිර බෑවුමේ පිහිටි ප්‍රදේශවලිනි. නකල්ස්‌ හෙවත් දුම්බර වනාන්තරය, නමුණුකුල හා ඌව පළාතේ කඳු ප්‍රදේශ වන ගිනි සඳහා ඉතා ප්‍රකට ස්‌ථාන වේ. (තෙත් කලාපයේ වන ගිනි තැබීම් ඉහළ යන්නේ එහි වියළිතම කාලය වන පෙබරවාරි-මාර්තු කාලයේ දී ය.)

වන ගිනි ඇති වන්නේ කෙසේ ද?

අපේ රටේ වනාන්තර ස්‌වාභාවිකව ගිනි නො ගන්නා බව මේ පිළිබඳ විශේෂඥ මතයයි. එසේ නම් වන ගිනි යම් කිසිවකු විසින් ඇති කරනු ලැබිය යුතු ය. මෙසේ ගිනි තබන්නේ හේතු කිහිපයක්‌ නිසා ය. සතුන් දඩයම් කිරීම හා ගවයන්ට අලුත් තෘණ ලබාගැනීම සඳහා වුවමනාවෙන් වනාන්තර ගිනි තැබීම දැකිය හැකි ය. හේන් හා වෙනත් වගා කටයුතු සඳහා වන බිම් එළි කර සිදු කරන ගිනිතැබීම් පැතිරී යැම ද වන ගිනි සඳහා හේතු වේ. විනෝදයට වනාන්තර ගිනි තැබීම ද මීට බලපායි. දැල්වෙන සිගරැට්‌ කොට ඉවත දැමීම හා ගෙවතුවල කසළ ගිනි තැබීම වැනි කටයුතු නිසා ද වන ගිනි ඇති විය හැකි ය.

වන ගිනි පිළිබඳ මාධ්‍ය වාර්තාවල බොහෝ විට සඳහන් වන්නේ වනාන්තරයක්‌ ගිනි ඇවිළී ඇති බවත්, ඒවා නිවීමට ගත් උත්සාහයත්, ඉන් කෙතරම් ප්‍රදේශයක්‌ විනාශ වූයේ ද යන්නත් ය. මෙහි දී අදාළ රාජ්‍ය නිලධාරීන් කෙතරම් කාර්යක්‌ෂ්ම වී ද හා සේවක පිරිස්‌ ප්‍රමාණවත් වී ද යන්න වැනි කරුණු ද සඳහන් වේ. අපේ රටේ මාධ්‍ය වාර්තාකරණයේ ඇති එක්‌ අංගයක්‌ වන්නේ ජනතාව අවුස්‌සනසුලු පුවත් ය. මේ නිසා වන ගිනි ඉහළින් හුවා දක්‌වන පුවත් අතර මේවා ගිනි ඇවිළී ඇත්තේ කෙසේ ද යන්න හා ඒවා ඇති කළේ කවුරුන් ද යන්න ගැන සඳහන් වූයේ ඉතා අඩුවෙනි.

වන ගිනි වැඩි වීමෙන් පෙනෙන්නේ වන ගිනි වැළැක්‌වීමේ වැදගත්කම පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රමාණවත් තරම් දැනුම්වත් වී නොමැති බව ය. වනාන්තර ගිනි තැබීමේ අහිතකර ප්‍රතිඵල බොහෝ දෙනා දන්නා කරුණු ය. දිය උල්පත් සිඳීයැම, ජෛවවිවිධත්වය හායනයට ලක්‌ වීම, නාය යැම් ඇති වීමේ ඉඩ වැඩි වීම ඉන් කිහිපයක්‌ පමණි. මේ බව දැන දැනත් වනාන්තර විනාශ කරන්නන් අපේ සමාජයේ සිටීම කණගාටුවට කරුණක්‌ පමණක්‌ නො වේ. දශක හතරක පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය මින් යළිත් පෙනේ. කෙසේ වුවත් කුමන සමාජයක වුවත් අපරාධකරුවන් අතළොස්‌සක්‌ හෝ සිටින බැවින් ඒවා පාලනය කිරීම සඳහා නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම හා නීතිය දැඩි කිරීම අවශ්‍ය වේ.

වන ගිනි සඳහා අපේ රටේ නීතිය අනුව ලබා දිය හැකි දඬුවම් මෙසේ ය. 2009 අංක 65 දරන සංශෝධිත වන ආඥා පනත අනුව ගිනි තබනු ලබන වනාන්තර වර්ගය අනුව ලබා දිය හැකි දඬුවම වෙනස්‌ වේ. එය වසර දෙකත් හතත් අතර සිර දඬුවමක්‌ හා රු. 5,000ත් 200,000ත් අතර දඩයක්‌ හෝ මේ දෙක ම විය හැකි ය. එසේ ම මීට අමතරව සිදු කරන ලද හානියට වඩා අධික වූ වන්දියක්‌ ගෙවීමට ද නියම කළ හැකි ය.

එහෙත් වනාන්තර ගිනි තබන්නවුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් ගැටලුවක්‌ ඇති බව පෙනේ. ඒ ඔවුන් කොටු කර ගැනීමේ අපහසුවයි. අප දුටු පුවත් වාර්තා කිසිවක අදාළ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වූ බවක්‌ සඳහන් නො වී ය. අදාළ අපරාධකරුවන් බොහෝ විට ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වීමත් මේ විනාශකාරී ක්‍රියාවලියේ කෙටිකාලීන ප්‍රතිලාභ යම් පිරිසකට ලැබීමත් නිසා තොරතුරු සපයාගැනීම අපහසු වන බව පෙනේ. මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ ජනතාව ගේ සහයෝගය අවශ්‍ය බව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා පුවත්පතකට කර තිබූ ප්‍රකාශකින් ද පෙනේ.

ජුනි මාසයේ දී වාර්තා වූ පරිදි වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට එරෙහි ව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ දඬුවම් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව ද වාර්තා විය. ඒ අනුව අමාත්‍යංශ කිහිපයක්‌ නියෝජනය වන කමිටුවක්‌ පත් කළ බව හා මාස හයක කාලයක්‌ තුළ ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සකස්‌ කිරීමට අපේක්‌ෂා කරන බව සඳහන් විය. අදාළ නීතිවල යම් සංශෝධනයක්‌ සිදු වන්නේ නම් එය මෙවැනි අපරාධවලින් ජනතාව ඈත් කිරීමට හේතු වන ආකාරයේ එකක්‌ වීම වැදගත් ය.

ගිනි වැළැක්‌වීමට සම්පත් ප්‍රමාණවත් ද?

මේ ආකාරයෙන් ඇති වන වන ගිනි වැළැක්‌වීමට අවශ්‍ය තරම් සම්පත් හා ප්‍රතිපාදන තිබේ ද යන්න අප විමසා බැලිය යුතු පැනයයි. මේ ගිනි නිවීමට බොහෝ විට මැදිහත් වූයේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා ආරක්‌ෂක අංශවල නිලධාරීන් ය. ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ද මෙහි දී විශේෂ වගකීමක්‌ දරයි. මේ අතරින් ආරක්‌ෂක අංශ වැදගත් වන්නේ මෙවැනි අවස්‌ථාවක අවශ්‍ය කරන ශ්‍රම සම්පත ඔවුන් සතු නිසා ය. ඔවුන් ඒ සඳහා යම් පුහුණුවක්‌ ද ලබා තිබිය හැකි ය. ගිනි නිවීම සඳහා ඇතැම් අවස්‌ථාවල ගුවන් හමුදා හෙලිකොප්ටර් ද යොදාගෙන තිබිණි. ඇතැම් අවස්‌ථාවල ප්‍රදේශවාසීන් ද පරිසර හා වෙනත් සවෙච්ඡා සංවිධාන සාමාජිකයන් ද ඊට සහාය දීඇත. මේ නිසා ඇති වූ විනාශය තරමක්‌ හෝ අවම කර ගැනීමට හැකි වූ බව පෙනේ.

අනෙක්‌ අතට අවශ්‍ය උපකරණ හා පහසුකම් රජයේ අදාළ නිලධාරීන් වෙත ලබා දීම ඉතා වැදගත් ය. පසුගිය දා වාර්තා වූ පුවතකට අනුව ගිනි නිවීම සඳහා අවශ්‍ය රථ අදාළ ප්‍රදේශවලට ලබා දීමට නියමිත වේ. මේ වනාන්තර බොහෝ විට මාර්ගවලින් යුක්‌ත නො වන බැවින් ඊට ගිනි නිවන රථ යා හැක්‌කේ ද සීමා සහිතව ය. අනෙක්‌ අතට හෙලිකොප්ටර් යොදාගැනීම යෝග්‍ය වුවත් දැඩි සුළං සහිත අවස්‌ථාවල දී ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ එය අසාර්ථක වූ අවස්‌ථා තිබේ. අනෙක්‌ අතට ගිනි නිවීම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ හෙලිකොප්ටර් අපේ රටේ නොමැත. මේ නිසා වඩාත් වැදගත් වන්නේ මානව ශ්‍රමය පිළිබඳව සැලකිලිමත් වීම ය.

අපේ සූදානම ප්‍රමාණවත් ද?

වන ගිනි වැළැක්‌වීම හා පාලනය සඳහා වූ සූදානම කෙතරම් ප්‍රමාණවත් ද යන්න නම් ගැටලුවකි. මේ වර්ෂයේ නියං තත්ත්වයක්‌ ඇති වන බව කලක පටන් දැන සිටියෙමු. (අවම වශයෙන් විදුලිබල හා කෘෂිකර්ම බලධාරීන් හෝ ඒ බව දැන සිටි බව පෙනේ). නියඟය අපේ රටට අලුත් දෙයක්‌ නො වේ. සාමාන්‍යයෙන් වර්ෂ 3-4කට වරක්‌ දැඩි නියං තත්ත්වයක්‌ ඇති වන අතර, වසර දහයකට පමණ වරක්‌ ඉතා බරපතළ තත්ත්වයේ නියඟ ඇති වේ. එසේ නම් වන ගිනි තබන්නන්ට මේ කදිම අවස්‌ථාවක්‌ විය හැකි බව අදාළ බලධාරීන්ට කලින් ම දැනගෙන පෙර සූදානමක්‌ ඇති කර ගැනීමට හැකි ය. මෙය අත්‍යවශ්‍ය කටයුත්තකි.

ගිනි ඇති විය හැකි ප්‍රදේශවල වියළි කාලගුණයක්‌ ඇති වූ විට ගිනි පටි කැපීම වැනි කටයුතු කලින් ම සිදු කිරීම මේ සඳහා නිදසුනකි. ඇතැම් ප්‍රදේශවල මෙය සිදු කරන නමුත් සැම ප්‍රදේශයක ම එවැන්නක්‌ සිදු කරන බව නො පෙනේ. මෙවැනි වකවානුවල වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ එක්‌ උපක්‍රමයක්‌ වූයේ ස්‌වේච්ඡා ගිනි නීවීම් සඳහා තරුණ කණ්‌ඩායම් යොදා ගැනීම ය. විශේෂයෙන් ගිනි ඇති විය හැකි හෝර්ටන්තැන්න හෙවත් මහඑළිය වැනි ප්‍රදේශවල හඳුනාගත් කාලවකවානුවල දී එය සිදු කෙරිණි. මේ ලියුම්කරු ද 1990 දශකය අගභාගයේ දී මෙවැනි කණ්‌ඩායමකට සම්බන්ධ වී ලද අත්දැකීම් අනුව පැවසිය හැක්‌කේ එය ගිනි වැළැක්‌වීමට පමණක්‌ නො ව පරිසර හිතකාමී නො වන වෙනත් කටයුතු පාලනය සඳහා ද ප්‍රයෝජනවත් වන බව ය. කෙසේ වෙතත් මෙවැනි පිරිස්‌ සඳහා කිසියම් පුහුණුවක්‌ ලබා දීම වැදගත් වේ.

ඉහත දී සඳහන් කළ ආකාරයට, මේ සියල්ලට ම වඩා ඵලදායී වන්නේ ගිනි ඇති වීමට බලපාන හේතු පාලනය කිරීමයි. මෙවැනි අවස්‌ථාවක දී රාජ්‍ය නො වන සංවිධාන හා ප්‍රජා සංවිධාන පාදක කරගෙන කළ හැකි කාර්යය සුවිශාල ය. පරිසර සංවිධාන මගින් ව්‍යාපෘති කිහිපයක්‌ අපේ රටේ ක්‍රියාත්මක වී ඇතත්, ව්‍යාපෘති අවසන් වූ පසු ජනතාව අතර කල් පවත්නා ආකල්පමය වෙනසක්‌ සිදු වී තිබේ දැයි විමසීමක්‌ කර නොමැත. එවැනි වැඩසටහන් ආදර්ශයට ගැනීමෙන් වාර්ෂිකව අදාළ කාල වකවානුවල යම් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්‌ දියත් කිරීම අත්‍යවශ්‍ය වේ. පාරිසරික අපරාධයක්‌ වන වනාන්තර ගිනි තැබීම් වළක්‌වාලීම රජයේ නිලධාරීන්ට තනි ව කළ හැකි නො වේ. ඊට මාධ්‍යවල හා ප්‍රජාව ගේ සහයෝගය අත්‍යවශ්‍ය ය. මේ තත්ත්වය ඇති කිරීමට අප සැවොම කටයුතු කළ යුතු ය.

ස්‌තුතිය( වන ගිනි පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා දුන් වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‌ෂක ආර්. එස්‌. කුලතුංග මහතාට

ධනේෂ් විසුම්පෙරුම