logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 137
(ධනේෂ් විසුම්පෙරුම)

නාය යැම්වලින් සිදු වන
ජීවිත හානි අනතුර අඩු තක්‌සේරුවක

නාය යැම් යනු ලෝකයේ දැඩි ලෙස සාකච්ඡාවට ලක්‌ වන ස්‌වාභාවික ආපදා වර්ගයකි. විශේෂයෙන් වර්ෂා සමයේ දී ඇති වන මේ ස්‌වාභාවික ආපදාව සඳහා මානව කටයුතු ද සැලකිය යුතු තරමින් හේතු වේ. විශේෂයෙන් අවිධිමත් භූමි භාවිතය මෙවැනි තත්ත්වයක්‌ සඳහා හේතු වන කරුණකි. මෙය ශ්‍රී ලංකාවේ අපට ද එතරම් නුපුරුදු ආපදාවක්‌ නො වේ. විශේෂයෙන් අධික වැසි කාල සමයේ දී නාය යැම් පිළිබඳව සිදු කරන අනතුරු හැඟවීම් අපට අසන්නට ලැබේ.

මේ ස්‌වාභාවික ආපදාව නිසා සිදු වන මානව ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යයනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් පෙනෙන වැදගත් ම කරුණ නම් නාය යැම් නිසා සිදු වන ජීවිත හානි ප්‍රමාණය පිළිබඳව අඩු තක්‌සේරුවක්‌ පවතින බව පෙන්වා දීම ය. එසේ ම නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ද මේ අධ්‍යයනයෙන් උත්සාහ දරා තිබේ. ඊට ශ්‍රී ලංකාව ද අයත් වීම අපට වැදගත් කරුණකි.

නාය යැම්වල ජීවිත හානි කිහිප ගුණයකින් අධිකයි

මේ අධ්‍යයනය දිගුකාලීන දත්ත යොදාගෙන ඇති අධ්‍යයනයකි. එහි දී 2004 සිට 2010 අතර අවුරුදු හතක පමණ කාලය තුළ නාය යැම් නිසා සිදු වූ මරණ ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු කර තිබේ. මේ කාලයේ දී නාය යැම් නිසා මිය ගිය මිනිසුන් ගණන පිළිබඳව මින් පෙර පැවැති ඇස්‌තමේන්තුව වූයේ 3000-7000 අතර ප්‍රමාණයකි. එහෙත් මේ අධ්‍යයනයේ දී මේ කාලය තුළ සිදු වූ නාය යැම්වලින් ඇති වූ හානිය පිළිබඳව නැවත විමසීමක්‌ සිදු කර ඇත. ඒ අදාළ සිදුවීම් පිළිබඳව දත්ත සමුදායක්‌ ඇති කිරීමෙනි. එහි දී භූමිකම්පා වැනි සිදුවීම්වලින් ඇති වූ නාය යැම් පිළිබඳව නො සලකා හැර තිබේ.

අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව මේ වසර හතක කාලය තුළ ලෝකයේ සිදු වූ මාරක නාය යැම් 2620කින් මිය ගිය පුද්ගලයන් ගේ ප්‍රමාණය 32,322ක්‌ පමණ තරම් බව හෙළි වී තිබේ. එය කලින් සිතූ ප්‍රමාණය දස ගුණයක්‌ පමණ ඉහළ ය. මෙසේ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය අඩුවෙන් වාර්තා වීමට හේතුවක්‌ වී ඇත්තේ බොහෝ නාය යැම්වලින් සිදු වන මරණ ප්‍රමාණය 10කට වඩා අඩු වීම ය. දත්ත එකතු කිරීමේ දී මරණ 10ට වඩා අධික ප්‍රමාණයක්‌ වාර්තා වූ සිදුවීම් පමණක්‌ වාර්තා වීම මෙවැනි සිදුවීම්වලට හේතු විය හැකි බව පෙන්වා දී ඇත. එසේ ම මේ අගය පවා අඩු තක්‌සේරුවක්‌ විය හැකි බව ද මේ පිළිබඳව සිදු කරන ලද සාකච්ඡාවල දී දක්‌වා තිබේ.

නාය යැම් සඳහා හේතු වන ප්‍රධාන සාධක වන්නේ කාලගුණ රටාව, වන විනාශය හා අවදානම් සහිත ප්‍රදේශවල ජන ඝනත්වයෙන් අධික මානව ජනාවාස පැවතීම බව ද මේ වාර්තාවේ පෙන්වා දී තිබේ. මේ අනුව අධික වර්ෂාපතනයකට ලක්‌ වන අධික බෑවුම් සහිත හා අධික ජනගහනයකින් යුක්‌ත ප්‍රදේශ නාය යැම්වල වැඩි බලපෑමකට ලක්‌ වීමට ඉඩ තිබේ. විශේෂයෙන් මේ කලාපයේ මෝසම් වැසිවල ප්‍රබලතාව නාය යැම් සඳහා බලපාන ප්‍රධානතම හේතුවකි.

මේ අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව නාය යැම් යනු ගෝලීය මට්‌ටමේ ස්‌වාභාවික ආපදාවක්‌ සේ සැලකිය යුතු බව අවධාරණය කර තිබේ.

නාය යැම් අවදානම අධික ප්‍රදේශ -

ශ්‍රී ලංකාවත් එකක්‌

මේ අධ්‍යයනයේ නිගමන අතර නාය යැම් අවදානම අධික වන ප්‍රදේශ හඳුනාගැනීම සඳහා විශේෂ අවධානයක්‌ යොමු වී තිබේ. නාය යැම්වලින් ජීවිත හානි වැඩි ප්‍රමාණයක්‌ සිදු වන්නේ ආසියාවේ ය. මින් වැඩි ආපදා ප්‍රමාණයක්‌ සිදු වන්නේ රටවල් ගණනාවකට අයත් වන හිමාලය කඳුකර ප්‍රදේශයේ ය. විශේෂයෙන් හිමාලයේ දකුණු ප්‍රදේශය නාය යැම් අවදානම අධික ප්‍රදේශයකි. එසේ ම චීනයේ ප්‍රදේශ දෙකක්‌ හා ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරය, ඉන්දුනීසියාවේ ප්‍රදේශ ද මේ අවදානම අධික ප්‍රදේශ අතර වේ. ශ්‍රී ලංකාව ද මෙවැනි නාය යැම් අවදානම අධික ප්‍රදේශයක්‌ ලෙස මේ වාර්තාවේ ඇතුළත් වේ. අනෙක්‌ කලාපවලින් වැඩි ම අවදානමක්‌ ඇති ප්‍රදේශ වන්නේ දකුණු ඇමෙරිකාවේ හා හයිටි දේශයේ ප්‍රදේශ කිහිපයකි.

මේ නාය යැම් අවදානම අධික ප්‍රදේශ හඳුනාගත හැකි වීමේ ඇති වැදගත්කම විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ඒ අනුව අදාළ රටවල හා ප්‍රදේශවල බලධාරීන්ට නාය යැම් අවදානම අධික ප්‍රදේශ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ හැකි ය. විශේෂයෙන් ඒ ප්‍රදේශවල භූමි භාවිතය සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් ය. නාය යැම් සඳහා හේතු වන වනාන්තර විනාශය මෙන්ම නාය යැම් නිසා ඇති වන ජීවීත හානි ප්‍රමාණය ඉහළ යැමට හේතු වන ලෙස අධික බෑවුම් සහිත ප්‍රදේශවල මානව ජනාවාස පිහිටුවීම ද පාලනය කිරීමට කටයුතු යෙදීමට බලධාරීන්ට ක්‍රියා කළ හැකි ය. මේ නිසා අපේ සාකච්ඡාවට ලක්‌ වූ පර්යේෂණයෙන් එවැනි අවස්‌ථාවක්‌ ද සපයා දී ඇති බව සඳහන් කළ යුතු ය. (මූලාශ්‍රයGeology,DOI: 10.1130/G33217.1&)


හුදෙකලා වූ වනාන්තරවල ක්‌ෂීරපායීහු වඳ වෙති


නිවර්තන කලාපීය වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ තැනින් තැන හුදකලාව ඉතිරි ව ඇති කුඩා ප්‍රමාණයේ වනාන්නතර වේ. මේ වනාන්තර දිගු කාලයක්‌ තිස්‌සේ සිදු වූ වන විනාශයෙන් ඉතිරි වූ පරිසර පද්ධති ය. මේවායේ ජීවත් වන ක්‌ෂීරපායින් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පෙනී ගොස්‌ ඇත්තේ ඔවුන් ගෙන් විශාල ප්‍රමාණයක්‌ වඳ වීමට ලක්‌ වෙමින් ඇති බව ය.

බ්‍රසීලයේ අත්ලාන්තික්‌ වනාන්තර පිළිබඳව සිදු කරන ලද මේ අධ්‍යයනයයේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ වනාන්තර කැබැලි බවට පත් වීම හා දඩයම නිසා එහි නිවර්තන ජෛවවිවිධත්වයට දිගුකාලීන වශයෙන් ඇති වී තිබෙන බලපෑමයි. මේ අත්ලාන්තික්‌ වනාන්තරවලින් සියයට 90ක්‌ පමණ මේ වන විට විනාශ වී ඇති අතර ඉතිරි ව ඇති ඇතැම් වනාන්තර ඉතා කුඩා ඒවා ය. එවැනි හුදකලා වනාන්තර 196ක භූදර්ශනයේ මිනිසුන් විසින් සිදු කෙරී ඇති වෙනස්‌කම් හා වෙනත් බලපෑම් මගින් විශාල ක්‌ෂීරපායී සත්ත්වයන්ට ඇතිවිය හැකි බලපෑම් අවධානයට ලක්‌ ව තිබේ. මේ සඳහා වනජීවීන් පිළිබඳව සිදු කරන ලද සමීක්‌ෂණ හා සම්මුඛ සාකච්ඡා ආදිය භාවිත කර තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ අදාළ වනාන්තරවල දැකිය හැකි වූ වනගත ජීවී විශේෂ බෙහෙවින් වඳ වී ගොස්‌ ඇති බව ය. අනාවරණය වූ අන්දමට මේ වනාන්තරවල ස්‌වාභාවිකව වාසය කරන ක්‌ෂීරපායී විශේෂ 18ක්‌ අතරින් අධ්‍යයනයට ලක්‌ කළ කුඩා වන ප්‍රදේශවල සාමාන්‍යයෙන් දැකිය හැක්‌කේ විශේෂ 3.9ක්‌ පමණකි.

කෘෂිකර්මය වැනි මානව කටයුතු නිසා වනාන්තර මේ ආකාරයෙන් කැබැලිකරණය වී හුදකලා වීම සිදු වේ. ඉතිරි ව ඇති ප්‍රාථමික වනාන්තරවලින් සංරක්‌ෂණයට ලබා දෙන දායකත්වය ඇතැම් විට වාද විවාදවලට ලක්‌ වූවකි. මේ පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ මෙවැනි කැබැලි වූ වනාන්තරවලින් ඉහළ ජෛවවිවිධත්වයකට වාසස්‌ථාන සපයා දෙනු ඇතැයි අපේක්‌ෂා කළ ද, එවැන්නක්‌ සඳහා මේ වන ප්‍රදේශවල සිදු වන දඩයම් කිරීම තදින් පාලනය කළ යුතු බව ය. කෙසේ වෙතත්, ශාක වැනි ජීවීන් ගේ සංරක්‌ෂණය සඳහා මේ හුදකලා වන බිම්වලින් ප්‍රයෝජනයක්‌ නොමැති බවක්‌ මින් අදහස්‌ නො කෙරේ. (මූලාශ්‍රයPLoSONE,DOI:10.1371/journal.pone.0041671)


පුවත් සැකෙවින්


ආක්‌ටික්‌ ප්‍රදේශයේ අයිස්‌ දිය වීමත් වේගවත්

උතුරු අර්ධගෝලයේ ආක්‌ටික්‌ සාගර ප්‍රදේශයේ දැකිය හැකි අයිස්‌ දිය වීම සාමාන්‍යයෙන් අපේක්‌ෂා කළ මට්‌ටමට වඩා වේගවත් බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ චන්ද්‍රිකාවකින් ලබාගත් දත්ත අනුව පෙනේ. මේ අනුව 2004 වර්ෂයෙන් පසුව මේ ප්‍රදේශයේ වර්ෂයකට අයිස්‌ ඝන කිලෝමීටර 900ක්‌ පමණ දිය වේ. ඒ අගය මෙතෙක්‌ ඉදිරිපත් කර තිබූ පුරෝකථන බොහොමයකින් දක්‌වා තිබූ අයිස්‌ දිය වීමේ වේගයට වඩා සියයට 50කින් පමණ අධික ය.

ආක්‌ටික්‌ ප්‍රදේශය ලෝකයේ වෙනත් ප්‍රදේශවලට වඩා වේගයෙන් උණුසුම් වන බව පෙන්වා දී ඇත. එසේම අයිස්‌ දිය වීමත් සමඟ නිරාවරණය වන සාගරය මගින් වැඩි තාපයක්‌ අවශෝෂණය කර ගන්නා නිසා උණුසුම වැඩි වීම තවත් වේගවත් වීමට ද ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ තත්ත්වය දේශගුණ වෙනස්‌ වීමේ සෘජු ප්‍රතිඵලයක්‌ ද නැත හොත් ස්‌වාභාවික සාධකවල බලපෑම ද ඊට අයත් ද යන්න ගැන ගැටලුවත් ව තිබේ. මෑත දී ග්‍රීන්ලන්තයේ අයිස්‌ තට්‌ටු වේගයෙන් දිය වූ බව වාර්තා විය.


ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම්


2011 වර්ෂයේ දී ජපානයේ සිදු වූ ෆුකුෂිමා ඛේදවාචකයේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවධානය යොමු කළ පර්යේෂණ වාර්තා දෙකක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් විය. ඉන් එකක අවධානය යොමු ව තිබුණේ අදාළ ඩයිච් බලාගාරයේ සේවකයන් ගේ මානසික තත්ත්වය පිළිබඳව ය. එහි දී හෙළි ව තිබූ පරිදි, අනතුරින් මාස තුනක පමණ කාලයකට පසු වත් අනතුරට ලක්‌ නො වූ බලාගාරයක සේවකයන්ට වඩා අදාළ අනතුරට ලක්‌ වූ න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් මානසික පීඩාවකට ලක්‌ ව සිට ඇත.

දෙවැනි අධ්‍යයනය සිදු කර ඇත්තේ අදාළ බලාගාරයට කිලෝමීටර් 22ක්‌ පමණ උතුරින් පිහිටා ඇති මිනාමිසෝමා නම් නගරයේ වැසියන් නිරාවරණය වී තිබූ සීසියම් මට්‌ටම පිළිබඳව ය. මේ නගරයේ ජනතාව අනතුරු අවස්‌ථාවේ ඉවත් කරනු ලැබූ අතර 2011 අගෝස්‌තු මාසය වන විට ඉන් අඩක පමණ පිරිසක්‌ ආපසු පැමිණ තිබිණි. ඉන්පසු මාස හයක කාලයක්‌ තිස්‌සේ කළ මේ අධ්‍යයනයෙන් පෙනී ගොස්‌ ඇත්තේ මේ පිරිස විකිරණවලට නිරාවරණය වීම අඩු බව ය. මේ දක්‌වා සෞඛ්‍ය ගැටලු ද වාර්තා වී නැතත්, ඔවුන් ගේ සෞඛ්‍යය පිළිබඳව දිගට ම අවධානය යොමු කළ යුතු බව ද මෙහි සඳහන් වේ. (මූලාශ්‍රය Journalof American Medical Association, DOI:10.1001/jama.2012.9699 yd 10.1001/jama.2012.9839)


බ්‍රසීලයේ ආන්දෝලනාත්මක වේල්ලේ ඉදි කිරීම් අත්හිටුවයි


බ්‍රසීලයේ ඉදි කිරීමට නියමිත වූ වේල්ලක ඉදි කිරීමේ කටයුතු අත්හිටුවීමට බ්‍රසීලයේ අධිකරණයක්‌ තීරණය කර තිබේ. බෙලෝ මොන්ටෙ (Belo Monte) නම් මේ වේල්ල සිංගු නම් වූ ගංගාවක ඉදි කෙරෙන අතර, ඉදි කිරීමෙන් පසුව මෙය ලෝකයේ තෙවැනි විශාලතම ජල විදුලි ව්‍යාපෘතිය වීමට නියමිත විය. ඉන් වර්ග කිලෝමීටර 500ක්‌ පමණ ප්‍රදේශයක්‌ ජලයට යට වීමට නියමිත අතර 16000ත් 40000ත් අතර පිරිසක්‌ අවතැන් විය හැකි ය.

එරට අභියාචනාධිකරණයක්‌ තීරණය කර ඇත්තේ ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්‌ විය හැකි ස්‌වදේශික ජනතාව ගෙන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රමාණවත් ලෙස නො විමසා ඊට අනුමැතිය ලබා දීමෙන් එරට බලධාරීන් නීති විරෝධී ව කටයුතු කර ඇති බවය. ඒ නිසා ඔවුන්ගේ ඔවුන් ගේ අදහස්‌ ලබා ගත යුතු බව අධිකරණය තීරණය කර තිබේ. එසේ නො කළ හොත් අදාළ සමාගමට දෛනික දඩයක්‌ ද නියම කර ඇත.

කෙසේ වෙතත් මේ අත්හිටුවීම තාවකාලික විය හැකි බව පෙනේ. ස්‌වදේශික ජනතාව ගේ එකඟතාව ලබාගත් පසු එය යළි ක්‍රියාත්මක විය හැකි ය. එහෙත් තාවකාලික වුවත් මෙය වැදගත් වන්නේ ජනතාව ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමේ ලා වැදගත් තීරණයක්‌ වන නිසා ය. ෆොසිල ඉන්ධන වෙනුවට යෝග්‍ය බලශක්‌ති ප්‍රභව සෙවීමේ දැඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බ්‍රසීලය මේ වේල්ල ඉදි කිරීම කඩිනම් කිරීමේ යෙදී සිටියි.