logo6.gif (834 bytes)

HOME


රිටිගල වන රක්‌ෂිතයේ සැඟවී ඇති,
මල්බලිගල නම් පුරාවිද්‍යාත්මක ස්‌ථානය ගැන කරන

සුවිශේෂී අනාවරණයක්‌


මහාචාර්ය පරණවිතාන ශූරීන් හා එච්. සී. පී. බෙල් ආදී රිටිගල රක්‌ෂිතය ගවේෂණය කළ විද්වතුන්ට හමු නො වූ පුරාවිද්‍යාත්මක නටබුන් තවමත් රිටිගල රක්‌ෂිතයේ තැන තැන ඇත. දැනට වසර 5කට වැඩි කලක්‌ රිටිගල ආශ්‍රිත ව, කොළඹ විශ්වවිද්‍යාලයයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයට අනුබද්ධ ව මා විසින් කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයෙන් එලෙස සොයාගත් ස්‌ථානයක්‌ නිරාවරණය කිරීම මේ ලිපියේ අරමුණයි.

රිටිගලට ඊසාන දෙසින් ඇති කීරියගස්‌වැව ගම හා රිටිගලකන්ද අතර මල්බලිගල ලෙස ගැමියන් හඳුන්වන ගල්තලාවන් 2ක්‌ ඇත. කීරියගස්‌වැව ගමේ වැවේ සිට බටහිරට යත් ම හමු වන්නේ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් රිටිගල රක්‌ෂිතයේ තැනිතලා භූමි භාගයයි. වැවේ උතුරු සීමාවේ සිට රිටිගල දෙසට හෙවත් බටහිර පැත්තට යත් ම, වියළි කලාපීය කටු පඳුරු ඇති තැනිතලා බිමක්‌ හමු වේ. එහි කටුපිල, හීන්තඹල, එරමිණියා ආදි කටු පඳුරු අතරින් පතර කෝං, පලු, බුරුත ආදි විශාල ගස්‌ ද ඇත. තව ද පොඩිසිංඤොමරං, මදුරුතලා විශේෂ, ඇත්අඩිය, පෙතිතෝර, කටුකර`ඩු, පොල්පලා හා තෘණ විශේෂ ද, කළු ගොටුකොළ වැනි මීවන ශාක ද, ගුරුලුරාජ වැනි දුර්ලභ පැළෑටි ද අතරින් පතර ඇත. මෙහි පඳුරු විශේෂ අතරේ භූමියේ ඇති පස්‌ වර්ෂාව ඇති විට සෝදා යන හෙයින් පොළොවේ වැලි මතු ව ඇත. එහි ඇති අඩි පාරවල් මිනිසුන් දර ලබා ගැනීමට යැම හා ඇතැම් විට දඩයමේ යැම ආදී කටයුතු සඳහා කාලාන්තරයක්‌ තිස්‌සේ යොදාගන්නා හෙයින් කටුපඳුරු සෑදී නැත.

වැවේ බටහිර කොටසේ ඇති වැව් වාන 2009 වසරේ මැද පමණ කැඩී ගොස්‌ ඇති බැවින්, වැව ඇතුළතින් නව බැම්මක්‌ සාදා ඇති අතර, පෙර වැව තිබූ බිමේ ගැමියන් දියලබු ලෙස හඳුන්වන එර`ඩු කුලයේ ශාකයක්‌ වන Jatropha gossypiifolia පඳුරු වවා ඇත. කීරියගස්‌වැව ගමේ සිට බටහිර දෙසට හෙවත් වැවට උතුරින් ඇති භූමියේ ද නිවෙස්‌ පිටුපස ද කුඹුරු ඇත.

බොහෝ විට මල්බලිගලට යන මාර්ගය දෙපසින් පඳුරුවල අතු වැඩී ඇති විට, මිනිසුන් ඒවා කඩා දමා ගමන් කරන හෙයින් එහි මාර්ගයක්‌ ලෙසට නිතර ම විවෘත බවක්‌ ඇත. එම අඩිපාරවල් අලි ඇතුන් හා ගැමියන් ගේ ගවයන් ආදී වෙනත් සතුන් ද ගමන් ගැනීමට භාවිත කරන බව පෙනේ. ගවයන් ගේ කුර සටහන් එහි ඇත. එම මාර්ගයේ ම එක්‌ තැනක වර්ෂාවට පස්‌ සෝදා යැමෙන් කණ්‌ඩියක්‌ මෙන් දෙපස ඉතිරි කරමින් භූමිය කැඩී යන ආකාරයක්‌ විය. තව ද අලි බෙටි හා ඉත්තෑවන් වැනි සතුන් ගේ මළ ද මාර්ගයේ අතරින් පතර ඇත. මේ මාර්ගය විටෙක සුවිසල් ගස්‌ අඩු, පඳුරු පමණක්‌ ඇති විවෘත භූමියකට එළඹේ. එය අතීතයේ හේන් වගා කර අත්හැර ඇති බිමක්‌ විය හැකි ය. එවැනි විවෘත පෙදෙස්‌ මෙහි තවත් ඇත. නැවත අඩි පාර දිගේ යත් ම, වියළී ගිය ඇළ මාර්ගයක්‌ හමු වේ. එය රිටිගල සිට කීරියගස්‌වැවට වර්ෂා කාලයේ ජලය රැගෙන එන ඇටඹ ග`ග ඇලේ ශාඛාවක්‌ වෙයි.

එම මාර්ගයේ කිලෝමීටර් භාගයක්‌ පමණ දුරක්‌ ගමන් ගන්නා විට තැනිතලා ගල්තලාවක්‌ ලෙසින් අවට පැතිරී ඇති මල්බලිගල හමු වේ. මල්බලිගල ගල්තලාව තැන් තැන්වලින් පොළොවෙන් ඉහළට මතු වී අඩි 3-4ක්‌ එසවී ඇත. මුලින් ම හමු වන ගල්තලාවේ වයඹ කොටසේ දාගැබක නටබුන් හා එයට නැඟෙනහිරින් ජලය පිරී ඇති අඩි 5-6ක පමණ දිගැටි හා කෙළවරවලින් උල් හැඩැති ජලය පිරී තිබූ වළවල් දෙකක්‌ විය. එයට දකුණින් ද ගල්තලාවේ පහළ අඩි 3ක්‌ පමණ වූ තවත් ජලය පිරුණු එවැනි කුඩා වළක්‌ විය.

මේ වළවල් අතීතයේ සංඝාවාසයක ප්‍රයෝජනයට ගත් හෝ වෙනත් ක්‍රියාවකට ගත් ඒවා විය හැකි ය. එම දිය වළවල් එකක්‌ ඉහළ භූ ස්‌ථරයේ වූ අතර, අනික පහළ භූ ස්‌ථරයේ විය. එහි වඩාත් ඉහළින් වූ වළේ වට ප්‍රමාණය අඩි 10ක්‌ වූ අතර, ඉන් පහළ තිබූ වළ අඩි 22ක වට ප්‍රමාණයක්‌ විය. ඉහළ වළේ උල් පැත්තේ කෙළවරින් කළුගලේ ඉන් ඉහළ සිට ජලයට පැමිණීමට යම් බදාමයකින් තැනූ මාර්ගයක්‌ වූ අතර, වළේ උල් හැඩැති අනෙක්‌ කෙළවරින් පිට වන ජල මාර්ගයක්‌ නැවත බදාමය ඔස්‌සේ පහළ ඇති දෙවැනි වළට යොමු වී ඇත. දෙවැනි වළ ද එලෙසින් ම උල් හැඩැති කොනින් ජලය ගෙන අනෙක්‌ උල් හැඩැති කොනින් ජලය පහළට යවයි. මේ උල් හැඩැති වළවල් ස්‌වාභාවිකව තැනුණු ඒවාට වඩා ඇතැම් විට ස්‌වාභාවික දිය වළකට අතීතයේ එම උල් හැඩය මිනිසුන් විසින් ලබා දී ඇති බවක්‌ දක්‌නට ඇත. එහි දී තැනින් තැන ගල්තලාවේ ජලය රැස්‌ කර, ක්‍රමිකව පහළට බස්‌සන ස්‌වරූපයක්‌ දක්‌නට ඇත. 2011 මාර්තු මස කළ සංචාරයේ දී මේ වළවල් දෙක ම හොඳ තත්ත්වයේ තිබූ නමුත්, 2012 මාර්තු මස කළ සංචාරයේ දී ඉහළින් වූ වළේ පැත්තක්‌ යම් පිරිසක්‌ විසින් කඩා දමනු ලැබ තිබූ අයුරු දක්‌නට විය.

එම දිය වළට මඳක්‌ උඩින් දැගැබක නටබුන් විය හැකි ගඩොල් දක්‌නට ඇත. මේ තාක්‌ ගවේෂණය කළ රිටිගල පුරා වස්‌තු අතර දාගැබක්‌ බවට පූර්ණ ලක්‌ෂණ ඇති නටබුන් තවම සොයාගෙන නැතත් කුඩා දැගැබ් තිබූ බවට සැක කළ හැකි ගඩොල් ගොඩවල් තැන් තැන්හි තිබෙන ස්‌ථාන රිටිගල ක`දුවැටියේ බොහෝ ඇත. නා උල්පත ප්‍රදේශයේ ද එවැනි ස්‌ථාන ඇත.

මේ ජලය පිරුණු වළවල් හා දැගැබ් නටබුන් ඇති බිමේ, නටබුන්වලට ආසන්නයෙන් අ`ගල් 6ක්‌ පමණ ගැඹුරු, ගලේ ඉහළ මතුපිට දී අ`ගල් 8ක්‌ පළල, යම් ක්‍රියාවකට ගලේ කොටා ඇති, කුඩා වළවල් 2ක්‌ විය. මේ වළවල් යකඩ උණු කරවන කෝවක හැඩය ගන්නා නිසා ඒවා කෝවා වළවල් ලෙස ගැමියන් හ`දුන්වන අතර, ඒවා නිදන් තැන්පත් කර තිබූQ වළවල් ලෙසට විශ්වාස කෙරෙයි. එම ගල්තලාවේ ම එවැනි වළවල් 4ක්‌ පමණ විය. එම වළවල් දැනට වසර 20කට පමණ පෙර සිට දැක ගැනීමට හැකි ව තිබේ. එම වළට ඉහළින් අ`ගල් 2-3ක්‌ පළලට ගල්පොත්ත ස්‌වාභාවිකව දිරා ගොස්‌ කැබැලි කැඩී ඇති ස්‌වරූපයක්‌ දිස්‌ වේ.

එහෙත් එම ගල්පොත්ත කැඩී ඇත්තේ මිනිසුන් කෝවා වළවල් මතු කර ගැනීමට උත්සාහ කළ නිසා බව ද දිස්‌ වේ. මෙහි ඇති විශේෂ කරුණ නම් කෝවා වළ පිහිටා ඇති පාෂාණය දිරා ගොස්‌ නැති බවයි. ඒ අනුව නිගමනය කළ හැකි එක්‌ කරුණක්‌ වේ. මේ කෝවා වළවල් ගල්පොත්ත යට ස්‌වාභාවිකව තැනුණු ඒවා බව ය ඒ. එහෙත් එසේ නො වන බව ඒවා දුටු විට පෙනී යයි. අනෙක්‌ නිගමනය නම් ගල්තලාවේ තැනින් තැන කෝවා වළවල් හාරා එහි යම් ද්‍රව්‍යයක්‌ තැන්පත් කර, එයට උඩින් අ`ගල් 2-3ක්‌ පමණ වන කළුගල් ලෑලිවලින් වසා, එම කළුගල් ලෑලි බදාමවලින් (හුණු හා වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර ස්‌වාභාවික කළු ගලේ ම පැහැය දැක්‌වෙන ලෙස තැනූ බදාමයකින්) වසා, පිටින් තැබූ ගල්පොත්ත ප්‍රධාන කළුගලේ ම හැඩයට කොන්වලින් වටකුරු කර, මේ ස්‌ථාන (කෝවා වළවල්) ස`ගවා තැබූ බවකි. මන්ද කලක්‌ ගත වන විට කළුගලේ දියසෙවල බැඳුණු විට පිටතින් වැසූ ගල්පොත්ත හා එය සම්බන්ධ වන බදාමය හා මවු පාෂාණය යන සියල්ල ම එක ම පැහැයකින් දැක්‌වේ. එහෙත් කෝවා වළ වසා ඇති ගල්පොත්ත මතුපිට කිසියම් සලකුණක්‌ යොදා ඇත. ගැමියන් කෝවා වළ ඇති තැන එම සලකුණ මඟින් සොයාගෙන ගල්පොත්ත ඉවත් කර එහි ඇති යම් දෙයක්‌ (නිධානයක්‌) ගෙන ඇත. කෝවා වළවලින් වරාගං ලෙස ඔවුන් හඳුන්වන කරවිල ඇට හා සමාන දෙයක්‌ (රත්රන් කැබැලි විය හැකි) ලබාගෙන ඇති බව දැක්‌වේ.

මේ ගල් තලාවෙන් රිටිගල කන්ද දෙසට මීටර් 25ක්‌ පමණ යන විට නැවත කටු පඳුරු ඇති අතර, නැවතත් තවත් ගල් තලාවක්‌ හමු වේ. එහි බටහිර කොටසේ ආරාමයක හෝ යම් ගොඩනැඟිල්ලක විය හැකි නටබුන් ඇත. එහි නටබුන් ඇති ගලේ නැඟෙනහිර බෑවුමේ නිදන් හාරා ඇති තැනක්‌ බවට සැක කරන අඩි දෙක තුනක්‌ පමණ වන කුහරයක්‌ ඇත.

එනම් කළුගලේ පැත්තක වූ කුහරයක යම් දෙයක්‌ ස`ගවා තබා පිටතින් වෙනත් පාෂාණයක්‌ හෝ ගල් පතුරක්‌ තබා තිබී ඇත. දැනට දශක කිහිපයකට පෙර කවුරුන් විසින් හෝ එම ස්‌ථානයෙන් එම නිධානය ගෙන ඇති බවට ගැමියන් විශ්වාස කරන ස්‌ථානයකි එහි ඇත්තේ. එයට ආසන්න ව මඳක්‌ නැඟෙනහිරට වන්නට ගල්තලාව පහළ යම් සලකුණක්‌ විය.

එම සලකුණ යට නිදන් ඇති කෝවා වළක්‌ ඇති ස්‌ථානයක්‌ විය හැකි බවට ගැමියෝ සිතති. එම නිදන් සලකුණ ඇති තැන කුමන හෝ හේතුවක්‌ මත ගල්පොත්ත කඩා ඉවත් කිරීමට පියවර ගෙන නැත. එහෙත් අනාගතයේ දී ඇතැම් විට එම සලකුණ ඇති තැන ද ගල්පොත්ත කඩා නිදන් ඇති දැයි පරීක්‌ෂා කිරීමට යමකු පෙලඹිය හැකි ය.

පළමු ගල්තලාවේ කඳුරුගෙඩියා වැල් නම් ශාක විශේෂයක්‌ තැන් 2-3ක වැඩී තිබිණි. මේ වැල් ගැමියන් අතීතයේ දී කටුමැටි නිවෙස්‌හි වහළ සෙවිලි කිරීමේ දී ලණු වශයෙන් භාවිත කර ඇත. මේ ගල් තලාවෙන් පහළ ඇති බිමේ උතුරු පැත්තේ මංමුලාවැල් වැවී තිබෙන බවට ද වාර්තා ඇත. එහෙත් එම වැල් අප්‍රේල් මාසයෙන් පසුව වියළි කාලයේ වේළී අලය පමණක්‌ පවතී. නැවත වර්ෂාපතනය ලැබෙන අගෝස්‌තු පමණ වන විට දලු ලියලා වැඩේ.

මේ ස්‌ථානය රිටිගල අවට ගම්මානවල ගැමියන් බොහෝ විට තනි ව ම ඒමට බිය හා රාත්‍රී කාලවල දී නම් කෙසේ වත් නො යන, විවිධ ගුප්ත සිදුවීම් ඇති බවට සැක කෙරෙන ස්‌ථානයකි. ගැමියන්ට අනුව මල්බලිගලට ගෝනුන්, මුවන්, අලින් ආදී සතුන් විවිධ පාට වෙස්‌ අරගෙන අවතාර විලසින් රාත්‍රී කාලයට පැමිණෙන බවට, අතීතයේ විවිධ අය දැක ඇති බවට කටකතා ඇත. මෙය වසර 50කට පමණ පෙර වූ ගැමියන් ගේ අදහස්‌ නමුත් ඒ ගැන පුළුල් විමර්ශනයක්‌ කෙරී නැත. එලෙස සතුන් රාත්‍රියට මල්බලිගල මත විවිධ වර්ණවලින් දිළිසෙන බවට ගැමියන් දැක ඇතැයි කියන කතාවලට අපට හේතු කිහිපයක්‌ දැක්‌විය හැකි ය. එකක්‌ නම් මල්බලිගලේ ඇති පොස්‌පරස්‌ සංයෝගයක්‌ මඟින් රාත්‍රී අඳුරේ දී එලෙස මල්බලිගල දිළිසීමට ලක්‌ වනවා විය හැකි ය. අනෙක්‌ කරුණ රිටිගල නිවහන කරගත් එම සත්ත්ව විශේෂවල ආහාරයක්‌ වශයෙන් යම් හෙයකින් මංමුලාවැල් ආදී ශාක විශේෂ භාවිතයට ගනී නම්, එහි ඇති පොස්‌පරස්‌ සංයෝගයෙන් දීර්ඝ කාලීන ව එම සතුන් ගේ සිරුර කරා ලැබී, ඔවුන් මල්බලිගල මත දී එලෙස දිළිසීමකට ලක්‌ වූවා විය හැකි ය. එහෙත් ගැමියන් එම සතුන් විවිධ වර්ණවලින් දිළිසුණු බවට දක්‌වා ඇති කියමන සනාථ කිරීමට නිසි ගවේෂණයක්‌ කෙරී නැත.

මල්බලිගලේ වියළි කාලවල දී ඡායාරූපවලින් දක්‌වා ඇති දිය වළවල් පවා සිඳී යයි. එහි ජලය තැන්පත් කළ හැකි කුඩා වළවල් කිහිපයක්‌ ද ඇත. එවිට දඩයම්කරුවන් අසල ඇති කීරියගස්‌වැව ගමේ වැවෙන් භාජනවල දමා ජලය ගෙනැවිත් ගල්තලාවේ ඇති කුඩා වළවල් ජලයෙන් පුරවා දමන අතර, පසුව ඔවුහු ඒවා රැකගෙන සිටිති. එම වළවලට දිය බීමට එන සතුන්ට ගිනි අවිවලින් ගිනි තබා මරා දමන බව පැවසේ. 2012 මාර්තු මාසයේ කළ සංචාරයේ දී එලෙස රැකගෙන සිටීමට, පළමු ගල්තලාව මත කළුගල්වලින් කොට තාප්පයක්‌ සකසා තිබෙනු දක්‌නට විය. එයට මුවා වී සතුන් දඩයම් කිරීම කරන බව දැක්‌වේ. අතැම් තැනක යමක්‌ පුළුස්‌සා ගත් ආකාරයක්‌ දැක්‌වෙන ලිප් ගල් 3ක්‌ විය. මෙය අගෝස්‌තු වැනි මාසවල දැඩි වියළි කාලවල දී සිදු වන බව පැවසේ.

මේ ගල් තලාවේ කට්‌ටඩි ක්‍රියා ද සිදු වී ඇත. 2002 - 2003 පමණ කාලයේ දී පළමු ගල්තලාවේ නැඟෙනහිර පස තැනක මැස්‌සක්‌ ගසා වඳුරකු ගේ විය හැකි ඇට සැකිල්ලක්‌ තිබෙනු, කීරියගස්‌වැව ගමේ සිට දර ගෙන ඒමට කැළයට පැමිණි කාන්තාවක දැක ඇත. එම මැස්‌ස යටින් ගින්දර ගසා නිවී තිබූ අ`ගුරු ද දක්‌නට විය. එම මැස්‌ස උඩ තිබූ ඇටකටු ද පිළිස්‌සී තිබිණි. අතැම් විට මේ ඇටකටු යම් සතකු දඩයම් කර එම ස්‌ථානයේ දී ම දඩමස්‌ පුළුස්‌සා ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක්‌ විය හැකි ය. මන්ද 2012 කළ සංචාරයේ දී ද ලිප්ගල් 3ක්‌ තබා යමක්‌ පිසගත් ලක්‌ෂණ මල්බලිගල මත විය. එම ඇට කටු පසුව එහි පැමිණි ගමේ වෙනත් අය ද දැක ඇතත්, ඒ කුමක්‌ දැයි සොයා බැලීමට පොලීසියකට හෝ වන ජීවී නිලධාරීන්ට පවසා නැත.

2012 කළ සංචාරයේ දී පළමු ගල් තලාවේ නැඟෙනහිර පස කොටසක්‌ මිනිසුන් කඩා දමා තිබූ අයුරු දක්‌නට විය. ඇතැම් විට ඒවා කෝවා වළවල් ඇති දැයි පරීක්‌ෂා කිරීමේ හෝ එම කඩා දැමූ කොටසින් කළුගල් ගෙන පෙර කී ලෙස සතුන් දඩයම් කිරීමට සකසා තිබූ කළුගල් බැම්ම සඳහා කළුගල් කැබැලි ගැනීමේ හෝ ප්‍රතිඵලයක්‌ විය හැකි ය.

2012 මාර්තු මස සංචාරයේ දී සවස 4.30ට පමණ මල්බලිගලට ඉහළින් උණූසුම 36oC පමණ විය. එම ස්‌ථානයේ වායු පීඩනය 985.5 පමණ විය. එහි වූ කුඩා දිය වළවල ජලයේ pH අගය 8.8ක්‌ පමණ විය. මල්බලිගල දළ වශයෙන් මුහුදු මට්‌ටමේ සිට මීටර 225ක්‌ පමණ උසකින් පිහිටයි. මල්බලිගල රිටිගල පුරාවස්‌තු ගැන සඳහන් වන කිසිදු ලේඛනයක සටහන් වී නැත. මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිත ස්‌ථානයක්‌ සේ දැන්වීම් පුවරුවක්‌ හෝ සවි කර ආරක්‌ෂා කළ යුතු ය. මන්ද මේ අසල බිමේ කැණීම් කළ හොත්, ඇතැම් විට ප්‍රාග් මානව සංස්‌කෘතීන්හි සාධක ද සොයාගැනීමට හැකි විය හැකි ය.

හර්ෂ පෙරේරා