logo3.gif (702 bytes)

HOME



ශ්‍රී ලංකාවේ ඉපැරැණි ස්‌මාරක
පරිගණක ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය සඳහා ඔබටත් ඇරයුම්


අනුරාධපුරයේ පිහිටි රුවන්වැලි සෑය ව්‍යවහාර වර්ෂ පූර්ව දෙවැනි සියවසේ දී ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ස්‌ථූපයකි. මෙය 20 වැනි සියවසේ දී නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලදි. එහෙත් විද්‍යාත්මක හේතු නිසා ගඩොල් වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් මේ ආකාරයෙන් ප්‍රතිසංස්‌කරණය කිරීම නූතන පුරාවිද්‍යාව මඟින් ඇතැම් විට අනුමත කරනු නො ලැබේ. මේ නිසා ස්‌මාරකවල කුඩා ප්‍රමාණයේ ආකෘති ලෙස මේවා ප්‍රතිනිර්මාණය කර ඇති ආකාරය පොළොන්නරුව කෞතුකාගාරය වැනි ස්‌ථානවල දැකිය හැකි ය.

එහෙත් වර්තමානයේ පරිගණක ආශ්‍රිත මෘදුකාංග යොදාගනිමින් මෙවැනි පැරැණි ස්‌මාරක වඩා පහසුවෙන් ඩිජිටල් ප්‍රතිනිර්මාණයක්‌ සිදු කළ හැකි ය. යුරෝපයේ පිහිටා ඇති රෝමය හා ඇතැන්ස්‌ වැනි නගරවල පැරැණි ස්‌මාරක ගණනාවක්‌ මේ ආකාරයෙන් ඩිජිටල් ක්‍රම මඟින් ප්‍රතිනිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ද මෙවැනි උත්සාහයක්‌ ගැනීමට වසර 168ක අතීතයක්‌ ඇති ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමය මුලපුරා තිබේ. මේ වන විටත් සංගමය මඟින් අනුරාධපුරයේ පිහිටි

ඡේතවනාරාම ආරාම සංකීර්ණය ව්‍යවහාර වර්ෂ 9 වැනි සියවසේ දී පැවැති ආකාරයෙන් ඩිජිටල් ක්‍රමවේද යොදාගනිමින් ඩිජිටල් ප්‍රතිනිර්මාණය කර තිබේ. එහි සාමාජිකයකු හා ඇමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ආචාර්ය ප්‍රසාද් සමරජීව මහතා ඒ සඳහා මුල් විය. සංගමයේ www.royalasiaticsociety.lk වෙබ් අඩවියට පිවිස ව්‍යාපෘති (Projects) යටතේ මෙය නැරඹීමට ඔබට ද හැකි ය.

මේ ආකාරයෙන් අනුරාධපුරයේ සහ වෙනත් පැරැණි නගරවල ඇති පැරැණි ස්‌මාරක ඩිජිටල් ක්‍රමවේද යොදාගනිමින් ප්‍රතිනිර්මාණය කිරීමට රාජකීය ආසියාතික සංගමය අපේක්‌ෂා කරයි. එවැනි ජාතික මට්‌ටමේ කාර්යයක්‌ සඳහා ස්‌වේච්ඡාවෙන් සම්බන්ධ වීමට කැමැත්තක්‌ දක්‌වන පුද්ගලයන්ට සංගමය ආරාධනා කරයි. මේ සඳහා පරිගණක ආශ්‍රිත ගෘහ නිර්මාණ ශිල්පී සැලසුම් (CAD) සිදු කරන මෘදුකාංග පිළිබඳව සාමාන්‍ය දැනුමක්‌ තිබීම ප්‍රමාණවත් ය.

මේ සඳහා දායක වීමට කැමැත්තක්‌ දක්‌වන්නේ නම් rassrilanka@gmail.com ඔස්‌සේ විද්යුත් තැපැල් මඟින් සංගමය ඇමතිය හැකි ය.

ධනේෂ්