logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 135
(ධනේෂ් විසුම්පෙරුම)

කඩොලාන යොදාගෙන කාබන් තිර කිරීම
ආර්ථික වශයෙන් ලාබදායී වේ

දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා ගත හැකි පියවර අතර ශාකවල කාබන් ඩයොක්‌සයිඩ් තිර කිරීම ස්වාභාවික හා ප්‍රායෝගික පියවරක්‌ සේ දැක්‌විය හැකි ය. මේ පිළිබඳව බොහෝ අධ්‍යයන සිදු කර ඇති අතර වනාන්තර තුළ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන තැන්පත් කිරීම හෙවත් තිර කිරීම මේ වන විට පුළුල් ලෙස සාකච්ඡාවට ලක්‌ ව තිබේ. මේ අතරින් වැදගත් වන වනාන්තර වර්ග මොනවා ද යන්න ද සාකච්ඡාවට ලක්‌ වීමට තරම් වැදගත් බව කිව යුතු ය.

පසුගිය දා ප්‍රකාශයට පත් වූ මෙවැනි අධ්‍යයනයකට අනුව කාබන් ඩයොක්‌සයිඩ් වායුව තිර කිරීම සඳහා කඩොලාන යොදා ගැනීම ආර්ථික වශයෙන් ශක්‍ය වූ ක්‍රමවේදයකි. මේ සතියේ පරිසර විමසුම තුළින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අප සිතුවේ එහි ඇති දේශගුණ වෙනස්‌ වීම ඉක්‌මවා ගිය වැදගත්කම නිසා ය.

කාබන් තිර කිරීමේ දී කඩොලානවල කාර්යභාරය

කඩොලාන වනාන්තරවල ශාකවල ජෛව ස්‌කන්ධය තුළ හා පසේ තිර කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය ඉහළ බව මේ වන විට පිළිගෙන ඇති කරුණකි. 2011 වර්ෂයේ දී ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන් පස්‌ ගුණයක්‌ තරම් අධික කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ කඩොලානවල තිර කළ හැකි ය. ඒ සඳහා ශාක මෙන්ම කඩොලානවල පවත්නා පස ද දායක වේ. (බලන්න - ජගත් පරිසර විමසුම 71, විදුසර, 2011-05-11)

මෙහි දී අනාවරණය වී ඇති අන්දමට, කඩොලාන වනාන්තර ආරක්‌ෂා කළ හැකි නම් ඒවා යොදාගනිමින් ටොන් එකක්‌ සඳහා ඇමෙරිකානු ඩොලර් 4-10 අතර කරම් වියදමකින් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් වායු අඩු කළ හැකි ය. මේ සඳහා වැඩි හැකියාවක්‌ පවතින්නේ ආසියානු හා ඕෂනියා කලාපයේ ඇති කඩොලාන වනාන්තරවලට ය. ලෝකයේ හිලව් කිරීමට ඇති සමස්‌ත කාබන් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයක්‌ ඒ කලාපයේ වනාන්තර මඟින් හිලව් කළ හැකි ය. මේ පර්යේෂකයන් පවසන්නේ මේවා මඟින් කාබන් තිර කරන ප්‍රමාණය අනුව, සෙසු ප්‍රයෝජන නො සලකා හැරිය ද ඉන් ලැබෙන ප්‍රයෝජනය විශාල බව ය.

මෙවැනි තත්ත්වයක්‌ මත නව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ වෙනත් කාබන් හිලව් කිරීමේ ක්‍රමවේදවලට සාපේක්‌ෂව කඩොලාන ජෛව ස්‌කන්ධය මේ පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම මඟින් කාබන් තිර කිරීම වඩා ලාභදායී බව ය. මේ නිගමනයට ඔවුන් පැමිණ ඇත්තේ ඒ පිළිබඳව සිදු කරන ලද සවිස්‌තර කරුණු සොයා බැලීමකින් පසු ව ය.

කඩොලානවලට නියම තැන ලැබී තිබේ ද?

මේ පර්යේෂණයෙන් අනාවරණය වන තොරතුරුවලට අනුව නිවර්තන වර්ෂා වනාන්තර මෙන්ම කඩොලාන වනාන්තර ද කාබන් තිර කිරීමේ ක්‍රමවේද සඳහා ඇතුළත් විය යුතු බව පෙනේ. නිදසුනක්‌ ලෙස මේ වන විට පිළිගැනීමට ලක්‌ ව ඇති වන විනාශයෙන් හා වන හායනයෙන් සිදු වන විමෝචන අඩු කිරීමේ යාන්ත්‍රණය (REDD) වැනි ක්‍රියාවලියක්‌ යටතේ කඩොලාන ද ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් නිර්දේශ කර තිබේ. ඊට වුවත් මෙය ඇතුළත් කිරීම සිදු කළ හැකි ය.

කෙසේ වෙතත් කඩොලාන මඟින් කාබන් තිර කිරීමේ ප්‍රායෝගිකත්වය තීරණය වන්නේ ලෝක කාබන් වෙළෙඳපොළේ ඒ සඳහා ඇති මිල ගණන් මත බව තවත් විද්‍යාඥයන් පවසා තිබේ. නිදසුනක්‌ ලෙස උක්‌ත පර්යේෂණය සඳහා යොදාගෙන ඇති කාබන් මිල ගණන් යල්පැන ගිය ඒවා බව දක්‌වා තිබිණි. එහෙත් වෙළෙඳපොළේ කාබන් මිල ගණන් උච්ඡාවචනය වන්නකි.

අනෙක්‌ අතට කඩොලාන වනාන්තර ආරක්‌ෂා කිරීමේ ඇති අනෙක්‌ ප්‍රයෝජන ද ඇතුළත් වූ විට මේ පරිසර පද්ධතිය සංරක්‌ෂණය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි බව පැහැදිලි ය. මේ අතර කඩොලාන ජෛවවිවිධත්වය මෙන්ම ධීවර කර්මාන්තයේ දී යොදා ගන්නා මත්ස්‍යයන් හා වෙනත් විශේෂවල අභිජනන බිම් ලෙස ක්‍රියා කිරීම විශේෂ ය. එසේ ම කඩොලාන මඟින් මිනිසුන්ට සෘජු ප්‍රයෝජන රාශියක්‌ ම ලැබේ.

කඩොලාන විනාශය වේගවත්

ලෝකයේ බරපතළ ම පාරිසරික අර්බුදය වැළැක්‌වීම සඳහා තවත් ක්‍රමවේදයක්‌ සොබාදහම යළිත් වරක්‌ මිනිසුන්ට පෙන්වා තිබේ. එහෙත් එයින් ප්‍රයෝජනයක්‌ ලබා ගැනීම සඳහා ලෝකය සතු කඩොලාන බිම් ප්‍රදේශ ප්‍රමාණය කෙතරම් ද යන්න මඳක්‌ විමසා බැලිය යුතු වේ. ලෝකයේ කඩොලාන වනාන්තර පවතින්නේ මුළු වනාන්තරවලින් සියයට 0.7ක්‌ පමණ ප්‍රමාණයකි. ඉතිරි ව ඇති මේ කඩොලානවලට ද වඩාත් වේගයෙන් විනාශ වෙමින් පවත්නා පරිසර පද්ධති අතර මුල් තැනක තිබේ. එයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී ඇත්තේ මානව කටයුතු ය. නිදසුනක්‌ ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනය නිසා කඩොලාන මඟින් ආවරණය වී පැවැති පරිසර පද්ධති රැසක්‌ විනාශ වී තිබේ. එසේ ම දේශගුණ වෙනස්‌ වීම නිසා ඇති විය හැකි මුහුදු මට්‌ටම ඉහළ යැම මඟින් ද මේ පරිසර පද්ධතියට එල්ල වී ඇති තර්ජනය මහත් ය. එවැනි තත්ත්වයක්‌ තුළ කඩොලාන ආරක්‌ෂා කිරීම සඳහා ද ඉහත කී ක්‍රමවේදය යොදාගත හැකි ය. (මූලාශ්‍රයProceedings of theNational Academy of Sciences, DOI:10.1073/pnas.1200519109


CFL බල්බවල විවෘත භාවිතය ආරක්‌ෂිත ද?


සංයුක්‌ත ප්‍රතිදීපන පහන් හෙවත් CFL විදුලි පහන් ඒවායේ අඩු විදුලි පරිහරණය නිසා ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය ය. එසේ ම බලශක්‌ති සංරක්‌ෂණයට ඉන් දක්‌වන දායකත්වය ද ඉහළ ය. මේ නිසා ලෝකයේ අද වන විට මේ වර්ගයේ විදුලි බුබුළු බෙහෙවින් ජනප්‍රිය ය. ඇතැම් රටවල මේ දක්‌වා භාවිත කළ සූත්‍රිකා පහන් භාවිතය අවසන් කිරීමට දින පවා නියම කර තිබේ.

කෙසේ වෙතත් මේ බල්බවලින් නිකුත් වන පාරජම්බුල කිරණ නිසා සමට යම් හානියක්‌ සිදු විය හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. විවිධ ප්‍රදේශවලින් ලබාගත් CFL විදුලි බුබුළු මඟින් නිකුත් වන පාරජම්බුල කිරණ ප්‍රමාණය හා ඒවායේ ඇති පොස්‌පරස්‌ ආවරණයේ අඛණ්‌ඩතාව පිළිබඳව නිරීක්‌ෂණය කර ඇත. මෙහි දී ඔවුන්ට පෙනී ගියේ පාරජම්බුල කිරණ කාණ්‌ඩ දෙකක්‌ (UVA හා UVC) සියලු ම බල්බවලින් නිකුත් වන බවයි. ඒවා පැමිණෙන්නේ බල්බවල ඇති පොස්‌පරස්‌ ආවරණයේ සිදුරු තිබූ ස්‌ථානවලින් විය හැකි බව ද මෙහි දී පෙන්වා දී ඇත.

මේ නිසා ඇති විය හැකි සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව පරීක්‌ෂණාගාර තත්ත්ව යටතේ (සැබෑ මිනිස්‌ පටක සෛල ගෙන පරීක්‌ෂණාගාරයක්‌ තුළ) කළ පරීක්‌ෂණවල දී හෙළි වී ඇත්තේ මිනිසා ගේ සමේ පටකවල සෛලවලට යම් හානියක්‌ සිදු කිරීමට මේ බල්බවලට නිරාවරණය වීම හේතු වන බව ය. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, තන්තු සෛල හා කෙරටින් නිපදවන කෙරටිනොසෛටවලට මින් හානි පැමිණිය හැකි ය. ඒ හානි අතර ප්‍රගුණන හැකියාව අඩු වීම, ප්‍රතික්‍රිsයාකාරී ඔක්‌සිජන් නිපදවීම ඉහළ යැම හා කොලැජන් සංකෝචනය වීමේ හැකියාව අඩු වීම වැනි තත්ත්ව වේ. මේ තත්ත්වය පෙර කී පාරජම්බුල කිරණ නිසා ඇති වන තත්ත්වවලට සමාන වේ. එසේ ම මෙවැනි තත්ත්වයක්‌ සාමාන්‍ය සූත්‍රිකා පහන් නිසා ඇති නො වන බව ද හෙළි වී තිබේ.

උක්‌ත අධ්‍යයනය CFL විදුලි පහන් නිසා සමට ඇති වන බලපෑම් පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනය අතර වැදගත් වේ. මේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි CFL විදුලි බුබුළු භාවිත කිරීමේ දී ඒවා තරමක්‌ ඈතක සිට භාවිත කිරීමටත් හැකි නම් බල්බය අතිරේක වීදුරු ආවරණයක්‌ තුළ යොදාගැනීමත් ආරක්‌ෂිත ය. ඉන් ඉහත කී හානිකර බලපෑම් වැළැක්‌විය හැකි අතර බලශක්‌ති පරිභෝජනය වැනි ප්‍රයෝජන ද අපට ලබා ගත හැකි ය. (මූලාශ්‍රය Photochemistryand Photobiology, DOI: 10.1111/j.1751-1097.2012.01192.x


පුවත් සැකෙවින්

එක්‌සොන් වැල්ඩේස්‌ අවසන් ගමන ඉන්දියාවේ

ලෝකයේ සිදු වූ විශාලතම තෙල් කාන්දුවකට හේතු වූ එක්‌සොන් වැල්ඩේස්‌ නෞකාව ගලවා කොටස්‌ කිරීම සඳහා ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ අලාං ප්‍රදේශයට ගෙනැවිත් තිබේ. ඇලස්‌කාව ආසන්නයේ දී 1989 වර්ෂයේ මේ නැව මුහුණ දුන් අනතුරේ දී කාන්දු වූ තෙල් ප්‍රමාණය ගැලුම් මිලියන 11ක්‌ තරම් වේ. මේ වන විට එහි නම වන්නේ 'ඔරියන්ටල් නයිස්‌ටි' යන්න ය.

ඉන්දීය බලධාරීන් නැවේ කිසිදු හානිකර ද්‍රව්‍යයක්‌ අඩංගු නොමැති බව තහවුරු කර ඇති නිසා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ එය ගලවා කොටස්‌ කිරීම සඳහා අවසර දිය හැකි බවයි. එහෙත් යම් ආකාරයකින් එහි හානිකර ද්‍රව්‍ය අඩංගු වුව හොත් ඒවා ඉවත් කිරීමේ වියදම අදාළ නැව හිමි සමාගම ගෙවිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබේ.

මේ ආකාරයෙන් භාවිතයෙන් ඉවත් කළ නැව් ගලවා කොටස්‌ කිරීම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සිදු වන ක්‍රියාවලියකි. එහෙත් ඒ ක්‍රියාවලියේ ඇති පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් නිසා සමාජ හා පාරිසරික ක්‍රියාකාරීන් ගේ විරෝධයට ලක්‌ ව තිබේ.


ඉන්දු පැසිෆික්‌ කලාපයේ කොරල් පර වඩා ඔරොත්තු දේ

කොරල්පර ලෝකයේ තර්ජනයට ලක්‌ ව ඇති පරිසර පද්ධති අතර මුල් තැනකට වැටේ. විශේෂයෙන් එය බහුවිධ හේතු නිසා තර්ජනයකට ලක්‌ව තිබේ. කෙසේ වෙතත් මේ තර්ජන හමුවේ කොරල්පරවල පැවැත්ම තීරණය වීම සඳහා ඒවා පිහිටා ඇති ප්‍රදේශ මොනවා ද යන්න හේතු වන බව පසුගිය දා ප්‍රකාශිත සමාලෝචනයකින් පෙන්වා දී ඇත.

කැරිබියානු කලාපයේ කොරල්පරවලට වඩා ඉන්දු පැසිෆික්‌ කලාපයේ පිහිටි කොරල්පර ආතතිවලින් ඉක්‌මනින් යළි යථා තත්ත්වයට පත් වන බව මේ අනුව පෙන්වා දී තිබේ. මේ කොරල්පරවල ඉහළ ඔරොත්තු දීමට හේතුව ඒවායේ ඇති මුහුදු පැළෑටි ප්‍රමාණය සාපේක්‌ෂව අඩු මට්‌ටමක තිබීම ය. ඒවා වර්ධනය වන්නේ කැරිබියානු කලාපයේ මෙන් සිව් ගුණයක්‌ තරම් අඩු වේගයකිනි. මේ කාණ්‌ඩ දෙක අවකාශය සඳහා දැඩි තරගයක යෙදෙන සාගර පරිසර පද්ධති වේ.

කෙසේ වෙතත් මෙමඟින් පැවසෙන්නේ කොරල්පර ඉතා ම යහපත් තත්ත්වයක පවතින බව නම් නො වේ. ඒවාට ඇති තර්ජනය අති මහත් ය. එහෙත් මේ කොරල්පරවලට පැවැත්ම සඳහා වැඩි අවස්‌ථාවක්‌ තිබේ. (මූලාශ්‍රයTrends inEcology and Evolution, DOI:10.1016/j.tree.2012.04.007)


ගුවන් බද්දට විරුද්ධ සමුළුවක්‌

යුරෝපා සංගමය හඳුන්වා දී ඇති ගුවන් බද්දට එරෙහි රටවල් කිහිපයක රැස්‌වීමක්‌ ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලැබ තිබේ. ඇමෙරිකාව, රුසියාව, චීනය හා ඉන්දියාව ඇතුළු රටවල් සමූහයක්‌ මීට විරෝධය පළ කළ ද යුරෝපය එය ක්‍රියාත්මක කරන බව පවසයි. ඒ අනුව 2012 වර්ෂයේ කාබන් විමෝචන සැලකිල්ලට ගැනීමෙන් පසු ඊට අදාළ බිල්පත් ලබන අප්‍රේල් මාසයේ සිට අදාළ සමාගම්වලට යොමු කිරීමට නියමිත ය.

යුරෝපා නො වන ගුවන් සමාගම් ඊට විරෝධය පළ කර ඇති අතර මීට සමාන පියවරක්‌ වෙනත් රටවල් ද අනුගමනය කිරීමෙන් ගැටලු ඇති විය හැකි බව ද පෙන්වා දී තිබේ. ඒ නිසා විකල්පයක්‌ ලෙස යොදාගත හැකි ජගත් මට්‌ටමේ විසඳුමක්‌ පිළිබඳව අවධානය යොමු වී ඇත. මේ අනුව වේගයෙන් වර්ධනය වෙමින් ඇති ගුවන් ප්‍රවාහන අංශයේ විමෝචන නිසා වන බලපෑම පාලනය සඳහා කිසියම් විසඳුමක්‌ ඇති වන බවක සේයා මතු වී ඇතත් ඒ ගැන කීමට තවමත් කල් වැඩි ය.