logo3.gif (702 bytes)

HOME


සත්‍යය මිථ්‍යාව සහ "මීඩියා" චරිත !

ජන විඥනය වෙනස්‌ කර ලීම හා ජනතාව බුද්ධියෙන් සවිමත් කරලීම පිණිස ප්‍රජාවන් වෙත තොරතුරු හා අධ්‍යාපනය ලබා දීම වැදගත් වෙයි. එහි ලා වූ වැදගත් භූමිකාව ඉටු කරනු ලබන්නේ ජනමාධ්‍ය විසිනි.

එහෙත්, ජනමාධ්‍ය වෙතින් නිරන්තරයෙන් මුදාහැරෙන විවිධ තොරතුරුවල සත්‍ය අසත්‍ය බව පිළිබඳව නිවැරැදි විනිශ්චයක්‌ ලබා ගැනීමත්, ඒ අනුව ක්‍රියාකාරී වීමත් පුද්ගල කේන්ද්‍රීය වන්නකි. මෙහි දී තොරතුරු ග්‍රහණය කරන පුද්ගලයා, මාධ්‍ය තොරතුරු මූලාශ්‍රයන්හි ස්‌වභාවය හා පසුබිම පිළිබඳව නිවැරැදි අවබෝධයකින් පසුවීම වැදගත් වෙයි.

විවිධ ජනමාධ්‍යයන් අතර පුවත්පතකට වඩා රූපවාහිනියකට ප්‍රේක්‌ෂක මනස තුළට සෘජු ව ම කඩා පැනීමට හැකි වන්නේත් අවධානය පහසුවෙන් නතු කර ගැනීමට හැකි වන්නේත් එහි වූ විවිධ පැහැ රටාවන් සහිත චලන රූපයන් මඟිනි.

වත්මන් රූපවාහිනි හරහා අප දකින රූපරාමු, අප අත්විඳින ලෝකයේ විවිධ අත්දැකීම් හා යා වෙයි.

අප අත්විඳින සත්‍යයන් පදනම් වන්නේ අප ගේ ස්‌නායූ පද්ධතිය මඟින් සංවේදනය කරනු ලබන තොරතුරු මත ය. ඇසින් දුටු දෙය ම යථාර්ථයක්‌ ලෙසින් තේරුම් ගැනීමට අප පොලඹවාලනු ලබයි. එහෙත් එතුළින් අප දකින කිසිදු දෙයක්‌ සත්‍ය ම නො වන බවත් අසම්පූර්ණ බවත් තේරුම් ගත යුතු ව තිබේ.

අප දෙනෙත් මඟින් දකින්නේ දෘශ්‍ය ආලෝක පරාසය තුළ වූ සීමීත වපසරියක්‌ පමණකි. අධෝරක්‌ත කිරණ සහ පාරජම්බුල කිරණ අප අවට පැවතිය ද, එය දකින්නේ සර්පයන් සහ මී මැස්‌සන් විනා අප නො වේ.

එලෙස ම, සුනඛයෝ ද තම අධිසංවේදී ආඝ්‍රාණ හැකියාව තුළ මිනිසාට නො දැනෙන ලොවක්‌ ආඝ්‍රාණය කරති. එකී "සැබෑ ලොව" මිනිසාට අත්විඳිය නොහැකි ය.

ඉහත පරිද්දෙන් ම වූ සීමාකාරී සාධකයන් රැසක්‌ ම අප ගේ රස සංවේදනය, ආඝ්‍රාණය, ශ්‍රවණය හා ස්‌පර්ශය කෙරෙහි ද බලපානු ලබයි.

සත්තකින් ම, ඉහත සංවේදන අංග තුළින් අප අත්විඳින්නේ හා ග්‍රහණය කරගන්නේ අතිශය සීමිත තොරතුරු ප්‍රමාණයක්‌ පමණකි. අනෙක්‌ අතට අප තුළ ම පවතින හා ලැගුම්ගත් මුල් විශ්වාසයෙන්, මතවාද හා අත්දැකීම් යන 'පෙරහන්' තුළින් , විවිධ තොරතුරුවල ස්‌වභාවය අප එකිනෙකා විසින් ම වෙනස්‌ කර ගනු ලබයි.

ගල් යුගයේ මිනිසකු නූතන මානවයකු හා එක්‌ ව හිඳ රූපවාහිනියෙන් එක ම වැඩසටහනක්‌ නැරඹුව ද, මෙකී පුද්ගලයන් දෙදෙනා ලබන අවබෝධය එකිනෙකට වෙනස්‌ වෙයි. සත්‍යය කවර අයුරකින් පිරිනමනු ලැබුව ද එහි අවසන් විශ්ලේෂණය පුද්ගල බද්ධ වී විවිධ හැඩතලයන් දක්‌වා ම, විකරණය වෙයි.

විද්‍යාවට ගෝචර නො වන හා අදහන කවර හෝ විද්‍යාවකට (පාර භෞතික හෝ භූත විද්‍යාවට) අනුකූල දත්ත වුව එකිනෙක නිවැරැදිව වෙන් කර ගැනීමේ බුද්ධිය අප සතු විය යුතු වුව ද, අප අවබෝධ කරගත යුත්තේ එකී සියල්ල ම හසුරුවනු ලබන්නේ ද මිනිසුන් විසින් ම පමණක්‌ ම ය යන්න ය. එකී මිනිසුන් එලෙස ක්‍රියාත්මක වන්නේ ද ඔවුනට ආවේනික විශ්වාස සමාජ අත්දැකීම් හා අභිලාශයන් ද අනුව ම වීම ය. විටෙක එය දේශපාලන පැවැත්ම ද වෙයි.

එහෙත් ඉන් අදහස්‌ වන්නේ හුදෙක්‌ සියලු විද්‍යඥයන් යනු ජනතාවට බොරු කියන තක්‌කඩියන් රැලක්‌ යන්න ම නො වන්නකි. එහෙත් ඔවුනට ද තම පුද්ගල න්‍යාය පත්‍රයන් හා ඔවුන් ගේ සහචර සමාජය විසින් ඉල්ලා සිටින දැ වෙතින් පලා යැමට නොහැකි වන බව ය. එසේ පලා ගිය හොත් ඔවුන් ගේ පැවැත්ම ද අහෝසි වන්නේ ය.

අවාසනාවකට මෙන් ජනමාධ්‍ය හරහා මුදා හැරෙන ඊනියා විද්‍යාත්මක මතවාද අනාවරණ සහ දත්ත හා අත්‍යන්තයෙන් ම බැඳී පවත්නා සංස්‌කෘතික හා දේශපාලන රාමුවත්, එහි වූ ප්‍රතිඵලයන්හි අවසන් කියවීමෙහි ගැබ් වන සැබෑ අරුතත් වටහා ගන්නේ සමාජ සංස්‌ථාව හා විද්‍යාඥයන් අතළොස්‌සක්‌ පමණකි.

මිථ්‍යාවන් වපුරා හැරෙන කවර සමාජයක්‌ තුළ වුව ද, ප්‍රජාව ගමනු කරනු ලබන්නේ ගල් යුගය දක්‌වා ම පමණකි.

මිථ්‍යව, මිථාවක්‌ ම මිස, එය විකල්ප නවමු දැනුමක්‌ නොවන්නේ ම ය.

කායික රෝග හා දියවැඩියා රෝග විශේෂඥ
වෛද්‍ය වරුණ ගුණතිලක