logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
පඩිකෙම්ගල පුරාණ විහාරය
ආශ්‍රිත ගවේෂණ අවසන්

අමල් උඩවත්ත

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මහගල් වැව ග්‍රාමසේවා වසමේ මහගල්වැව ගම්මානයේ පිහිටි පඩිකෙම්ගල පුරාණ විහාරය කේන්ද්‍ර කර කළ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු අවසන් වී ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී ඩී. එම්. සුනිල් තිලකරත්න මහතා පැවසූ බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සුනිල් බණ්‌ඩාර කෝරළගේ ගේ සංස්‌කාරකත්වයෙන් පළ වන "දායාද" පුවත් අටුවාවේ සඳහන් වෙයි. ඊට අනුව මේ පුරාණ විහාරය තුළ වූ ස්‌මාරක ද ඊට නුදුරින් පිහිටි මහගල්වැව වැව් තාවුල්ලේ පිහිටි මෙගලිතික සුසාන ආදිය ද මහගල්වැව වැව් බැම්මේ පිටවාන සමීපයේ පිහිටි පුරාවිද්‍යා ස්‌මාරක ද මේ ගවේෂණ කටයුතුවලට අයත් විය. මේ ගවේෂණවලින් අනුරාධපුර මුල් යුගයේ ආරාම සංකීර්ණ ලක්‌ෂණ දක්‌නට ලැබෙන පුරා විද්‍යා ස්‌මාරක සහිත තැන් 33ක්‌ හඳුනා ගෙන ඇත. එසේ ම පැරැණි මානව ජනාවාස ඉදිකිරීම කෙරෙහි බලපෑ පාරිසරික සාධක සහිත කලාපයක්‌ හා ඵෙතිහාසික යුගයට පෙර මානව ජනාවාස මෙහි පැවැති බැව් ද මෙගලිතික සුසානවලින් තහවුරු වෙයි. මේ ගවේෂණයෙන් හඳුනාගත් ස්‌මාරක 33 නේ අනුරාධපුර මුල් යුගයේ වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණ ද ඇතුළත් වෙයි. පඩිකෙම්ගල පුරාණ විහාරය තුළ තිබෙන ස්‌මාරක පිළිබඳව විමසීමේ දී එය පබ්බතාරාම විහාර සංකීර්ණයක්‌ ලෙසට තහවුරු වෙයි. එසේම පබ්බත විහාරාරාමයකට අයත් වන දාගැබ්, පිළිම ගෙය, බෝධිඝරය උපෝෂතාගාරය, වැනි ලක්‍ෂණ ඇති බැවින් මෙය පංචායතන වර්ගයට අයත් ආරාමයක්‌ බැව් පෙනී යයි. අටපට්‌ටම් හැඩැති බෝධිඝරය සුවිශේෂී ලක්‍ෂණයකි. එබැවින් මේ වන විට මේ පුරාවිද්‍යා ස්‌මාරක 33 රජයේ ගැසට්‌ පත්‍රයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පඩිකෙම්ගල පුරාණ විහාරය සඳහා වෙන් කර ඇති පුරාවිද්‍යා රක්‍ෂිත මිනුම් කිරීම් මේ දිනවල කෙරෙන බැව් ද දායාද පුවත් අටුවාවේ සඳහන් වෙයි.