logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 134
(ධනේෂ් විසුම්පෙරුම)


නිවර්තන ආරක්‌ෂිත වනාන්තරවල ආරක්‌ෂිත බව විමසීම
ජෛවවිවිධත්වය තවමත් අහිමි වේ - අවට ප්‍රදේශත් රැකගත යුතුයි

නිවර්තන කලාපයේ ජෛවවිවිධත්වය පුළුල්ව සාකච්ඡාවට ලක්‌ ව ඇති මාතෘතාවකි. මේ කලාපයේ ජෛවවිවිධත්වය හා එහි ඇති ආවේණිකත්වය ඉහළ ය. එසේ ම ලෝකයේ සෙසු පරිසර පද්ධතිවලට සාපේක්‌ෂව නිවර්තන කලාපීය ජෛවවිවිධත්වය ඇත්තේ වඩා අනතුරුදායක තත්ත්වයක ය. මේ නිසා එහි වැදගත් වූ ප්‍රදේශවල ආරක්‌ෂිත ප්‍රදේශ පිහිටුවීම වැදගත් බව පිළිගැනේ. එහෙත් විවිධ හේතු නිසා මේ පරිසර පද්ධති කෙරේ ඇති පීඩනය දිනෙන් දින වැඩි වෙමින් පවතී. එසේ ම මේ ආකාරයෙන් ආරක්‌ෂිත ප්‍රදේශ පිහිටුවූ පමණින් ජෛවවිවිධත්වය ආරක්‌ෂා වී තිබේ ද යන්න අපට පිළිගත හැකි ද යන්න තරමක ගැටලුවකි.

මේ පිළිබඳව අවධානය යොමු කළ පුළුල් ආකාරයක අධ්‍යයනයක්‌ පසුගිය දා පළ විය. ලෝකයේ නිවර්තන වනාන්තර රැසක්‌ ආරක්‌ෂිත ප්‍රදේශ සේ ප්‍රකාශයට පත් කර තිබුණ ද, මේ අතරින් විශාල ප්‍රමාණයක ජෛවවිවිධත්වය අහිමි වීම දිගින් දිගට ම සිදු වෙමින් ඇති බව මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී තිබේ.

නිවර්තන වනාන්තර පිළිබඳව කළ අධ්‍යයනයක්‌

මේ අධ්‍යයනයේ දී නිවර්තන කලාපීය ආරක්‌ෂිත ප්‍රදේශවල ජීවත් වූ සත්ත්ව හා ශාක විශේෂ කාණ්‌ඩ තිස්‌ එකක්‌ පමණ පිළිබඳව අවධානය යොමු කර තිබේ. පසුගිය වසර 20-30ක පමණ කාලයේ දී මේ ජීවී විශේෂ වෙනස්‌ වූ ආකාරය හා මේ ආරක්‌ෂිත ප්‍රදේශවලට බලපෑම් කළ පාරිසරික වෙනස්‌කම් විසි නවයක්‌ පිළිබඳව ද එහි දී අධ්‍යයනය කර තිබේ.

භූගෝලීය වශයෙන් ගත හොත් මෙහි දී ලෝකයේ සියලු නිවර්තන කලාප ආවරණය වන තෝරාගත් වනාන්තර ප්‍රදේශ 62ක්‌ පිළිබඳව දත්ත එක්‌ රැස්‌ කර ඇත. මේ වනාන්තර පිහිටා ඇත්තේ ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ රටවල් තිස්‌ හයක ය. අධ්‍යයනය සඳහා ක්‌ෂේත්‍රයේ ප්‍රවීන ජීව විද්‍යාඥයන් හා පරිසර විද්‍යාඥයන් විශාල පිරිසක ගේ දායකත්වය ලබා ගෙන තිබේ. ඔවුන් මේ අංශය පිළිබඳව දශක දෙකක්‌ හෝ ඊට වැඩි කාලයක අත්දැකීම් සහිත පිරිස්‌ වීම විශේෂිත ය.

තර්ජනයේ තරම

මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇති පරිදි මේ ආරක්‌ෂිත ප්‍රදේශවල අද පවත්නා තත්ත්වයේ විවිධත්වයක්‌ දැකිය හැකි ය. මේ ආරක්‌ෂිත ප්‍රදේශ අතරින් අඩක්‌ පමණ ප්‍රමාණයක යහපත් තත්ත්වයක්‌ පෙන්වන නමුත්, අනෙක්‌ කොටසේ දැකිය හැක්‌කේ ජෛවවිවිධත්වය හායනය වන බවකි. මේ ජෛවවිවිධත්වය අහිමි වීම ඇතැම් විට බරපතළ තත්ත්වයේ වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ජීවී කාණ්‌ඩ වශයෙන් මෙන්ම ක්‍රියාකාරිත්වය අතින් ද දැඩි බලපෑමක්‌ ඇති කළ හැකි ආකාරයෙන් හායනයට ලක්‌ වූ අවස්‌ථා ද තිබේ.

මේ ආකාරයෙන් ජෛවවිවිධත්වය අහිමි වීම සඳහා බලපා ඇති හේතු අතර වැදගත් වන්නේ වාසස්‌ථාන විනාශ වීම හා අධික ලෙස වනජීවීන් හා වනාන්තර සම්පත් පරිහරණය කිරීම ය. මේ අතරින් වඩාත් බරපතළ සේ බලපාන හේතුව වන්නේ වනාන්තර පරිසරයේ ඇති වන විනාශ වීම් ය. බොහෝ වනාන්තර මිනිසුන් විසින් සිදු කරනු ලබන අනවසර අත්පත් කරගැනීම් නිසා මෙන්ම වෙනත් පාරිසරික බලපෑම් නිසා ද තර්ජනයට ලක්‌ වී තිබේ. එසේ ම මේ ජෛවවිවිධත්වය අහිමි වීමට බලපා ඇති සෙසු හේතු අතර වායු හා ජල දූෂණය, දේශගුණ වෙනස්‌ වීම හා මානව ජනගහන වර්ධනය ද තිබේ. මේ සමහරක බලපෑම වක්‍ර වූවකි.

සාමාන්‍යයෙන් දැකිය හැකි පරිදි මේ ආකාරයෙන් හායනයට ලක්‌ ව ඇත්තේ ප්‍රමාණවත් තරමින් ආරක්‌ෂාව සපයා නොමැති වනාන්තර වේ. මෙහි ඇති වැදගත්කම වන්නේ උක්‌ත වනාන්තර මේ ජීවීන් අතරින් රැසක ගේ අවසන් වාසස්‌ථාන සේ සැලකෙන නිසා ය.

අවට ප්‍රදේශත් ආරක්‌ෂා කළ යුතුයි

මේ අධ්‍යයනයෙන් අවධාරණය කරන තවත් කරුණක්‌ වන්නේ ජෛවවිවිධත්වය ආරක්‌ෂා කිරීමේ දී ආරක්‌ෂිත ප්‍රදේශ මෙන්ම ඒ අවට ඇති ප්‍රදේශ ද ආරක්‌ෂා කිරීම වැදගත් වන බව ය. මේවා පරිසර විද්‍යාත්මක වශයෙන් එකිනෙක හා බැඳී තිබේ. මේ නිසා අවට ප්‍රදේශවලට ඇති වන බලපෑම් ආරක්‌ෂිත ප්‍රදේශයට ඇති බලපෑම්වල ස්‌වභාවය නිරූපණය කරන සේ සැලකේ. බොහෝ සිදුවීම්වල දී ආරක්‌ෂිත ප්‍රදේශ අවට ඇති ප්‍රදේශවලට විශාල තර්ජනයක්‌ වී තිබේ. අධ්‍යයනයට ලක්‌ කළ ආරක්‌ෂිත ප්‍රදේශ අතරින් 85%ක්‌ පමණ ප්‍රමාණයක අවට ප්‍රදේශයේ වන ආවරණය ගත වූ වසර 20-30 අතර කාලයේ දී අඩු වී ඇත. වැඩි වීමක්‌ සිදු වී ඇත්තේ 2%ක්‌ තරම් අඩු ප්‍රමාණයක පමණි.

ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවල සිදු වන කටයුතු ආරක්‌ෂිත ප්‍රදේශවල ජෛවවිවිධත්වයේ පැවැත්ම සඳහා බලපාන බව උක්‌ත අධ්‍යයනයෙන් අනාවරණය වන වැදගත් ම කරුණකි. ඒ අනුව ආරක්‌ෂිත ප්‍රදේශ අවට ඇති පරිසර පද්ධති ද ආරක්‌ෂා කිරීමේ පැහැදිලි වැදගත්කමක්‌ තිබේ. නොඑසේ නම් නිවර්තන කලාපයේ ජෛවවිවිධත්වය අහිමි වීම දිගින් දිගට ම සිදු විය හැකි ය. (මූලාශ්‍රයNature, DOI:10.1038/nature11318)


දේශගුණ වෙනස්‌ වීමෙන් ඕසෝන් ස්‌තරය තුනී වේ

දේශගුණ වෙනස්‌ වීම මඟින් පරිසරයට ඇති වන විවිධ බලපෑම් පිළිබඳව බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. එහෙත් එමඟින් මහජන සෞඛ්‍යය සඳහා සෘජු ව බලපාන මෙතෙක්‌ අනාවරණය නො වූ බලපෑමක්‌ පිළිබඳව පසුගිය දා පළ වූ පර්යේෂණ වාර්තාවකින් කරුණු අනාවරණය කර ඇත. ඒ අනුව ඕසෝන් ස්‌තරය විනාශ වීම සඳහා ද දේශගුණ වෙනස්‌ වීම හේතු වේ. දේශගුණ වෙනස්‌ වීම නිසා මෙවැනි බලපෑමක්‌ ඇති වන බවක්‌ මින් ඉහත දී වාර්තා වී නො තිබූ අතර එවැනි සම්බන්ධයක්‌ පිළිබඳව අනාවරණය කළ පළමු අවස්‌ථාව මෙය වේ.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන පරිදි වායුගෝලයේ ඇති වන ප්‍රබල අකුණු මඟින් ජලවාෂ්ප ඉහළ ඇති ස්‌තරගෝලයට විදිනු ලැබේ. මේ බව ඇමෙරිකාවට ඉහළ අහසේ ස්‌තරගෝලයේ දැකිය හැකි වී තිබේ. මේ ජලවාෂ්පවලට ස්‌තරගෝලයේ ඇති ක්‌ලෝරීන් හා බ්‍රොමීන් වායු අණු මුක්‌ත ඛණ්‌ඩක බවට පත් කළ හැකි ය. මේ මුක්‌ත ඛණ්‌ඩක මඟින් ඕසෝන් අනු විඛණ්‌ඩනය කර ඔක්‌සිජන් නිපදවේ. මේ නිසා ඉහළ වායුගෝලයේ ඕසෝන් ස්‌තරයේ ඕසොන් සාන්ද්‍රණය අඩු වේ. අප හොඳින් දන්නා පරිදි ඕසෝන් ස්‌තරය මඟින් පාරජම්බුල කිරණ පොළොවට පතිත වීම පාලනය කරයි.

ඕසෝන් ස්‌තරය තුනී වීමේ ප්‍රතිඵල බොහෝ සේ ප්‍රකට ය. ඉන් මිනිසුන්ට සෘජු ව බලපාන්නේ සමේ පිළිකා වැනි තත්ත්ව අධික වීම ය. එපමණක්‌ නො ව භෝග ශාකවල ප්‍රවේණි ද්‍රව්‍යවලට බලපෑම් කිරීම නිසා භෝග අස්‌වනු කෙරේ ද බලපෑම් ඇති විය හැකි ය.

මේ සඳහා දේශගුණ වෙනස්‌ වීම බලපාන්නේ මේ ආකාරයට ය. ඉහත කී ආකාරයෙන් ජලවාෂ්ප ඉහළ වායුගෝලයට ඇතුළු වීම සිදු වන්නේ අකුණු සහිත තත්ත්ව නිසා ය. මෙවැනි අකුණු සහිත තත්ත්ව ඇති වීමේ තීව්‍රතාව දේශගුණ වෙනස්‌ වීමත් සමඟ ඉහළ ගොස්‌ තිබේ. ඇමෙරිකාවට ඉහළ අහසේ මේ තත්ත්වය හඳුනාගෙන තිබේ.

ඕසෝන් ස්‌තරය විනාශ වීම වැළැක්‌වීම සඳහා වූ ජගත් මට්‌ටමේ උනන්දුව අපි දුටුවෙමු. මේ නිසා අද වන විට ක්‌ලෝරොෆ්ලෝරො කාබන් හෙවත් ඕසෝන් ස්‌තරයේ විනාශයට හේතු වූ ප්‍රධාන සාධකය නිපදවීම හා භාවිතය බෙහෙවින් සීමා කර ඇත. එහෙත් මේ හා සමාන උනන්දුවක්‌ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා නො වූ බව පැහැදිලි ය. ඊට හේතු හා ඒ සියල්ල පසුපස ඇති දේශපාලනය අපි විටින් විට සාකච්ඡා කළෙමු. මේ තත්ත්වය වෙනස්‌ කිරීම සඳහා හේතු වන යම් යහපත් වර්ධනයක්‌ වේ නම් එය මේ අධ්‍යයනයෙන් ලැබෙන වඩාත් යහපත් ප්‍රතිඵලය බව කිව හැකි ය. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1222978)


පුවත් සැකෙවින්



ග්‍රීන්ලන්තයේ ඇති වූ වේගවත් අයිස්‌ දිය වීම

ග්‍රීන්ලන්තයේ එක්‌ ග්ලැසියරයකින් වෙන් වූ අයිස්‌ කන්දක්‌ පිළිබඳව අපි පසුගිය සතියේ සාකච්ඡා කළෙමු. මේ සතියේ දීත් සාකච්ඡා කිරීමට සුවිශේෂ සිදුවීමක්‌ ග්‍රීන්ලන්තයෙන් වාර්තා වේ. ග්‍රීෂ්ම Rතුවේ දී සාමාන්‍යයෙන් සිදු වන එරට ගොඩබිමේ අයිස්‌ තට්‌ටුව දිය වීම මෙතෙක්‌ වාර්තා නො වූ තරම් වේගවත් වීම ය. ග්‍රීන්ලන්තයේ ගොඩබිම අයිස්‌ ආවරණය පසුගිය ජූලි මස 8ත් 12ත් අතර දින හතරක්‌ වැනි කාලයක්‌ තුළ සියයට 60% සිට සියයට 3% දක්‌වා අඩු වී තිබේ. මෙහි දී ග්‍රීන්ලන්තයේ උස ම හා ශීතලින් අධික වූ ප්‍රදේශයේ පවා අයිස්‌ දිය වී ඇත. මින් ඉහත දී වාර්තා වී තිබූ ප්‍රබලතම අයිස්‌ දිය වීමේ දී අයිස්‌ දිය වී ඇත්තේ භූමි ප්‍රදේශයෙන් 45%ක්‌ පමණ ප්‍රදේශයක ය.

මේ බව නිරීක්‌ෂණය කළ හැකි වී ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප මඟින් සිදු කරන ලද නිරීක්‌ෂණ මඟිනි. එහි ඇති විශේෂත්වය වන්නේ නො සිතූ විරූ වේගයකින් අදාළ දිය වීම සිදු වීම ය. අයිස්‌ දිය වීම ආන්තික අයිස්‌ දිය වීමක්‌ සේ හඳුන්වා දී තිබේ. මෙය දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බව ගැන යළිත් අපේ අවධානය යොමු කරයි.


ෆුකුෂිමා අනතුරේ සෞඛ්‍ය බලපෑම්

පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් ජපානයේ සිදු වූ ෆුකූෂිමා න්‍යෂ්ටික අනතුරේ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්‌ අනාවරණය වී තිබේ. ඊට අනුව මේ සිදු වීමේ දී කාන්දු වූ විකිරණ ප්‍රමාණය නිසා මරණ 15ත් 1,300ත් අතර ප්‍රමාණයක්‌ ද, පිළිකා 24-2,500 අතර ප්‍රමාණයක්‌ ද ඇති විය හැකි ය. මේ අතරින් වැඩි ප්‍රමාණය ඇති විය හැක්‌කේ ජපානයේ වන අතර ඉතා සුළු ප්‍රමාණයක්‌ ආසන්නයේ පිහිටි රටවල හා ඇමෙරිකාවේ ද ඇති විය හැකි ය.

ලෝකයේ බරපතළ ම න්‍යෂ්ටික අනතුරක්‌ සේ සැලකෙන උක්‌ත අනතුරේ සෞඛ්‍යමය බලපෑම පිළිබඳව ගෝලීය මට්‌ටමින් සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙයයි. මේ සඳහා යොදාගෙන ඇත්තේ ජගත් මට්‌ටමේ වායුගෝලීය ආකෘතියක්‌ මඟින් අදාළ විකිරණ ව්‍යාප්ත වන ආකාරය හා තැන්පත් වන ආකාරයත් මිනිසුන් ඊට නිරාවරණය වන ආකාරයත් ය. මෙහි එන සංඛ්‍යා විශාල පරාසයක්‌ පුරා පැතිර තිබීමෙන් ඇති විය හැකි බලපෑමේ විචල්‍යතාවක්‌ ඇති බව පෙනේ. කෙසේ වෙතත් උක්‌ත හෙළිදරව් කිරීම වැදගත් වන්නේ ෆුකුෂිමා අනතුර හේතුවෙන් සෞඛ්‍යය අතින් කිසිදු සැලකිය යුතු බලපෑමක්‌ සිදු නො වනු ඇතැයි මින් පෙර පෙන්වා දී තිබූ නිසා ය. (මූලාශ්‍රයEnergy & Environmental Science, DOI:10.1039/C2EE22019A)


දුලබ මැඬියෙක්‌ විතැන් අභිජනනයේ

වඳ වීමේ තර්ජනයට ලක්‌ ව ඇති මැඬි විශේෂයක්‌ සාර්ථක ලෙස අභිජනනය කරන බව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වේ. Leptodactylus fallax නම් මේ මැඬියන් ස්‌වාභාවිකව වාසය කරන්නේ බ්‍රිතාන්‍යයට අයත් කැරිබියානු දූපතක්‌ වන මොන්ට්‌සෙරාට්‌ දූපතේ ය. මෑත කාලයේ ඒ ප්‍රදේශයේ පැතිර ගිය දිලීර රෝගය නිසා ඔවුන්ට පැවැති තර්ජනය තවත් ඉහළ ගියේ ය. මොවුන් ගෙන් සතුන් 50ක්‌ පමණ බ්‍රිතාන්‍යයට රැගෙන එන ලද අතර මෙසේ අභිජනනය කරන්නේ ඒ අතරින් ගැහැනු සතුන් කිහිප දෙනෙකි. මේ සතුන් උෂ්ණත්වයට බෙහෙවින් සංවේදී වන නිසා ඔවුන් ප්‍රවාහනය සිදු කර ඇත්තේ ද පාලනය කරන ලද තත්ත්වයක්‌ තුළ ය.

ඉදිරියේ මේ නව ජනිතයන් ආපසු කැරිබියානු දූපත්වලට යෑවීමට නියමිත ය. මේ සිදුවීම සංරක්‌ෂණය අතින් වැදගත් වන්නේ මෙවැනි ඉතා සංවේදී ජීවීන් පවා විතැන් සංරක්‌ෂණය හා අභිජනනය මඟින් වඳ වීමෙන් බේරා ගැනීම සඳහා අවස්‌ථාවක්‌ ඇති බව පැහැදිලි නිසා ය.