logo3.gif (702 bytes)

HOME


පුරාවස්‌තු අතර ඔය කියන
තරමේ වටිනා නිදන් තිබෙනවා ද?

ලොව ඕනෑ ම සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වන මානවයා තුළ සිය පූර්වගාමීන් පිළිබඳව ඇත්තේ ගෞරවනීය හැඟිමකි. එකී හැඟිම හා උත්පාදනය වන සුපුරුදු මනෝභාවයක්‌ නම් අතීතය පිළිබඳව උත්කර්ෂයයි. එම උත්කර්ෂයට අනුව අප පසුකර පැමිණි කාලය ස්‌වර්ණමය යුගයකි. එය ධන ධාන්‍යයෙන් පමණක්‌ නො ව රන්, රීදී, මුතු, මැණික්‌වලින් ද ආඪ්‍ය ය. ශ්‍රී ලංකාව තුළ පොදුජන මානසිකත්වය සිය ඉතිහාසය පිළිබඳව පරිකල්පනය කරනුයේ එකී මනෝභාවයට අනුගතව ඉමහත් උත්කර්ෂයකිනි.

ඉදින් එකිS මනෝභාවය අනුව ශ්‍රී ලංකාවේ අතීත රජවරුන් සයනය කර ඇත්තේ රත්රන් ඇඳන්වල ය. සිංහාසනය මුළුමනින් ම රත්රන් ය. කඩුව දඹ රන් ය. ආහාර අනුභව කර ඇත්තේ මැණික්‌ භාජනවල ය. අවසානයේ රජවරු එකී වස්‌තුව මහා ගලක සිදුරක්‌ කැණ එහි තැන්පත් කරති. නිවැරැදි බලි පුද දිය හැකි නම් ඒ මහා වස්‌තුව, ගල පලා, තමා අතට ලබාගත හැකි වනු ඇත. එකී පරමාර්ථයෙන් ශ්‍රී ලංකාව පුරා මහ ගල් පර්වත බිඳ දැමෙයි. වස්‌තුව සොයනු ලැබේ. මේ අයුරින් මැණික්‌ ගල් ගෝනි ගණනින් ලැබුණු බවට කටකතා දසත පැතිරෙයි.

එහෙත් පුරාවිද්‍යාත්මක සාක්‌ෂ්‍ය අනුව ඇත්ත තත්ත්වය කුමක්‌ ද? ශ්‍රී ලංකාව තුළ රත්රන් විශාල ලෙස භාවිත වූ ඉතිහාසයක්‌ නොමැත. පුරාවිද්‍යාත්මක කැණීම්වල දී හමු වන රත්රන් ආලේපිත පිළිම ආදියෙහි ආලේපනය වී ඇත්තේ නොගිණිය හැකි රන් ප්‍රමාණයකි. එහෙත් ජනමාධ්‍යවල වාර්තා වනුයේ මේවා දඹ රන් පිළිම ලෙසිනි. ඉන් උත්තේජනය වන්නෝ දඹ රන් පිළිම සොයා විහාරස්‌ථාන පීරතී.

ඇතැම් විශ්වාසයන් අනුව ප්‍රතිමාවල සිරස නිල් මැණිකින් ද, රන් මැණිකින් ද, පොහොසත් ය. එනයින් බුදු සිරස පවා යකුලු පහරින් ගැලවෙයි. මීට කලකට පෙර කන්තලේ පොලිස්‌ ස්‌ථානයට ලැබුණු පැමිණිල්ලක සඳහන් වූයේ ප්‍රදේශයේ විහාරස්‌ථානයක හිමි නමක්‌ සිය විහාරස්‌ථානයේ වූ හතර වැනි සියවසේ බුද්ධ ප්‍රතිමාවක සිරස බිඳ දමා ඇති බවයි. අතීතයේ පැවතියේ නිල් මැණික්‌ හා රතු මැණික්‌ පමණ ද?

වසර ගණනාවක්‌ පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ නියෑළි ජ්‍යෙෂ්ඨ ක්‌ක්‍ෂ්ත්‍ර පුරාවිද්‍යාඥයන්ට අනුව, ඓතිහාසික ස්‌ථානයන්හි වර්තමාන අර්ථයෙන් වාණිජ වටිනාකමකින් යුත් වස්‌තුව තැන්පත් ව නැත. අපක්‌ෂපාතීව සිතා බලන්නකු එම මතයේ වරදක්‌ ඇතැයි සැක උපදවාගන්නේ ද නැත. එහෙත් පොදු ජන බහුතරය නම් එවැන්නක්‌ කිසිසේත් ම විශ්වාස කිරීමට සූදානම් නැත. එවැන්නක්‌ සිදු වූයේ කෙලෙසින් ද?

මම පුරාවිද්‍යඥයෙක්‌ නො වෙමි. එහෙත් මා ගේ වෘත්තිය, පුරාවිද්‍යාවට අදාළ හෙයින් උක්‌ත මාතෘකාව පිළිබඳව මා ගේ පෞද්ගලික අත්දැකීම් කිහිපයක්‌ සටහන් තබනු රිසියෙමි.

පළමු අත්දැකීම සියඹලාණ්‌ඩුව ගෝවින්ද හෙළ අසල ගොවිඳුපුර දී ලැබුණකි. එහි නිවැසියන්ට අනුව සිය ගෙවත්තේ ඉතා වටිනා නිධානයක්‌ පවතී. එකී නිධානය පිහිටි ස්‌ථානය පරීක්‌ෂා කිරීමට අපට අවස්‌ථාව ලැබිණි. එය පැරැණි යකඩ නිෂ්පාදනය කරනු ලැබූ උඳුනකි. නිධානය පිහිටා ඇත්තේ උඳුනින් නිකුත් වූ නිෂ්පාදන අපද්‍රව්‍ය නොහොත් යබොර තුළ බව නිවැසියෝ පවසති. යකඩ නිෂ්පාදනය පිළිබඳව ඔවුහු හාන්කවිසියක්‌ නො දනිති. සිය ගෙවත්තේ පවතින්නේ යකඩ නිෂ්පාදනයේ අපද්‍රව්‍ය බව වත් ඔවුහු නො දනිති.

බිංගිරිය ආසන්න හිරුවල්පොල දී ද මෙවැනි මිථ්‍යා කථාවක්‌ ඇසීමි. ඔවුනට අනුව එහි තැන්පත් ව ඇත්තේ රන් පිළිමයකි. එහෙත් එතැන ද පවතින්නේ යබොර ගොඩකි. නිවැසියෝ යකඩ නිෂ්පාදන ස්‌ථානයන් පිළිබඳව මෙලෝ හසරක්‌ නො දනිති.

අනෙක්‌ ස්‌ථානය කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ල ලෙන් විහාරයයි. ප්‍රදේශවාසීන්ට අනුව එහි විශාල වස්‌තුවක්‌ ඇත. එහි ඇති ලෙන් ලිපිවල මේ වස්‌තුව පිළිබඳ සඳහන් වන බව පැවසෙයි. එහෙයින් බෞද්ධයකු වශයෙන් එම පන්සලට මා ගිය ද, එහි ලෙන් ලිපි බැලීමට උත්සාහ කිරීම ස්‌ථානයේ සිටි සිවිල් ආරක්‌ෂක භටයන් ගේ නොමඳ විරෝධයට ලක්‌ විය. එහෙත් එම ලෙන් ලිපි දෙකෙන් එකක සඳහන් වූයේ භික්‌ෂූන් වහන්සේ නමක්‌ ලෙන පුද දුන් බව ය. අනෙකේ සඳහන් වූයේ පරුමකවරයකු ලෙන පුද දුන් බව ය. එහෙත් එම අදහස පිළිගැනීමට ඔවුන් සූදානම් නැත. එම ස්‌ථානයේ පැරැණි ප්‍රතිමා කැබැලි කිහිපයක්‌ පවතී. ප්‍රතිමාවල කොටසක්‌ නිර්මාණය කර අනෙක්‌ කොටසට වද්දනු ලැබීම පිණිස එක්‌ කොටසක නෙරුමක්‌ ඉතිරි කරයි. (එය කන්තුව නමින් ද හඳුන්වයි). එවිට එකී නෙරුම කා වැදීම පිණිස අනෙක්‌ ප්‍රතිමා කොටසේ කුඩා වළක්‌ ආකාර කොටසක්‌ තනනු ලැබේ. ස්‌ථානයේ සිටි සියලු ම දෙනා පැවසූ ආකාරයට ප්‍රතිමාවේ එකී සිදුරු පැවතියේ කන්තු වැද්දීමට නො වේ. දඹ රන් තැනිපත් කිරීම පිණිස ය.

ශ්‍රී ලංකාවේ පැරැණි යකඩ නිෂ්පාදනය කරනු ලැබූ බොහෝ පැරැණි ස්‌ථානවල කේතු ආකාර වළවල් දැකිය හැකි ය. බොහෝ විට මේ වළවල් භාවිත කර ඇත්තේ අමුද්‍රව්‍ය ඇඹරීම පිණිස ය. එහෙත් දිවයිනේ සියලු ම ප්‍රදේශවල පොදු විශ්වාසය නම් එකී කේතු වළවල වටිනා වස්‌තුව තැන්පත් කර ඇති බවයි.

ඉහත තොරතුරු අනුව වටහාගත හැක්‌කේ කුමක්‌ ද? යකඩ නිෂ්පාදනය කරනු ලැබූ ස්‌ථානවල ඇති යබොර, කේතු වළවල්, කටාරම් ලෙන්, ප්‍රතිමා වැද්දුම් කන්තු පිළිබඳව කිසිදු දැනුමක්‌ නොමැති ග්‍රමීය ජනතාවක්‌ නිධන් පිළිබඳ විශ්වාසය තබමින් ක්‍රියා කරන බවයි. මෙවැනි මිථ්‍යා මත සඳහා ලබා දිය හැකි කදිම විසඳුම පුරාවිද්‍යාත්මක දැනුම ඔවුන් වෙත ළ`ගා කරවීමයි. දඹ රන් යනු කුමක්‌ ද යන්න උදාහරණයකට ගත හැකි ය. මෑත කාලයේ පුවත් පත් වාර්තා අතර සමීප පාඨයක්‌ නම් "මිල කළ නො හැකි දඹ රන් ප්‍රතිමා" යන්නයි. සැබැවින් ම බාල මිශ්‍ර ලෝහවලින් සෑදූ එකී ප්‍රතිමා දඹ රන් යනුවෙන් හැඳින්වෙන්නේ ඇයි? ඒ, දඹ රන් යනු කුමක්‌ දැයි කිසිවකුත් නො දන්නා බැවිනි. දඹ රන් යනු පිරිසිදු තනි රත්රන් යෑයි ඇතැම්හු ව්ශ්වාස කරති. පිරිසිදු තනි රනින් ප්‍රතිමා ශක්‌තිමත් ව සෑදිය නො හැකි බව ඔවුනට අදාළ නැති සෙයකි.

ශ්‍රී ලංකාවේ රත්රන් බහුලව හමු නො වන බව පෙර දී ද සඳහන් කළෙමු. එහෙත් ලාංකිකයෝ ඊට විකල්පයක්‌ දැන සිටිය හ. ඒ රන් පැහැ තලාතු මිනිරන් ය. මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ට අනුව භාජන, ආභරණ ආදිය හැඩ ගැන්වීමට පැරැන්නන් රන් පැහැ මයිකා භාවිත කර තිබේ. දුටුගැමුණු රජුට රන් ලැබිණි යෑයි මහාවංශය පවසන ප්‍රදේශය වර්තමාන වව්නියාව ආසන්නයේ පිහිටි රත්රන් පැහැ මයිකා (තලාතු මිනිරන්) සහිත ප්‍රදේශයක්‌ විය හැකි බව සුදර්ශන් සෙනනෙවිරත්නයන් ගේ මතයයි. අතීතයේ රන්තිසා හෙවත් ස්‌වර්ණ වඩ්ඩමාන නමින් හැඳින්වූ කවුඩුල්ල ප්‍රදේශයේ ද මෙකී රත්රන් පැහැ මයිකා දැකිය හැකි ය.

නුවර, ගම්පොළ යුගවල දී මෙකී රත්රන් විකල්පය විශාල ලෙස භාවිත වී තිබේ. එකී රාජධානිවල ප්‍රධාන රන් මයිකා නිධිය වූයේ වර්තමාන හෙම්මාතගම ආසන්න රන්දිලිගමයි. රන්දිලිගම සිට නුවරට ගමන් කරන මාර්ගයේ හෙම්මාතගම හෙවත් හෙම්මාවතගම පිහිටා ඇත. (හෙම්මාවත } රත්රන් මාවත). රන්දලිගම මයිකා නිධිය පවතිනුයේ මාඔයට ආසන්නයේ ය. මාඔය ගලා යන ද්‍රෝණිය අතීතයේ දී ජම්බුද්‍රෝණි හෙවත් දඹදෙණිය යනුවෙන් හැඳින්විණි. ජම්බුද්‍රෝණි/දඹදෙණි ගංගාව ආශ්‍රිත රත්රන් මයිකා, දඹ රන් යනුවෙන් හැඳින්විණි. අතීතයේ දී එකී මයිකාවලින් රන් පැහැ ගැන්වූ වළං කැබැලි, කැණීම්වලින් නොයෙක්‌ වර මතු වෙයි. නිශ්ශංකමල්ල රජු සිය දඹුලු විහාර ලිපියේ පිළිමවල රත්රන් ආලේප කළ බව පැවසුව ද ඒවායේ ලෝහමය ආලේපයක්‌ කිසිදු ස්‌ථරයක දැකිය නො හැක්‌කේ රන් මයිකා ලෝහමය නො වන නිසාවෙනි.

නිල් මැණික්‌ හා රතු මැණික්‌ පිළිබඳ කථාව ද එපරිදි ම වේ. අතීතයේ වටිනා මැණික්‌ ලෙස සමාජ ඉල්ලුම පැවැති මැණික්‌ වර්ග අද මැණික්‌ යන නමින් වත් හැඳින්වෙන්නේ නැත. එකල නිල් පැහැ හා රතු පැහැ මැණික්‌ ලෙස සුලබව භාවිත වූ කානේලියන්, රබහ, තෝරමල්ලි, කිරිංචි ආදිය අද හැඳින්වෙන්නේ වටිනාකමක්‌ නැති අර්ධ මැණික්‌ ලෙස ය. මැණික්‌වලට ඇති වාණිජ ඉල්ලුම කලින් කලට වෙනස්‌ වන බවට කදිම උදාහරණය ගෙවුඩ සඳහා හැටේ දශකයේ නොමැති ඉල්ලුමක්‌ අද පැවතීමයි. අනුරාධපුර යුගයේ මැණික්‌ අද මැණික්‌ නො වේ.

ඉදින් මේ නිධන් සොයා යන්නන් නොදැනුවත්කමින් වනසනුයේ වර්තමාන වටිනාකමින් යුතු වාණිජ වස්‌තූන් නො වේ. අතීතයක්‌ පිළිබඳ මාහැ`ගි නිදර්ශන වෙයි. නොදැනුවත්කමින් මේවා හාරන්නන්ට ද`ඩුවම මෙන්ම දැනුම ද ලබා දිය යුතු ය.

එහෙත් දෙවැනි වර්ගයේ නිදන් සොයා යන්නන් දැනුමක්‌ රහිතව හාරන්නන් නො වේ. ඔවුන් අතිශය සංවිධානනාත්මක මෙන්ම වඩාත් විනාශකාරී සොරුන් ය. සොරුන් යන අවර නමින් හැඳින්වුව ද මේ වර්ගයේ පුද්ගලයන් සමාජය ඉදිරියේ මහා ධනකුවේර, ප්‍රකට ව්‍යපාරික, සමාජ සේවක, ඇතැම් විට දේශපාලන යනාදී තත්ත්ව තරාතිරම් දරති. එනයින් ඔවුහු හොර මහත්වරු වෙති. මෙකී හොර මහත්වරු ඔවුන් ගේ සමාජීය බලය නිසාවෙන් ම ස්‌වකීය පුරාවස්‌තු මංකොල්ලය පිණිස යම් අයිතියක්‌ භාවිත කරන්නෝ ද වෙති. ඔවුන් නීතියේ රුහැනට ගෙන ඒම අතිශය දුෂ්කර ය. එපමණක්‌ නො ව ඔවුන් ගේ සංවිධානාත්මක බව හමුවෙහි නීතිය රකින පහළ නිලධාරීහු ද අසරණ වෙති. මේ වර්ගයේ හොර මහතත්වරු නිදන් යනුවෙන් රන්, රිදී, මුතු මැණික්‌ ටොන් ගණනින් පවතී යෑයි කිසි විටෙක පිළිගන්නේ නැත. ඔවුන් එතරම් ම දැනුවත් ය. ඔවුන්ට නිධානයක්‌ කඩා ජීවත් වීමේ අභිලාෂයක්‌ නැත. මන්ද ඔවුන් කොහොමටත් ධනවතුන් වීම නිසාවෙනි. තම භාවිතයේ තරමට වැඩි අතිරික්‌ත ධනය ඔවුහු මෙවැනි විනෝදාංශ පිණිස යොදවති. මෙතැන විනෝදාංශය නම් නීති විරෝධී පුරාවස්‌තු සොයා යැමයි. උතුරුමැද, නැඟෙනහිර පළාත්වල දුෂ්කර ප්‍රදේශයන්හි සිය අධි සුඛෝපභෝගී වාහනවල නැඟී සැරිසැරීම මෙන්ම ඒවායේ ඇති කෞතුක භාණ්‌ඩ සිය සන්තකයට ගැනීම එකී හොර මහත්වරුන් ගේ විනෝදාංශයයි.

එක්‌ කලෙක ඉතාලියේ මෙවැනි විනෝදාංශයක්‌ ධනවතුන් අතර පැතිරිණි. එය ගිලෙත්තන්ති ව්‍යාපාරය නමින් හැඳින්වේ. සිය අතිරික්‌ත ධනය හෝ නීතී විරෝධි කළු සල්ලි හෝ කෞතුක භාණ්‌ඩ වෙනුවෙන් යෙදවීමේ ගිලෙත්තන්ති ව්‍යාපාරයත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නො වන බව සහතික කළ හැකි ද? අප මේ ප්‍රශ්නයේ දී දකිනුයේ හුදකලා සිද්ධීන් පමණි. "සියඹලාණ්‌ඩුවේ නිsධානයක්‌ හාරයි", "කන්තලේ නිධානයක්‌ හාරයි", "මඩකලපුවේ නිධානයක්‌ හාරයි" ලෙස අපි සිද්ධිය ජනමාධ්‍ය කුතුහලය විෂය කොට සමාජගත කරමු. එකී සිද්ධීන් එකට බැඳුණු ශ්‍රී ලංකාවේ ගිලෙන්තන්ති කෞතුක භාණ්‌ඩ එක්‌ රැස්‌ කිරීමට වැට බැඳීමට කිසිවක්‌ නො කරමු.

ජනමාධ්‍යවලින් අනාවරණය කළ යුත්තේ එකී ජාලය පිළිබඳව ය. නීතියේ මුර දේවතාවුන් එලවිය යුත්තේ එකී ජාලය පසුපස ය. යබොර ගොඩක හෝ ගල් කණුවක හෝ නිධානයක්‌ ඇතැයි පොළොව හාරන මෝඩ ගැමියකුට වඩා ශ්‍රී ලංකාවේ පුරාවස්‌තු හානියට වඩාත් වගකිවයුතු වන්නේ එකී ජාලගත මංකොල්ලකරුවන් ය. එනිසා මේ සංවිධානාත්මක ධනවතුන් ගේ කෞතුක භාණ්‌ඩ එක්‌ රැස්‌ කීරීමේ නීති විරෝධී ක්‍රියාව අඩපණ කිරීමට බලවතුන් ගේ ඇස්‌ ඇරවිය යුතු ය.

තැන තැන සිදු වන කෞතුක වස්‌තූන් හා පුරාවස්‌තු විනාශ කරන්නන්, අතරමැදියන්, ඒවා මිල දී ගන්නා ධනවතුන් යනාදී වශයෙන් මේ කියන ජාලය ඉතා සංවිධානාත්මක ය. ශ්‍රී ලංකාවේ හද්ද පිටිසරබද කැළෑ ප්‍රදේශයක පැරැණි ස්‌ථානයක්‌ ඉලක්‌ක කරනු ලබන හාරන්නෝ සිය අතරමැදියා හොඳින් හඳුනති. එකී අතරමැදියා තමා අතට ලැබෙන පුරාවස්‌තුව විකිණිය යුතු ධනවතා හොඳින් හඳුනයි. මෙකී පුරාවස්‌තූන් සාමාන්‍ය ජනයා සිතන අයුරින් විශාල මැණික්‌ ගල්, රත්රන් පොල් මල් වැනි වාණිජ වටිනාකමකින් යුත් ඒවා නො වේ. උදහරණයක්‌ ලෙස එය කිසිදු වටිනාකමක්‌ නොමැති මළ කෑ පැරැණි තඹ කාසියක්‌ විය හැකි ය. කාසිය විකිණිය යුත්තේ කාට ද යන්න අතර මැදියා හොඳින් දනී. පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ බහුතරයක්‌ දෙනා පැරැණි කාසියක නිදර්ශකයක්‌ පරීක්‌ෂා කිරීමට යන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නො වේ. පෙර කී ධනවත් කාසි එකතු කරන්නන් ළ`ගට ය. මෙවැනි පෞද්ගලික පුරාවස්‌තු එක්‌ රැස්‌ කරන්නන්ට සේවා සැපයීම සඳහා "වර්ධිත නිධන් කැඩීම" යන සරල වදනින් හඳුන්වන කෞතුක භාණ්‌ඩ එක්‌ රැස්‌ කිරීම ද නැවැත්වීමට මේ කාලයයි.

ඉන්දික විතානගේ