|
ජාන වෙනස් කළ භෝග ශාක
ශ්‍රී ලංකාවේ වගාවට උචිත ද?
ජාන
ඉංජිනේරු විද්‍යාව වානිජ මට්ටමෙන් යොදාගන්නා ප්‍රධාන ක්ෂෙත්ර අතුරින්
කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක් ගනියි. එහෙත් අන් ක්ෂෙත්ර මෙන් නො ව කෘෂිකර්මාන්තයේ
දී ඇති වන සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු හේතූවෙන් ජාන ඉංජිනේරු විද්‍යාව දැඩි
ආන්දෝලනයක් ඇති කර ඇත. මේ, අප රටට හා ජනතාවට එයින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ
විවරණයකි.
ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ඇත. ජනගහන වර්ධන වේගය එක ම රටාවේ පැවතිය හොත් 2025 වන
විට ලෝක ජනගහනය බිලියන 9 දක්වා වැඩි වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ජනගහනය රටකට
සම්පතක් වන නමුත් අධික ලෙස වැඩි වීම හමුවේ ගැටලු රාශියක් නිර්මාණය කර ඇත. මිහිකත
උණුසුම් වීම, පාරිසරික දූෂණය, රෝග හා ව්‍යාධි බහුල වීම, තීව්ර වූ ස්වාභාවික
ව්‍යසන ආදිය ඉන් ප්‍රධාන වේ. මේ ගැටලු සියල්ල අභිබවමින් මතු වන ප්‍රධාන ගැටලුව
වන්නේ වැඩි වන ජනගහනයට සරිලන සේ ආහාර සැපයීමයි. ඇස්තමේන්තුගත ලෝක ජනගහන වර්ධනයෙන්
90%ක් පමණ ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවලට සිදු වන බවට ගණන් බලා ඇත. එනම්
ප්‍රධාන ආහාරය වන සහල් සඳහා ඇති ඉල්ලුම දැඩි ලෙස ඉහළ යමින් පවතියි. විද්‍යා තාක්ෂණ
දැනුම කෙතරම් දියුණු වුවත් මේ වන විට ලෝක ජනගහනයෙන් 1/7ක් පමණ මන්දපෝෂණයෙන්
පෙළෙමින් ඇත. සැම තත්පර 3කට වරක් එක් අයකු කුසගින්න නිසා මිය යන තත්ත්වයක්
නිර්මාණය වී ඇත.
|