logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ගමේ පාසල නැති වුණොත් අනාගතයේ ප්‍රශ්න
රැසකට මුහුණ දෙන්න සිදු වනවා


අමල් උඩවත්ත

"අදින් වසර 50කට 60කට පමණ පෙර තිබුණු සමාජ රටාව හා වට පිටාව නො වෙයි අද තිබෙන්නේ. අද හාත්පසින් ම වෙනස්‌. ඒ කාලේ සැම මාපියෙක්‌ ම තමන් ගේ ළමයාව යෑව්වේ ගමේ පාසලට. මමත් ගියේ ගමේ පාසලට. පසුව තමයි නගරයේ පාසලට ගියේ. දැන් තිබෙන තත්ත්වය අනුව මාපියන් කැමැති තමන් ගේ දරුවන්ව නගරයේ පාසලට යවන්නයි" යනුවෙන් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය. පසුගිය දා මුම්මාන ගම්මානයේ ජල ව්‍යාපෘතියක්‌ විවෘත කරමින් තවදුරටත් අදහස්‌ දක්‌වූ අමාත්‍යවරයා "මම දවසක්‌ ගමේ පාසලට යන දරුවන් ගේ මාපියන් ගෙන් ඇහුවා ගමේ පාසලට දරුවන්ව යවන්නේ ඇයි කියල. ඒ මාපියන් කිව්වේ පංතියේ ළමයි 50ක්‌ විතර ඉන්න පාසලකට ළමයාව යවනවාට වඩා ගමේ පාසලට යෑවීමෙන් ළමයා ගේ ඥාන මට්‌ටම අනුව ළමයාට අඩු කණ්‌ඩායමක්‌ සමග හොඳින් ඉගෙන ගන්න ලැබෙනවා. එය පසු කාලයේ දී නගරයේ පාසලක උසස්‌ අධ්‍යාපනය ලැබීමට පහසුවක්‌ වෙනවා කියලයි. ඉතිං මම කොහොම ද මේක අනෙක්‌ මාපියන්ට පහදා දෙන්නේ. මේ නිසා තමයි රාජ්‍ය පෝෂිත පාසල් වැඩසටහන කියල වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න සැලසුම් කරන්නේ. මේ වැඩපිළිවෙළේ දී ළමයි ගමේ පාසලේ පස්‌වැනි පන්තිය දක්‌වා ඉගෙන ගෙන ඉන් පසුවයි නගරයේ පාසලට යන්නේ. මුස්‌ලිම්, සිංහල හා දෙමළ කියල අද පාසල් වර්ගීකරණය වෙලා. මේ වර්ගීකරණයට මම කැමැති නෑ. මම කැමැති සැම පාසලක්‌ ම එකතු කරන්න. මට මේක තනියම කරන්න පුළුවන් දෙයක්‌ නො වෙයි, සියලු දෙනා ම එකතු වෙන්න ඕනේ. ගමේ පාසල් නැති වෙන්න දෙන්න හොඳ නැහැ. ගමේ පාසල නැති වුණොත් අනාගතයේ රටට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙනවා" යනුවෙන් පැවසී ය.