logo3.gif (702 bytes)

HOME


අපේ ප්‍රවාද

ඉසෙඩ් ලකුණ හා පඬියෝ

මෙවර අපේ ප්‍රවාද ලිපිය අංශුවල චලිතය පිළිබඳ සාකච්ඡාවෙන් ඉවත් වී ඉසෙඩ් ලකුණ සම්බන්ධයෙන් ඇති වී ඇති අවුල ගැන සමාලෝචනයකට වෙන් වෙයි. ගර්ඩ්ල් ප්‍රමේයය ගැන කපිල පීරිස්‌ මහතා පතුරුවන දුර්මතවලින් ද පාඨකයා ගලවා ගැනීමට අවශ්‍ය මුත් කාලීන අවශ්‍යතාව සලකා ඉසෙඩ් ලකුණ ගැන කතා කරමු. ඉසෙඩ් ලකුණු යනු ප්‍රමිතිකරණයකි. පරීක්‍ෂණවල දී ලබාගන්නා මුල් හෙවත් අමු ලකුණුවල සාපේක්‍ෂතා තිබිය හැකි බැවින් ඒ සාපේක්‍ෂතා අඩු කිරීමට විවිධ ප්‍රමිතිකරණ යොදාගත යුතු වෙයි. ලකුණු ප්‍රමිතිකරණය අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ දී පමණක්‌ නො වේ. පංතියේ වාර විභාගයේ දී ද ප්‍රමිතිකරණයක්‌ අවශ්‍ය වේ. මා කලකට පෙර පෙන්වා දී ඇත්තේ සංයුක්‌ත ගණිතයෙන් ලකුණු 95ක්‌, රසායන විද්‍යාවෙන් ලකුණු 95කට තුල්‍ය නො වන බව ය. ඒ විෂය අතර ඇති වෙනස්‌කම්, අමාරුකම්, ප්‍රශ්න පත්‍ර සැකසීමේ වෙනස්‌කම්, සිසුන් පරීක්‍ෂණවලට සූදානම් වීමේ දී ඇති වන වෙනස්‌කම් ආදිය හේතු කොටගෙන ඒ ලකුණු තුල්‍ය ලෙස ගැනීම වැරැදි ය. එය ඇමෙරිකන් ඩොලර් 95ක්‌ ලංකා රුපියල් 95කට තුල්‍ය යෑයි සැලකීම වැනි වරදකි. ඩොලරය හා රුපියල සංසන්දනය කිරීමේ දී එහි පරිවර්තන අගය සැලකීමට සිදු වෙයි. සංයුක්‌ත ගණිතයෙන් ලකුණු 95ක්‌, භෞතික විද්‍යාවෙන් ලකුණු 90ක්‌ සහ රසායන විද්‍යාවෙන් ලකුණු 50ක්‌ ගන්නා ශිෂ්‍යයකු ඒ විෂයන් ගෙන් පිළිවෙළින් ලකුණු 70ක්‌, 65ක්‌ හා 90ක්‌ ගන්නා ශිෂ්‍යයකුට වඩා දක්‍ෂ යෑයි තීරණය වෙයි. එසේ කෙරෙන්නේ ඒ ලකුණු තුල්‍ය යෑයි සැලකීම නිසා ය. පරිවර්තන අගයන් හෙවත් භාර ගැන සැලකිලිමත් වී ප්‍රමිතිකරණයක්‌ කෙළේ නම් දෙවැන්නා පළමුවැන්නාට වඩා මුළු ලකුණු ලබාගෙන වඩා දක්‌ෂයා ලෙස තීරණය වීමට හැකි ය. මෙවර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ දී කලා අංශයේ ගිය වර පළමුවැනියා දෙවැනියා බවට පත් වී ඇතැයි වාර්තා වෙයි. මෙහි පුදුම වීමට දෙයක්‌ නැත. පළමුවැන්නා දෙවැන්නා ආදිය, යොදාගන්නා පරිවර්තන අගයන්ට සාපේක්‍ෂ වෙයි. අප පාසල් යන අවධියෙහි ඇතැම් පාසල්වල එය සැලකිල්ලට ගෙන ප්‍රමිතිකරණයක්‌ කෙරුණු බව මෙහි ලා සඳහන් කළ යුතු ය. එහෙත් එය වුව ද පරමාදර්ශී යෑයි කිව නො හැකි ය.

සාමාන්‍යයෙන් උසස්‌ පෙළ පරීක්‍ෂණයෙහි දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා සිසුන් තෝරාගැනීමේ දී ඒ ඒ විෂයයෙන් සිසුන් ලබාගත් ලකුණුවල ඉසෙඩ් ලකුණ සලකා බැලෙයි. ඉසෙඩ් ලකුණ ගණනය කරන්නේ අදාළ විෂයයෙන් පෙනී සිටි සිසු ගහණයෙහි මුල් (අමු) ලකුණුවල මධ්‍යන්‍ය අගය හා සම්මත අපගමනය මත පදනම් වෙමිනි. සිසුවකු ලබාගත් මුල් ලකුණෙන් ගහණයේ මධ්‍යන්‍ය ලකුණ අඩු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය මුල් ලකුණුවල සම්මත අපගමනයෙන් බෙදීමෙන් සිසුවා ගේ ඉසෙඩ් ලකුණ ලැබෙයි. විෂය තුනෙහි ම ඒ අයුරින් ඉසෙඩ් ලකුණු ලබාගෙන ඉන්පසු ඒ ඉසෙඩ් ලකුණු තුනෙහි සාමාන්‍යය (මධ්‍යන්‍යය) ගණනය කිරීමෙන් සිසුවා ගේ අවසන් ඉසෙඩ් ලකුණ ලැබෙයි. ශිෂ්‍යයන්ට නිකුත් කෙරෙන්නේ මේ අවසන් ඉසෙඩ් ලකුණ ය.

සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට තෝරා ගනු ලැබෙන්නේ ඒ අවසන් ඉසෙඩ් ලකුණුවල අනුපිළිවෙළ අනුව ය. මේ ක්‍රමයෙහි මූලික වැරැද්දක්‌ වෙයි. එනම් එක්‌ එක්‌ විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු තුල්‍ය යෑයි සැලකීම ය. ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් ලකුණු තුල්‍ය නො වන්නා සේ ම ඒ ඒ විෂයයෙන් ලබාගත් ඉසෙඩ් ලකුණු ද තුල්‍ය නො වේ. එහෙත් 2001 සිට ම යොදාගෙන ඇත්තේ මේ ක්‍රමය ය. එය මහාචාර්ය තටිල් මහතා ගේ නිර්මාණයක්‌ නො වේ. ඔහු මෙරට අනෙක්‌ උගතුන් මෙන් ම කර ඇත්තේ බටහිර තිබූ ක්‍රමයක්‌ ලංකාවට හඳුන්වා දීම පමණකි.

2001 ඉසෙඩ් ලකුණු ක්‍රමය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව වූයේ ඒ වසරේ ද 2011 දී මෙන් ම පැරැණි හා නව නිර්දේශ යනුවෙන් නිර්දේශ දෙකක්‌ තිබීම ය. එයට අමතරව ඇතැම් අඳ බාල ජනමාධ්‍යවේදීන්ට තේරුම් ගත නොහැකි තවත් වෙනසක්‌ 2001 දී විය. ඒ වසරේ පැරැණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට විෂය හතරක්‌ තිබූ අතර නව නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට තිබුණේ විෂය තුනක්‌ පමණකි. එපමණක්‌ නො ව පැරැණි නිර්දේශයට අනුව තිබූ ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව ආදී විෂය නව නිර්දේශයට නො තිබිණි. නව නිර්දේශයට අනුව තිබුණේ සංයුක්‌ත ගණිතය, ජීව විද්‍යාව ආදී විෂය ය.

ඒ හේතුවෙන් නව නිර්දේශයට හා පැරැණි නිර්දේශයට අනුව පෙනී සිටි සිසුන් ගේ ලකුණු සංසන්දනය කිරීමේ අපහසුතාවක්‌ පැන නඟින්නට ඇත. එබැවින් සිසුන් ගේ මධ්‍යන්‍ය ඉසෙඩ් ලකුණු ගණනය කර (අදාළ පරිදි හතරෙන් හෝ තුනෙන් හෝ බෙදා) ඒ ලකුණු එක්‌ ලැයිස්‌තුවකට සකස්‌ කර අනුපිළිවෙළ අනුව සිසුන් ඒ ඒ ධාරාවෙන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම හැරෙන්නට වෙනත් ක්‍රමයක්‌ මහාචාර්ය තටිල් මහතා ඇතුළු ඊනියා විශේෂඥයන්ට නො තිබෙන්නට ඇත. මේ පිළිබඳව විස්‌තර කිරීමට මට නොහැක්‌කේ ඒ පිළිබඳ ව අද මෙන් සාකච්ඡාවක්‌ එකල නො තිබූ බැවිනි. අප කවුරුත් පාහේ සිතා සිටියේ මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දුන් ක්‍රමයෙහි වරදක්‌ නොමැති බව ය. එහෙත් ඒ එසේ නො වේ.

ඉසෙඩ් ලකුණු සම්බන්ධයෙන් කිව යුතු ප්‍රධාන ම කරුණ නම් ඒ ලකුණු ව්‍යාප්තියෙහි මධ්‍යන්‍ය ශුන්‍ය බව හා සම්මත අපගමනය එක බව ය. ඉසෙඩ් ලකුණු සකස්‌ කෙරෙන්නේ ම මධ්‍යන්‍ය ශුන්‍ය හා සම්මත අපගමනය එක වන පරිදි ය. එමෙන් ම විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමේ දී කිනම් ක්‍රමයට ලකුණු සකස්‌ කළ ද අවසානයේ දී එක්‌ එක්‌ විෂයයෙන් එක්‌ ලැයිස්‌තුවකින් පමණක්‌ සිසුන් ඇතුළත් කිරීමට සිදු වන බව ය. බොහෝ පඬියන්ට මේ බව නො තේරෙයි.

2011 උසස්‌ පෙළ පරීක්‍ෂණයට සිසුන් කණ්‌ඩායම් දෙකක්‌ පෙනී සිට ඇත. එක්‌ කණ්‌ඩායමක්‌ නව නිර්දේශයෙන් ද අනෙක්‌ කණ්‌ඩායම පැරැණි නිර්දේශයෙන් ද පෙනී සිටියේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තිබූ ප්‍රශ්නය වූයේ මේ කණ්‌ඩායම් දෙකෙන් ඒ ඒ විෂයට එක්‌ ලැයිස්‌තුවක්‌ පමණක්‌ සකස්‌ කරන්නේ කෙසේ ද යන්න ය. එහි දී ඒ සඳහා නිර්දේශයක්‌ කිරීමට මෙරට සංඛ්‍යානය පිළිබඳ විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක්‌ පත් කරන ලදී. ඒ කමිටුවේ නිර්දේශය වූයේ ඒ ඒ විෂයයෙන් ලබාගත් මුල් (අමු) ලකුණු යම් සූත්‍රයකට අනුව පළමුව එක්‌ ලැයිස්‌තුවකට ගෙන ඉන්පසු ඒ ඒ විෂයයෙන් ඉසෙඩ් ලකුණු ගණනය කිරීම ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒ නිර්දේශය මත විභාග දෙපාර්තමේන්තුවට ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස්‌ දුන්නේ යෑයි සිතිය හැකි ය. මෙහි දී අධ්‍යාපන ඇමැතිතුමා හෝ උසස්‌ අධ්‍යාපන ඇමතිතුමා හෝ එයට මැදිහත් වී නොමැති බව පැහැදිලි ය. ඒ හුදෙක්‌ ම විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් මැදිහත් වී ගත් තීරණයකි.

2011 දී ඒ ඒ විෂයෙන් සිසු ගහණ දෙකක්‌ වෙයි. ඒ ගහණ දෙක දෙක එකක්‌ බවට පත් කිරීම අප හමුවේ ඇති ගැටලුව ය. එහි දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තමන්ට ලැබුණු නිර්දේශය මත ක්‍රියා කර ඇත්තේ පළමුව විද්වත් කමිටුවේ සූත්‍රය මත පදනම් වී එක්‌ ලැයිස්‌තුවක්‌ සකස්‌ කර දෙවනුව ඒ ඒ විෂය සම්බන්ධයෙන් ඉසෙඩ් ලකුණ ගණනය කිරීම ය. මෙහි විධික්‍රමයක්‌ ලෙස කිසි ම වරදක්‌ නොමැති වා පමණක්‌ නො ව කළ යුතු ව තිබුණේ ද එය ය. එහෙත් එහි වරදක්‌ විය. ඒ විධික්‍රමයෙහි නො ව විද්වත් කමිටුව නිර්දේශ කළ සූත්‍රයෙහි ය.

ඒ ඒ විෂයයෙන් පළමුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් පසු ඒ ඉසෙඩ් ලකුණුවලට භාරයක්‌ හෝ පරිවර්තන අගයන් යොදාගත නො හැකි ය. එයට හේතුව ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්‍යය ශුන්‍ය වීම හා සම්මත අපගමනය එක වීම ය. ඒ ඉසෙඩ් ලකුණු කිනම් භාරයකින් වැඩි කර එක ලැයිස්‌තුවකට ගත්ත ද භාරය වෙනස්‌ වුවත් ලැබෙන්නේ එක ම ලැයිස්‌තුවකි. ඒ ලැයිස්‌තුව අන් කිසිවක්‌ නො ව ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගැනීමෙන් සකස්‌ කෙරෙන ලැයිස්‌තුව ම ය. මහාචාර්ය තටිල් මහතා හෝ විද්වත් කමිටුව හෝ මේ පිළිබඳව සිතා බැලී දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමය අනුව නව නිර්දේශයේ හා පැරැණි නිර්දේශයේ ඒ ඒ විෂයයෙන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. මෙය මුළුමනින් ම සංකල්පීය හා සෛද්ධාන්තික වශයෙන් ගත් කල දෝෂ සහිත ය.

ඉසෙඩ් ලකුණු පළමුවර නිකුත් කිරීමෙන් පසුව කළ යුතු ව තිබුණේ විද්වත් කමිටුවේ සූත්‍රය නිවැරැදි කර ගැනීම ය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ආණ්‌ඩු විරෝධි උද්ඝෝෂණයකි. කිනම් සටන් පාඨයකින් වුවත් ආණ්‌ඩුවට පහර දීමට උත්සාහ කරන ඇතැම් වෘත්තීය සමිති නිලධාරීහු ද, ඒ ඒ ආණ්‌ඩු විරෝධී දේශපාලන පක්‍ෂවලට හිතවත් මාධ්‍යවේදීහු ද තමන්ට වළ ඉහගෙන කෑමට අවස්‌ථාවක්‌ ලැබිණි යෑයි උද්දාමයට පත් වී විවිධ ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වූ හ.

දැන් මහාචාර්ය තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු නිකුත් කර ඇත. එහි දී පැරැණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක්‌ වන බව පැහැදිලි ය. මෙහි දී අපට අවශ්‍ය වන්නේ අසාධාරණයක්‌ වීම වැළැක්‌වීම නො ව විශ්වවිද්‍යාලවලට දක්‍ෂයන් තෝරා ගැනීම යෑයි පඬි ජනමාධ්‍යවේදියකු තම දේශපාලන පක්‍ෂයට තල්ලුවක්‌ වීම සඳහා ප්‍රකාශ කිරීමට ඉඩකඩ ඇත. මේ වසරේ පසුගිය වසරවලට වඩා දක්‍ෂයන් පළමු වතාවට පෙනී සිටි සිසුන් අතර සිටිය හැකි නො වේ. එහෙත් පැහැදිලිව ම විවෘත විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ගුණතිලක මහතා පිළියෙල කර ඇති මේ සමග වූ වගුවෙන් පෙන්නුම් කෙරෙන්නේ වෙනත් කතාවකි. ඒ මහතා පිළියෙල කර ඇති වගුවලින් වෛද්‍ය පීඨයට අදාළ වගුව පමණක්‌ මෙහි දී ඉදිරිපත් කෙරෙයි. වගුව උපුටාගනු ලැබූයේ පසුගිය ජූලි 22 වැනි දා සන්ඩේ අයිලන්ඩ් පුවත් පතෙනි.

පසුගිය වසරවල වෛද්‍ය පීඨවලට පළමු වරට පෙනී සිටි අය ගෙන් තේරී ඇත්තේ 58%ක පමණ ප්‍රමාණයකි. එහෙත් මහාචාර්ය තටිල් ක්‍රමයට මෙවර එය 74%ක්‌ පමණ වනු ඇත. ආණ්‌ඩු විරෝධී වෘත්තීය සමිති නිලධාරීන් ගේ හා පඬි ජනමාධ්‍යවේදීන් ගේ අවශ්‍යතාව ඉටු වී ඇත. පළමු වතාවට පෙනී සිටි සිසුන් ගෙන් මෙතරම් දක්‍ෂයන් පිරිසක්‌ බිහි කිරීම පිළිබඳ ව අප ඔවුන්ට ස්‌තුතිවන්ත විය යුතු ය. එහෙත් අනෙක්‌ සිසුන්ට නඩු කීම හැර වෙනත් මඟක්‌ ඉතිරි වී නැත. මේ සිසුන් හා ඔවුන් ගේ මවුපියන් ගැන මට ඇත්තේ තදබල කණගාටුවකි. මේ අවුල් ඇති කිරීම පිළිබඳ ව වගකිවයුත්තේ ඊනියා වෘත්තීය සමිති නායකයන්, පුහු මානව අයිතිවාසිකම් ගැන කතා කරන්නන් හා පුහු පඬියන් මිස දේශපාලකයන් නො වේ.

නලින් ද සිල්වා