logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 133
(ධනේෂ් විසුම්පෙරුම)


නාගරික වීදීවල වායු දූෂණය පාලනයට ගස්‌ වැල්

වර්තමාන ලෝකයේ බරපතළ පාරිසරික ගැටලුවක්‌ සේ සැලකිය හැකි වායු දූෂණය නිසා ඇති වී තිබෙන ගැටලු පිළිබඳව මේ විමසුම ඔස්‌සේ අප විටින් විට සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් විවිධ වායු දූෂක හා ඒවා නිසා මානව සෞඛ්‍යයට ඇති වන බලපෑම් හා පොදු පාරිසරික බලපෑම් විශේෂයෙන් අවධානයට ලක්‌ වූ කරුණු විය. එසේ ම මේ වායු දූෂණය වැළැක්‌වීමට ගෙන ඇති විවිධ උත්සාහ හා ක්‍රමවේද පිළිබඳව ද අපේ අවධානය යොමු කර ඇත්තෙමු.

පසුගිය දා පළ වී ඇති අධ්‍යයනයකට අනුව විවිධ වෘක්‌ෂලතාදියෙන් සමන්විත වීදි, වායු දූෂණය පාලනය කිරීමට මෙතෙක්‌ සිතා සිටියාට වඩා ප්‍රයෝජනවත් බව හෙළි වී තිබේ. ඒ පිළිබඳව මේ සතියේ පරිසර විමසුම වෙන් කිරීමට අදහස්‌ කරමු.

නාගරික වායු දූෂණය පිළිබඳ අධ්‍යයනයක්‌

වායු දූෂණය ප්‍රමාණාත්මකව අධික වන්නේත් එහි බලපෑම් බරපතළ වන්නේත් නාගරික ප්‍රදේශවල ය. ඊට හේතු වන්නේ රථවාහන මඟින් හා කර්මාන්තශාලාවලින් නිකුත් වන විවිධ වායු දූෂක වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නාගරික ප්‍රදේශවල වීම බව පෙනේ. එසේ ම විදුලි බලාගාර වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ද මෙවැනි ප්‍රදේශවල ය. ඒ නිසා වායු දූෂණයේ බලපෑම් අධික ලෙස දැකිය හැක්‌කේ ද නාගරික ප්‍රදේශවලය. අප මේ විමසුම ඔස්‌සේ මින් පෙර ද සාකච්ඡා කර ඇති ආකාරයට නාගරික මංමාවත්වල සිට පදිංචි ප්‍රදේශවලට ඇති දුර මත වායු දූෂණය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලුවල බරපතළ බව වෙනස්‌ විය හැකි බව ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ.

අප මාතෘකා කරගන්නා අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇති වායු දූෂක වන්නේ නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් (භධ2) හා අංශුමය ද්‍රව්‍ය (ඡඵ) ය. ලෝකයේ බොහෝ නාගරික ප්‍රදේශවල මේවායේ සාන්ද්‍රණය ආරක්‌ෂිත මට්‌ටමට වඩා අධික ය. එසේ ම මේ දූෂක දෙකෙන් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු ද බරපතළ හා සංකීර්ණ ඒවා බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

මෙවැනි වායු දූෂක ඉවත් කිරීම සඳහා යෝග්‍ය ක්‍රම පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ මත පදනම් ව විවිධ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් වායු දූෂක විමෝචනය වීම පාලනය කිරීම එවැනි ක්‍රමයකි. තවත් ක්‍රමයක්‌ වන්නේ මේ වායු දූෂක විසිරී යැමට සැලැස්‌වීම ය. අනෙක්‌ ක්‍රමය වන්නේ ඒවා තැන්පත්වීමේ වේගය ඉහළ නැංවීම ය. උක්‌ත අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ අඩු අවධානයකට ලක්‌ ව ඇති තුන්වැනි ක්‍රමවේදය පිළිබඳ ව ය. එය සිදු කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ය.

ගස්‌-වැල් මඟින් වායු දූෂණය පාලනය කිරීම

උක්‌ත අධ්‍යයනයේ දී පෙනී ගොස්‌ ඇති ආකාරයට නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් හා අංශුමය ද්‍රව්‍ය යන වායු දූෂක පරිසරයෙන් ඉවත් කිරීමට ගස්‌-වැල්වලට ඇති හැකියාව මෙතෙක්‌ සිතා සිටියාට වඩා අධික ය. විශේෂයෙන් වීදි මට්‌ටමේ වැවෙන තෘණ, තාප්ප හා වෙනත් ආධාරක දිගේ වැවෙන වැල් වර්ග හා වෙනත් ගස්‌ මේ සඳහා යොදා ගත හැකි ය. මේ ශාක වැස්‌මේ මතුපිට ස්‌වභාවය අනුව උක්‌ත වර්ග දෙකේ දූෂක තැන්පත් වීම විවිධ ප්‍රමාණවලින් සිදු වේ. එහෙත් ගොඩනැඟිලි වැනි ව්‍යqහ මතුපිට ඇති දැඩි මතුපිටක තැන්පත් වනවාට වඩා වැඩි ප්‍රමාණයකින් ශාක වැස්‌මක්‌ මත මේවා තැන්පත් වීම සිදු වේ.

පරිගණක ආකෘතියක්‌ ද භාවිත කරමින් සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය සියයට 40ක්‌ පමණ ද, අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය සියයට 60කින් තරම් ද අඩු කළ හැකි ය. මින් ඉහත සිදු කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත්තේ නාගරික හරිත වැස්‌මක තැන්පත් වීමෙන් වායු දූෂණය අඩු කළ හැක්‌කේ සියයට 5ක්‌ තරම් ප්‍රමාණයකින් බව ය. එහෙත් නව අධ්‍යයනය මේ හරිත වැස්‌මේ ප්‍රයෝජනය බොහෝ සේ අධික බව පෙන්වා දෙයි. මීට හේතුව නාගරික ප්‍රදේශවල වීදිවල ඇති දොරුවක්‌ වැනි වූ භෞතික ස්‌වභාවය මත වාතය වැඩි වේලාවක්‌ රැඳී තිබීම මෙතෙක්‌ නො සලකා හැර තිබීමයි.

මේ සඳහා විවිධත්වයෙන් යුක්‌ත ශාක වැස්‌මක්‌ යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් වීදි මට්‌ටමේ ඇති බිත්ති දිගේ මුල් මඟින් වැවෙන පැළෑටි හා වැල් වර්ග ද මීට යොදා ගත හැකි ය. එසේ ම විශාල ගස්‌වල කිරුළ ප්‍රදේශයේ දූෂක රැඳී පැවතීම වැළැක්‌විය හැකිනම් ගස්‌වලින් ද දූෂක ඉවත් කිරීමට වැඩි ප්‍රයෝජනයක්‌ ලැබේ.

ප්‍රායෝගිකත්වය

මේ අනුව ශාක වැස්‌මක්‌ යොදාගැනීමෙන් නාගරික වායුදූෂක පෙරහනක්‌ සෑදිය හැකි බව පැහැදිලි ය. ඉන් ලැබෙන ප්‍රයෝජන හා සංසන්දනය කරන විට මෙවැනි ශාක වැස්‌මක්‌ ඇති කිරීම එතරම් අපහසු හා මිල අධික ක්‍රමයක්‌ ද නො වේ. මෙ මඟින් නාගරික ප්‍රදේශයේ වාතයේ ගුණාත්මක බව ඉක්‌මනින් ඉහළ නැංවිය හැකි ය.

වායු දූෂණය වැළැක්‌වීම සඳහා ගෙන ඇති විවිධ පියවර අතරින් මෙයින් තවත් ප්‍රයෝජන ද සැලසේ. වීදි දෙපස ඇති ශාක වැස්‌මක්‌ මඟින් නගරයට සෞන්දර්යාත්මක බවක්‌ ලැබේ. එසේ ම ජෛවවිවිධත්වයට ද වෘක්‌ෂලතා වැස්‌මක්‌ තිබීම වැදගත් වේ.

කෙසේ වෙතත් නාගරික ප්‍රදේශවල ශාක අවරණයක්‌ ඇති කිරීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක්‌ ද තිබේ. ඒ සඳහා තෝරාගන්නා ශාක පවත්නා දේශගුණ තත්ත්වයනට ඔරොත්තු දීම හා අධික තාපයට හා ඔරොත්තු දිය හැකි වීම වැනි කරුණු වැදගත් වේ. (මූලාශ්‍රයEnvironmentalScience & Technology, DOI: 10.1021/es300826w)


ආහාර මිල ඉහළ යැමට බලපාන සාධක

ආහාර මිල ගණන් ඉහළ ගොස්‌ තිබීම වර්තමාන ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි ගැටලුවක්‌ සේ සැලකිය හැකි ය. විවිධ පිරිස්‌ මේ සඳහා හේතු ගණනාවක්‌ දක්‌වා ඇත. ඒ අතරින් ජෛව ඉන්ධන සඳහා වන භෝග වර්ග වගා කිරීම මුල් තැනකට එන බව පෙනේ.

ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදන සමාගම වන නෙස්‌ලේ සමාගමේ සභාපතිවරයා පසුගිය දා පැවසුවේ ලෝකය පුරා ආහාර ද්‍රව්‍ය මිල මේ ආකාරයෙන් ඉහළ යැමට බලපා ඇති ප්‍රධාන හේතුව ජෛව ඉන්ධන නිෂ්පාදනය බව ය. මිනිස්‌ හා සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ජලය හා භූමිය ජෛව ඉන්ධන භෝග සඳහා යොදාගැනීම නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. ඔහු දක්‌වන කරුණුවලට අනුව ලෝක සීනි නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක්‌ ජෛව ඉන්ධන නිපදවීම සඳහා යොදාගැනේ. ඉන්ධන අවශ්‍යතාව සඳහා මේ ආකාරයෙන් ආහාර භෝග යොදාගැනීම එතරම් සාධරණ කරුණක්‌ නො වේ. අනෙක්‌ අතට ජෛව ඉන්ධන මිල ලාභදායක වී ඇත්තේ ඒවා සඳහා ලබා දී ඇති සහනාධාර නිසා ය. ''ආහාර මිල ගණන් ලාබදායක වූ යුගය අවසන්'' යනුවෙන් පවසන ඔහු ආහාර භෝග ජෛව ඉන්ධන නිපදවීමට යොදා නො ගන්නේ නම් ලෝකයේ ආහාර මිල යළි පහළට එනු ඇතැයි ද පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වර්තමාන ආහාර අර්බුදය සඳහා බලපාන වෙනත් සාධක ද ඇති බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් නාගරිකකරණය වර්ධනය වෙමින් තිබීම හා සමස්‌තයක්‌ ලෙස ලෝකයේ රටවල් රැසක දරිද්‍රතාව අඩු වීම මේ සඳහා එක්‌ හේතුවකි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් නාගරික හා ආර්ථික වශයෙන් ශක්‌තිමත් වීමත් සමග මිනිසුන් ගේ ආහාර රටාව වෙනස්‌ වේ. ආහාර පරිභෝජනය ඉහළ යන අතර ම පරිභෝජනයට ගන්නා ආහාර වර්ග ද වෙනස්‌ වේ. මස්‌ වැනි සම්පත් වැඩි වශයෙන් අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය පරිභෝජනය ඉහළ යැම එවැන්නකි. භෝග වර්ග වගා කිරීමට අවශ්‍ය ජලය මෙන්ම ඇතැම් විට මිනිස්‌ පරිභෝජනයට ගත හැකි ශාක ආහාර ද මස්‌ නිපදවීම සඳහා ඇති කරන සතුන් සඳහා යොදාගැනේ. මෙය ද ආහාර මිල ඉහළ යැමට බලපා ඇත. මේ බව ලෝක ප්‍රකට කාගිල් සමාගමේ නිලධාරියකු මෙන්ම තවත් පිරිස්‌ විසින් ද මෑත දී පෙන්වා දී තිබේ. එමෙන් ම ගත හොත් කෘෂි ක්‌ෂේත්‍රයේ ආයෝජන ප්‍රමාණය සියයට 20කින් පමණ අඩු වී තිබේ.


කඩිනම් දේශගුණ ගිවිසුමක්‌ අවශ්‍යයි


ලෝකයට නව දේශගුණ ගිවිසුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පසුගිය දා පැවසුවා ය. ඒ පිට්‌ස්‌බර්ග් දේශගුණ සාකච්ඡාව නම් වැඩසටහනක මුඛ්‍ය දේශනය පවත්වමිනි. එහි දී ඇය අවධාරණය කළ කාරුණයක්‌ වූයේ කියෝටෝ සන්ධානය වැනි නව සන්ධානයක්‌ ඉලක්‌ක කරගෙන කටයුතු කිරීමේ ඇති වැදගත්කමයි.

ජර්මන් චාන්සලර්වරිය පෙන්වා දුන් කරුණු වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම සඳහා කඩිනම් පිළිතුරක්‌ සපයා ගැනීම දුෂ්කර ව තිබෙන කාලයක දී ය. පෙනෙන්නට ඇති පරිදි ලෝක දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා අඩපණ වී ඇති බවක්‌ පෙනේ. මේ වන විට එකඟ වී ඇති අන්දමට එවැනි ගිවිසුමක්‌ ඇති විය හැක්‌කේ ලබන 2015 වර්ෂයෙන් පසුව ය. එය කෙබඳු ආකාරයේ එකඟතාවක්‌ වේ දැයි දැන්ම කීම අසීරු ය. අනෙක්‌ අතට එය ක්‍රියාත්මක වීමට තවත් වසර කිහිපයක්‌ ගත විය හැකි ය. මේ ප්‍රමාදයේ පාඩුව දැනටමත් පෙන්වා දී තිබේ. ඒ අනුව ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක දෙකකටත් වඩා ඉහළ යැමට ඉඩක්‌ ඇති බව ඇතැම් පර්යේෂණවලට අනුව පෙනේ.

උක්‌ත රැස්‌වීම සඳහා ලෝකයේ රටවල් තිහක පරිසර අමාත්‍යවරුන් සම්බන්ධ වී ඇති අතර එහි අරමුණ වන්නේ මේ වර්ෂයේ අවසාන භාගයේ දී කටාර්හි පැවැත්වෙන දේශගුණ සමුළුවට සූදානම් වීම ය.


වියට්‌නාමයේ වඳුරන් ඝාතනය පිළිබඳව සෙබළුන්ට චෝදනා

වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව ඇති වියට්‌නාමයේ වාසය කරන Pygathrix cinerea විශේෂයට අයත් වඳුරන් දෙදෙනකුට වද දී මරා දැමීම සම්බන්ධයෙන් එරට හමුදා සෙබළුන් තිදෙනකුට චෝදනා එල්ල වී තිබේ. මේ සිදු වීම හා සම්බන්ධ ඡායාරූප ෆේස්‌බුක්‌ වෙබ් අඩවියට එක්‌ කිරීමත් සමඟ එරට පමණක්‌ නො ව ලෝකයේ සත්ත්ව ලෝලීන් විශාල ප්‍රමාණයකගේ කනස්‌සල්ලට හා විරෝධයට හේතු විය.

මේ වන විට අදාළ සෙබළුන් හමුදා භාරයේ පසු වන අතර ඉදිරියේ දී හමුදා අධිකරණයකට ඔවුන් යොමු කිරීමට නියමිත ය. එහෙත් සෙබළුන් තමන් වරදක්‌ කළ බවක්‌ දැන නො සිටීම හා ඔවුන් මේ වඳුරන් ගැමියන් ගෙන් මිල දී ගෙන තිබීම මේ තත්ත්වයේ බරපතළ බව පෙන්වයි. මේ අනුව ජනතාව පරිසරය හා නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ ඇති වැදගත්කම අවධාරණය එරට සංරක්‌ෂණවේදීන් අවධාරණය කර තිබේ.


ග්‍රීන්ලන්තයේ අයිස්‌ කන්දක්‌ වෙන් වේ


උතුරු ග්‍රීන්ලන්තයේ පිහිටා ඇති පීටර්මාන් ග්ලැසියරයෙන් පසුගිය දා විශාල අයිස්‌ කන්දක්‌ (iceberg) ගිය සතියේ වෙන් වී ගියේ ය. එහි ප්‍රමාණය ඇමෙරිකාවේ මෑන්හැට්‌න් ප්‍රදේශය මෙන් දෙගුණයක්‌ පමණ වේ. මේ සමඟ ධ්‍රැව ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම පිළිබඳව යළිත් අවධානය යොමු වී ඇත.

2010 වර්ෂයේ දී ද මේ ග්ලැසියරයෙන් විශාල අයිස්‌ කන්දක්‌ වෙන් වී ගියේ ය. මුහුදට යා ව පිහිටා ඇති ග්ලැසියරවලින් මේ ආකාරයෙන් කොටස්‌ වෙන් වී යැම ස්‌වාභාවිකව සිදු වේ. එහෙත් මෙවැනි සිදුවීම්වලට නූතන දේශගුණ වෙනස්‌ වීමේ බලපෑමක්‌ තිබිය හැකි යෑයි බොහෝ විද්‍යාඥයන් සැක කරන්නේ මෑත කාලයේ සිදු වී ඇති වෙනස්‌කම් නිසා ය. එහෙත් ඒ බව තවමත් ස්‌ථීර වශයෙන් පැවසිය නො හැකි ය. එසේ ම මේ සිදුවීමෙන් මුහුදු මට්‌මටම ඉහළ යැම සඳහා බලපෑමක්‌ ඇති නො වන බව සඳහන් වේ.