logo3.gif (702 bytes)

HOME


සරසවි ඇදුරු සටන හා
අධ්‍යාපනයේ අනාගතය


සුපුරුදු පරිදි ම නැවතත් අප ගේ ජාතික විශ්වවිද්‍යාල වැසී ගොස්‌ තිsබේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැඩවර්ජනය ආසන්නතම හේතුවයි. විශ්වවිද්‍යාල එක්‌ දිනක්‌ වසා තැබීමෙන් දිනකට වන මූල්‍යමය පාඩුව මිලියන ගණනකි. ශිෂ්‍යයන්ට හා ආචාර්යවරුන්ට හා රටට ශාස්‌ත්‍රීය ව වන පාඩුව ගණනය කළ නො හැකි තරම් ය. විශ්වවිද්‍යාල නිරන්තරයෙන් වසා තැබීම නිසා උපාධිය අතහැර දමා ගෙදර එන ලෙස මවුපියන් ගෙන් බලපෑම් එන බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ අතර පවසති. ඈත පළාත්වල සිට පැමිණ විශ්වවිද්‍යාලය අසල පෞද්ගලික බෝඩින්වල නවාතැන්ගෙන සිටින දරුදැරියන් ගේ තත්ත්වය අතිශයින් දුක්‌බර ය. ඔවුන්ට අනවශ්‍ය ලෙස අධික ප්‍රවාහන ගාස්‌තු දරාගෙන ඒ අතට මේ අතට යන්නට සිදු ව තිබේ. බෝඩින් අයිතිකරුවන් වැඩවර්ජන ගැන සලකා හෝ සිටින නො සිටින දින සලකා අය කළ ගාස්‌තු ආපසු දෙන්නේ නැත. ශිෂ්‍යයන්ට පමණක්‌ නො ව මේ සරසවි වසා තැබීම සරසවි බිම අසල කෑම පාර්සල් විකුණන, අඹ අච්චාරු විකුණන අයටත්, ත්‍රීවිල්කරුවන්ටත් පාඩු ගෙන දෙයි.

විවිධ මට්‌ටම්වල අයට මේ වර්ජනය ගැටලුවක්‌ වන නිසා ඒ අය තම දැනුම මට්‌ටමෙන් මේ ගැටලුව විශ්ලේෂණය කරති. ඇතැමෙක්‌ ආචාර්ය සංගමයට බැණ වදිති. තව පිරිසක්‌ රජයට බැණ වදිති. ආචාර්යවරුන්ට බැණ වදින බහුතරය පවසන්නේ මෙය හුදෙක්‌ ඔවුන් ගේ වැටුප් ඉල්ලීම් මුqල් කරගත් අසාධාරණ සටනක්‌ බවයි. රජයට චෝදනා කරන අය කියන්නේ රජයේ පාර්ශ්ව මේ ගැටලු විසඳන්නට ක්‍රියා නො කර අඳුරේ අතපත ගාන බවයි. කෙසේ වෙතත් ආචාර්යවරුන් ගේ වර්ජනයෙහි මූලික පරමාර්ථය වැටුප් වැඩි කර ගැනීම ම නො වන බව පෙනෙනන්ට තිsබේ.

මේ දිනවල විශ්වවිද්‍යාලයන්හි ඉදිරිපිට ලොකු අකුරෙන් ලියා ඇති පෝස්‌ටර කියවන්නට ඔබට ඉඩක්‌ ලැබුණා නම් ඒ ගැන අදහසක්‌ ඔබට ලබා ගත හැකි ය. "දළ දේශීය අදායමෙන් සියයට හයක්‌ අධ්‍යාපනයට වෙන් කරන්න". ඒ, ආචාර්යවරුන් ගේ මූලික ඉල්ලීමයි. දෙවැන්න විශ්වවිද්‍යාලයයේ ශාස්‌ත්‍රීය නිදහසයි. තෙවැන්න ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සේවාවක්‌ පිහිටුවීමයි. මීට අමතරව වැටුප් හා දීමනා ප්‍රශ්නය ද ඔවුන් ගේ ඉල්ලීම් අතර වේ.

මේ ගැටලු සම්බන්ධයෙන් රජය හා ආචාර්ය සංගමය අතර පැවැති සාකච්ඡා කෙළවර වූයේ ඵලදායි ප්‍රතිඵලයක්‌ ශේෂ කරමින් නො වේ. කිසිදු විසඳුමක්‌ ලැබී නොමැති බව පෙනී යන්නේ මේ ලිපිය ලියන අද දිනය (ජූලි 19) වන විටත් ආචාර්යවරුන් සේවයට එන්නට එක`ග වී නැති හෙයිනි. මේ ඉල්ලීම් ගැන සෙවීමට රජය කොමිසමක්‌ පත් කරන්නට කටයුතු කර ඇතත් ආචාර්යවරුන් ගේ සංගමයේ ප්‍රධානියකු අප හා පැවසුවේ තමන් ඒ යෝජනාවට අකැමැති බවයි. මන්ද යත් ඔවුනට අනුව ලංකාවේ කොමිෂන් පත් කිරීම යනු ප්‍රශ්නය කල් දැමීමට හා විසඳුම් නො දීමට කරන්නා වූ දෙයක්‌ වන බැවිනි.

ඥන සම්පාදනයෙහි ලා දායක වන සරසවි පද්ධතිය කුමන කරුණක්‌ හෝ නිසා අකර්මණ්‍ය වීම ජාතියේ අවාසනාවකි. සරසවිවල කෙරෙන ඉගැන්වීම් ගැන ද චෝදනා එල්ල වන සමයක ඒ කෙරෙන ඉගැන්වීම පවා අඩාළ වීම අවාසනාවකි. සරසවි අධ්‍යාපනය ගැන කෙරෙන චෝදනා උත්ප්‍රාසාත්මක බව බැලූ බැල්මට ම පෙනී යයි. සරසවියෙන් පිට වන උපාධිධාරීන් ජාතියේ අවශ්‍යතාවට සරිලන අය නො වන බව බහුතරයක ගේ මතයයි. එනම් රටේ ශ්‍රම බලකායට ගැලපෙන අය නො වන බව ය. ඒ අතර ම තව පිරිසක්‌ චෝදනා කරන්නේ සිංහල භාෂාව, සිරිත් විරිත්, සාහිත්‍යය නො දත් පිරිසක්‌ සරසවිවලින් බිහි වන බව කියමිනි.

ඇත්තට ම සරසවිවලින් බිහි වන්නේ කුමන පිරිසක්‌ ද කියා විමසා බැලිය යුතු වේ. ඒ සඳහා හොඳ පිළිතුරක්‌ රැකියා විරහිත උපාධිධාරීන් ගේ සංඛ්‍යා ලේඛන පිරික්‌සීමෙන් අපට ලබා ගත හැකි ය. මෙවැනි අන්ත අසරණ උපාධිධාරීන් පිරිසක්‌ බිහි වීමේ වරදට රජය මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද වගකිය යුතු නො වේ ද? කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පරමාර්ථ සාක්‌ෂාත් කර ගන්නට තම ඉල්ලීම් හේතු වන බව ආචාර්යවරුන් ගේ සංගමයේ අදහසයි.

විශ්විවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා තමන් වර්ජනයකට යොමු වූයේ කුමන කරුණු අරභයා දැයි පැහැදිලි කරන්නේ මෙලෙසිනි. "ආචාර්යවරුන් ගේ වර්ජනයට පදනම් වූ ප්‍රධාන කාරණා කීපයක්‌ ම තිබෙනවා. ඉන් එකක්‌ වන්නේ අධ්‍යාපන කප්පාදුවයි.

අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු නො කරන්න කියන එක අප ගේ ප්‍රධාන ඉල්ලීමක්‌. 6%ක්‌ වෙන් කරන්න කියන එක අප ගේ අලුත් ඉල්ලීමක්‌ නො වෙයි. මේ අපි කියන දෙයකුත් නො වෙයි. ආණ්‌ඩුව ජාත්‍යන්තරව බැඳී සිටිනවා 6%ක්‌ වෙන් කරන්න. නිසි ලෙස ප්‍රතිsපාදන වෙන් නො කළා ම කොහොම ද අධ්‍යාපනය දියුණු කරන්නේ? දැන් අපේ රටේ ප්‍රමුඛත්වය දී තිබෙන්නේ ශාස්‌ත්‍රීය හෝ සාරධර්ම අධ්‍යාපනයට නො වෙයි. තාක්‌ෂණයට හා කාර්මික අධ්‍යාපනයට. මේ අය අධ්‍යාපනය කියලා වර්ධනය කරන්න හදන්නේ මේ දේවල් පමණයි. ඔය පරිගණක අධ්‍යාපනය වැනි දේ පමණයි ප්‍රවර්ධනය කරන්න හදන්නේ. ප්‍රතිපාදන ඉහළ නංවන්න කියන එක අපේ අධ්‍යාපනය ඉහළ නංවන්න සද්භාවයෙන් යුතු ව කරන ඉල්ලීමක්‌.

තවත් ප්‍රධාන ඉල්ලීමක්‌ වන්නේ විශ්වවිද්‍යාලවල ස්‌වායත්තතාව රැකගැනීම. විශ්වවිද්‍යාල කියන්නේ තරමක්‌ වෙනස්‌ තැනක්‌. එය රජයේ දෙපාර්තමේන්තුවක්‌ වගේ තැනක්‌ නො වෙයි. මේ තැන ශාස්‌ත්‍රීය පර්යේෂණ අධ්‍යයන සිදු වන නිදහස්‌ තැනක්‌. ඒ නිසා ස්‌වාධීනත්වය අත්‍යවශ්‍යයි. මේ ස්‌වාධීනත්වය බිඳවැටී ඇති බව පෙනෙනවා. දේශපාලන අත පෙවීම් දක්‌නට ලැබෙනවා. උපකුලපතිවරුන් පත් කිරීමේ සිට බොහෝ ක්‍රියාදාම තුළ දේශපාලනීකරණය දක්‌නට ලැබෙනවා. අතීතයේ තිබූ ස්‌වධීනත්වය අහිමි වීම ශාස්‌ත්‍රීය ඛේදවාචකයකට ම`ග හෙළි කර තිබෙනවා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස්‌ කර දේශපාලනික ඇ`ගිලි ගැසීම්වලින් තොර ස්‌වාධීනත්වයක්‌ අපේක්‌ෂා කරනවා. මීට අමතරව අප ඉල්ලා සිටි වැටුප් දීමනාත් ඉල්ලීම්වලට ඇතුළත්."

වර්ජනය සාර්ථක දැයි යන ප්‍රශ්නයට දේවසිරි මහතා දෙන පිළිතුර මෙබඳු ය.

"ඔව්, ඉතා සාර්ථකයි. ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ හැර අනෙක්‌ සියලු ම විශ්වවිද්‍යාලවල මේ වර්ජනය සාර්ථකව සිදු වනවා. ඌව වෙල්ලස්‌ස ගැන යමක්‌ කිව යුතුයි. එහි ආචාර්ය සංගමයක්‌ හදන්නට ඉඩ ලබා දී නැහැ. මහාචාර්යවරුන් නැහැ. වැඩ කරවන්නේ තාවකාලික හා ආධුනික කථිකාචාර්යවරුන් දමලා. ඔවුන් වර්ජනවලින් ඈත් කර තබා ගැනීම පහසුයි. ආණ්‌ඩුවට වුවමනා ඒ වගේ විශ්වවිද්‍යාල තමයි. ආණ්‌ඩුවට අවශ්‍ය ආදර්ශීය විශ්වවිද්‍යාලයක්‌. හැබැයි අනෙක්‌ විශ්වවිද්‍යාලවල වර්ජනය හොඳින් ක්‍රියාත්මකයි."

ඇතැම් විශ්වවිද්‍යාලවල විශ්‍රාමික ආචාර්යවරුන් බාහිර කථිකාචාර්යවරුන් ගෙන්වාගෙන උගැන්වීමේ කටයුතු පවත්වාගෙන යනවා නො වේ දැයි විමසූ විට දේවසිරි මහතා දුන්නේ මෙබඳු පිළිතුරකි.

"1980 මහා වැඩ වර්ජනය කාලෙත් ඔහොම දේ කළා නේ. ඒ, වර්ජන දියාරු කරවන්න දියත් කරන උපක්‍රම. මේ වගේ උපක්‍රම මඟින් විශ්වවිද්‍යාල දිගට ම පවත්වාගෙන යන්න බැහැ. ඒක විහිළුවක්‌ නේ."

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ආචාර්ය සංගමයේ ඉල්ලීම්වල සාධාරණ, අසාධාරණ බව පිළිබඳ මෙවැනි තක්‌සේරුවක යෙදෙයි.

"අපි අධ්‍යාපනයට වැඩි මුදලක්‌ වෙන් කරන්න කැමැතියි. පසුගිය දා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත් පැවසුවේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයට ඉහළ ම ප්‍රමුඛතාව දිය යුතු බවයි. පසුගිය කාලසීමාවේ දී යුද්ධය නිසා අධ්‍යාපනයට ලොකු මුදලක්‌ වැය කරන්න බැරි වුණා. හැබැයි ආචාර්ය සංගමය යෝජනා කරන තරම් විශාල ප්‍රතිශතයක්‌ මේ අවස්‌ථාවේ දී අපට වැය කරන්නට නොහැකියි. වැටුප් ප්‍රශ්නයට අදාළව කතා කළොත් දැනටමත් ආචාර්යවරුන්ට හොඳ වැටුපක්‌ ලැබෙනවා. ඔබ රටේ අනෙක්‌ අය ගේ වැටුප් සම`ග මේ අය ගේ වැටුප් සන්සන්දනය කළොත් ඒ බව පැහැදිලි වේ වි.

ආචාර්ය සමිති සම්මේලනය ස්‌වාධීනතාව, දේශපාලන ඇ`ගිලි ගැසීම් පිටුදැකීම ආදිය ගැන කතා කරනවා. විශ්වවිද්‍යාල ගැන ඇමැතිවරයා සොයා බලනවා තමයි. දේශපාලන ඇ`ගිලි ගැසීමක්‌ විදියට අර්ථ දැක්‌වූවාට එය එහෙම දෙයක්‌ නො වෙයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙන් උසස්‌ අධ්‍යපන ඇමැතිවරයාට බලතල ලැබෙනවා විශ්වවිද්‍යාලයේ කටයුතුවලට මැදිහත් වන්නට. ජාතික ආරක්‌ෂාවට හානියක්‌ වන අවස්‌ථාවල දී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පියවර ගන්න ඇමැතිවරයාට හැකිsයි. ඕනෑ ම සරසවියක්‌ නිරීක්‌ෂණය කරන්නට ඔහුට හැකියි. විශ්වවිද්‍යාල මෑතක්‌ වනතුරු පාලනය කළේ ශිෂ්‍යයන්. ඒ අය වාමවාදී, අන්තවාදී කල්ලිවාදීන්. උපකුලපතිවරුන්ටත් මේ ශිෂ්‍යයන් හසුරුවා ගන්න බැරි වුණා. ඒ ශිෂ්‍යයන් බහුතර ශිෂ්‍යයන්ට ප්‍රජාතන්ත්‍රිකව අධ්‍යාපනය ලැබීමේ ම`ග ඇහිරුවා. ඒ කාලේ මේ අය තමයි විශ්වවිද්‍යාලයේ ගමන් මඟ තීරණය කළේ. ඒ තත්ත්වය නැවැත්වූයේ අපේ ඇමැතිවරයායි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයකුට සරසවියකට යන්නට බැරි තත්ත්වයක්‌ පැවතියේ. හූ කිව්වා. විරෝධය දැක්‌වූවා. වර්තමාන උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා මේ තත්ත්වය වෙනස්‌ කොට විශ්වවිද්‍යාල නිදහස්‌ කරගත්තා. මේ දෙයයි සිදු වුණේ. ප්‍රජාතන්ත්‍රවාදය 100%ක්‌ ඉහළ නැංවූවා. ශිෂ්‍යයන්ට වන හානි කරදර ශූන්‍යයට ගෙනාවා''

පසුගිය වසරවල රජය අධ්‍යාපනයට වෙන් කළ මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස පහත දැක්‌වේ.

2009 - 2.08%, 2010 - 1.86%, 2011 -1.86%

මේ අවුරුද්දේ දී රජය බලාපොරොත්තු වන්නේ 1.8%ත් 2.00%ත් අතර හෝ ඊට ආසන්න ප්‍රතිශතයක්‌ අධ්‍යාපනයට වෙන් කරන්නටය.

ලොව වෙනත් දියුණු රටවල් හා සසඳන විට මෙය ඉතා අඩු අගයකි. 2011 වර්ෂයේ එනම් දැනට පවත්නා අලුත් ම දත්තවලට අනුව ලොව ඉහළ ම දළ දේශීය නිෂ්පාදිත (GDP) ප්‍රතිශතයක්‌ අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ ඩෙන්මාර්කයයි. එය සියයට හතයි දශම අටකි. දෙවැනි තැන සයිප්‍රසයට ද (7.4%), තුන්වැනි තැන ස්‌වීඩනයට ද (6.7%) හිමි වේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වැය කෙරෙන ප්‍රතිශතය ප්‍රමාණවත් ද යන පැනයට උසස්‌ අධ්‍යාපනය අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය රොහාන් රාජපක්‌ෂ මහතා දුන් පිළිතුර මෙබඳු ය.

"විවිධ රටවල්වල මේ අගයන් විවිධයි. අපේ දැනට දළ දේශීය නිශ්පාදිතයෙන් වෙන් කෙරෙන්නේ 1.86%ට ආසන්න ප්‍රතිශතයක්‌. ආචාර්යවරුන් ඉල්ලන්නේ මෙය වැඩි කරන්න කියලා. අපේ මේ ගැන කිසි ගැටලුවක්‌ නැහැ. ඕනෑ ම කෙනකුට මේ වගේ ඉල්ලීමක්‌ කළ හැකියි. හැබැයි මේ ගැන තීරණය කළ යුත්තේ කැබිනට්‌ මණ්‌ඩලයයි. මේක අපේ විෂය පථයට අදාළ දෙයක්‌ නො වෙයි නේ. නමුත් තවත් දෙයක්‌ කියන්න ඕනේ, තාක්‌ෂණ අධ්‍යාපනයට, කාර්මික අධ්‍යාපනයට වෙන් කරන මුදල් මේ අගය තුළ නැහැ. ඒවාත් එකතු කළ විට ලොකු ප්‍රතිශතයක්‌ වෙනවා."

වැටුප් ප්‍රශ්නය පිළිබඳව කතා කරමින් මහාචාර්ය රාජපක්‌ෂ මහතා අවධාරණය කළේ බොහෝ ක්‌ෂේත්‍රවල වැටුප් හා සසඳන කල විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැටුප ඉතා ඉහළ මට්‌ටමක පවතින බවයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ගේ මාසික වැටුප 2012 ඔක්‌තෝබර් සිට රුපියල් 1,40,720ක්‌ ඉක්‌මවන බව ද ඔහු පෙන්වා දෙයි. ආධුනික කථිකාචාර්යවරයකුට රුපියල් 55,775.00ක පමණ මාසික වැටුපක්‌ ලැබේ. (මෙය මූලික වැටුප නො වේ. මූලික වැටුප රුපියල් 27,775ට ආසන්න අගයකි. මෙය 55,775 වන්නේ වෙනත් දීමනා ද එක්‌ වූ විට ය.

සන්සන්දනාත්මකව බලන කල උපාධිධාරී ස්‌ථාපිත සේවයේ මූලික වැටුප රුපියල් 15,775ක්‌ පමණ වේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්‌ වන උපාධිධාරියකු ගේ මූලික වැටුප රුපියල් 23,500ක්‌ පමණ වේ. එය දීමනා ද සම`ග රුපියල් 30,000ක්‌ නො ඉක්‌මවන බව ද මේ අනුව පරිපාලන නිලධාරියකු මෙන් දෙගුණයක වැටුපක්‌ ආධුනික කථිකාචාර්යවරයකුට හිමි වන බව ද මහාචාර්ය රාජපක්‌ෂ මහතා පෙන්වා දෙයි.

ආචාර්යවරුන් 6% ප්‍රතිපාදනය ගැන උද්ඝෝෂණය කරන අතර ම සැලකිල්ලට ගත යුතු තව කරුණක්‌ වන්නේ දැනට වාර්ෂිකව පර්යේෂණ සඳහා දෙනු ලබන මුදලෙන් කොපමණ ප්‍රතිශතයක්‌ ප්‍රයෝජනයට ගන්නේ ද යන්න ය. ඇතැම් විද්වතුන් ගේ අදහස ඇතැම් විශ්වවිද්‍යාල පර්යේෂණ වෙනුවෙන් ලබා දෙන ප්‍රතිපාදනවලින් වැඩි කොටසක්‌ ප්‍රයෝජනයට නො ගත් අවස්‌ථා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ...........මානව ශාස්‌ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, කමලසිරි මල්ලිකාරච්චි මහතා දක්‌වන අදහස්‌ මෙබ`දු ය.

විශ්වවිද්‍යාලයක ආචාර්යවරයාට තියෙන ප්‍රධාන කාර්යය ශිෂ්‍යයාට දැනුම දීම හා තව තවත් පර්යේෂණ සිදුකරමින් දැනුම පුළුල් කර ශිෂ්‍යයාට නැවත එය ලබා දීමයි. දැනුම පර්යේෂණ මඟින් වැඩිදියුණු කිරීම සඳහා හැම වසරක ම සැම විශ්වවිද්‍යාලයක්‌ සඳහා ම මිලියන ගණනක්‌ වෙන් කරනවා. එම වෙන් කරන මුදලින් කොටස්‌ පීඨවලට වෙන් කරනවා. වෛද්‍ය පීඨ හා විද්‍යාපීඨ මුදලින් සියල්ල ප්‍රයෝජනයට ගන්නවා. නමුත් සමහර පීඨ සතයක්‌ වත් ප්‍රයෝජනයට නො ගෙන ආපහු යවනවා. තමන් ගේ දැනුම පුළුල් කරගන්නේ නැති ව කොහොම ද ශිෂ්‍යයන්ට දැනුම දෙන්නෙ? වාර්ෂිකව අය වැය මඟින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ආචාර්යවරුන් ගේ පර්යේෂණ කටයුතු සඳහා එවන විශාල මුදලක්‌ ප්‍රයෝජනයට නො ගෙන ආපහු යවනවා.

විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්‌ඩලයට අමතරව තාවකාලික කාර්ය මණ්‌ඩලයක්‌ ද සිටිනවා. බාහිර විද්වතුන්ට ද සේවය කරන පැය ගණන් අනුව වැටුප් ගෙවනවා. මේ අයටත් රජය විශාල වියදමක්‌ දරනවා. මෙවැනි වර්ජන නිසා අවසානයේ හානි වන්නේ ශිෂ්‍ය පරපුරටයි.

මල්ලිකාරච්චි මහතා ගේ ප්‍රකාශය ද බැරෑරුම් ලෙස සැලකිය යුත්තකැයි සිතේ. මන්ද යත් ලැබෙන මුදලින් පර්යේෂණ කිරීමට වත් අකැමැති ආචාර්යවරුන් ගෙන් ශිෂ්‍ය පරපුරට වන මෙහෙය කුමක්‌ ද යන ගැටලුව පැන නඟින බැවිනි.

අද අප ඉදිරියේ ඇත්තේ අවුල් වියවුල්වලින් පිරුණ අඳුරකි. මේ අඳුර දුරලීමට සැම පාර්ශ්වයක්‌ ම අවංක පැතුමෙන් ඒකරාශී විය යුතු ය. අද සිදු නො වන්නේ ද එය ම ය. දැනගන්නට ඇති පරිදි සියලු සාකච්ඡා අසාර්ථක වී ඇත. මේ හැම දෙයකින් ම ව්‍යසනයට පත් වන්නේ අපේ දරු පරපුර හා සමස්‌ත රට බව අප වටහා ගන්නේ කවර දා ද?

මනෝඡ් රත්නායක