logo3.gif (702 bytes)

HOME


ජාන වෙනස්‌ කළ භෝග ශාක
ශ්‍රී ලංකාවේ වගාවට උචිත ද?


ජාන ඉංජිනේරු විද්‍යාව වානිජ මට්‌ටමෙන් යොදාගන්නා ප්‍රධාන ක්‍ෂෙත්‍ර අතුරින් කෘෂිකර්මාන්තය ප්‍රධාන තැනක්‌ ගනියි. එහෙත් අන් ක්‍ෂෙත්‍ර මෙන් නො ව කෘෂිකර්මාන්තයේ දී ඇති වන සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු හේතූවෙන් ජාන ඉංජිනේරු විද්‍යාව දැඩි ආන්දෝලනයක්‌ ඇති කර ඇත. මේ, අප රටට හා ජනතාවට එයින් ඇති විය හැකි බලපෑම් පිළිබඳ විවරණයකි.

ලෝක ජනගහනය බිලියන 7 ඉක්‌මවා ඇත. ජනගහන වර්ධන වේගය එක ම රටාවේ පැවතිය හොත් 2025 වන විට ලෝක ජනගහනය බිලියන 9 දක්‌වා වැඩි වනු ඇතැයි ඇස්‌තමේන්තු කර ඇත. ජනගහනය රටකට සම්පතක්‌ වන නමුත් අධික ලෙස වැඩි වීම හමුවේ ගැටලු රාශියක්‌ නිර්මාණය කර ඇත. මිහිකත උණුසුම් වීම, පාරිසරික දූෂණය, රෝග හා ව්‍යාධි බහුල වීම, තීව්‍ර වූ ස්‌වාභාවික ව්‍යසන ආදිය ඉන් ප්‍රධාන වේ. මේ ගැටලු සියල්ල අභිබවමින් මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ වැඩි වන ජනගහනයට සරිලන සේ ආහාර සැපයීමයි. ඇස්‌තමේන්තුගත ලෝක ජනගහන වර්ධනයෙන් 90%ක්‌ පමණ ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවලට සිදු වන බවට ගණන් බලා ඇත. එනම් ප්‍රධාන ආහාරය වන සහල් සඳහා ඇති ඉල්ලුම දැඩි ලෙස ඉහළ යමින් පවතියි. විද්‍යා තාක්‍ෂණ දැනුම කෙතරම් දියුණු වුවත් මේ වන විට ලෝක ජනගහනයෙන් 1/7ක්‌ පමණ මන්දපෝෂණයෙන් පෙළෙමින් ඇත. සැම තත්පර 3කට වරක්‌ එක්‌ අයකු කුසගින්න නිසා මිය යන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත.

වැඩි වන ලෝක ජනගහනයට අවශ්‍ය ලෙස ආහාර නිෂ්පාදනය වැඩි කිරීම කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය හමුවේ ඇති ප්‍රබල ම අභියෝගයයි. ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඇති ක්‍රමවේද දෙකකි. එකක්‌ කෘෂිකාර්මික බෝග සඳහා යොදවා ඇති වගා භූමි ප්‍රමාණය වැඩි කිරීම වන අතර අනෙක්‌ උපාය වන්නේ ඒකීය භූමි ප්‍රමාණයකින් ලැබෙන ඵලදාව (නිෂ්පාදකතාව) වැඩිදියුණු කිරීමයි. වැඩි වන ජනගහනයට අවශ්‍ය නිවාස මංමාවත් හා සෙසු භෞතික අවශ්‍යතා වෙනුවෙන් භූමිය භාවිත කිරීමත් සමඟ පළමුවැනි උපාය මාර්ගය අනුගමනය කිරීම දුෂ්කර වී ඇත. මීට අමතරව උෂ්ණත්වය, ජල හිඟය, ලවණතාව හා රෝග වැනි සාධක ද මෙලෙස වගා භූමිය වැඩි කර ගැනීමට බාධාකාරී සාධක ලෙස පවතියි. ජනගහන වර්ධනයත් සමග අත්වැල් බැඳගත් විවිධ වූ රෝගාබාධයන්ට ඉහළ ගුණාත්මයකින් යුතු ඹෘෂධ වැඩිදියුණු කිරීම හා නිෂ්පාදනය තවත් ප්‍රබල අභියෝගයකි.

සමස්‌තයක්‌ ලෙස ගත් කල ජාන ඉංජිනේරු විද්‍යාව අද ලෝකයේ පවතින ආහාර, සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රාශියකට විසඳුම් සැපයීම සඳහා බිහි වූ ඉතා ප්‍රයෝජනවත් තාක්‍ෂණයකි. එය ජෛව තාක්‍ෂණයේ සංරචකයකි. ජීවීන් ගේ ජාන නිර්මිත වන DNA කේත පරිගණකගත කරන ජීනෝම ව්‍යාපෘතීන්ට සමගාමීව වර්ධනය වූවකි. මිනිසා සිය අතීතයේ සිට තමාට වඩාත් උචිත ශාක හා සතුන් තෝරා බෝ කිරීම හෝ අභිජනනය කිරීමේ ක්‍රමවේදයේ සුවිශේෂීකරණයක්‌ ලෙස ජාන ඉංජිනේරු විද්‍යාව එක්‌අතකින් හැඳින්විය හැකි ය. නිතැතින් ම යහපත් රූපීය ලක්‍ෂණ තේරීම මඟින් සිදු වනුයේ ජීවියකගේ රූපීය ලක්‍ෂණ ඇති කරන ජාන තේරීමයි.

ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් මිනිසාට අවශ්‍ය ජාන තේරීම නිශ්චිත ක්‍රමයකට කඩිනමින් සිදු කිරීමේ හැකියාව ඇති කර දී ඇත. 1973 දී ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානයක්‌ E. coli බැක්‌ටීරියාවකට ඇතුළු කිරීමෙන් බිහි වූ ජාන ඉංජිනේරු විද්‍යාව මඟින් පාරම්පරික අභිජනන තාක්‍ෂණයේ සීමා බිඳ දමමින් අවශ්‍ය රූපීය ලක්‍ෂණ ඇති කරන ජාන කොටස පමණක්‌ ඕනෑ ම ජීවියකු ගෙන් ලබාගෙන තවෙකකුට ප්‍රවේශ කිරීමේ හැකියාව මේ මඟින් ඇති වී ඇත.

අර්ථ දැක්‌වීම

මෙලෙස ජානයක්‌ හෝ ජාන කොටසක්‌ හෝ නවීන ජෛව තාක්‍ෂණ ක්‍රමවේද ඔස්‌සේ වෙනත් ජීවියකු හෝ සෛලයක්‌ වෙත ප්‍රතිවර්ත්‍ය නො වන ආකාරයට ප්‍රවේශ කිරීම මඟින් නව ලක්‍ෂණ සහිත ජීවියකු හෝ සෛල බිහි කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව නමින් හඳුන්වයි.

ජාන සම්ප්‍රේෂණය කළ ජීවීන් ගේ සමීපතාව මත ජාන වෙනස්‌ කළ ජීවීන් වර්ග 2කි. Transgenic යනු විශේෂ 2ක්‌ අතර සිදු වන ජාන සම්ප්‍රේෂණයෙන් බිහි වන ජීවීන් ය. Cisgenic යනු එක ම විශේෂයේ හෝ ගණයේ ජීවීන් අතර ජාන සම්ප්‍රේෂණයෙන් බිහි වන ජීවීන් ය. 1980 දශකයේ අගභාගයේ බිහි වූ මේ තාක්‍ෂණය ඔස්‌සේ මේ වන විට කෘමි හා රෝග හානි ප්‍රතිරෝධී ජීවින්, අධික වර්ධනයක්‌ සහිත බෝග හා සතුන්, ඖෂධ වර්ග හා පෝෂක සංශ්ලේෂණය කළ හැකි පටක හා ජීවීන් රාශියක්‌ නිර්මාණය කර සාර්ථක වාණිජ නිෂ්පාදනයන් සඳහා භාවිත කෙරෙයි. පළමුවැනි වගුවේ දක්‌වා ඇති ආකාරයට ජාන ඉංජිනේරු විද්‍යාව කෘෂිකර්ම, ජීවවිද්‍යා හා වෛද්‍යවිද්‍යා වැනි ක්‌ෂේත්‍ර ගණනාවක පර්යේෂණ සහ නිෂ්පාදන ගණනාවක්‌ සඳහා භාවිත වේ. (වගුව 1).

ජාන ඉංජිනේරු විද්‍යාවේ දී තෝරාගත් ජානයක්‌ ජීවී සෛලයකට බැක්‌ටීරියාවක්‌ මඟින් හෝ ජාන තුවක්‌කු භාවිතයෙන් හෝ සම්ප්‍රේෂණය කර එම සෛලය පටක රෝපණ මාධ්‍යයක වගා කර සම්පූර්ණ ජීවියකු (උදා( ශාකයක්‌ බවට) බවට වර්ධනය කරයි (රූප සටහන 1). මේ ක්‍රමවේදයේ දී තෝරාගත් ජානය නිසි පරිදි ලබාගත් බව නිර්ණය කිරීම සඳහා සාමාන්‍යයෙන් සලකුණු ජානයක්‌ ද (marker gene) ඒ සමග බද්ධ කර සම්ප්‍රේෂණය කරයි. සලකුණු ජානය මඟින් ප්‍රතිජීවකවලට ඔරොත්තු දීම හෝ රසායනිකයක්‌ මඟින් උද්දීපනය කරන වර්ණයක්‌ නිෂ්පාදනය වැනි රූපීය ලක්‌ෂණ ඇති කරනු ලබයි. එම ලක්‌ෂණ මඟින් තෝරාගත් ජානය සාර්ථක ව ජීවියා ගේ ජාන කිටුවට ස්‌ථාපිත වී ඇති බව දැනගනු ලබයි.

උපයෝගීතා වගුවේ දක්‌වා ඇති අයුරු ජාන ඉංජිනේරු විද්‍යාවේ යෙදවුම්, ක්‍ෂේත්‍ර ගණනාවක භාවිතයට ගැනේ. මේ නිසා ජීවවිද්‍යාත්මක හැදෑරීම් සඳහා නව මංපෙත් විවර වී ඇත. (වගුව 1). ඉන්සියුලීන් නිෂ්පාදනයට අදාළ මිනිස්‌ ජානය බැක්‌ටීරියාවක්‌ තුළට සම්ප්‍රේෂණය කර එමඟින් ඉන්සියුලින් නිෂ්පාදනය, ජාන ඉංජිනේරු විද්‍යාවේ සාර්ථක වානිජ යෙදවුමක්‌ ලෙස දැක්‌විය හැකි ය. හාල් ඇටය තුළ විටමින් A සංශ්ලේෂණය වන ලෙස වෙනස්‌ කළ වී මඟින් විටමින් A ඌනතාවට පිළියම් යෙදීමට උත්සාහ දැරෙයි. ඉන්ටර්ෆෙරොන් ඉන්ටර්ලියුකීන් වැනි ඖෂධ ක්‍ෂුද්‍රජීවී පද්ධති තුළින් සංශ්ලේෂණය කර මානව වර්ගයා ගේ පෙර සුව කළ නොහැකි වූ රෝග සුව කිරීම සඳහා යොදා ගනියි. එලෙස ම Bacillus thurengenesis (Bt) නම් පාංශු බැක්‌ටීරියාවේ ඇති Cry නම් ප්‍රෝටීන කාණ්‌ඩයේ ජාන උපයෝගී කරගනිමින් කෘමි හානිවලට ප්‍රතිරෝධී Bt-සහල්, Bt-තිරිඟු හා Bt-කපු ශාක නිපදවා ඇත. ශාකය තුළ නිෂ්පාදනය වන Cry නම් ප්‍රෝටීනය මඟින් ශාකය අනුභව කරන කෘමීන් මරණයට පත් වේ. විවිධ කෘමි කාණ්‌ඩ සඳහා මාරාන්තික වන විශේෂ Cry ප්‍රෝටීන වර්ග සොයාගෙන ඇත. (වගුව 2). රූපසටහනේ දක්‌වා ඇති අයුරු Cry ප්‍රෝටීනය කෘමීන් ගේ ආහාර පද්ධතියේ පවතින භාෂ්මික ස්‌වභාව නිසා සක්‍රිය වී ආහාර අවශෝෂණය නවතා දමයි. (රූප සටහන 2). මේ Bt ජාන මඟින් පළිබෝධ නාශක භාවිතය කැපී පෙනෙන ලෙස අඩු කළ හැකි බව පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක මඟින් මිනිසුන් ගේ සෞඛ්‍යයට හා පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් ද කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.

තව ද වල්නාශක සඳහා ඔරොත්තු දෙන ශාක වර්ග ද නිපදවා ඇත. Roundup read වැනි වාණිජ නම් දරන මේ ශාක වර්ගවල ගලයිෆොසේට්‌ නම් වල් නාශකයට සංවේදී EPSP synthase නම් එන්සයිමයට අදාළ ජානය වෙනස්‌ කර ඇත. ඉහළ වල්නාශක සාන්ද්‍රණවලට ඔරොත්තු දෙන නිසා, වල් මර්දනය සදහා වැඩි සාන්ද්‍රණයකින් වල්නාශක භාවිත කළ හැකි වී ඇත.

සෞඛ්‍ය හා පාරිසරික බලපෑම්

ජාන ඉංජිනේරු විද්‍යාව අපට කෙතරම් ප්‍රයෝජනවත් වුවත්, මිනිසා බිහි කළ සෙසු තාක්‍ෂණ සේ ම ඒ හා සැබැඳුණු අහිතකර බලපෑම් හා ප්‍රතිඵල රාශියක්‌ ඇත. රසායනාගාර තත්ත්ව හෝ සංවෘත පද්ධති තුළ භාවිත කරන ජාන වෙනස්‌ කළ ජීවීන්ට වඩා ක්‌ෂේත්‍රගත කළ ජාන වෙනස්‌ කළ ජීවීන් ගේ සිදු වන සෞඛ්‍යමය හා පාරිසරික වෙනස්‌කම් සැලකිය යුතු ලෙස ඉහළ ය. විශේෂයෙන් ජාන වෙනස්‌ කළ බෝග ශාක සම්බන්ධව ඇති වන අහිතකර ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් කාලෝචිත ය.

සෞඛ්‍යයට අහිතකර විපාක

එක්‌ ජීවියකු තුළ ක්‍රියාත්මක වන වෙනත් ජීවියකු ගේ ජාන මඟින් හිතකර හා අහිතකර ප්‍රතික්‍රියා ඇති විය හැකි බවට සාධක පවතියි. ජාන නිරූපණ ක්‍රියාවලියේ සංකීර්ණ භාවය අනුව ජීවියකු තුළ ඇති A නම් පිටස්‌තර ජානය බලාපොරොත්තු වන ඒ ඒ සංයෝගය මෙන්ම එම ජීවීන් දෙදෙනා ගේ කායකර්මීය ක්‍රියාකාරිත්වයේ වෙනස්‌කම් මත අසම්පූර්ණ ජාන නිරූපනය මඟිsන් බලාපොරොත්තු නො වන ආකාරයේ ප්‍රෝටීන සංයෝග සෛල තුළ නිපදවීමේ සම්භාවිතාවක්‌ ඇත. මෙවැනි සංයෝග මානව සෞඛ්‍යයට අහිතකර විපාක (ආසාත්මිකතා) ඇති කළ හැකි බව අනුමාන කෙරෙයි. ජානය නිරූපණය කරන ජීවියා ගේ (ශාකයේ) හා ජානය ලබාගත් ප්‍රභවය (ජාන දායකයා) අතර පවතින පරිනාමික දුරස්‌ථභාවය මෙවැනි සංකූලතා ඇති කිරීමේ සම්භාවිතාව අඩු හෝ වැඩි හෝ කිරීමට බලපායි. සාමාන්‍යයෙන් එක ම විශේෂයක්‌ තුළ සිදු කරන ජාන සම්ප්‍රේෂණයකින් (සිස්‌ජෙනික්‌ ක්‍රමය) එවැනි අහිතකර සංයෝග ඇති වීමේ සම්භාවිතාව අවම වේ.

වැඩි පෝෂණයෙන් යුතු සෝයා බෝංචි සෑදීම සඳහා 'බ්‍රසිලියන් නට්‌' බෝගයෙන් ලබාගත් ප්‍රෝටීන සංශ්ලේෂක ජානයක්‌ (methionon) භාවිත කිරීමෙන් ලද අත්දැකීම හොඳ නිදර්ශකයකි. ඵම ජානය මඟින් සෝයා බෝංචි තුළ අසාත්මිකතා ඇති කරන සංයෝග ඇති වන බව පසුව සොයාගැනීමෙන් අනතුරු ව මේ ජාන වෙනස්‌ කළ ශාක වෙළෙඳ පොළෙන් ඉවත් කරන ලදි. Starlink corn (ඉරිඟු) සම්බන්ධව ද මේ සමාන තත්ත්වයක්‌ ඇති විය. ජානය වෙනස්‌ කර වඩා ස්‌ථායි Bt ප්‍රෝටීන සාදන Starlink ඉරිඟු සත්ත්ව ආහාර සඳහා පමණක්‌ අනුමත කරන ලදි. ඵසේ නමුත් මිනිස්‌ පරිභෝජනය සඳහා යොදාගත් ඉරිඟු තුළ ද පසුකාලීනව මේ ප්‍රෝටීන සොයාගැනීම නිසා මේ බෝගය ද වෙළෙඳ පොළෙන් ඉවත් කරන ලදි.

සෞඛ්‍යයට බලපාන තවත් කරුණක්‌ වනුයේ ජාන වෙනස්‌ කළ හොත් පවතින නියමිත ජානයට අමතරව එකතු වන සලකුණු ජානයයි (marker gene). මෙය ද ජාන කිටුවට ඇතුළත් කර ඇති පිටස්‌තර ජානයක්‌ වන අතර එමඟින් ද අහිතකර ප්‍රතිඵල ඇති කිරීමේ යම් සම්භාවිතාවක්‌ වේ යෑයි අනුමාන පවතියි. මේ වන විට මේ සලකුණු ජානය ඉවත් කිරීමේ ක්‍රමවේද දියුණු කර ඇති නිසා නුදුරු අනාගතයේ නිපදවන ජාන වෙනස්‌ කළ ශාක බොහොමයක මේ සලකුණු ජාන අවදානම නො පවතිනු ඇත.

පරිසරයට වන අහිතකර විපාක

ඉහත සඳහන් කළ සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ඇති වන්නේ ජාන වෙනස්‌ කළ ආහාර ශාක පරිභෝගිකයන් වෙත ය. එම ආහාර පරිභෝජනය කරනවා දැයි පරිභෝජකයාට තීරණය කළ හැකි ලෙස එම ආහාර අඩංගු අසුරණයේ ජාන වෙනස්‌ කළ බව දැක්‌වීමට අප රටේ නීති පනවා ඇත. එක්‌සත් ජනපදය ද මේ සඳහා පියවර ගනිමින් සිටියි. ඒ අනුව ජාන වෙනස්‌ කළ ආහාර බෝගවල ගුණාගුණ පුද්ගලානුබද්ධ ප්‍රශ්නයක්‌ වේ. එසේ නමුත් ජාන වෙනස්‌කම් නිසා පරිසරයට වන හානිය ඊට වඩා කීප ගුණයකින් ඉහළ අතර ප්‍රතිවර්ත කිරීමට අපහසු පොදු ප්‍රශ්නයකි.

කෘමී හානි හා ව්‍යාධිකාරක ප්‍රතිරෝධී (insects and pathogen resistant) ජාන ඇති ශාක ක්‌ෂේත්‍රයේ වගා කළ විට එකි ඉලක්‌කගත ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක්‌ එල්ල වේ. එහි ප්‍රතිඵල ලෙස කෙටිකාලීනව කෘමීන් හා ව්‍යාධිකාරකයන් විශාල ලෙස මිය යන මුත් ස්‌වාභාවික ව ම එම තර්ජනයට ඔරොත්තු දෙන කෘමීන් හෝ ව්‍යාධිකාරකයන් කීප දෙනකු ඉතිරි වී ඔවුන් මඟිsන් ප්‍රතිරෝධී ජීවි ගහනයක්‌ ඇති වීම ස්‌වාහාවිකව සිදු වන දෙයකි. එම ප්‍රතිරෝධී ජීවි ගහනවලට ජාන වෙනස්‌ කළ ශාක මත යෑපීමට හැකි වීමත් සමඟ ජාන වෙනස්‌ කළ ශාකවල උපයෝගීතාව හීන වේ. එනම් නැවත ප්‍රබල ක්‍රියාකාරී කෘෂි පළිබෝධ භාවිතයට යා යුතු තත්ත්වයක්‌ දීර්ඝකාලීනව නිර්මාණය වේ.

ජාන වෙනස්‌ කළ ශාක හේතුවෙන් කෘමි හා ව්‍යාධිකාරකයන් තුළ ප්‍රතිරෝධි ප්‍රභේද වර්ධනය අඩාළ කිරීම සඳහා ගන්නා එක්‌ ප්‍රධාන ක්‍රමවේදයක්‌ වන්නේ ජාන වෙනස්‌ කළ භෝග ප්‍රභේද සමග එසේ වෙනස්‌ නො කළ ප්‍රභේද යම් ප්‍රමාණයක්‌ වගා කිරීමයි. මෙය සරණාගත බෝගයක්‌ ලෙස හඳුන්වයි. කෘමීන් හා ව්‍යාධිකාරකයන් මේ සරණාගත බෝගය මත යෑපෙන නිසා ඔවුන් තුළ ප්‍රතිරෝධී ප්‍රභේදන ඇති වීම වැළැක්‌වීම මෙහි අරමුණයි. ජාන වෙනස්‌ නො කළ ප්‍රභේද කොපමණ ප්‍රතිශතයක්‌ වගා කළ යුතු දැයි යන්න භෝග ප්‍රභේදය, කෘමි/හානියේ ප්‍රමාණය හා ඔවුන් ගේ ජෛව නම්‍යශීලීභාවය යන සාධක මත රඳා පවතියි. උදාහරණයක්‌ ලෙස Bt බඩඉරිඟු සමග එසේ ජාන වෙනස්‌ නො කළ බඩඉරිඟු 5%-10% ප්‍රමාණයක්‌ වගා කිරීම ඇමෙරිකාවේ සිදු කෙරෙයි. මේ ක්‍රමයේ තිරසර බව පිළිබඳව ප්‍රශ්නාර්ථයක්‌ පවතියි. මන්ද යත් Bt සඳහා ප්‍රතිරෝධී කෘමි විශේෂ 2ක්‌ මේ වන විට ඇමෙරිකාවේ ඇති වී ඇති නිසා ය.

කෘමි හා ව්‍යාධිකාරක ප්‍රතිරෝධි ජාන යොදා ගැනීමේ දී පැනනඟින තවත් සංකූලතාවක්‌ වන්නේ ප්‍රාථමික කෘමි/ව්‍යාධිකාරකයන් ඉවත් වන විට ද්විතීයික කෘමි/ව්‍යාධිකාරකයන් ගේ හානිය වැඩි වීමයි. ඒ සඳහා පළිබෝධනාශක භාවිත කිරීම හෝ ජාන කීපයක්‌ ඇතුළත් කළ (gene stacked) බෝග ප්‍රභේද නිපදවීම සිදු කර ඇත. උදාහරණයක්‌ ලෙස Bollguard II නම් සන්නනාමය සහිත බෝගවල Cry1 සහ Cry2 යන Bt ජාන ද්විත්වය ඇත. එමඟින් ප්‍රාථමික හා ද්විතීයික කෘමි/ව්‍යාධිකාරයකයන් ද පාලනය කරයි. එසේ නොහැකි අවස්‌ථාවල දී කෘමිනාශක හා පළිබෝධ නාශක භාවිතය නිර්දේශ කරයි.

ජාන කීපයක්‌ ඇතුළත් කළ විට දී ප්‍රතිරෝධී කෘමි/ව්‍යාධිකාරයකයන් වැඩි ප්‍රමාණයක්‌ ඇති වීමේ සම්භාවිතාවක්‌ පවතියි. කෘමි/ව්‍යාධිකරක ප්‍රතිරෝධි ජාන භාවිත කිරීමේ දී හිතකර ජීවීන් ගේ පැවැත්මට ඇති වන තර්ජන ගැන ද සලකා බැලිය යුතු ය. Bt වැනි කෘමි ප්‍රතිරෝධි ජාන පරාගවල පවා නිරූපනය වේ. මේ පරාග සෙසු ශාක මත තැන්පත් වීම හේතුවෙන් ඒ මත ජීවත් වන ජීවීන් ද මේ පරාග අනුභවය නිසා වැනසී යැමට හැකි ය.

කෘමි හා ව්‍යාධිකාරකයන්ට ප්‍රතිරාaධී ජාන සහිත ශාක වගා කළ විට එම විශේෂයේ සෙසු ප්‍රභේද වෙත කෘමීන් ගේ හා ව්‍යාධිකාරකයන් ගෙන් එල්ල වන තර්ජනය වැඩි වීම තවත් ප්‍රතිඵලයකි. එවිට එම ප්‍රභේද ක්‍රම ක්‍රමයෙන් වඳ වී යන තත්ත්වයට පත් විය හැකි ය. උදාහරණයක්‌ ලෙස Bt ජානය සහිත කපු ශාක වගාවන් නිසා ස්‌වාභාවික කපු ශාක ප්‍රභේද වඳ වී යැමට පටන්ගෙන ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ. තව ද මේ පාරම්පරික ප්‍රභේද අභිබවමින් ගොවීන් ආර්ථිකව ලාභදායි ජාන වෙනස්‌ කළ ප්‍රභේද වැවීමට යොමු වීම මෙයට තවත් එක්‌ හේතුවක්‌ වී ඇත. මෙලෙස පාරම්පරික ප්‍රභේද වඳ වී යන විට ඒ සමග ම එම බෝගයේ ඇති ජාන විවිධත්වය ක්‍ෂය වී යයි. අප රටේ වී වැනි ශාකයක්‌ ගත් විට එහි පාරම්පරික ප්‍රභේද 100 ගණනක්‌ ඇති අතර ඒවා තුළ සුවිශේෂ ජාන විවිධත්වයක්‌ ඇත. අප රටේ පවතින වී වගාවට හානි කරන කෘමි රෝග 2ක්‌ සඳහා අවශ්‍ය ප්‍රතිරෝධී ජාන ලබාගෙන ඇත්තේ මේ පාරම්පරික ප්‍රභේද තුළිනි. වී වගාවට හානි පමුණුවන ජීවි හා අජීවි සාධකවලට මුහුණ දීමට අවශ්‍ය ජාන රාශියක්‌ අප ගේ පාරම්පරික වී ප්‍රභේද තුළ ඇත. එහෙත් ඒවා වඳ වී ගිය හොත්, එම ජාන ද සම්පූර්ණයෙන් නැති වී යනු ඇත. වී ශාකය අනාගතයේ වැඩි දියුණු කිරීමේ විභවය මේ සමග ක්‍ෂය වේ.

වල්නාශකවලට ඔරොත්තු දෙන ජාන ඇතුළු කළ බෝග ශාක භාවිතයේ දී ද ඉහත ආකාරයෙන් වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීමේ සම්භාවිතාව ඉහළ යයි. වල්නාශක ප්‍රතිරෝධී බෝග ශාක හේතුවෙන් අධික සාන්ද්‍රණවලින් වල්නාශක යෙදීමට ගොවියා පෙලඹේ. මෙය වල්නාශක ප්‍රතිරෝධි වල් පැළෑටි ඇති වීම ප්‍රවර්ධනය කරයි. මෙලෙස ප්‍රතිරෝධී වල් ගහන පාලනය කළ නොහැකි ලෙස පැතිරීම කාලයත් සමග සිදු විය හැකි ය. තව ද වල්නාශක අධික ප්‍රමාණවලින් භාවිත කිරීම හේතුවෙන් යාබද ක්‌ෂේත්‍රවල ඇති බෝග වර්ධනය සඳහා ද බලපෑම් ඇති විය හැකි ය. එහි ප්‍රතිපලය වන්නේ යාබද ක්‌ෂේත්‍රවල වගාව අතහැරීම හෝ එම ක්‌ෂේත්‍රවල ද වල්නාශක ප්‍රතිරෝධී ජාන සහිත බෝග වගා කිරිමට සිදු වීමයි.

ජාන සම්ප්‍රේෂණය

යම් බෝගයකට ඇතුළු කළ පිටස්‌තර ජානය එම බෝග ප්‍රභේදයෙන් පිටතට සම්ප්‍රේෂණය වීම අවිධිමත් ජාන සම්ප්‍රේෂණය ලෙස හඳුන්වයි. මෙය තිරස්‌ ආකාර ජාන සම්ප්‍රේෂණය (hori'ontal gene transfer) හා සිරස්‌ ආකාර ජාන සම්ප්‍රේෂණය (vertical gene transfer) යෑයි මෙහි ප්‍රධාන ක්‍රම 2කි. තිරස්‌ ජාන සම්ප්‍රේෂණය මඟින් එම විශේෂයේ ම වෙනත් ප්‍රභේද කරා ජාන සම්ප්‍රේෂණය දැක්‌විය හැකි ය. ජාන වෙනස්‌ කළ ශාකයක පරාගයක්‌ එසේ නො කළ ශාකයක පුෂ්පයක තැන්පත් වීමෙන් ඇති වන ඵලයෙන් හටගන්නා ශාකවල පිටස්‌තර ජානය ඇතුළත් වේ. පිටස්‌තර ජානයේ වාසිය ලබාගන්නා එම ශාක සෙසු ප්‍රභේද පරදවමින් ව්‍යාප්ත වීම මේ මඟින් ඇති වන අහිතකර ප්‍රතිඵලයකි. අප රටේ වී ශාකය ගත් විට එය ස්‌වපරාගණය සිදු වන ශාකයකි. එසේ නමුත් 100 m පමණ පරතරයක්‌ ඇති ශාක අතර 0.01% පරපරාගණය සිදු වීම නිසා වීවල ද තිරස්‌ ජාන සම්ප්‍රේෂණය සිදු විය හැකි ය. මෙහි ඉතා අහිතකර ප්‍රතිඵල සහිත ක්‍රියාවලියක්‌ වන්නේ වල්නාශක ප්‍රතිරෝධී ජානය දැනටමත් දැඩි ප්‍රශ්නයක්‌ බවට පත් වී ඇති වල් වී ප්‍රභේද වෙත සංක්‍රමණයයි. පරපරාගණය සිදු වන ශාකවල මේ සම්ප්‍රේෂණය ඉතා වැඩි ය. ඇමෙරිකාවේ උතුරු ඩකොටාහි 2010 දී කළ පර්යේෂණයකින් හෙළි වූයේ එහි ඇති වල් කැනෝලා (අබ පවුලට අයිති) ශාකවලින් 80්‍රකට ම වල්නාශක ප්‍රතිරෝධී ජානය සම්ප්‍රේෂණය වී ඇති බවයි.

මෙලෙස ජාන සම්ප්‍රේෂණය වැළැක්‌වීම සඳහා නිර්දේශිත ක්‍රමය වන්නේ ජාන වෙනස්‌ කළ බෝග වෙන් කර, පරාග ගමන් නො කරන දුරකින් එහි පාරම්පරික ප්‍රභේද නො පිහිටන ලෙස වගා කිරීමයි (රූපය). එහෙත් මෙය ප්‍රායෝගිකව කෙතරම් දුරට අප රටේ සාර්ථක වේ දැයි කීමට විද්‍යාත්මක සාක්‍ෂි නොමැත. ඊට අමතරව බීජ ඇට (වී) මඟින් ජාන සම්ප්‍රේෂණය සිදු විය හැකි ය. මිනිසුන් මෙන්ම කුරුල්ලන් හා කුඩා ක්‍ෂීරපායි සතුන් මඟින් වී ඇට වෙනත් ප්‍රදේශ කරා ප්‍රචාරණය වී එමඟින් අසල ඇති පාරම්පරික ප්‍රභේද වෙත ජාන ගමන් කළ හැකි ය.

බීජල ආහාර හා පාරිසරික සුරක්‌ෂිතතාව

ශ්‍රී ලංකාව ඉතා කුඩා දිවයිනකි. එහෙත් අප රට සතු ව විශාල ජෛවවිවිධත්වයක්‌ පවතියි. එසේ ම වී ප්‍රධාන කොට ගත් බෝග වර්ග රාශියක වල් දර්ශ හා පාරම්පරික ප්‍රභේද රාශියක්‌ අප රට තුළ ඇත. ඉහළ ජෛවවිවිධත්වය හා සබැඳුණ ඉතා සංවේදී පරිසර පද්ධති අප රටේ ඇත. පිටස්‌තර ජාන සහිත බෝග වගා කිරීම හේතුවෙන් අප ගේ අනභිභවනීය ජෛවවිවිධත්වයත් විශේෂයෙන් බෝග ආශ්‍රිත ජාන විවිධත්වයත් වැනසී යැමේ තර්ජනයක්‌ පවතින බව පෙනේ.

ජාන වෙනස්‌ කළ බෝග සම්බන්ධ තවත් අමිහිරි සත්‍යයක්‌ නම් ඒවායේ බෝග අයිතිය ඇත්තේ කෘෂිරසායනික නිෂ්පාදනය කරන සමාගම් සතු ව බව ය. ඉන්දියාවේ ප්‍රථමයෙන් Bt කපු වගාව ආරම්භ කළේ අනවසරයෙන් වන අතර ඉන්පසු එයට නීත්‍යනුකූලව අවසර දීමට රජයට සිදු විය. ඒ ගොවි ජනතාව ගෙන් එල්ල වූ බලපෑම් නිසාවෙනි. අප ගේ ගොවි ජනතාව ද මේ තත්ත්වයට උපයාශීලීව යොමු කරවීමේ හැකියාවක්‌ පවතියි. ඒ නිසා ගොවිජනතාව දැනුවත් කිරීම ද ඉතා අවශ්‍ය වේ.

ජාන වෙනස්‌ කළ ශාක කෙටිකාලීනව ඉහළ ආර්ථික වටිනාකමක්‌ ලබා දෙයි. මේ හේතුව නිසා ගොවි ජනතාව නිතැතින් ම මේ සඳහා යොමු වීම වැළැක්‌වීම ඉතා අපහසු වනු ඇත. කලක්‌ එම ප්‍රභේදවලට හුරු වන විට අප ගේ පාරම්පරික ප්‍රභේද අභාවයට යනු ඇත. ජාන වෙනස්‌ කළ ශාක මිල දී ගැනීම සඳහා නිෂ්පාදන සමාගම වෙත යැමට ගොවියාට සිදු වේ. බෝග වැඩිදියුණු කිරීමට යොදාගන්නා ජාන සාමාන්‍යයෙන් බුද්ධිමය දේපළක්‌ වන නිසා පෙර කන්නයේ දී වගා කළ බෝගයේ බීජ මේ කන්නයේ දී වගා කිරිම නීති විරෝධී වේ. එහි දී අප රටේ බීජ හා ආහාර සුරක්‍ෂිතතාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ. අනවසරයෙන් Bt ජානය සහිත බෝග වැවීම හේතුවෙන් ඇමෙරිකාවේ හා කැනඩාවේ ගොවීන් රාශියකට එම ජානයේ පේටන්ට්‌ අයිතිය ඇති සමාගම් නඩු පවරා වන්දි අය කරගෙන ඇත.

අප රට වැනි දිවයින් වශයෙන් පවතින සියලු ම රටවල් ජාන වෙනස්‌ කළ බෝග වගා කිරීම හෝ සතුන් ඇති කිරීමට එරෙහි ව සම්බාධක පනවා ඇත. එංගලන්තය හා ජපානය මේ සඳහා හොඳ උදාහරණ වේ. එසේ ම පවතින ජාන වෙනස්‌ කළ ජීවීන් ගේ හානි ඇගයීමේ ක්‍රමවේදයන්හි ද (risk
assessment) සැලකිය යුතු අඩුපාඩු පවතින බව පෙනේ. එවැනි බෝග වගාවන් සඳහා අවසර දීමේ දී එම බෝගයන් සංවර්ධනය කළ ආයතනය මඟින් ලබා දෙන ආරක්‍ෂණ හා නිරෝධායන දත්ත මත තීරණ ගන්නා බව පෙනෙන්නට තිබේ.

1992 රියෝ ද ජැනිරෝහි ජෛවවිවිධත්ව ප්‍රඥප්තිය සහ 2006 ජෛව සුරක්‌ෂිතතාව පිළිබඳ කාටීජිනා ප්‍රඥප්තියට අප රට අත්සන් තබා ඇත. එහෙත් අප රටේ මේ වන විට ජාන වෙනස්‌ කළ ජීවීන් සම්බන්ධව ඇති එක ම නීතිය වන්නේ එවැනි ආහාර ජාන වෙනස්‌ කළ ප්‍රභවයන් ඇසුරින් නිපදවා ඇති බව ලේබලයේ දක්‌වා තිබිය යුතු බව කියවෙන 2006 අගෝස්‌තු මස නිකුත් කළ ගැසට්‌ පත්‍රය පමණි. මේ බෝග වගාව හෝ ක්‌ෂේත්‍ර පර්යේෂණවලට අදාළ නීති රෙගුලාසිs තවම අප රටේ සම්පාදනය වී නැත.

මේ වන විට අප ගේ විශ්වවිද්‍යාල තුළ මේ ජාන වෙනස්‌ කිරීමේ ක්‍රමවේද සම්බන්ධ පර්යේෂණ ඉහළ මට්‌ටමකින් සිදු කෙරෙමින් පවතියි. එනම් අප සතු ව ජෛව තාක්‍ෂණය ඉහළ මට්‌ටමක ඇත. එය ජාතියක්‌ වශයෙන් අප හට සතුටු විය හැකි ප්‍රගතිශීලි පියවරකි. පර්යේෂණාගාර තුළ සිදු කරන මේ ජාන වෙනස්‌ කිරීම් ක්‌ෂේත්‍රයේ අත්හදා බැලීමේ අවශ්‍යතාව නුදුරු දිනක දී ම උදා වනු ඇත.

ජාන ඉංජිනේරු විද්‍යාවෙන් බිහි කළ කෘෂි බෝග සම්බන්ධව මේ ක්‌ෂේත්‍ර පරීක්‍ෂණ සිදු කිරීමේ විධිමත් ක්‍රම පටිපාටියක්‌ ඉතා ඉක්‌මනින් අප රට තුළ ස්‌ථාපිත කළ යුතු ය. එමඟින් අප රටේ පාරම්පරික ප්‍රභේද ඇති බෝග ශාක සම්බන්ධව ජාන වෙනස්‌ කරමින් සිදු කරන ක්‌ෂේත්‍ර පර්යේෂණ දැඩි පාලනයකට යටත් කළ යුතු බව මා ගේ හැඟීමයි. නොඑසේ නම් ඉහත සඳහන් කළ ප්‍රතිවිපාකවලට අප ගේ අනාගත පරම්පරාවට මුහුණ දීමට සිදු වනු ඇත. මේ පාලනය සිදු කිරීමේ වගකීම පැවරෙන පාර්ශ්වයන් හඳුනා ගැනීමත්, වගකීම් කඩ කිරීමේ දී දිය යුතු දඬුවම් පිළිබඳ වත් විධිමත් ලෙස දැක්‌විය යුතු ය. ජාන වෙනස්‌ කළ ශාක අනවසරෙන් හෝ අතපසු වීමෙන් පරිසරයට මුදා හළ අවස්‌ථාවල දී ගත යුතු හදිසි තාක්‌ෂණික පියවර හා එහි වගකීම දැරිය යුතු පාර්ශ්වයන් හඳුනාගැනීම තවත් වැදගත් කාර්යයකි. මේ සියලු කටයුතු පාලනය හා නියාමනය සඳහා විද්වතුන් ගෙන් සුසැදි බල අධිකාරියක්‌ ස්‌ථාපනය කිරීමේ දැඩි අවශ්‍යතාවක්‌ අප රටට උද්ගත වී ඇත. එවැනි බල අධිකාරියක ඒකායන අරමුණු විය යුත්තේ කෙටිකාලිSන වාසි තකා දිගුකාලීන ගැටලු ඇති කරන ජෛව තාක්‍ෂණික යෙදවුම් පාලනය කිරීම විනා පර්යේෂණික හා තාක්‍ෂණික සාක්‌ෂරතාවට අකුල් හෙළීම නො වන බව අවධාරණය කළ යුතු ය.

ආචාර්ය ප්‍රසාද් සේනාධීර
ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය