logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ලෝක මට්‌ටමේ නව නිපැයුම් වේදිකාවක්‌
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම අපේක්‌ෂාවයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානයට මුල් ගල් තැබේ

අමල් උඩවත්ත

විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂෙත්‍රයේ සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතියක්‌ වන ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය පිහිටුවීම සඳහා මුල්ගල තැබීම පසුගිය දා හෝමාගම පිටිපන මාහේනවත්තේ දී සිදු කෙරිණි. අක්‌කර 50ක භූමිභාගයක ඉදි කෙරෙන මේ විද්‍යා උද්‍යානය අදියර 4කින් යුක්‌ත ය. මෙහි ප්‍රථම අදියරේ දී නැනෝ තාක්‍ෂණ පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ ඉදි කෙරෙන අතර ඒ සඳහා නවීන පර්යේෂණාගාරයක්‌, පුස්‌තකාලයක්‌, තාක්‍ෂණ වාණිජකරණ මධ්‍යස්‌ථානයක්‌, රැස්‌වීම් ශාලාවක්‌ සහ විද්‍යාඥයන් සඳහා නවාතැන් පහසුකම් ද ඇතුළත් වෙයි. මේ සඳහා රජය විසින් වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 829කි. දෙවැනි, තෙවැනි හා සිව්වැනි අදියර සංවර්ධනය කිරීම ප්‍රථම අදියරේ සාර්ථකත්වය මත සිදු කෙරෙනු ඇත.

මේ විද්‍යා උද්‍යානය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ ප්‍රයත්නයකි. මෙහි මුළු කොටස්‌වලින් සියයට 77ක්‌ රජය සතු වන අතර ඉතිරි කොටස්‌ සීමාසහිත මාස්‌ කැපිටල්, බ්‍රැන්ඩික්‌ස්‌, ඩයලොග්, ඇක්‌සියාටා, හේලීස්‌ සහ ලෝඩ්ස්‌ ස්‌ටාර් යන පෞද්ගලික සමාගම් සතු වෙයි. එදින පැවැති උත්සවයේ දී විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා අදහස්‌ දක්‌වමින් "ශ්‍රී ලංකාව ඉහළ තාක්‍ෂණික කාර්මීකරණයක්‌ තුළින් ආර්ථික සංවර්ධනයක්‌ ලබා ගැනීම සඳහා ජාතික විද්‍යා පදනමේ සහාය ඇති ව වර්ෂ 2006 දී මම විද්‍යා තාක්‍ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී තමයි ජාතික නැනෝ තාක්‍ෂණ වැඩසටහන ක්‍රියාත්මක කළේ. විද්‍යා උද්‍යානයෙන් බහු ශික්‍ෂණ පර්යේෂණ හා සංවර්ධන ක්‍ෂෙත්‍ර සඳහා මානව හා භෞතික සම්පත් උපරිමව හුවමාරු කර ගැනීමට ඉඩ සැලසෙනවා. සාමූහික ඉහළ ජයග්‍රහණයක්‌ ලබා ගැනීම සඳහා පර්යේෂණ ව්‍යවසායකයන් සහ උගතුන් එක ම ස්‌ථානයක්‌ කරා ගෙන ඒමට මෙයින් හැකි වනවා.

ඉහළ වෘත්තීය නිපුණතාවක්‌ ඇති විද්‍යාඥයන් පිරිසක්‌ විසින් කළමනාකරණය කෙරෙන හා මෙහෙයවනු ලබන නවීන තාක්‍ෂණ උපකරණවලින් යුත් උසස්‌ විද්‍යාගාර ගණනාවක්‌ මේ විද්‍යා උද්‍යානයේ නිර්මාණය කෙරෙනවා" යනුවෙන් පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (SඛෂභඔEC) සභාපති දේශමාන්‍ය මහේෂ් අමලින් මහතා "අප ගේ දර්ශනය වන්නේ නව නිපැයුම් සඳහා ලෝක මට්‌ටමේ වේදිකාවක්‌ සකස්‌ කර ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධානතම නැනෝ තාක්‍ෂණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රයක්‌ බවට පත් කිරීමයි. මෙයින් ජාතික ආර්ථික සංවර්ධනය නැංවීමට හැකි වෙනවා. මේ වන විටත් ඇඟලුම් සහ පේෂකර්මාන්ත තේ, රබර්, සක්‍රීය කාබන් සහ ඉහළ වටිනාකමක්‌ ඇති ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත රැසක්‌ ශ්‍රී ලංකාව සතු වෙනවා. විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂෙත්‍රවල නිපුණ හා පූර්ණ පිරිස්‌ බිහි කළ හැකි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක්‌ ශ්‍රී ලංකාව සතු වෙනවා. ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණය, ජීව තාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය, මෙගාට්‍රොනික්‌ස්‌ තාක්‍ෂණය, නැනෝ තාක්‍ෂණය වැනි තාක්‍ෂණ ලෝකයේ මතු වෙන කොට අපි රටක්‌ වශයෙන් ඒ තාක්‍ෂණ ක්‍රමවේද ගැන උනන්දුවක්‌ දැක්‌වූයේ නෑ. ජපානය සියයට 85කට වඩා උසස්‌ තාක්‍ෂණයෙන් යුත් භාණ්‌ඩ පිට කරනවා. කොරියාව සියයට 70ක්‌ පමණ. සිංගප්පූරුව සියයට 60ක්‌. ඒත් ලංකාව සියයට 2ක්‌ පමණයි. මේ තත්ත්වය ඉහළ නංවන්න නම් අපේ රටේ තිබෙන ස්‌වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා අද මුල්ගල තැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය ප්‍රධාන සන්ධිස්‌ථානයක්‌ වනවා" යෑයි පැවසී ය.