logo3.gif (702 bytes)

HOME


අපේ ප්‍රවාද
දේව අංශුව, ප්‍රථම හේතුව හා දේව ගුණය

බොහෝ විට හිග්ස්‌ බෝසෝනයට දේව අංශුව යන නම දෙන්නට ඇත්තේ බටහිර ජනමාධ්‍යවේදියකු විය යුතු ය. ඒ නම දුන් තැනැත්තා ද, බටහිර විද්‍යාඥයන් ද අයත් වන්නේ එක ම සංස්‌කෘතියට ය. බටහිර භෞතික විද්‍යාඥයන් එය තම ඊනියා ශාස්‌ත්‍රීය ලිපි ලේඛනවල දේව අංශුව නමින් සඳහන් නො කරනවා විය යුතු ය. ඔවුන් සමහරකු අදේවවාදීන් විය හැකි ය. එහෙත් ඔවුන් හිග්ස්‌ බෝසෝනය දේව අංශුව ලෙස හැඳින්වීම ගැන බලවත් විරෝධයක්‌ දක්‌වන්නේ යෑයි සිතිය නො හැකි ය.

හිග්ස්‌ බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්‌ම කළ තැනැත්තා බටහිර ජනමාධ්‍යවේදියකු වුව ද නො වුව ද ඔහු අනිවාර්යයෙන් ම බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි හැදුණු වැඩුණු තැනැත්තකු විය යුතු ය. ඔහු බටහිර භෞතික විද්‍යාව ගැන එතරම් දෙයක්‌ දැන සිටියත් නැතත් ඔහුට ඒ සංස්‌කෘතිය ගැනත් හිග්ස්‌ බෝසෝනයෙන් සිදු වන කාර්යය ගැනත් මනා අවබෝධයක්‌ ඇති අයකු විය යුතු ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට ප්‍රසිද්ධියේ කිව නොහැකි දෙයක්‌ ඔහු ප්‍රසිද්ධියේ කියා එය ලොවට ම, එනම් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි නො වන ලොවත් ඇතුළත් මුළු ලොවට ම, දායාද කර ඇත.

බටහිර භෞතික විද්‍යාව බටහිර විද්‍යාවන් අතර වියුක්‌ත ම මෙන් ම බෙහෙවින් වර්ධනය වූ ද විද්‍යාව වෙයි. එබැවින් ම එය ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ද යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ද ඉහළ ම නිෂ්පාදිතයක්‌ වෙයි. එසේ ම එහි ඒ චින්තනයෙහි හා සංස්‌කෘතියෙහි ප්‍රධාන ලක්‍ෂණ ද විදහා දැක්‌වෙයි. හිග්ස්‌ බෝසෝනයට දේව අංශුව යනුවෙන් නම් කළේ කවුද යන්න දැනගැනීමට අපට අවශ්‍ය නො වේ. එහෙත් ඔහු එසේ නම් කිරීමෙන් කර ඇත්තේ කුමක්‌ ද? ඉතා පැහැදිලිව ඔහු ගිහ්ස්‌ බෝසෝනයට දේව ගුණ ඇති බව වටහාගෙන ඇත.

ඔහුට බටහිර භෞතික විද්‍යාඥයන්ට වඩා හොඳ වැටහීමක්‌ ඒ සම්බන්ධයෙන් ඇති බව පැහැදිලි ය. අපි මෙහි කතා කරන දේව ගුණ කවරේ ද? බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි දෙවියන් වහන්සේ තමන් වහන්සේ හැරෙන්නට සියල්ල මැවූ හ. ඒ සංස්‌කෘතියෙහි දෙවියන් වහන්සේ මවනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න නො කියෑවෙයි. එසේ ම දෙවියන් වහන්සේට උන්වහන්සේ සතු යෑයි කියන ගුණ ලබා දුන්නේ කවුරුන් විසින් ද යන්න ද නො කියෑවෙයි. දෙවියන් වහන්සේ අඩු ම තරමින් තමන් වහන්සේ විසින් මවන ලද බවක්‌ වත් බයිබලයේ වත් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි වෙනත් ආගමික ලියවිල්ලක වත් සඳහන් නො වෙයි. දෙවියන් වහන්සේ මැවීමට සුපිරි දෙවියන් වහන්සේ කෙනකු සිටිය හැකි නො වේ.

සුපිරි දෙවියන් වහන්සේ කෙනකු ඇතැයි උපකල්පනය කිරීමෙන් ප්‍රශ්නයේ කෙළවරක්‌ දැකිය නො හැකි ය. එවිට ප්‍රශ්නය වනුයේ ඒ සුපිරි දෙවියන් වහන්සේ මවන ලද්දේ කා විසින් ද යන්න ය. ඒ ප්‍රශ්නවල කෙළවරක්‌ නැත. එබැවින් එක්‌ මැවුම්කරුවකු ගෙන් ප්‍රශ්නයේ කෙළවරක්‌ දැකීමට බටහිරයන් කල්පනා කළා විය හැකි ය. කිසිවකු දෙවියන් වහන්සේ මවා නැත. දෙවියන් වහන්සේ ඕපපාතිකව පහළ වී ද නැත. දෙවියන් වහන්සේ සදාකාලික ද නො වේ. දෙවියන් වහන්සේ කාලය මවා ඇත්තේ ලෝකය මැවීමත් සමග ය. එබැවින් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි කාලයට ද ආරම්භයක්‌ නැත. කාලය මැවීමට පෙර කුමක්‌ සිදු විණි ද යන ප්‍රශ්නය පවා යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඇසිය නො හැකි ය. එයට හේතුව පෙර යන සංකල්පය වලංගු වන්නේ කාලය යන්න මැවීමෙන් පසුව බැවිනි.

කාලය මැවීමට පෙර යන්න අර්ථ විරහිත ප්‍රකාශයක්‌ පමණකි. එබැවින් දෙවියන් වහන්සේ සදාකාලික වන්නේ නම් එසේ වන්නේ කාලය මැවීමෙන් පසුව ය. අවශ්‍ය නම් කාලය මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ සදාකාලික යෑයි කිව හැකි ය. කෙසේ වෙතත් මවනු නො ලැබූ දෙවියන් වහන්සේ කාලය ද ඇතුළු අන් සියල්ල මවා ඇත. එසේත් නැත්නම් ඇතැම් දේ මවා ඉතිරි සියල්ල මැවෙන්නට සලස්‌වා ඇත. ඒ දේව ගුණයයි.

අප බොහෝ විට කියා ඇති ආකාරයට නූතනත්වය ආරම්භ වීමෙන් පසු බටහිර භෞතික විද්‍යාව ඇතුළු සියලු බටහිර දැනුම බටහිරයන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පදනම් කර ගනිමිනි. කතෝලික නො වන ක්‍රිස්‌තියානි ආගම් ද නිර්මාණය කෙරී ඇත්තේ එම චින්තනයෙහි ය. ආගමක්‌ වුව ද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියක ය. (යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ඇති වීමට පෙර ක්‍රිස්‌තියානි ආගම් නො තිබුණ ද අපි එහි ඇති ලක්‍ෂණ හේතු කොටගෙන එය ඒ නමින් හඳුන්වමු.) ආගමක්‌ පමණක්‌ නො ව වෙනත් දැනුමක්‌ වුව ද නිර්මාණය කරනු ලැබීමෙන් පසු ඒ ආගම හෝ දැනුම හෝ අදාළ සංස්‌කෘතිය විසින් වෙනස්‌ කරනු ලැබෙයි. එය අපට ප්‍රශ්නයක්‌ නො වේ.

එවැනි ප්‍රකාශ ප්‍රශ්නයක්‌ වන්නේ චක්‍රීය චින්තනයක නො ව ඒක රේය චින්තනයක ය. ඒක රේය චින්තනයක පටන්ගැන්මක්‌ ඇත. එහි ප්‍රථම හේතුවක්‌ ඇත. ඒක රේය චින්තනයෙහි එක්‌ තැනකින් පටන්ගෙන රේඛාවක්‌ (මේ සඳහා ඕනෑ ම විවෘත වක්‍රයක්‌ සැලකිය හැකි ය) දිගේ මෙන් එකින් එකක්‌ ඇති වී පළමුවැන්න දෙවැන්නෙහි හේතුවක්‌ වී ගලා යන පිළිවෙළක්‌ වෙයි. සැම දෙයකට ම හේතුවක්‌ ඇතැයි කීවත් ප්‍රථම හේතුවට හේතුවක්‌ නැත. ප්‍රථම හේතුවට ද හේතුවක්‌ වේ නම් එය ඊනියා ප්‍රථම හේතුව විය නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි හා ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ප්‍රථම හේතුවක්‌ ඇත. මෙය එම චින්තනයෙහි පමණක්‌ නො ව රේය චින්තනයක ලක්‌ෂණයකි.

එයට හේතුව රේය චින්තනයෙහි ආරම්භක ලක්ෂ්‍යයක්‌ වීම ය. ඒ ආරම්භක ලක්ෂ්‍ය සැම දෙයක ම ආරම්භය වෙයි. එහෙත් චක්‍රීය චින්තනයක ආරම්භයක්‌ නැත. එය සංවෘත වක්‍රයක මෙන් ම එක්‌ තැනකින් ආරම්භ නො වෙයි. සිංහල බෞද්ධ චින්තනය සංවෘත චින්තනයකි. එහි ආරම්භයක්‌ නැත. පටිච්චසමුප්පාදය ද සංවෘත චින්තනයක ක්‍රියාත්මක වෙයි. විශ්වයේ ආරම්භය හෝ අවසානය හෝ ගැන නො සිතන ලෙස බුදුන් වහන්සේ දේශනා කළ හ.

දෙවියන් වහන්සේ පැහැදිලිව ම එවැනි ප්‍රථම හේතුවකි. දෙවියන් වහන්සේ කෙනකු නිර්මාණය වන්නේ රේය චින්තනයක ය. දෙවියන් වහන්සේ අන් සියල්ලට ම හේතුව (උන්වහන්සේ නිර්මාපකයා ලෙස ගත් කල) නමුත් උන්වහන්සේ පහළ වීමට (මේ වචනය නිවැරැදි නො වේ. පහළ වන්නේ යම් තැනක ය. එහෙත් දෙවියන් වහන්සේ ලෝකය මැවූ හෙයින් එසේ පහළ වීමට තැනක්‌ නැත) හෝ ඇති වීමට හෝ වෙනත් යමකට හෝ හේතුවක්‌ නැත. ප්‍රථම හේතුවට හේතුවක්‌ නැත.

දෙවියන් වහන්සේ පිළිබඳ කතාව බටහිර නිර්මාණය වූවක්‌ නො වන බව ද අමතක නො කළ යුතු ය. එහි උපත පලස්‌තීනය හා ඒ අවට වෙයි. පලස්‌තීනය හා අවට වාසය කළ ජනතාවට තිබි ඇත්තේ රේය චින්තනයක්‌ සහිත සංස්‌කෘතියකි. යුදෙව් ආගම මෙන් ම ඉස්‌ලාම් ආගම ද ඒ සංස්‌කෘතියෙහි බිහි වී ඇත. ග්‍රීකයන්ට ද තිබී ඇත්තේ රේය චින්තනයකි. යුක්‌ලීඩීය ජ්‍යාමිතිය වැනි විෂයයක්‌ ග්‍රීසියේ බිහි වී ඇත්තේ එබැවිනි. යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයක්‌ වෙයි.

යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ආරම්භයේ දී ම ස්‌වසිද්ධි කිහිපයක්‌ වෙයි. එයට අමතර ව අර්ථදැක්‌වීම් කිහිපයක්‌ ද වෙයි. තලයක්‌ යන්න සරල රේඛාවලින් හා ලක්ෂ්‍යවලින් අර්ථ දැක්‌වෙයි. සරල රේඛාවක්‌ ලක්ෂ්‍යවලින් අර්ථ දැක්‌වෙයි. එහෙත් ලක්ෂ්‍යය අර්ථ දක්‌වන්නේ කෙසේ ද? එය සරල රේඛාවලින් අර්ථ දැක්‌විය නොහැක්‌කේ සරල රේඛා ලක්ෂ්‍යවලින් අර්ථ දක්‌වා ඇති බැවිනි. රේය චින්තනයක අර්ථ දැක්‌වීම ගැන සඳහන් කරන විට කියෑවෙන මූලික කරුණක්‌ නම් යමක්‌ දෙවැනි දෙයක්‌ ඇසුරෙන් අර්ථ දක්‌වා ඇත්නම් ඒ දෙවැන්න පළමුවැන්න ආශ්‍රයෙන් අර්ථ දැක්‌විය නො යුතු බව ය.

යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ලෂ්‍යයකට අර්ථ දැක්‌වීමක්‌ නැත. ලක්ෂ්‍යය යන්න අර්ථ නො දක්‌වන ලද ජ්‍යාමිතික (ගණිතමය) භූතාර්ථයකි. එය යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි සංකල්ප සම්බන්ධයෙන් වූ ප්‍රථම හේතුවක්‌ ලෙස සැලකිය හැකි ය. ලක්ෂ්‍යය එසේ අර්ථ නො දක්‌වන ලද භූතාර්ථයක්‌ ලෙස ගෙන අනෙක්‌ භූතාර්ථ ඒ ඇසුරෙන් අර්ථ දැක්‌වෙයි. ඒ අර්ථයෙන් ගත් කල මුළු යුක්‌ලීඩීය ජ්‍යාමිතිය ම අර්ථ නො දක්‌වන ලද දැනුම් පද්ධතියකි.

එසේ ම යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ස්‌වසිද්ධි (ඒවාට ප්‍රත්‍යක්‍ෂ යෑයි කියන නමුත් ඒ වැරැදි ය. ඒවා ප්‍රත්‍යක්‍ෂ නො වේ. ස්‌වසිද්ධි යන්න උචිත යෑයි සිතමි) සාධනය නො කරන ලද ප්‍රකාශ වෙයි. දෙන ලද සරල රේඛාවකට සමාන්තරව එම සරල රේඛාව මත නො පිහිටි ලක්ෂ්‍යයක්‌ ඔස්‌සේ ඇඳිය හැක්‌කේ එක ම එක සරල රේඛාවක්‌ ය යන්න යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි එක්‌ ස්‌වසිද්ධියකි. එය වෙනත් ස්‌වසිද්ධි යොදාගෙන සාධනය කළ හැකි නො වේ. බටහිර ගණිතඥයන් ඒ ස්‌වසිද්ධිය අනෙක්‌ ස්‌වසිද්ධි යොදාගෙන සාධනය කිරීමට උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත.

යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි දී කෙරෙන්නේ අර්ථ දැක්‌වීම් හා ස්‌වසිද්ධිවලින් ආරම්භ කර ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් යම් යම් ප්‍රකාශන ලබා ගැනීම ය. මේ ඇතැම් ප්‍රකාශනවලට ප්‍රමේය යනුවෙන් කියෑවෙයි. ප්‍රමේය සාධනය කෙරෙන නමුත් ස්‌වසිද්ධි සාධනය නො කෙරෙයි. එලෙස ගත් කල අදාළ ස්‌වසිද්ධි යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රථම හේතු කුලකයක්‌ ලෙස සැලකිය හැකි ය. මෙය යුක්‌ලීඩීය ජ්‍යාමිතියට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මුළු මහත් බටහිර ගණිතය ම ගොඩනැඟී ඇත්තේ ඒ ආකෘතියෙහි ය.

බටහිර ගණිතයෙහි ඕනෑ ම ක්‍ෂෙත්‍රයක කෙරෙන්නේ අර්ථ නො දක්‌වන ලද නිශ්ශුන්‍ය සංකල්ප කුලකයකින් හා සාධනය නො කරන ලද ස්‌වසිද්ධි කුලකයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ගණිතමය ප්‍රකාශ ලබා ගැනීම ය. ඒ ඇතැම් ප්‍රකාශවලට ප්‍රමේය යනුවෙන් කියෑවෙයි. ප්‍රමේය යනු වඩා සාධාරණ වූ ද ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වෙනත් ප්‍රකාශ ලබාගත (සාධනය කළ) හැකි වූ ද ප්‍රකාශ වෙයි. ඇරිස්‌ටෝටලීය න්‍යාය ද උද්ගමන පමණක්‌ බව අමතක නො කළ යුතු ය. මෙයින් පැහැදිලි වන කරුණ නම් බටහිර ගණිතයේ දී යමක්‌ සත්‍ය ද නැත් ද යන්න අර්ථ විරහිත බව ය. ස්‌වසිද්ධි සත්‍ය දැයි දන්නකු නැත. ඒ ගණිතමය වශයෙන් ද සාධනය නො කරන ලද ප්‍රකාශ වෙයි. ඒ හැරෙන්නට එහි අර්ථ නො දක්‌වන ලද සංකල්ප (ගණිතමය භූතාර්ථ) වෙයි.

දෙවියන් වහන්සේ, ගණිතය ආදිය රේය චින්තන මත පදනම් වී ඇත යන්නෙන් ඕනෑ ම රේය චින්තනයක දෙවියන් වහන්සේ කෙනකු ඇති විය යුතු ය යන්න නො කියෑවෙයි. එමෙන් ම ඕනෑ ම රේය චින්තනයක බටහිර ගණිතය බටහිර විද්‍යාව වැනි විෂය ඇති විය යුතු ය යන්න ද නො කියෑවෙයි. ග්‍රීකයන්ට දෙවියන් වහන්සේ කෙනකු නො වී ය. එමෙන් ම යුදෙව් චින්තනය ද රේය වූ නමුත් ඔවුන්ට ජ්‍යාමිතියක්‌ නො වී ය. ඇතැම් රේය චින්තනවල ඒ ඒ සංකල්ප, අදහස්‌, දැනුම් පද්ධති නිර්මාණය වෙයි.

ප්‍රථම හේතුවට හේතුවක්‌ නැත. එය දෙවියන් වහන්සේ මෙනි. හිග්ස්‌ බෝසෝනය දේව අංශුව ලෙස බෞතීස්‌ම කෙරුණේ කා අතින් වුව ද ඔහුට ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ගැන මනා අවබෝධයක්‌ තිබී ඇති බව පැහැදිලි ය. හිග්ස්‌ බෝසෝනය දෙවියන් වහන්සේ මෙනි. එය අනෙක්‌ බෝසෝනවලට ස්‌කන්ධය ලබා දෙයි. එනම් අනෙක්‌ අංශුවල ස්‌කන්ධය මවයි. එහෙත් එහි ස්‌කන්ධය නිර්මාණය කරන්නකු හෝ අංශුවක්‌ හෝ නැත. එයටත් වඩා දේව ගුණයක්‌ අංශුවකට තිබිය හැකි ද?

නලින් ද සිල්වා