logo3.gif (702 bytes)

HOME



මීළඟ සුනාමිය ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ද?

කොළඹ විශ්වවිද්‍යාලයීය රසායන විද්‍යා සංගමය විසින් පවත්වනු ලබන "2012 රසායන විද්‍යා දිනයට" සමගාමීව පළ වේ.

දෙ දහස්‌ හතරේ දෙසැම්බර් විසි පස්‌ වැනි දා උදා වීමට පෙර සුනාමිය ලාංකිකයන් කිසිවකු දැන සිටි සිද්ධියක්‌ නො වේ. සුනාමි තත්ත්වය ඇති වූ පසු එයට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි කිසිවකුත් දැන සිටියේ නැත. මෙතරම් අධික ජීවිත හානි ප්‍රමාණයක්‌ වාර්තා වීමට එයත් එක ප්‍රධාන හේතුවකි. ලාංකික ජන මනස තුළ ස්‌වාභාවික විපත් ලෙස සනිටුහන් වන්නේ නාය යැම්, ගං වතුර හෝ නියඟය ගැන පමණකි. අපේ පාසල් පොත පත පවා ලියෑවී තිබෙන්නේ මේ අදහස්‌ ළමයින් තුළට කාවද්දමිනි. එහෙත් දැන් තත්ත්වය වෙනස්‌ වෙමින් පවතින බව කිව යුතු ය. ගිනි කඳුවල මූලික අවධිය වන උණු දිය උල්පත් මෙන්ම සුළු භූමිකම්පා තත්ත්වයන් මෙරටින් ක්‍රමයෙන් වාර්තා වන අයුරක්‌ දක්‌නට ලැබේ.

මිනිස්‌ ක්‍රියාකාරකම් බොහොමයක්‌ ස්‌වාභාවික විපත් වර්ධනය කරන ආකාරයට සකස්‌ වී තිබීම කණගාටුවට කරුණකි. මෙයින් ඇති වන විනාශය පාලනය කර ගැනීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය වැනි ව්‍යqහ පිහිටුවීමට පවා සිදු වී ඇත. කාර්මීකරණය බොහෝ විපත්වලට මඟපාදයි. අධික කෘෂි රසායන භාවිතය, පොලිතීන් උවදුර, වායු දූෂණය, ප්‍රකාශ රසායනික ධූමිකාව, භූගත ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම හා කසළ අපහරණය විධිමත් නො වීම මින් කිහිsපයකි. වර්තමාන ආර්ථික සමාජීය සාධක සැලකිල්ලට ගැනීමේ දී මේ තත්ත්වයන් මුලින් උපුටා දැමීම කළ නො හැක්‌කක්‌ නමුත් සිදු වන විනාශය පාලනය කිරීම සහ මේ පිළිබඳ අවශ්‍ය තොරතුරු හා දැනුම සමාජගත කිරීම සිදුවිය යුතු ය.

මේ අරමුණ ඇති ව ළමයින් ගේ දැනුම වර්ධනය කිරීම හා ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට හැකි වන අයුරින් අ.පො.ස. උසස්‌ පෙළ විෂය නිර්දේශය යාවත්කාලීන කර පරිසර රසායන විද්‍යාව යටතේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය පිළිබඳ කරුණු ඇතුළත් කොට ඇත.

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ((e waste)

ඕනෑ ම විද්යුත් හෝ ඉලෙක්‌ට්‍රොනික උපාංගයක්‌ හේතුවෙන් ශේෂ වන අපද්‍රව්‍ය ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස හැඳින්වේ. දියුණු රටවල් අද මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය පත් ව ඇත. ඔවුන් මේ තත්ත්වය පාලනය කරනුයේ නො දියුණු රටවලට, පාවිච්චි කරන ලද උපාංග අපනයනය කිරීම ම`ගිනි. ශීඝ්‍ර තාක්‌ෂණික වෙනස්‌ වීම්, අඩු මූලික පිරිවැය මෙන්ම ඉක්‌මන් යල් පැනීම් හේතුවෙන් මේ අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතියි.

පෙර දිනයක අධි තාක්‌ෂණික උපාංගයක්‌, වසර කිහිපයක අවෑමෙන් පාරිසරික තර්ජන ඇති කරන කසළ ගොඩක්‌ බවට පත් වීම අද වන විට නතර කළ නො හැකි ව ඇත. උදාහරණයක්‌ ලෙස අති නවීන පරිගණකයක වුවත් උපරිම ආයු කාලය වසර හතක්‌ බව වාර්තා වේ. දියුණු වෙමින් පවතින අප වැනි රටවල් බොහොමයක්‌, පාවිච්චි කරන ලද නමුත් ක්‍රියාත්මක තත්ත්aවයේ පවතින මෙවැනි උපාංගවල ලාභීන් බවට පත් වේ. ඉලෙක්‌ට්‍රොනික කසළ අර්බුදය අද වන තුරු ශ්‍රී ලංකාව තුළ තදින් හිස ඔසවා නොමැති මුත් චීනය, ඉන්දියාව, මැලේසියාව, ඝානාව මෙන්ම තවත් අප්‍රිකානු රටවල ද මේ තත්ත්වය පැනනඟිමින් පවතින බව නො රහසකි. නියමිත තාක්‌ෂණයට අනුකූල නො වන ඉලෙක්‌ට්‍රොනික කසළ අපහරණය විවිධ පාරිසරික ගැටලුවලට මඟපාදයි. පාලනයකින් තොර පුළුස්‌සා දැමීම, කොටස්‌ ඉවත් කිරීම සහ පහත් බ්ම් ගොඩ කිරීම සඳහා භාවිත කිරීම ම`ගින් පරිසරයට විශේෂයෙන් ම භූගත ජල මූලාශ්‍රවලට ඇති වන හානිය ඉතා විශාල වන අතර විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමට ද මඟපාදයි. ප්‍රාථමික උපක්‍රම භාවිත කොට ඉලෙක්‌ට්‍රොනික කසළ පැසුම්කරණය එම ක්‍රියාවලියේ යෙදෙන්නන්ට බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නක්‌ බව ද දැනට තහවුරු වී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාව තුළ තත්ත්වය

එතරම් කතාබහට ලක්‌ නො වුණ ද, ශ්‍රී ලංකාව තුළ ද ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය අර්බුදය යම්තාක්‌ දුරට පවතියි. යල් පැනගිය හෝ භාවිතයට නුසුදුසු පරිගණක උපාංග, සංයුක්‌ත තැටි ධාවක යන්ත්‍ර, ජංගම දුරකථන, ශීතකරණ, CFL බල්බ සහ විදුලි කෝෂ මේ සඳහා සෘජු ව දායක වේ.

ඉවත ලන CFL විදුලි පහන් පරිසරයට රසදිය මුදාහරින ප්‍රධාන මූලාශ්‍රයකි. එක්‌ විදුලි පහනක සාමාන්‍යයෙන් රසදිය මිලි ග්රෑම් හතරක පමණ ප්‍රමාණයක්‌ අඩංගු වේ. කාර්යක්‌ෂම ආලෝක උත්පාදනයක්‌ සඳහා අත්‍යවශ්‍ය ගුණාංග රැසක්‌ රසදිය ලෝහයේ අඩංගු වේ. එහෙත් පරිසරයට එක්‌ වූ විට එය ජීවීන්ට ඉතා ම හානිදායක වේ.

අසූව දශකයෙන් ඇරඹුණු විවෘත ආර්ථික පිබිදීමත් සමඟ ඉලෙක්‌ට්‍රොනික උපාංග පරිභෝජනය ඉහළ ගිය අතර ඒ සියල්ලක්‌ ම පාහේ අද වන විට ඉවත දැමිය යුතු තත්ත්වයට පත් ව ඇත. නව්‍ය සහ වැඩිදියුණු කරන ලද උපාංග ආනයනය කරත් ම ඉන් ප්‍රතිස්‌ථාපනය වන පැරැණි උපාංගයන්ට හිමි වන්නේ කසළ බඳුනයි. එහෙත් මේ ඉවත ලන සැම ඉලෙක්‌ට්‍රොනික උපාංගයක්‌ ම පරිසරයට හා මිනිසාට වින කරන ද්‍රව්‍ය අඩංගු විෂ ආකාරයක්‌ බව නම් සඳහන් කළ යුතු ම ය. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල අඩංගු අනතුරුදායක සංඝටක මොනවා දැයි මඳක්‌ විශ්ලේෂණය කර බලමු.

ඊයම් (Lead)

විද්යුත් උපාංගවල බහුල ව අඩංගු වේ. ඊයම් අම්ල විද්යුත් කෝෂ, පෑස්‌සුම් ද්‍රව්‍යයක්‌ වන සෝල්ඩර්, විදුලි රැහැන් මත ආවරණ පටලයක්‌ ලෙස මෙන්ම ජංගම දුරකථන පරිපථ හා බාහිර ආවරකයක්‌ ලෙස ද ඊයම් යොදා ගනියි. මිනිස්‌ සිරුර තුළ ඊයම් සංයෝග අඩංගු වුව ද අධික සාන්ද්‍රණයන් විෂ සහිත වේ. Pb2+ අයනය, අධික ලෙස තයෝල (Thiols) සහ ෆොස්‌ෆේට (Posphates) සමඟ ස්‌ථායි සංයෝග සාදමින් වකුගඩුවල, අක්‌මාවේ සහ මොළයේ සෛලවල ජීව රසායනික ප්‍රතික්‍රියාවලට බාධා ඇති කරයි. අධිරුධිර පීඩනය, නිරක්‌තිය, මළ දරු උපත් ඇති වීම, ස්‌නායු ආබාධ, මඳ සරු භාවය ඊයම් විෂ වීම හේතුවෙන් ඇති විය හැකි බවට හඳුනාගෙන ඇත. මව ගෙන් දරුවාට පවා මවු කිරි ම`ගින් ඊයම් සංයෝග ශරීරගත වීම සිදු විය හැකි ය.

රසදිය (Mercury)

උෂ්ණත්ව මාපන, පිහිටුම් සංවේදක, විදුලි ස්‌විච හා විශේෂයෙන් විසර්ජන පහන්වල භාවිත වේ. බොහෝ පරිගණක උපාංගවල ද රසදිය සංයෝග අඩංගු බව ද සඳහන් කළ යුතු ය. වර්තමාන ශ්‍රී ලංකාවට වඩාත් ම තර්ජනයක්‌ එල්ල වන රසදිය ප්‍රභවය ඉවත ලන CFL විදුලි බුබුළු ය. ඉතා කුඩා සාන්ද්‍රණවල දී පවා මිනිස්‌ සිරුරට විෂ සහිත වන රසදිය, බිළිඳුන් හා කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර බලපෑම් එල්ල කරයි. රසදිය, වාෂ්ප වශයෙන් වායුගෝලයට එක්‌ විය හැකි ලෝහයකි. රසදිය වාෂ්පයට අධික ලෙස නිරාවරණය වූ පුද්ගලයන්ට මොළය, වකුගඩු, ස්‌නායු හෝ පෙනහලු ආබාධ ඇති වීමේ හැකියාවක්‌ පවතියි. ලෝහමය රසදිය පමණක්‌ නො ව මෙතිල් (CH3) කාණ්‌ඩ අඩංගු රසදිය සංයෝග ජීවීන් ගේ සිරුර තුළ එක්‌රැස්‌ වීමේ අවදානමක්‌ පවතියි. දිගුකාලීන බලපෑම් ඇති කිරීමට මේ සංයෝග සමත් වේ.

කැඩ්මියම් (Cadmium)

බෝහෝ පරිගණක උපාංගවල මෙන්ම ජංගම දුරකථන කොටස්‌වල අන්තර්ගත වන අතර ප්ලාස්‌ටික්‌ ස්‌ථායිකාරකයක්‌ ලෙස ද යොදා ගැනේ. පැරැණි ජංගම දුරකථන බොහොමයක නිකල් කැඩ්මියම් විද්යුත් කෝෂ අඩංගු විය. කැඩ්මියම් පිළිකා කාරකයක්‌ ලෙස හඳුනාගෙන ඇති අතර පෙනහලු හා අක්‌මාව අශ්‍රිත ගැටලු ඇති කරයි. ශරීරය තුළ දිගුකාලීනව එක්‌රැස්‌ වීමට හැකියාවක්‌ ඇති බැවින් භයානක ප්‍රතිඵල අත් කර දිය හැකි ලෝහයකි.

බෙරිලියම් (Berillium)

අර්ධ සන්නායක මාත්‍රණය සඳහා යොදා ගනියි. එමෙන්ම තඹ බෙරිලියම් මිශ්‍ර ලෝහයක්‌ ලෙස ද විද්යුත් උපාංගවල භාවිත වේ. අධික උෂ්ණත්වයන් යටතේ රත් කිරීමේ දී මේ සංයෝගවල අඩංගු බෙරිලියම් පරිසරයට මුදා හැරේ. මේ මඟින් නිදන්ගත රෝගයක්‌ වන බෙරිලිකොසිස්‌ (Beryllicosis) තත්ත්වය ඇති විය හැකි ය. එමෙන් ම පිළිකා කාරකයක්‌ ලෙස වර්ගීකරණය කර ඇති මෙය මූලිකව පෙනහලු රෝග ඇති කිරීමට දායක වේ.

ආසනික්‌ සහ බේරියම්
(Arsanik and Barium)

ආසනික්‌ බොහෝ විට ඩයෝඩවල අඩංගු වන අතර බේරියම් අඩංගු සංයෝග පුළි`ගු පේනුවල, රික්‌තක නළ හා ප්‍රතිදීප්ත පහන්වල දක්‌නට ලැබේ. ආසනික්‌ ඉතා කුඩා නිරාවරණයන් යටතේ පවා දරුණු ප්‍රතිඵල අත් කර දෙන පිළිකාකාරකයක්‌ වන අතර මරණය පවා සිදු විය හැකි ය. බේරියම් ලෝහමය තත්ත්වයේ අස්‌ථායි වන අතර විෂ සහිත ඔක්‌සයිඩ සාදයි. මොළයේ ඇති වන ඉදිමීම, මාංශ පේශිවල දුබලතා සහ අක්‌මාව හා හදවතට හානි ඇති කිරීමට ද බේරියම් සංයෝග සමත් වන බව තහවුරු වෙයි.

කාබනික සංයෝග (Organic compounds)

ලෝහ සංයෝග මෙන්ම බොහෝ අහිතකර කාබනික සංයෝග ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල අඩංගු වේ. පී.වී.සී. (Polyvinyl chloride), බ්රෝමිනීකෘත සංයෝග (Brominated compounds) සහ බහුක්‌ලෝරිනීකෘත දිවිත්ව ෆීනෝල (Polychlorinated biphenyls) මින් කිහිපයකි. පිළිස්‌සීමට ලක්‌ කිරීමේ දී වායුගෝලයට විෂ සහිත සංඝටක මුදා හැරීම මේ සංයෝගවල ලක්‌ෂණයකි. පිළිකාකාරක ගුණ ඇති අතර පෙනහලු මෙන්ම ශ්වසන ආබාධ ඇති කරයි.

ඉලෙක්‌ට්‍රොනික කසළ කළමනාකරණය

ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතය ඉලෙක්‌ට්‍රොනික කසළ කළමනාකරණයෙහි මූලික අභිප්‍රායන් වේ. දියුණු රටවල ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්‌ථාන මඟින් ඉලෙක්‌ට්‍රොනික උපාංග කොටස්‌වලට වෙන් කොට ප්‍රයෝජනවත් දැ උකහා ගැනීම සිදු වේ. එහෙත් මෙහි දී විෂ සහිත අපද්‍රව්‍ය මඟින් මිනිසාට හෝ පරිසරයට හානියක්‌ නො වීමට වගබලාගැනීම ඉතා වැදගත් වේ. පහත් බිම් ගොඩ කිරීම සඳහා ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය යොදා ගැනීම ඉතා ම භයානක තත්ත්වයකි. විෂ රසායනික ද්‍රව්‍ය, විශේෂයෙන් ම බැර ලෝහ සංයෝග පාංශු ජලයට කාන්දු වීම මෙහි දී සිදු වේ. එමෙන් ම පිළිස්‌සීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කිරීම ද සුදුසු නො වේ. ඉතා විෂ සහිත දුමාරයක්‌ මෙමඟින් ඇති වන අතර බැර ලෝහ වායුගෝලයට මුදාහැරීම ද එක්‌ විනාශකාරී අතුරු ඵලයකි.

අවසන් වශයෙන් කිව යුත්තේ, ඉලෙක්‌ට්‍රොනික උපාංග කොතෙක්‌ අප ජීවිතය පහසු කළ ද ඒ හා සම්බන්ධ වූ අවදානමක්‌ ඇති බවයි. මේ තත්ත්වය කළමනාකරණය කිරීම ස`දහා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ''Three R'' මූලධර්මය භාවිත කළ හැකි ය. ඒවා නම් අවම කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීයකරණය (Recycle) ය. ඉලෙක්‌ට්‍රොනික කසළ අවම කිරීම සිදු කළ හැක්‌කේ හො`ද නඩත්තු කිරීමක්‌ මඟින් හා ජීව කාලය නිවැරැදිව සුසර කිරීම ම`ගිනි. නව උපාංගයකට යැම වෙනුවට යාවත්කාලීන කිරීමෙන් කසළ ප්‍රමාණය අවම වේ. නැවත භාවිතය ඉලෙක්‌ට්‍රොනික කසළ සම්බන්ධයෙන් නම් තාවකාලික විසඳුමක්‌ පමණකි. ප්‍රතිචක්‍රීකරණය මඟින් කසළ පරිමාව අඩු වන අතර ම අවශ්‍ය මූලික කොටස්‌ ප්‍රතිජනනය ද සිදු වන බැවින් එය වඩාත් උචිත විසඳුමකි.

එක්‌ අයකුට සමස්‌ත ලෝකය ම ගලවා ගැනීමට නො හැකි වග සැබෑවකි. එහෙත් එකිනෙකා කුඩා පරිමාණයෙන් හෝ තමා සතු වගකීම් කොටස ඉටු කරන්නේ නම් මහත් ව්‍යසනයක්‌ නවත්වා ගැනීමට හැකි වනු නො අනුමාන ය. ඉලෙක්‌ට්‍රොනික කසළ ව්‍යසනය කෙමෙන් හිස ඔසවමින් පවතියි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නීති රෙගුලාසි පැනවීමට මෙන්ම අවශ්‍ය දැනුම සමාජගත කිරීමට මේ සුදුසු ම කාලයයි. අමතක නො කළ යුතු කියමනක්‌ නම් වළක්‌වා ගැනීම ප්‍රතිකාරයට වඩා යහපත් බවයි. ඉතින් අපි වහ වහා ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ව්‍යාසනය පාලනය කිරීම සඳහා වන තමන් සතු යුතුකම් කොටස ඉටු කරමුෘ

කොළඹ විශ්වවිද්‍යාලයයේ
රසායන විද්‍යා අධ්‍යයනංශයේ අංශාධිපති,
මහාචාර්ය කේ. ආර්. රංජිත් මහානාම