logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 131
(ධනේෂ් විසුම්පෙරුම)


'ග්‍රීන්ඩෙක්‌ස්‌' - පාරිභෝගික දර්ශකයේ
මුල් තැන ඉන්දියාවට


ලෝකයේ හරිතවත් බව සඳහා බලපාන ඉතා වැදගත් වන කරුණක්‌ වන්නේ මිනිසුන් ගේ පරිභෝජන පිළිවෙත් කෙතරම් දුරට පරිසර හිතකාමී වේ ද යන්න ය. අප සිදු කරන සම්පත් අධි පරිභෝජනය නිසා ලෝකයේ ස්‌වාභාවික සම්පත් ක්‌ෂය වෙමින් තිබේ. එසේ ම අපේ ක්‍රියාකාරකම්වල පාරිසරික බලපෑම පිළිබඳව අපට හැඟීමක්‌ නොමැති වීම නිසා පරිසර දූෂණය හා වෙනත් පාරිසරික ගැටලු ද ඇති වී තිබේ. මේ බව අපට නිතර අසන්නට ලැබේ.

එසේ ම ඊට පිළියමක්‌ සේ යෝජනා වී ඇති තිරසර පරිභෝජන සංකල්පය සමස්‌තයක්‌ ලෙස කෙතෙක්‌ දුරට ලෝකයේ පිළිගැනීමට ලක්‌ ව තිබේ ද යන්න විමසිය යුතු පැනයකි. විශේෂයෙන් ජනතාව තිරසර පරිභෝජන පිළිවෙතක්‌ පිළිබඳව කෙතෙක්‌ දුරට උනන්දුවක්‌ දක්‌වන්නේ ද යන්න විමසීම මෙහි දී වැදගත් ය. මෙය පෞද්ගලික මට්‌ටමෙන් මෙන්ම සමාජයක්‌ රටක්‌ ලෙස වැදගත් වේ. ලෝකයේ රටවල් අතර මෙවැනි සංසන්දනයක්‌ සිදු කළ හැකි දර්ශකයක්‌ පිළිබඳව මෙවර විමසුම තුළින් සාකච්ඡා කරමු.

'ග්‍රීන්ඩෙක්‌ස්‌' දර්ශකය

නැෂනල් ජියෝග්‍රැෆික්‌ සංගමය විසින් ලෝක ප්‍රකට සමාගමක්‌ වන ග්ලෝබල් ස්‌කෑන් සමාගම සමග එක්‌ ව සකස්‌ කර ඇති පාරිභෝගික ග්‍රීන්ඩෙක්‌ස්‌ දර්ශකය (Greendex) මෙවැන්නකි. මෙය හඳුන්වා දී ඇත්තේ ජනතාව ගේ සත්‍ය පාරිභෝගික හැසිරීම හා ද්‍රව්‍යමය ජීවන රටාව පිළිබඳ තිරසර සංවර්ධන දර්ශකයක්‌ ලෙස ය. මෙය මුල් වරට සකස්‌ කරන ලද්දේ 2008 වර්ෂයේ දී වන අතර මේ සමීක්‌ෂණය හා රටවල් ශ්‍රේණිගත කිරීම මේ වර්ෂයේ දී සිදු කර ඇත්තේ සිවුවැනි වරට ය. මෙහි අරමුණ වන්නේ පාරිභෝගිකයන් ගේ පරිභෝජන රටා පිළිබඳව ප්‍රමාණාත්මක වශයෙන් මානනය කිරීම හා තිරසර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම ය. මේ පාරිභෝගික කරුණු සංසන්දනය සඳහා යහපත් දර්ශකයක්‌ බව පෙනේ.

ඔවුන් මෙහි දී අවධානය යොමු කර ඇති ප්‍රධාන අංශ වන්නේ ආහාර, ප්‍රවාහනය හා නිවාස යන අංශ ය. මේ යටතේ බලශක්‌ති භාවිතය හා සංරක්‌ෂණය, පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතය වැනි කරුණු පිළිබඳව ද සැලකිලිමත් වන බව පෙනේ. මේ වර්ෂයේ දර්ශකය සඳහා එක්‌ රටකින් පාරිභෝගිකයන් දහසක්‌ පමණ වූ ප්‍රමාණයක්‌ සම්බන්ධ කරගනු ලැබේ. මේ පාරිභෝගිකයන් සමීක්‌ෂණයකට ලක්‌ කර ඔවුන් ලබාගත් ලකුණුවල සාමාන්‍යය ඇසුරින් සමස්‌ත ප්‍රතිඵලය ලබා ගෙන ඇත.

2012 වර්ෂයේ දී සමීක්‌ෂණයට ලක්‌ කළ රටවල් 17ක ප්‍රතිඵලවලට අනුව පරිසර හිතකාමී හැසිරීම් රටා වර්ධනය වී ඇත්තේ රටවල් පහක පමණකි. රටවල් 9ක පරිභෝජන රටාවල තිරසරභාවය අඩු වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර පළමු තැනට පැමිණ ඇති ඉන්දියාවේ පවා තිරසර භාවය අඩු වී තිබීමයි.

ඉන්දියාව මුල් තැනට - ඇමෙරිකාව අවසන් තැනට

මේ දර්ශකයේ පෙළ ගැස්‌ම අනුව ඉහළින් ම සිටින්නේ හෙවත් වඩාත් පරිසර හිතකාමී පරිභෝජනයක්‌ දැකිය හැක්‌කේ ඉන්දියාවෙහි ය. එය 58.9කි. ඉන්දියාව ළඟට දර්ශකයේ පසු වන්නේ චීනය (57.8) හා බ්‍රසීලය (55.5)යි. මේ සියල්ල දියුණු වන රටවල් වීමත් වේගයෙන් කාර්මීකරණය වෙමින් පවත්නා රටවල් වීමත් වැදගත් කරුණකි.

ආහාර සම්බන්ධව ඉන්දියාව ඉදිරියට පැමිණීමට, ආහාර පරිභෝජනය හා සම්බන්ධව ඉන්දියානුවන් අතර ඇති පිළිවෙත් බලපා ඇති බව පෙනේ. නිදසුනක්‌ ලෙස එරට ජනතාව අතර ගව මස්‌ පරිභෝජනය අඩු වීම දැක්‌විය හැකි ය. නිවාස සම්බන්ධව ද අඩු ම බලපෑමක්‌ සිදු වන්නේ ඉන්දියානුවන් අතර ය. චීන පාරිභෝගිකයන් ප්‍රවාහනයේ පරිසර බලපෑම අඩු ම ජනතාවක්‌ සිටින රට වේ. එහි වැඩි ම බලපෑමක්‌ ඇති වන්නේ අමෙරිකානුවන් හා කැනේඩියානුවන් අතිනි. එසේ ම ඉන්දියානු පාරිභෝගිකයන් අතරින් සියයට 45ක්‌ පමණ පිරිසක්‌ තම පාරිසරික බලපෑම පිළිබඳව කණගාටු වන බව පවසා තිබේ. ඒ සම්බන්ධව ඊළඟට පසු වන්නේ මෙක්‌සිකෝව හා චීනයයි.

මේ තත්ත්වය වඩාත් බරපතළ වන්නේ පොහොසත් රටවල වැසියන් අවම තිරසරභාවයෙන් යුක්‌ත පරිභෝජනයක යෙදෙන අතර ඔවුන් ඊට වගකිව යුතු නොමැති යෑයි ද සිතීම ය. ග්‍රීන්ඩෙක්‌ස්‌ දර්ශකයේ අඩු ම අගයක්‌ හිමි කරගෙන ඇත්තේ අමෙරිකාව (44.7) වන අතර කැනඩාව (47.9) ඊට උඩින් සිටියි. යුරෝපා රටවල් අතර අඩු මට්‌ටමක පසු වන්නේ ප්‍රංශයයි. තම පාරිසරික බලපෑම පිළිබඳව අඩු ම කණගාටුවකින් පසු වන පාරිභෝගිකයන් සිටින රටවල් අතර ඔස්‌ටේ්‍රලියාව, ජර්මනිය හා ජපාන ජාතිකයෝ ද වෙති.

තිරසර පරිභෝජනය හා ලෝකයේ හරිතවත් බව

තිරසර පරිභෝජනය ලෝකය වඩාත් පරිසර හිතකාමී වීම සඳහා අත්‍යවශ්‍ය වේ. එහෙත් ඉහත කී දර්ශකයේ දැක්‌වෙන ප්‍රවණතාව එතරම් යහපත් නො වේ. අප තුළ පරිභෝජනය තිරසර කිරීමට තබා පරිභෝජනයේ පාරිසරික බලපෑම් පිළිබඳව පිළිගැනීමට තරම් වත් සූදානමක්‌ නොමැති නම් එය තත්ත්වය තවත් බරපතළ කරවන බව පැහැදිලි ය.

මේ දර්ශකය සැකසීම සඳහා භාවිත කර ඇති මූලධර්ම භාවිත කරමින් අයකුට තමන් ගේ පෞද්ගලික හරිතවත් බව ගණනය කළ හැකි ය. ඒ සඳහා කළ යුතු වන්නේ අදාළ වෙබ් පිටුව (http://environment.nationalgeographic.com/environment/greendex/calculator) වෙත පිවිස ඔබේ පරිභෝජන දත්ත සැපයීම පමණි. මෙහි එන ඇතැම් කරුණු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයකුට අදාළ නො විය හැකි බව ඇතැම් විට සිතිය හැකි වුවත් අපේ රටේ පරිභෝජන රටාව පවා වෙනස්‌ වෙමින් ඇති බව අප අමතක නො කළ යුතු ය.

අපේ අනාගත බලශක්‌ති සැපයුම ක්‌ෂුද්‍රජීවීන්?

බැක්‌ටීරියා මඟින් කාබනික අපද්‍රව්‍ය බලශක්‌තිය බවට පත් කළ හැකි ආකාරය පිළිබඳව මෑත කාලයේ දී යම් යම් පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. පසුගිය දා මේ පිළිබඳව නිකුත් වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ක්‌ෂුද්‍රජීවී ඉන්ධන කෝෂ (microbial fuel
cells - MFCs) මඟින් විදුලිය නිපදවීම බෙහෙවින් ඵලදායී ලෙස කළ හැකි ය. මේ කෝෂ යොදාගනිමින් කාබනික ද්‍රව්‍ය සෘජු ව ම බලශක්‌තිය බවට පත් කිරීම සිදු වේ. විද්යුත් රසායනික හා ජෛවීය ප්‍රතික්‍රියාකාරකවලින් සමන්විත එහි ඇනෝඩය අසළ බැක්‌ටීරියා වර්ධනය වේ. ඔවුන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය මඟින් ඔක්‌සිජන් විරහිත තත්ත්ව යටතේ ඉලෙක්‌ට්‍රොaන ඇනෝඩය වෙත ලබා දේ. මේ අනුව විදුලිබලය නිපදවීම සිදු වේ. මේ ක්‍රමය යොදාගනිමින් නාගරික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික හෝ සත්ත්ව අපද්‍රව්‍ය මඟින් විදුලිය නිපදවීමට හැකි ය. එහෙත් එහි තවදුරටත් සකස්‌ කළ යුතු අඩුපාඩු තිබේ. (මූලාශ්‍රය( ChemSusChem, DOI: 10.1002/
cssc.201100777)

මේ අතර ක්‌ෂුද්‍රජීවීන් යොදාගනිමින් කෘෂිකාර්මික අපද්‍රව්‍ය මඟින් වැඩි බලශක්‌තියක්‌ නිපදවීමේ ක්‍රමයක්‌ පසුගිය දා නිකුත් වී ඇති අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී තිබේ. මෙහි දී හයිඩ්‍රජන් හා ජෛව ඉන්ධන නිපදවිය හැකි ය. වර්තමානයේ ජෛව ඉන්ධන නිපදවන ප්‍රමාණය මෙන් විසි ගුණයක්‌ තරම් අධික ජෛව ඉන්ධන ප්‍රමාණයක්‌ ඉන් නිපදවිය හැකි ය. මේ සඳහා යොදාගෙන ඇති ජෛවවිද්යුත්රසායන ක්‍රමවේදය හඳුන්වන්නේ ක්‌ෂුද්‍රජීවී විද්යුත් විච්ඡේදක කෝෂ (microbial
electrolysis cells - MECs) යනුවෙනි. එහි දී බැක්‌ටීරියා මඟින් කෘෂිකාර්මික අපද්‍රව්‍ය බිඳ දමා පැසීමට ලක්‌ කර ජෛව ඉන්ධන නිපදවනු ලැබේ. මේ ක්‍රියාවලියේ අනෙක්‌ වැදගත්කම වන්නේ තවත් බැක්‌ටීරියාවක්‌ මඟින් පැසීමේ අතුරුඵල හා එතනෝල් නො වන ද්‍රව්‍ය යොදාගනිමින් හයිඩ්‍රජන් නිපදවීමයි. අපද්‍රව්‍ය ඉවත් කිරීම නිසා මෙය මුල් බැක්‌ටීරියාවේ වර්ධනය සඳහා ද හිතකර වේ. මෙහි දී නිපදවනු ලබන බලශක්‌තිය මින් පෙර සිදු කරන ලද ක්‍රම මෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ විම විශේෂිත ය. මීට හේතුව වශයෙන් සඳහන් කරනු ලබන්නේ අදාළ බැක්‌ටීරියාව විශේෂයෙන් තෝරාගන්නා ලද බැක්‌ටීරියාවක්‌ වීමයි. (මූලාශ්‍රය( Environmental Science &
Technology, DOI: 10.1021/es3008497)

මේ අනුව ක්‌ෂුද්‍රජීවීන් යොදාගනිමින් විදුලිය නිපදවීම ප්‍රවර්ධනය කළ හැකි නම්, එය ගැටලු රැසකට විසඳුමක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුවට, බලශක්‌ති අවශ්‍යතාව සපුරාගැනීමට මෙන්ම සම්මත ජෛව ඉන්ධන මඟින් ඇති කරන ආහාර හා භූමිය ආශ්‍රිත ගැටලු සඳහා ද මේ මඟින් පිළිතුරු සැපයේ.

පුවත් සැකෙවින්

ඇපල් සමාගමේ තීරණය මහජන විරෝධයේ ජයක්‌

ඇපල් පරිගණක සමාගම ඉතා මෑත දී ගත් තීරණයක්‌ නිසා පරිසරය පිළිබඳ ඔවුන් ගේ ප්‍රතිපත්ති ගැන පසුගිය දා ආන්දෝලනයක්‌ ඇති විය. සති කිහිපයකට පෙර 'ඉලෙක්‌ට්‍රොනික නිෂ්පාදන පාරිසරික බලපෑම් මෙවලම' (EPEAT -
www.epeat.net) නම් වැඩසටහනෙන් තමන් ඉවත් වන බව සමාගම ප්‍රකාශ කළේ ය. මේ වැඩසටහන යටතේ පරිසරයට අඩු ම බලපෑමක්‌ ඇති කරන නිෂ්පාදන හඳුනාගැනීම සඳහා වූ ලේඛනයක්‌ සකස්‌ කරනු ලැබේ. එය පිහිටුවීම සඳහා 2006 වර්ෂයේ දී ඇපල් සමාගම වැදගත් කාර්යභාරයක්‌ ඉටු කළේ ය.

ඇපල් සමාගමේ නව තීරණයට පදනම වූයේ කොටස්‌ ගලවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව අඩු පරිගණකයක්‌ අලුතින් හඳුන්වා දීම බව ද වාර්තා විය. එහෙත් මේ සමඟ ඇපල් පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක්‌ උක්‌ත තීරණය සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කර තිබිණි. තව ද සැන් ්‍රeන්සිස්‌කෝ නගරයේ බලධාරීන් ඇපල් සමාගමේ නිෂ්පාදන මිල දී නො ගන්නා ලෙස ඔවුන් යටතේ ඇති ආයතනවලට දැනුම් දෙන බව ප්‍රකාශයට පත් කරන ලදි.

මේ තත්ත්වය හමුවේ ඇපල් සමාගම තීරණය කළේ යළිත් ඉහත කී වැඩසටහනට සම්බන්ධ වීමට ය. මේ පිළිබඳව නිවේදනයක්‌ නිකුත් කරන එහි ඉහළ නිලධාරියකු පවසා තිබුණේ කිසියම් "අත්වැරැදීමක්‌" සිදු වී ඇති බව ය. මහජන මතය හමුවේ සමාගමක වුවත් වෙනස්‌කම් ඇති විය හැකි බව පෙන්වන මේ නිදසුන ජනතාව ගේ හා පරිසරයේ සමස්‌ත ජයග්‍රහණයක්‌ සේ සැලකිය හැකි ය.

බ්‍රිතාන්‍යයේ බැජරයන් මරාදැමීම සිදු වේ?

බ්‍රිතාන්‍යයේ මහත් ආන්දෝලනයකට ලක්‌ ව පැවැති බැජර (Meles meles) ගහනය සීමා කිරීමේ (මරා දැමීමෙන්) යෝජනාව ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට තිබේ. මේ සතුන් වෙනුවෙන් ම පිහිටුවා ඇති පදනමක්‌, රජයේ උක්‌ත යෝජනාවට එරෙහි ව අධිකරණයට ගොස්‌ තිබූ අතර එහි දී රජයේ තීරණයට පක්‌ෂ ව තීන්දුවක්‌ ලැබීම ඊට හේතුවයි. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ ආරක්‌ෂිත සත්ත්ව විශේෂයක්‌ සේ සැලකෙන බැජරයන් මරා දැමීමට අවසර ඇත්තේ රෝග වැළැක්‌වීම සඳහා පමණි.

ගවයන්ට වැළැඳෙන ක්‌ෂය රෝගය රෝගය ගොවිපළෙන් ගොවිපළට ව්‍යාප්ත කිරීම සඳහා බැජරයන් හේතු වී තිබීම රජය මෙවැනි යෝජනාවක්‌ ගෙන ඒම සඳහා හේතු විය. මේ රෝගය පාලනය කිරීම සඳහා විශාල වියදමක්‌ දැරීමට රජයට සිදු වී ඇත. කෙසේ වෙතත් ප්‍රතිශක්‌තිකරණ වැඩසටහනක්‌ මඟින් මේ ගැටලුව විසඳීමට වේල්සයේ රජය තීරණය කර ඇත.

තල්මහ දඩයම ගැන දකුණු කොරියාව යළි සලකා බලයි

විද්‍යාත්මක පර්යේෂණ සඳහා තල්මහ දඩයම් කිරීමට තමන් ගත් තීරණය පිළිබඳව යළි සලකා බැලීමට දකුණු කොරියාව අදහස්‌ කරන බව පසුගිය සතියේ වාර්තා විය. තල්මහ ඝාතනය කිරීමෙන් තොර ව තල්මහ ගහනය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා භාවිත කළ හැකි වෙනත් ක්‍රම සොයා බලන බව එරට නිලධාරියකු පවසා තිබිණි.

දකුණු කොරියාව තල්මහ දඩයම් කිරීම සඳහා තීරණය කර ඇති බව මීට දෙසතියකට පමණ පෙර පැවැති තල්මහ කොමිසමේ රැස්‌වීමේ දී නිවේදනය කරන ලද අතර එය බොහෝ රටවල මෙන්ම පරිසර ක්‍රියාකාරීන් ගේ ද විරෝධයට හා විවේචනයට ලක්‌ විය. ඔවුන් පෙන්වා දුන්නේ මේ තල්මහ දඩයම හුදෙක්‌ වාණිජ තල්මහ දඩයමක්‌ විය හැකි බව ය.