logo3.gif (702 bytes)

HOME


අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ අර්බුද ඔඩුදිවීමට
අධ්‍යාපන කොමිසම අකර්මණ්‍ය වීමත් බලපෑවා ද?


සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රය පුරා ම මහා පරිමාණ අර්බුද රාශියක්‌ මතු ව ඇති බව රහසක්‌ නො වේ. විශ්වවිද්‍යාල පද්ධතිය සැලකුව හොත් එය එහැමපිටින් ම අවුල් ජාලයකි. මේ වන විට විශ්වවිද්‍යාල තුළ ආචාර්යවරුන් ගේ වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක ව තිබේ. කලක්‌ තිස්‌සේ පැවැති අනධ්‍යයන වැඩ වර්ජනය නිමා වූයේ දින කීපයකට කලිනි. තව ටික දිනකින් ශිෂ්‍ය උද්ඝෝෂණ ද ඇරඹෙනු ඇත. මෙලෙස අපේ විශ්වවිද්‍යාල අවුරුද්දෙන් වැඩි කාලයක්‌ ඇත්තේ විවෘත තත්ත්වයක නො ව, සංවෘත තත්ත්වයක ය.

මේ අතර උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව අධිකරණය දක්‌වා ම ගමන් ගත් අතර තවමත් ඊට නිශ්චිත විසඳුමක්‌ ලැබී නැත. සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වය පළමු වසරේ මෙන්ම ළදරු පාසල් මට්‌ටමේ ද ගැටලු උඩු දුවා ඇත. ගුරුවරුන්ට නිසි පරිදි මාරු වීම්, උසස්‌ වීම් නො ලැබෙන බවටත් දරුවන්ට නිසි පරිදි පාසල් නො ලැබෙන බවටත් පාසල් බොහෝමයක නිසි පරිදි ඉගැන්වීමී සිදු නො කෙරෙන බවටත් නිරතුරු චෝදනා නැඟෙයි.

ජාතියේ බුද්ධිමය කොඳු නාරටිය මෙසේ විනාශ මුඛයට ඇදී යැමට හේතුව තිරසර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ නොමැති වීම බව බොහෝ දෙනා ගේ චෝදනාවයි.

අපට ස්‌ථිරසාර ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ නොමැති වීමටත් අපේ අධ්‍යාපනය උසස්‌ අරමුණු සාක්‌ෂාත් කර නො ගැනීමටත් හේතුව ජාතික අධ්‍යාපන කොමිසම අකර්මණ්‍ය වීම බව ඇතැමුන් ගේ මතයයි.

ජාතික අධ්‍යාපන කොමිසම යනු සැබැවින් ම කුමක්‌ ද? එයින් අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සිදු වන බලපෑම කුමක්‌ ද? ජාතික අධ්‍යාපන කොමිසමේ මූලික කාර්යභාරය වන්නේ ජනාධිපතිවරයාට රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය පිළිබඳව උපදෙස්‌ ලබා දීමයි. මෙය කිසිදු අමාත්‍යංශයකට යටත් නො වන ආයතනයකි.

1991 අංක 19 දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර 1991 ජූලි මස 22 දා බණ්‌ඩාරනායක අනුqස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කොමිෂන් සභාවේ කාර්යාලය පිහිටුවන ලදි.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනත ගෙන ඒමට මූලික වූ හේතු එහි පළමු වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

ඊට පෙර ඇති වූ තරුණ කැරලිවලට අධ්‍යාපනයේ පවතින විෂමතා හේතු වූ බව ඒ වකවානුවේ පත් වන තරුණ කොමිෂන් සභාව විසින් අනාවරණය කරන ලද අතර එයට විසඳුම් යෙදීම මූලික අවශ්‍යතාවක්‌ ලෙස සලකන ලදී.

මෙලෙස ජාතික අධ්‍යාපන කොමිසමේ එක්‌ අභිලාෂයක්‌ වූයේ අධ්‍යාපනය හේතු කොට ගෙන ඇති වූ තරුණ අසහනය මැ`ඩපැවැත්වීමයි. ඒ අරමුණ කොයිතාක්‌ දුරට සාක්‌aෂාත් වී ඇත් දැයි රට හාත්පසින් නිරීක්‌ෂණයෙන් අපට ම පැහැදිලි කර ගත හැකි ය. කොමිසමේ පළමු සභාපතිවරයා වූයේ සී. එල්. පී. ජයතිලක මහතා ය. සාමාජිකයන් 15 දෙනකු මේ කමිටුවට ඇතුළත් විය.

ප්‍රථම කොමිසම සිය ජාතික අරමුණු ලෙස හඳුනාගත් කරුණු පිළිවෙළින් පහත දැක්‌වේ.

1. ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්‌ සහිත ජාතික අනන්‍යතාවක්‌ හා ජාතික සමගියක්‌ ගොඩනැ`ගීම.

2. පෘථුල වශයෙන් විසිරී යන සමාජ සාධාරණ රටා පිහිටුවීම.

3. දැරිය හැකි ජීවන රටා ගොඩනැ`ගීම.

4. උදාර වූ සෑහීමක්‌ හා ආත්ම තෘප්තියක්‌ දෙන රැකියා අවස්‌ථා ජනිත කිරීම.

5. ජාතියේ සමාජීය හා ආර්ථික වර්ධනයට රුකුලක්‌ වන මානව සම්පත් සංවර්ධනය සඳහා සියල්ලන්ට ම සහභාගි විය හැකි අවස්‌ථා සැලසීම.

6. එකිනෙකා ගැන අඛණ්‌ඩ වූත් ගැඹුරු වූත් සැලකිල්ලක්‌ දැක්‌වීමේ සංකල්පය තහවුරු වන ජාතිය ගොඩනැ`ගීමේ කාර්යයේ ක්‍රියාශීලී සහභාගිත්වය.

7. නිරතුරු වෙනස්‌ වන ලෝකයේ අභිsයෝගයන්ට මුහුණ පාන්නට හැකි වන පරිදි අනුවර්තන රටාවක්‌ ගොඩනැ`ගීම හා තමන් ගේ හා අන්‍යයන් ගේ අභිවෘද්ධිය උදා වන සේ එම වෙනස්‌ වීම හැසිරවීමේ ශක්‌තිය දියුණු කර ගැනීම.

8. අනපේක්‌ෂිත අවස්‌ථාවලට මුහුණ දීමේ ශක්‌තිය දියුණු කිරීම.

9. ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්‌ථානයක්‌ ඇති කර ගැනීමට උපයෝගී වන හැකියාවන් වර්ධනය කිරීම.

තරුණ අසහනයට පිළිතුරු සෙවීමට අමතරව වර්ධිත ආර්ථිකයට අධ්‍යාපනයේ දායකත්වය ලබා දීම ද කොමිසමේ අරමුණක්‌ විය.

ආර්ථික සංවර්ධනයේ ඉලක්‌ක සපුරාලීමට අවශ්‍ය උගත් පුහුණු දක්‌ෂ පිරිසක්‌ බිහි කිරීමට ජාතික අධ්‍යාපනය දායක විය යුතු ය. එහෙත් දැනට පවතින්නේ එවන් තත්ත්වයක්‌ ද යන්න අප අපෙන් ම අසාගත යුතු ය.

අවශ්‍යතාව අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය විය යුතු ය. එහෙත් ආණ්‌ඩු පෙරැළි සමඟ අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය සුදුසු නැත. මේ බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව මෙසේ පැහැදිලි කරයි. "පරිපාලනයේ හා රජයන් ගේ වෙනස්‌කම් ඇති වුව ද නියම කරන ලද කාලසීමා තුළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය වලංගු ව තිබිය යුතු අතර දිගුකාලීන බලපෑමක්‌ ද ඇති විය යුතු ය. අපේ රටේ සිරිත පරිදි ව්‍යවහාර වන මධ්‍යගතව ඉහළ සිට පහළට කෙරෙන සැලළසුම් ක්‍රමවල සීමිතකම් සිහි තබා ගත යුතු ය. සැලසුම්කරණයෙහි යෙදෙන්නන් අපේ රටේ සැබෑ තත්ත්වය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් ය.

ආරම්භක අවධියේ දී කොමිසමෙන් ඉතා සක්‍රීය මෙහෙයක්‌ වූ බව විවාදයෙන් තොර ව පිළිගත යුතු වේ. 1991 සිට 1992 අප්‍රේල් මාසය දක්‌වා ගත වූ කාලය තුළ කොමිෂන් සභාව විසින් රැස්‌වීම් දාසයක්‌ හා වැඩ වාර ගණනාවක්‌ පවත්වන ලදී. කොමිෂන් සභාව තොරතුරු රැස්‌ කිරීම මූලිකව කළේ සාක්‌ෂ්‍ය ලබා ගැනීම මගිනි. කොමිෂන් සභාවේ සාක්‌ෂ්‍ය දීමට ආරාධනා ලද අය අතර දේශපාලනික පක්‌ෂ හා සංවිධානවල නියෝජිතයන්, පූජ්‍ය පක්‌ෂය, ස්‌වාධීන චින්තකයන්, විශේෂඥයන්, පාසල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල කුලපතිවරුවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයන් ද විය. සාක්‌ෂ්‍ය විභාගයන්හි දී ඉදිරිපත් කරන ලද කරුණු අනුව කොමිසමට විවිධ අංශ සම්බන්ධයෙන් පවත්නා ගැටලු ගැන අවබෝධයක්‌ ඇති කරගත හැකි විය. ප්‍රථම ප්‍රසිද්ධ සාක්‌ෂ්‍ය විභාගයන්හි දී හෙළි වූ එක්‌ කරුණක්‌ වූයේ රජයේ පැසල්වල ආගම ඉගැන්වීම ගැන සමහර ආගමික සංවිධාන සෑහීමකට පත් ව නැති බවයි. එසේම සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳවත් දැඩි නො සතුටක්‌ ඇති වෙයි.

විෂයමාලා නිර්දේශය ඉගෙනීමේ අන්තර්ගතය, මෙන්ම විභාග ක්‍රම ගැනත් කොමිසමේ අවධානය මුල සිට ම යොමු වී ඇත.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස්‌ පෙළ ඇරඹීම අතර කාල පරතරය ඉහළ යැම ගැන මුල් වාර්තාවේ සිට ම අවධානය දක්‌වා ඇත.

මුල් වාර්තාවෙන් ම (1992) ඉතා ඵලදායී යෝජනා ඉදිරිපත් කර තිබේ. ඒ සමහරක්‌ නම් පාසල් දින ගණන වැඩි කිරීම, විෂය මාලා ප්‍රතිශෝධනය, පෙර පාසල් ප්‍රතිසංවිධානය, ශිෂ්‍ය පෙළ පොත් වැඩි දියුණු කිරීම යනාදියයි.

"වර්ෂයකට පාසල් පැවැත්වෙන දින ගණන 190 දක්‌වා වැඩි කළ යුතු බව ද ජයඝෝෂා පවත්වමින් කොඩි වනන රැස්‌වීම්වලට ළමයින් සහභාගි කරවා ගැනීම හෙළා දැකිය යුතු බව ද කොමිසම යෝජනා කරයි. මෙසේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට අදාළ විවිධ විෂයන් රාශියක්‌ සම්බන්ධ හැදැරීමක්‌ කොට ඒ සම්බන්ධ නිර්දේශ සැපයීම කොමිසමේ වගකීමයි.

මේ නිර්දේශ හරහා යම් මෙහෙයක්‌ අධ්‍යාපනයට සිදු වූ බව නො රහසකි.

එහෙත් අද වන විට කොමිසමට පත් කර ඇත්තේ සභාපතිවරයකු හා තවත් එක්‌ සාමාජිකයෙකු පමණක්‌ බව කියෑවේ. මෙය පරිපූර්ණ තත්ත්වයක්‌ නො වන බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්‌ටාලින් මහතා දකින්නේ මෙලෙස කොමිසම අක්‍රිය වීම රටේ අධ්‍යාපනයට ඉතා අහිතකර බවයි. "අධ්‍යාපනය සම්බන්ධ ප්‍රධාන ආයතන කීපයක්‌ තිබෙනවා. ජාතික අධ්‍යාපන කොමිසම ඉන් එකක්‌. රටකට විධිමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ පවතින්න ඕනේ.

ස්‌ථිර අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ ගෙන එන බවට මේ බලධාරීන් පොරොන්දු වූවා. එහෙත් එහෙම දෙයක්‌ සිදු වී නැහැ. අධ්‍යාපන කොමිසම නව කෙටුම්පත හැදුවා 2010 දී. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සාකච්ජා කරන්න යන විට 2011 අප්‍රේල් මස 08 වැනි දා කොමිසමේ නිල කාලය අවසන් වූවා. නැවත කොමිසම පත් නො කර බලධාරීන් විවිධ දේ කරන්න පටන් ගත්තා.

දැනටත් පූර්ණ ලෙස සාමාජිකයන් පත් කර නැහැ. මේ නිසා වන්නේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති හා තීරණවලට අදාළව ගැටලු මතු වීමයි. අධ්‍යාපනය කියන්නේ නිකම් සෙල්ලමක්‌ නො වෙයි. එය සම්බන්ධීකරණයක්‌ සහිතව විධිමත්ව සිදු විය යුතු දෙයක්‌. සමහරුන් රටේ අධ්‍යාපනය උසස්‌ තැනක තිබෙන බව පෙන්වන්න විවිධ දේ කරනවා.

ඒ අය ගේ අරමුණත් ප්‍රතිඵල ප්‍රතිශත ඉහළ නැංවීම හරහා හොඳ අධ්‍යාපනයක්‌ පවතින බව පෙන්වීමයි.

ඇතැම් පළාත්වල අඩු සාක්‌ෂරතාවකින් යුතු ළමයින් විභාගවලට ඉදිරිපත් නො කරන ලෙස චක්‍රලේඛයක්‌ එවලා. මෙය වැරැදි තීන්දුවක්‌.

අධ්‍යාපන කොමිසම සක්‍රීයව පැවතියා නම් යමෙකුට මේ වගේ ගැටලුවලට එරෙහි ව පැමිණිලි කළ හැකි ව තිබුණා.

මේ වගේ ගැටලු සහගත අවස්‌ථාවක අපට පැමිණිලි කරන්නත් දැන් කොමිසමක්‌ නැහැ.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ඒ. වී. සුරවීර මහතා අධ්‍යාපන කොමිසමේ අතීතය හා වර්තමානය සන්සන්දනය කළේ මෙසේ ය.

"මේ දැනට සිටින සභාපතිවරයාට පෙර අධ්‍යාපන කොමිෂමේ සභාපති ව සිටියේ මායි. මා එහි සභාපති ලෙස අවුරුදු 06ක්‌ පමණ කටයතු කළා. ඒ අවස්‌ථාවේ නම් සාමාජිකයන් 15කින් සමන්විත කොමිසමක්‌ තමයි පැවතියේ. අප ගේ නිල කාලය 2011 දී අවසන් වූවා. ඉන් පසු අදත් සක්‍රීය කොමිසමක්‌ නැති බවයි පෙනෙන්නේ. මෑතක දී සභාපතිවරයෙකු පත් කළ බව දැන ගන්නට ලැබුණා. එහෙත් පූර්ණ කොමිසමක්‌ නො වෙයි. ඉතිං මොකක්‌ ද ප්‍රයෝජනය? අප ගේ කාලයේ දී අපි කොමිසමෙන් යම් දෙයක්‌ කළා. දැන් මේ ගැන ඕනෑකම නැති වෙලා. ඒ අවධියෙහි අප යම් යම් ප්‍රතිපත්ති සැලසුම් හදලා ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. ඒ අනුවයි කටයුතු සිද්ධ වුණේ. අද ඒ දේ සිදු වන්නේ නැහැ. රටේ අධ්‍යාපනයට මෙයින් හානිකර බලපෑම් වෙනවා. අපේ අවධියේ දී හැකි තරම් ස්‌වාධීනව ප්‍රශ්න ගැන කොමිසමෙන් නිර්දේශ දුන්නා. විශ්වවිද්‍යාල සම්බන්ධයෙනුත් අප කතා කළා. නිදසුනක්‌ දක්‌වනවා නම් විශ්වවිද්‍යාල පාඨමාලාවල කථිකාචාර්යවරුන් ගේ උගැන්වීමට අදාළ ප්‍රමිතිය ගැන අප සාකච්ඡා කළා. විශේෂයෙන් ම අප යෝජනාවක්‌ ගෙනාවා විශ්වවිද්‍යාලයට ප්‍රමිති සහතික (Quality Assuarance) මණ්‌ඩලයක්‌ පිහිටුවන්න. මේ වගේ දෙයක්‌ හරහා කථිකාචාර්යවරුන් ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි නිසා. කොහොම වෙතත් අධ්‍යාපන කොමිසම ක්‍රියාත්මක වනවා නම් හොඳයි.

මහාචාර්ය සුරවීර මහතා සභාපතිවරයා ව සිටිය දී ජාතික අධ්‍යාපන කොමිසම හරහා කරන ලද එක්‌ විශිෂ්ට මෙහෙයකට නිදසුනක්‌ වන්නේ (2007) දී පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමට නිර්දේශ සකසා ජනාධිපතිවරයාට භාර දීමයි. එසේ ම විදේශ විශ්වවිද්‍යාල පිහිටුවීමට අදාළ ගැටලුවලට අදාළව ද එම කොමිසම භාරදූර කාර්ය භාරයක්‌ ඉටු කළේ ය. එනම් ගුණාත්මක වශයෙන් ඉහළ සරසවි පිහිටුවීමේ අවශ්‍යතාව ද එකල අවධාරණය කෙරිණි. ජනාධිපතිවරයා විසින් මහාචාර්ය ලක්‌ෂ්මන් ජයතිලක මහතා ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති තනතුරට පත් කරන ලද්දේ 2012 අප්‍රේල් 24 වැනි දා ය. ඔහු මේ කොමිසමේ ප්‍රථම සභාපතිවරයා ද වේ. එහෙත් තවමත් ඉතිරි සමාජිකයන් පත් කර නැත.

මනෝජ් රත්නායක