logo3.gif (702 bytes)

HOME


වන නිරතුරු මඟ අනතුරු



"මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" යෑයි පුරාතන කියමනක්‌ ඇත. එහෙත් දැන් එය මඟ හිටියොත් සැම නසී" යනුවෙන් වෙනස්‌ කිරීමට සිදු ව ඇත.

මහ මඟ වන රිය අනතුරුවලින් තුවාල වන, මිය යන මිනිසුන් පිළිබඳ පුවත්වලින් පත්තර, ගුවන්විදුලිය හා රූපවාහිනියේ අඩුවක්‌ නැත. ඩෙංගි, මැලේරියා හා ඒඩ්ස්‌ වැනි නැතිනම් දියවැඩියාව, හෘද රෝග වැනි වඩා ජනප්‍රිය මාතෘකාවලින් යට වී තිබුණ ද රිය අනතුරු බරපතළ සෞඛ්‍ය, සමාජීය, ආර්ථික ප්‍රශ්නයක්‌ ලෙස ඉස්‌මතු වෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව රිය අනතුරු කරණකොටගෙන වසරකට ලොව පුරා මිලියන 1.3ක්‌ ජීවිත විනාශ වේ. එනම් දිනක්‌ තුළ මරණ 3500ක්‌ සිදු වේ. මෙයින් බහුතරය ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල සිදු වීම ඛේදනීය තත්ත්වයකි. (සමස්‌ත මරණවලින් 90%ක්‌ පමණ). තව ද මෙයින් වැඩි දෙනකු පදිකයන් හා මෝටර් සයිකල්කරුවන් බව පෙනෙන්නට ඇත.

රිය අනතුරු හේතුවෙන් වසරකට තුවාල ලබන සංඛ්‍යාව මිලියන 50 ක්‌ පමණ වේ. කැපීම්, සීරීම්වල පටන් අස්‌ථි බිඳීම්, මොළයට වන හානි වැනි බරපතළ තත්ත්වයේ අනතුරු මේ අතර වේ. ඒ හේතුකොට සදාකාලිකව ආබාධිත තත්ත්ව උරුම කරගන්නා අය ද විශාල සංඛ්‍යාවකි. සැලකිය යුතු කාරණාව වන්නේ මෙයින් බහුතරය තරුණ වියේ පසු වන අය වීම ය. රටක සංවර්ධනය උදෙසා දායකත්වය සැපයිය යුතු අවධියේ පසු වන තරුණ ජනගහණය මෙසේ අකාලයේ ආබාධිත වීම රටේ ආර්ථිකයට ද බරපතළ පහරක්‌ විය හැකි ය. ඇතැම් විට අඩු ආදායම්ලාභී පවුලක මුළු බර දරන පුරුෂයා රිය අනතුරකට ගොදුරු වීම නිසා එයින් පීඩාවට පත් වන ස්‌ත්‍රීන් දරුවන් ප්‍රමාණය ද අතිමහත් ය.

පොලිස්‌ දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ රිය අනතුරු නිසා වසරකට මරණ 2000-2500 ක්‌ පමණ සිදු වේ. පසුගිය වසර කිහිපය තුළ දත්ත විමසන කල එම සංඛ්‍යාවන්හි පැහැදිලි ඉහළ යැමක්‌ නිරීක්‍ෂණය කළ හැකි ය. අද වන විට දිනකට මහ මඟ ජීවිත 6ක්‌ වත් විනාශ වන බවත් සැම විනාඩි 10කට වරක්‌ ශ්‍රී ලංකාවේ කොතැනක හෝ රිය අනතුරක්‌ සිදු වන බවත් තිත්ත ඇත්ත වේ.

අප රට තුළ රිය අනතුරු රටාව විමසන කල මිය යන පුද්ගලයන් ගෙන් 80%ක්‌ පිරිමින් ය. එසේ ම මිය යන අය අතුරින් 41% ක්‌ රියෑදුරන් (බොහෝ විට මෝටර් සයිකල් හා ත්‍රීරෝද රථ) බවත්, 33%ක්‌ පදිකයන් හා 26%ක්‌ වාහනවල මඟීන් වන බවත් පෙනී යයි. වසරකට ශ්‍රී ලංකාව තුළ රිය අනතුරුවලින් තුවාල ලබන සංඛ්‍යාව 32000ක්‌ පමණ වේ. මේ දත්තවලට ඇතුළත් වන්නේ පොලිස්‌ පොතේ ලියෑවෙන අනතුරු හා මරණ පමණක්‌ වන බවත් විවිධ හේතූන් මත එසේ සටහන් නො වන සිදුවීම් වන බවත් මතක තබාගත යුතු ය. එසේ හෙයින් රිය අනතුරු පිළිබඳ සැබෑ ඉලක්‌කම් මීට වඩා භයානක විය හැකි ය.

මේ නිසා රටේ ආර්ථිකයට දැනී ඇති බර සුළු පටු නො වේ. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට, ආබාධිත වූවන් පුනරුත්ථාපනයට සෞඛ්‍ය අංශවලට විශාල පිරිවැයක්‌ දැරීමට සිදු ව ඇත. අහිමි වන ශ්‍රම සම්පත, පවුල්වලට දැනෙන ආර්ථික ප්‍රශ්න අතිමහත් ය. ඒ හේතු කොටගෙන සෞඛ්‍ය හා සමාජීය වශයෙන් අප රටට වන මුළු පාඩුව වසරකට රුපියල් බිලියන 9.3ක්‌ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇත. මේ ලිපිය සම්පාදනය කරන ලේඛකයා විසින් කරන ලද අධ්‍යයනයකට අනුව එම මූල්‍යමය පාඩුව රුපියල් බිලියන 5ක්‌ පමණ වේ.

(සැබෑ අගය මේ දෙක අතර විය හැකි ය.) මෙයින් පැහැදිලි වන්නේ රිය අනතුරු වළකාලීම තුළින් වටිනා ජීවිත මෙන්ම මහා ධනස්‌කන්ධයක්‌ ද ඉතිරි කරගත හැකි බවයි.

අපි ඒඩ්ස්‌ ගැන බොහෝ දේ කතා කරමු. ඒ වෙනුවෙන් අතිවිශාල අරමුදල් ප්‍රමාණයක්‌ ජාත්‍යන්තර වශයෙන් ගලා එයි. එහෙත් ඒ හේතුවෙන් වසරකට ලොව පුරා සිදු වන මරණ සංඛ්‍යාව මිලියන 2කට අඩු ය. අප ඩෙංගි සම්බන්ධව බොහෝ සේ කලබලයට පත් ව සිටිය ද එය වඩාත් බිහිසුණු වූ 2009 වසරේ පවා ඩෙංගි මාරයාට ගොදුරු වූයේ ජීවිත 346ක්‌ පමණි. (රිය අනතුරු වසරකට මරණ 2300කට වගකියයි). එයින් ම රිය අනතුරුවල බරපතළ බව හා ප්‍රමුඛ සෞඛ්‍ය-සමාජීය ප්‍රශ්නයක්‌ ලෙස ඒ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව වැටහේ.

රිය අනතුරු වළකාලීමේ මං පිළිබඳව විමසීමට පළමු දැන් ඒවා බහුල වී ඇත්තේ මන්දැයි අවධානයට ලක්‌ කිරීම වටී. මහ මඟ වන අනතුරු සුලබ වීමට බලපා ඇති ප්‍රධාන හේතු කිහිපයක්‌ හඳුනාගත හැකි ය.

1. මාර්ග භාවිත කරන්නන් ගේ චර්යාත්මක ගැටලු

රිය පදවන්නන් හා පදිකයන් යන දෙපිරිස ම මාර්ග භාවිතයේ දී නිසි විනයක්‌ නො පෙන්වීම රිය අනතුරු බහුල වීමට හේතු වී ඇති ප්‍රමුඛතම කාරණය ලෙස හඳුනාගත හැකි ය.

මාර්ග නීති තිබුණ ද ඒවා පිළිබඳ දැනුවත් බව හිඟකම එක්‌ ගැටලුවකි. ඒ ගැන දැන සිටිය ද, පිළිපැදීමේ වැදගත්කම පිළිබඳ අවබෝධය හා වගකීමෙන් තොර වීම තවත් පැත්තකි. මෙහි ලා පෞද්ගලික සාධක මෙන්ම සමාජයක්‌ ලෙස පොදුවේ දක්‌වන ආකල්පමය ඌනතා ද බලපාන බව අප වටහා ගත යුතු ය.

* පදිකයන් හා රිය පදවන්නන් මාර්ග නීති නො තැකීම

පදිකයන්, පදික වේදිකාවේ ගමන් නො කිරීම, දකුණු පසින් ගමන් නො කිරීම හා නිසි ස්‌ථාන (පදික මාරු)වලින් පරිබාහිරව පාර මාරු වීම සුලබව දැකිය හැකි ය. රියෑදුරන් ගේ පාර්ශ්වයෙන් මාර්ග සංඥාවලට අවනත නො වීම, නීති විරෝධී ලෙස වෙනත් වාහනයකට ඉස්‌සර කිරීම (පදික මාරු හරහා), වේග සීමා ඉක්‌මවීම සුලබව සිදු කරන නීති කැඩීම් වේ.

යතුරු පැදි හා ත්‍රීරෝද රථ සම්බන්ධව වැඩි මඟීන් ගණනක්‌ පැටවීම නිතර දක්‌නට ලැබේ. නීතිරීති කැඩීමට ඇති නිරායාස පෙලඹුම ඇතැම් පුද්ගලයන් ගේ පෞරුෂයේ ඇති ලක්‍ෂණයකි. නොදැනුවත්කම හා ආරක්‌ෂාකාරී බව පිළිබඳ අනවබෝධය නිසා ද බොහෝ දෙනෙක්‌ ඊට යොමු වෙති. (විශේෂයෙන් ම ආසන පටි හා හෙල්මට්‌ නො පැළඳීමට අදාළව)

* අවිචාරවත් ලෙස ජංගම දුරකථන භාවිතය

මාර්ග භාවිත කරන අතරතුර ජංගම දුරකථන සංවාදවල යෙදීම මෙන්ම කෙටි පණිවිඩ යෑවීම ද දැන් විලාසිතාවක්‌ වී ඇත. රිය පදවන්නන් හා පදිකයන් යන දෙපාර්ශ්වය අතින් ම මෙය සුලබව සිදු වේ. එහි බරපතළ අවදානම ගැන අමුතුවෙන් පහදා දිය යුතු නැත. Bluetooth හෝ Handfree භාවිතයෙන් ඇමතුම්වල යෙදීම ද ඒ හා සමාන අවදානමක්‌ දරන බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. මන්ද යත් ඔබේ අවධානය දෘෂ්ටි පථයෙන් වියුක්‌ත වී සංවාදය කෙරෙහි යොමු වන හෙයිනි.

* බීමතින් රිය පැදවීම

රිය අනතුරු සුලබ වීමට බලපා ඇති ප්‍රධානතම හේතුවකි මෙය. රුධිර ඇල්කොහොල් සාන්ද්‍රණය 0.05g/dl කට වඩා ඉහළ යැමත් සමග තීරණ ගැනීමේ හැකියාව හා ප්‍රතිචාර දැක්‌වීම ශීඝ්‍රයෙන් දුර්වල වේ. මාර්ග නීති කැඩීමට වැඩි නැඹුරුවක්‌ ඇති වේ. එක ම මත්පැන් ප්‍රමාණය භාවිත කළ ද ස්‌ත්‍රී-පුරුෂ බව හා ශරීර බර අනුව රුධිර සාන්ද්‍රණය ඉහළ යැම වෙනස්‌ වේ.

* අධික වෙහෙසට පත් ව සිටිය දී රිය ධාවනය හා ආබාධ සහිතව රිය ධාවනය

බස්‌ රථ රියදුරන්, දිගු දුර ලොරි රියදුරන් (භාණ්‌ඩ ප්‍රවාහනය) බොහෝ විට නිසි විවේකය හා නින්ද නො ලබා එක දිගට රිය පැදවීමෙහි නිරත වනු දක්‌නට ලැබේ. මෙය බරපතළ අවදානම් තත්ත්වයකි. ආබාධිත පුද්ගලයන් (පාද අහිමි, ඇස්‌ නො පෙනෙන) වාහන එලවීම නිසා ජීවිත ගණනාවක්‌ අනතුරේ වැටුණු අවස්‌ථා රැසක්‌ ද අසන්නට ලැබේ.

2. මාර්ග පද්ධතියේ පවත්නා දුර්වලතා

මාර්ග නීතිවලට අනුකූල වත්, ආරක්‍ෂාකාරී ලෙසත් වාහන ධාවනයටත් ඉඩ සැලසෙන පරිදි මාර්ග පද්ධතිය සකසා නො තිබීම, තවත් ප්‍රධාන සාධකයකි. ලංකාවේ බොහොමයක්‌ මහා මාර්ග මැදින් බාධක නො යෙදූ, දෙපසට ම වාහන ගමන් කළ හැකි ඒවා වේ. (Single carriage ways). නිසි ප්‍රමිතීන් අනුව මාර්ග සකස්‌ නො කිරීම ද අනතුරු වැඩි කරවයි. මාර්ගය ඇතිරීමට යෙදූ අමුද්‍රව්‍ය, තිරස්‌ හා සිරස්‌ ආතතීන්, වංගුවල වක්‍රතාව, ජලය නො රැඳීමට යෙදූ උපක්‍රම ආදිය සැලකිලිමත් විය යුතු සාධක වේ. ඒවා ප්‍රශස්‌ත මට්‌ටමට නැතිනම් ලිස්‌සීම, පිටතට පැනීම සුලබ වේ. පැත්තකින් බෑවුම් සහිත මහා මාර්ගවල යොදා ඇති බාධක ද නියම ප්‍රමිතියෙන් යුතු වීම වැදගත් ය.

වාහනයක්‌ එහි ගැටුණ හොත් යළි ආරක්‌ෂාකාරී ලෙස මාර්ගය දෙපසට ම යොමු වන පරිදි ඒවා පිළිසකර කළ යුතු ය. මාර්ග සැලසුම් කිරීමේ දී ජනාවාස ප්‍රදේශ හරහා ඉදි කිරීම නිසා මිනිසුන් මාර්ගය දෙපස ගැවසීමේ ඉඩ වැඩි වීම ද තවත් ගැටලුවකි.

3. වාහනවල දුර්වලතා

තත්ත්වයෙන් බාල වාහන මාර්ගයේ ධාවනය හා නිසි ලෙස නඩත්තු නො කිරීම ද රිය අනතුරු සුලබ කරන ප්‍රධාන හේතුවක්‌ වී ඇත. ධාවනයට කිසිසේත් නුසුදුසු තත්ත්වයේ වාහන මඟතොට දී හමු වේ. ටයර් ගෙවී තිබීම (කට්‌ට තිබීම මඟින් වාහන ලිස්‌සීම අවම කෙරේ), තිරිංග පද්ධති හා නළා ක්‍රියාත්මක නො වීම, ප්‍රධාන පහන් ක්‍රියාත්මක නො වීම නිතර දක්‌නට ලැබෙන අඩුපාඩු වේ. අනතුරු අවම කරවන උපක්‍රම පැරැණි වාහනවල දක්‌නට නැත. (Air bag හා ආසන පටි), පාපැදිවල පහන් නැතිකම හා ඉදිරිපස, පසුපස පරාවර්තන තැටි (reflectors) නො තිබීම ද අනතුරු වැඩි කරවයි.

4. පරිසර සාධක

නීතිගරුක රියෑදුරන්, හොඳ තත්ත්වයෙන් යුතු වාහනයක්‌ පැදවුව ද අනපේක්‍ෂිත ලෙස බාහිර පරිසරයෙන් එල්ල වන අභියෝග හේතු කොට රිය අනතුරු සිදු විය හැකි ය. කාලගුණික සාධක ඒ අතර ප්‍රධාන ය. වැස්‌ස, මීදුම නිසා ලිස්‌සීම් හා දෘෂ්‍යතා අඩු වීම සිදු වේ. ඉහත දැක්‌වූ පරිදි මාර්ගවල හා වාහනවල පවත්නා දෝෂ තත්ත්වයන් ගේ බලපෑම් මේ හේතුකොට අනතුරේ ස්‌වභාවය වඩා තීව්‍ර විය හැකි බව ද (දෝෂ සහිත ටයර් හා ප්‍රධාන පහන්වල දෝෂ) වටහාගත යුතු ය.

ඉබාගාතේ යන සත්ත්වයන් මාර්ගවලට පිවිසීම ද අනතුරුවලට සුලබව හේතු වේ. නාගරික ප්‍රදේශවල සුනඛයන් ද, ගම්බද ප්‍රදේශවල නම් ගවයින් හා මී හරකුන් ද වාහනවලට මාරක එල්ල කරන සත්ත්වයන් වේ. සතුන් ගේ ස්‌වාභාවික හැසිරීම්වලට අමතරව මාර්ග දෙපස කසළ එක්‌රැස්‌ කිරීම, සතුන් ගේ අයිතිකරුවන් ගේ නො සැලකිලිමත් බව, මාර්ග දෙපස ආවරණ යොදා නො තිබීම ආදිය සතුන්ට මාර්ගවලට පිවිසීමට රුකුල් දේ.

(1) මාර්ග නීතී පිළිපැදීම විධිමත් කිරීම.

බොහොමයක්‌ මාර්ග අනතුරු වළක්‌වා ලීමට තරම් ප්‍රමාණවත් නීතිරීතී ශ්‍රී ලංකාව තුළ පවතියි. එහෙත් ගැටලුව ඒවා ක්‍රියාත්මක නො වීම ය. යතුරුපැදිකරුවන් නිසි පරිදි හෙල්මට්‌ භාවිත කරන්නේ නම් රිය අනතුරු නිසා වන මරණ 45%කින් අවම කරගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ආසන පටි පැළඳීම මඟින් මරණ 60%ක්‌ වළක්‌වාගත හැකි ය. මාර්ග නීතීවලට ගරු කිරීමේ සංස්‌කෘතියක්‌ රට තුළ ඇති විය යුතු ය. නීතී රීතී අකුරට ක්‍රියාත්මක කිරීම එයට හොඳ ප්‍රවේශයක්‌ වුව ද එහි ස්‌ථාවරත්වය ර පවතින්නේ ප්‍රශ්නයේ බැරෑරුම් බව හා එය වළක්‌වාලීමේ වැදගත්කම පිළිබඳව ජනතාව තුළ ඇති වන සැබෑ ආකල්පමය වෙනසකිනි. කෙසේ වෙතත් පහත සඳහන් පියවර කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

* ජාතික මට්‌ටමින් මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමින් මාර්ග නීතී සුරැකීමේ වැදගත්කම පිළිබඳව ජනාතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. ජනමාධ්‍ය තුළ මේ පිළිබඳව වැඩි ඉඩක්‌ වෙන් වීම වටී. හඳුනාගත් අවදානම් ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු ය.

* මාර්ග නීතී උල්ලංඝනය කිරීමේ දී ගන්නා නීතීමය පියවර මීට වඩා කඩිනම් හා කාර්යක්‌ෂ්ම විය යුතු ය. (දඩ ගෙවීමට, උසාවි ගෙන යැමට ඇති ක්‍රමවේදය). එහි දී සිදු වන අයථා ක්‍රියා අවම කිරීම බලධාරීන් ගේ වගකීමකි. රියෑදුරන් මෙන්ම පදිකයන් කෙරෙහි ද අවධානය යොමු විය යුතු ය.

* නීතී කඩන රියෑදුරන් අල්ලා ගැනීමට ස්‌වයංක්‍රීය ක්‍රම (කැමරා) භාවිතය පුළුල් කළ හැකි ය.

* මහා මාර්ග සැලකීමේ දී අනතුරු අවම කරන ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීම, අනතුරු බහුල ස්‌ථාන ඉලක්‌ක කර ගිනිමින් පොලිස්‌ නිලධාරීන් වැඩිපුර යෙදවීම,

ඉහත සඳහන් කළ පරිදි මහාමාර්ග හා ආරක්‌ෂිත උපක්‍රමවල පවත්නා දොaෂ අනතුරු වැඩි කිරීමට රුකුල් දේ. මාර්ග සැකසීමේ දී ඒ පිළිබඳව විශේෂ ජාත්‍යන්තර නිර්නායකයන් ඇත. ඒවා අකුරට පිළිපැදීමට වගබලා ගත යුතු ය. විටෙක ඒවා සඳහා වැය වන පිරිවැය අධික විය හැකි වුව ද එම මූලික වියදම් කිරීම් තුළින් ඉතිරි වන මූල්‍ය වටිනාකම (රිය අනතුරු නිසා සිදු වන සමස්‌ත මූල්‍ය පාඩුව හා සැස කල) වැඩි බව පෙනේ. එහි දී පහත දැ ගැන අවධානය යොමු කිරීම වටී.

(2) රථ වාහන ධාවනය විධිමත් කිරීම

පදිකයන්, පාපැදි, ත්‍රී රෝද, කාර්, ලොරි හා බස්‌ ආදී සියල්ල එක ම මාර්ගවල ගමන් කිරීම අනතුරු වැඩි කරවීමට ප්‍රධාන හේතුවක්‌ වී ඇත. නගරවල රථ වාහන ධාවනය සැලසුම් කිරීමේ දී බලධාරීන් මෙය සැලකිල්ලට ගත යුතු ය. පාපැදිවලට වෙන ම පථ වෙන් කළ යුතු ය. පාපැදි හා ත්‍රීරෝද අනෙක්‌ වාහන සමඟ පොදුවේ පථ භාවිතය සීමා කළ යුතු ය. ප්‍රධාන නගරවලට පිවිසෙන වාහන සංඛ්‍යාව අඩු කළ යුතු ය. නගරවලට ප්‍රවේශ වන ස්‌ථානවල පෞද්ගලික වාහන ගාල් කොට නගර අභ්‍යන්තරයේ ප්‍රවාහනයට සුඛෝපභෝගී බස්‌ යෙදවීම (Park and ride facility) සාර්ථක උපක්‍රමයකි. මෑතක දී කොළඹ නගරයේ එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්ත ද ජනතා ආකර්ෂණය අඩු වීම නිසා අසාර්ථක විය. මහජනතාවට පහසු වන පරිදි එම සේවා සැලසුම් කළ යුතු ය. ඊට සමගාමීව එසේ ඇතුළු වන වාහනවලින් බද්දක්‌ අය කළ හැකි ය.

අධිවේගී මාර්ග පද්ධති තවත් පුළුල් විය යුතු ය. එම පද්ධති ප්‍රධාන නතරවලට පරිබාහිරව (bypass) සම්බන්ධ කිරීම තුළින් අනවශ්‍ය ලෙස නගර හරහා ගමන් කරන වාහන ප්‍රමාණය අඩු කරගත හැකි ය. දැනට කොළඹ නගරය වටා ඉදි වන පිටරවුම් මාර්ගය ඊට උදාහරණයකි.

අනතුරක දී රියෑදුරාට හා මඟීනට වන හානිය අවම වන ලෙස නවීකරණයන් සහිත ව වාහන නිෂ්පාදනය කිරීමට දැන් සමාගම් උත්සුක වේ. ඝට්‌ටනයක දී ඉදිරිපසින් වන හානිය අවම වන සේ බඳ සැලසුම් කිරීම, Air bag භාවිතය ඊට උදාහරණ වේ. තව ද රියදුරාට නින්ද ගිය හොත් ඒ බැව් හඟවන සංවේදක සහිත වාහන දැන් වෙළෙඳපොළට පැමිණ ඇත. මෙබඳු ආරක්‌ෂිත උපක්‍රම සහිත වාහන මිලෙන් ඉහළ විය හැකි වුව ද ඒවා ආනයනයට රුකුල් දීම හා භාවිතය ප්‍රචලිත කිරීම කළ යුතු ය. එසේ ම අධික වේගයෙන් ධාවනය කිරීමට හැකියාව පාලනය කිරීම සඳහා එන්ජින් ධාරිතාව සීමා කිරීමට නීතී රීති ගෙන ඒම ද බලධාරීන් ගේ වගකීමකි.

අනතුරු අවම කර ගන්නවා සේ ම එහි දී වන මරණ හා දීර්ඝ කාලීන අබාධිත තත්ත්ව (බොහෝ විට ස්‌නායු පද්ධතිය ආශ්‍රිත) වළකාලීමට ද පියවර ගැනීම වැදගත් ය. (Post
crash care). රිය අනතුරුවල දී වන මරණ පිළිබඳව විමසුව හොත් එයින් 35%ක්‌ මුල් පැය ඇතුළත සිදු වන ඒවා බව පෙනේ. (එම මරණවලින් 50%ක්‌ විනාඩි කිහිපයක්‌ ඇතුළත වන අතර එම ජීවීත ගලවා ගැනීමට අපහසු ය.) එහෙත් යුහුසුලු හා ක්‍රමවත් මැදිහත් වීමක්‌ මඟින් ඉහත සඳහන් කළ 35% මරණ අතුරින් සෑහෙන ප්‍රමාණයක්‌ වළකා ගත හැකි බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. අනතුරට පත් වූවන්ට නිසි ප්‍රථමාධාර නො ලැබීම, රෝහල වෙත රැගෙන යැම ප්‍රමාද වීම හා වැරැදි ලෙස ප්‍රවාහනය කිරීම මේ මරණ බොහොමයකට හේතු වේ. හදිසි අනතුරකට පත් වූවකුට ප්‍රථමාධාර දෙන ආකාරය (කෘත්‍රිම ශ්වසනය හා රුධිර වහනයන් නවතාලීම වැනි) පිළිබඳව පොදුවේ මහජනතාව දැනුවත් කිරීම වටී. නගර හා ප්‍රධාන මාර්ග ආශ්‍රිතව හදිසි ගලවා ගැනීමේ කණ්‌ඩායම් හා ගිලන් රථ යොදවා තිබීම වැදගත් ය. ඒවාට ඇමතිය හැකි හදිසි දුරකථන මාර්ග විවර ව තැබිය යුතු ය. විදේශ රටවල නම් මෙබඳු ක්‍රම විධි සුලබව හමු වේ. හිසට අනතුරු වූ රෝගීන් වැරැදි ඉරියව්වලින් (ත්‍රී රෝද රථවල නංවාගෙන යැම) ප්‍රවාහනය නිසා බොහෝ මරණ හා සදාකාලික අබ්බගාත තත්ත්ව ඇති වූ අවස්‌ථා බොහෝ ය. පොලිසිය ද මේ ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කළ යුතු ය.

අද සතියේ විමසුම
පේරාදෛණිය වෙද්‍ය පීඨයේ
ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි හා
ප්‍රජා වෛද්‍ය විහේඡඥ
මහාචාර්ය සමන් ධම්මින්ද ධර්මරත්න
සහ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි