|
කුමන ජාතික
වනෝද්‍යානයත්
දේශපාලනඥයන්ට බිලි වෙයි ද?
රටක
මිනිසුන් පමණක් නො ව වන සතුන් මෙන්ම ගස් වැල් ද, නිදහසේ ජීවත් විය යුතු ය. ලෝවැසි
සත්ත්ව විශේෂ අතරින් කතා කිරීමේ හැකියාව ඇති එක ම සත්ත්වයා වන මිනිසාට වුවත් කතා
කිරීමේ හැකියාවක් නැති, වන සතුන් ගේ අයිතිය පැහැර ගැනීමට අයිතියක් නැත. රටකට
සංවර්ධනයක් අත්‍යවශ්‍ය ය. එහෙත් සුන්දර වන පෙත් විනාශ කර වන සතුන් ගේ ජීවත් වීමේ
අයිතිය නැති කර මිනිසාට පමණක් ප්රතිලාභ ලබා දීමේ අරමුණින් කරන සංවර්ධනයෙන් නිසි
ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. ගැමි ව්‍යවහාරයට අනුව එහි යා දීමක් නැත. වත්මන් රජය
විසින් දියත් කරනු ලබන ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාම - සැලසුමක් නැති ව දේශපාලන
වුවමනා එපාකම් පමණක් මුදුන්පත් කර ගැනීම සඳහා කෙරෙන ව්‍යාපෘති හේතුවෙන් මෙරට
වනගොමුවලටත්, වනයේ වෙසෙන වන සතුන්ටත් සිදු වන ගැහැට දිනෙන් දින වැඩි වන ලක්ෂණ පහළ
වෙයි.
ගමේ ඉපිද, ගමේ ම හැදී වැඩී, ගමේ පන්සලෙන් හා පාසලෙන් අධ්‍යාපනය ලබා සමාජයේ කිසියම්
වගකීමක් දැරීමට හැකි පුද්ගලයන් බවට පත් වී, කවර හෝ දේශපාලන පක්ෂයක නායකත්වයකින්
දේශපාලනයේ රන් කිරි කටගැමෙන් පසු, ඉපදුණු මොහොතේ රන් කිරි කටගෑ මවුකිරිවල ගුණය අමතක
කර, උපන් ගමේ හා ප්‍රදේශයේ සම්පත් වනසා, බඩ කට පුරවා ගන්නට මාන බලන, ප්‍රාදේශීය
දේශපාලනඥයන් නිසා මෙරට ස්වාභාවික සම්පත්වලට සිදු වන හානිය සුළු පටු නැත.
|