logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
අපිට තිබෙන්නේ "ඉකෝ ටුවරිස්‌ම්" එකක්‌ නෙමෙයි
"රූදෙස්‌ සංචරණයක්‌"
මහාචාර්ය සරත් කොටගම

අමල් උඩවත්ත

තිරසාර සංචාරක සංවර්ධනය කියන අදහස අදින් වසර දහයකට පෙර සංකල්පයක්‌ ලෙස එළිදුටු දෙයක්‌. සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක බව සොයන සැම රටක ම මේ අදහස තිබුණා. එක ම දේ වගකීමක්‌ ඇති ව එය සිදු කිරීමයි. මා විශ්වාස කරන අන්දමට ඕනෑ ම දෙයක්‌ සාර්ථක කර ගැනීමට කරුණු 4ක්‌ බලපානවා. පළමු දේ තමයි අප තුළ හොඳ තොරතුරු තිබිය යුතුයි, මේ තොරතුරු තෝරාබේරා ගැනීමට ද හැකියාවක්‌ තිබිය යුතුයි. හැටේ දශකයේ සිට සංචාරක ව්‍යාපෘති ඉදිරියට ආවත් ඒවායේ තොරතුරු විශ්ලේෂණය කර ඉදිරි ගමනකට යැමට සුදුසු තලයකට පැමිණ තිබුණේ නෑ. අපි දැන් ඒ සුදුසු තලය සොයාගත යුතුයි. ඒ තලය සොයා ගැනීමට පුහුණුව හා සුදුසුකම් අවශ්‍යයි. සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන්ට සුදුසුකමක්‌ තිබිය යුතු වගේ ම හොඳ පුහුණුවක්‌ ද අවශ්‍යයි. මේ ඔස්‌සේ තොරතුරු විග්‍රහ කරල විශ්ලේෂණය කරල යම් යම් දේවල් සොයාගත යුතුයි." යනුවෙන් මහාචාර්ය සරත් කොටගම මහතා පැවසී ය. පසුගිය 3 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ජනමාධ්‍ය වැඩමුළුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය කොටගම මහතා, "තුන්වැනි කාරණය හොඳින් දැනුවත් වූ ප්‍රජාවක්‌ අවශ්‍යයි. හතර වැන්න මේ සියලු ම කරුණු ගොනු කර ඉදිරියට ගෙන යැම. හොඳ ආයතනයක්‌ තුළින් සිදු විය යුතුයි. අපේ රටේ තිබෙන දුර්වල ම තත්ත්වය තමයි සංචාරක ව්‍යාපාරය සඳහා හොඳ ආයතනයක්‌ නොමැති වීම. මේ කරුණු තුළ තමයි වගකීම් සහිත සංචාරක ව්‍යාපාරයක්‌ රටක ගොඩනැඟෙන්නේ. තිරසාර කියන දේ තිබෙන්නේ මෙතැනයි. වගකීම් කියන දේ තිබෙන්නේ තමා කියන කරන දේ තුළ තමාට තෘප්තියක්‌ ලබන අවසානයක්‌ තිබේ ද යන දේ මත පමණයි. වගකීමෙන් නො කළොත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතියක්‌ අනාගතයක්‌ දකින්නට ලැබෙන්නේ නෑ. ඉකෝ ටුවරිසම්වලට පසුතලයක්‌ හා න්‍යායක්‌ තිබුණා. ගුණධර්ම තිබුණා. ඒවා ඒ ආකාරයෙන් පිළිපදින්නේ නැති ව අපිට බෑ ඉකෝ ටුවරිස්‌ම් කියන්න. අපේ තිබෙන්නේ රූදෙස්‌ සංචරණයක්‌. කොහෙන් ද අපිට ආවේ. "පතිරූප දේස වාසෝච".රූදෙස්‌ කියන්නේ කුමක්‌ ද? පරිසරය ගස්‌ කොළන් සත්ත්වයන් තමයි දේශයක තිබෙන රූප. මෙහි පසුතලය තමයි පරිසර විද්‍යාවේ මූලය. රූදෙස්‌ කියන්නේ සාමාන්‍ය පරිසර සංචරණයකට වඩා ගැඹුරු සාරධර්ම පිරි සංකල්පීය අදහසක්‌" යනුවෙන් පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශයේ කථිකාචාර්ය උපාලි රත්නායක මහතා, "ශ්‍රී ලංකාවේ වගේ ම ලෝකයේ ඕනෑ ම රටක සංචාරක කර්මාන්තය කියන්නේ පාර්ශ්වකරුවන් රැසක ගේ සහභාගීත්වයක්‌ ඇති කර්මාන්තයක්‌. මෙයට රාජ්‍ය අංශය වගේ ම පෞද්ගලික අංශයේ සේවය අවශ්‍ය වෙනවා. ඒ වගේ ම සැම පුද්ගලයෙක්‌ ම සෘජු ව හෝ වක්‍ර ව හෝ මේ කර්මාන්තයට සම්බන්ධ වෙනවා. සංචාරකයෙක්‌ වෙන්න ප්‍රධාන කරුණු 3ක්‌ සම්පූර්ණ විය යුතුයි. පළමු වැන්න සංචාරය කරන්න කාලය අවශ්‍යයි. දෙවැන්න මුදල් අවශ්‍යයි. තුන්වැන්න කැමැත්තක්‌ තිබිය යුතුයි. මේ කරුණු තුනෙක්‌ එකක්‌ හෝ නැත්නම් ඔහු හෝ ඇය සංචාරකයෙක්‌ වෙන්නේ නෑ. සංචාරක කර්මාන්තයේ හඳුනාගත් වර්ග දෙකක්‌ තිබෙනවා. රට තුළ සංචාරය කිරීම ඉංග්‍රීසියෙන් Inbound Tourism යනුවෙන් හඳුන්වනවා. දෙවැන්න රටින් පිට සංචාරය කිරීම. මේක හඳුන්වන්නේ Outbund Tourism කියලයි. මේ දෙක හැරුණු කොට අන්තර් ජාතික සංචාරක ව්‍යාපාරයට රටින් රට සංචාරය කිරීම අයත් වෙනවා. මේ අනුව නිවාඩුවක්‌ ගත කිරීමට තැනකට යැම Leisure Tourisam යනුවෙනුත් සොබා සිරි නැරඹීමට යැම Nature Tourisam යනුවෙනුත්, ගමක සිරි නැරඹීම Village Tourism හා සංස්‌කෘතික ස්‌ථාන නැරඹීම Culture Tourism ඒ වගේ ම සංග්‍රාමික කටයුතු සඳහා සංචාරය කිරීම Adventure Tourism යනුවෙන් ද හඳුන්වනවා. මේ සැම සංචාරය කිරීමකින් ම රටක තිරසාර සංචාරක කර්මාන්තයක්‌ බිහි විය යුතුයි." යනුවෙන් පැවසී ය.