logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
අත්හැර දැමූ ආඝාත ඔසුවක්‌ ගැන නැවත පරීක්‌ෂණ
අධ්‍යයනයට ශ්‍රී ලංකාවත් සම්බන්ධයි
සාර්ථක වුව හොත් ලොව පුරා අඩු ආදායම්ලාභී ජනතාවට මහත් සෙතක්‌ !


ධාවක රාජසිංහ

ලොව පුරා වෙසෙන ආඝාත (අංශභාග) රෝගීන් ගේ සුබසිද්ධිය උදෙසා, දැනට භාවිතයෙන් ඉවත් කර තිබෙන ඖෂධයක්‌ වඩාත් ආරක්‌ෂාකාරී මට්‌ටමට වැඩිදියුණු කිරීම සඳහා මේ දිනවල පර්යේෂකයෝ පිරිසක්‌ පරිශ්‍රමයක යෙදී සිටිති. මේ පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ඇමෙරිකාව, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, පාකිස්‌තානය සහ ශ්‍රී ලංකාව යන රටවලට අයත් පර්යේෂකයන් පිරිසකි.

Streptokinase නමැති මේ ඔසුව මීට වසර 30කට පෙර ආඝාත රෝගීන් ගේ රුධිර කැටි දිය කර හැරීම සඳහා එන්නතක්‌ ලෙස ලබා දුන්න ද එයින් අනපේක්‌ෂිත රුධිර වහනයක්‌ මොළය තුළ සිදු වීම හේතුවෙන් පසු කලෙක භාවිතයෙන් ඉවත් කර දැමිණි. පර්යේෂකයන් පිරිස උත්සාහ ගනිමින් සිටින්නේ මෙකී ඖෂධයෙහි අතුරු ආබාධ අවම වන පරිදි එය වැඩි දියුණු කිරීමට ය. මේ වන විට ඖෂධයක්‌ අත්හදා බැලීමේ දී අනුගමනය කෙරෙන දෙවැනි අදියරට (2nd phase) අයත් පරීක්‌ෂණ සිදු කෙරෙමින් පවතින බව පර්යේෂක කණ්‌ඩායමෙහි සාමාජිකයකු වන ස්‌නායු වෛද්‍ය විශේෂඥ, මෙල්බර්න් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය තිස්‌ස

විඡේරත්න මහතා විදුසරට පැවසී ය.

දැනට ආඝාත රෝගීන් ගේ රුධිර කැටි දිය කර හැරීම සඳහා Alteplase නමැති ඔසුවක්‌ භාවිතයේ පැවතිය ද එහි මිල සාමාන්‍ය රෝගියකුට දැරිය හැකි මට්‌ටමක නො පවතියි. එබැවින් Streptokinase නමැති ඔසුවෙහි අත්හදාබැලීම සාර්ථක වුව හොත් විශේෂයෙන් ම ලොව පුරා වෙසෙන අඩු ආදායම්ලාභී ජනතාවට මහත් සහනයක්‌ සැලසෙනු ඇත. ලෝකයේ වැඩියෙන් ම ආඝාතයට ගොදුරු වන්නේ දියුණු වෙමින් පවතින රටවල ජනතාව බව සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දෙයි. තව ද ඉන් සියයට 85ක්‌ ම මොළයේ රුධිරවාහිනී අවහිර වීමෙන් ඇති වන ආඝාත තත්ත්ව වේ. Alteplase ඔසුව දෙනු ලබන්නේ එම ආකාරයේ ආඝාත තත්ත්වයන්ට ය.