logo3.gif (702 bytes)

HOME


සෞන්දර්ය විශ්වවිද්‍යාලය
විඩියෝ නර්තනය හඳුන්වා දෙයි


රූපවාහිනී නාලිකාවක්‌ ක්‍රියාත්මක කරන බොහෝ අවස්‌ථාවල දී අපට දක්‌නට ලැබෙන්නේ නර්තනයන් ය. එහෙත් මේ නර්තනවලින් බහුතරයක්‌ අපගේ ප්‍රසාදයට ලක්‌ නො වේ. එයට හේතුව නර්තන ශිල්පීන්ගේ වරදම කියා ඔබ සිතන්නේ නම් එය සාධාරණ නො වේ. බොහෝ විට අදාළ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදකගේ, කැමරා ශිල්පියාගේ වැරදි හේතු කොට ගෙන ද, අප දකින නර්තනය අසාර්ථක එකක්‌ සේ හැ`ගී යන්නට ඉඩ තිබේ. බොහෝ විට සිදුවන්නේ නිර්මාණය නිසි අයුරින් ප්‍රදර්ශනය වීම නො ව කැමරාකරුට හිතෙන ආකාරයට කැමරාව හසුරුවනු ලැබීමයි. මෙනිසා අපට නරඹන්නට ලැබෙන්නේ කැමරාකරුට අවශ්‍ය දේ මිස තථ්‍ය නිර්මාණය නො වේ. ඇතැම් අවස්‌ථාවල කැමරාකරු තමාට ප්‍රිය මනාප යෑයි සිතෙන මුහුණු සොයා යයි. තවත් විටෙක ඔහු ශෘංගාරය දනවන්නට සිතා කැමරාව එල්ල කරයි. බොහෝ විට අනවශ්‍ය ලෙස ඉතා දීර්ඝ වේලාවක්‌ මෙවැනි ශරීරාංගවලට කැමරාව එල්ල වී තිබෙනු රූපවාහියේ නර්තන නරඹන ඔබ දැක තිබෙනවාට සැකයක්‌ නැත. මෙවැනි දර්ශන හේතුකොට ගෙන සමහර විට එම වැඩසටහනට පමණක්‌ නො ව එම නර්තන ඉදිරිපත් කරන්නන්ට ද, දොස්‌ දෙවොල් අසන්නට සිදු වේ. මෙහිදී ගැටලු කීපයක්‌ම ඇති වේ. එකක්‌ ප්‍රේක්‌ෂකයාට අසාධාරණයක්‌ සිදුවීමයි. දෙවැන්න නිර්මාණකරුට අසාධාරණයක්‌ වීමයි. මෙවැනි ගැටලු මතු වීමට හේතුව නර්තනය පිළිබඳ අවබෝධයක්‌ නැති අය මෙවැනි වීඩීයෝ වැඩසටහන් නිර්මාණය කිරීමයි.

වීඩියෝ නර්තනය (Video dancing) නම් නව්‍ය විෂය බිහි ව ඇත්තේ මේ ගැටලුවලට විසඳුමක්‌ ලෙස ය. කැමරාව සඳහා නර්තනය හෝ තිර නර්තනය හෝ ලෙස ද, මේ විෂය හඳුන්වයි. විකීපීඩියා විශ්වකොෂයට අනුව Cinedance යන්න ද මීට පර්යාය වදනකි. වීඩියෝ නර්තනය එක්‌ අතකින් නර්තන ෂොනරයකි. (genre of dance) එසේම එය වීඩියෝ තාක්‌ෂණයේ විෂය පථයට ඇතුළත් වන්නක්‌ ද වේ. කැමරාව සඳහා කෙරෙන නර්තනය සාමාන්‍ය වීඩියෝ පටිගත කිරීමට එහා ගිය දෙයකි. නර්තනයට අදාළ චලන සියල්ල නරඹන්නාට ග්‍රහණය කරගත හැකි පරිදි මේ වීඩියෝගත කිරීම කළ යුතුය. වීඩියෝගත කරන්නා නර්තනය ගැනත් නර්තනකරු වීඩියෝ තාක්‌ෂණය ගැනත් දැන සිටීම සාර්ථක නිර්මාණයක්‌ බිහිවීමට බලපායි.

රූපවාහිනියෙන් හෝ වීඩියෝ පටි මාර්ගයෙන් නරඹන විට ඉහළම රසාස්‌වාදයක්‌ ලද හැකි ලෙස මේ නිර්මාණ බිහි කිරීමට වීඩියෝ නර්තන විෂය පිළිබඳ දැනුම වැදගත් වේ. ලොව බොහෝ රටවල අද වන විට මේ විෂය සැලකිය යුතු වර්ධනයක්‌ ලබා ඇත. ඇමෙරිකාව සැලකුවහොත් එහි විශ්වවිද්‍යාල රැසක වීඩියෝ නර්තනය උපාධි පාඨමාලාවලට ඇතුළත් ය. ඇතැම් විශ්වවිද්‍යාලවල මේ විෂයට අදාළව පශ්චාත් උපාධි පාඨමාලා පවා ක්‍රියාත්මක වේ. එසේම එම විශ්වවිද්‍යාලයන් හි මේ සම්බන්ධව ඉතා පූළුල් මට්‌ටමේ පර්යේෂණ ද සිදු වෙමින් පවතී. ලොව රටවල් රැසක වීඩියෝ නර්තනයට අදාළ සම්මාන උළෙල ද සංවිධානය කෙරේ. ඇමෙරිකාවේ උටා විශ්වවිද්‍යාලය වසර අටක පමණ සිට වීඩියෝ නර්තන කලා උළෙලක්‌ පවත්වයි. ඉතාලිය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළු රටක වීඩියෝ නර්තනයට අදාළ ප්‍රමුඛ පෙළේ පාඨමාලා ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට මෙය හඳුන්වාදෙන ලද්දේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ මහතා විසිනි. ඒ මහතාගේ උපදේශකත්වය මත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වීඩියෝ නර්තනය පිළිබඳ පාඨමාලාවක්‌ අරඹා තිබේ. මේ ඔහු ඒ ගැන දැක්‌වූ අදහස්‌ ය.

"වීඩියෝ නර්තනය පිළිබඳ අපේ පාඨමාලා ඉතා සාර්ථකයි. පාඨමාලාවල දරුවන් 38 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබනවා. මේ සංඛ්‍යාව ඉදිරි වසරවල දී තව ඉහළ යනු ඇතැයි අපේක්‌ෂා කරනවා. මා පැහැදිලි කරන්නම් වීඩියෝ නර්තනය හැදැරීම අවශ්‍ය වන්නේ ඇයි කියා. ඒ සඳහා කෙනෙකු පළමුවෙන්ම නර්තනය කියන්නේ කුමක්‌ ද? කියා හඳුනාගත යුතුයි. නර්තනය වූ කලී අංග ප්‍රත්‍යාංග උපාංග ආදියෙන් සමන්විත ශරීරාංග චලනය කිරීමෙන් රසයක්‌ ජනිත කිරීමක්‌. එම රසය ජනිත කිරීම සඳහා වැදගත් වන්නේ අංග චලනය බව පැහැදිලියි නේ. ඒ නිසා නර්තනයේ මාධ්‍ය ලෙස ශරීර අංග චලන හඳුන්වන්නට පුළුවනි. හැබැයි එම චලන රසයක්‌ ජනිත කරවන්නේ ඒවා නම්‍යශීලී නම් තමයි. භාව ප්‍රකාශයත් නර්තනයේ අදහස්‌ ප්‍රකාශ කිරීම සඳහා ඉවහල් වෙනවා. නර්තනයේ ප්‍රධාන මාධ්‍ය චලනය වුවත් ඊට ආනුෂාංගික වන තවත් පැතිකඩ කීපයක්‌ ඇති බව අප අමතක කළ යුතු නැහැ. පසුබිම් ගායන, වාදනය, රංග වස්‌ත්‍රාභරණ වෙස්‌ ගැන්වීම්, වෙස්‌ මුහුණ යනාදියත් වැදගත්. මීට අමතරව රංග මණ්‌ඩල සැරසිලි, රංග භාණ්‌ඩ ආදියත් උදව් වනවා. නර්තනයක්‌ චලන රූප මාධ්‍යයට පරිවර්තනය කිරීමේ දී ඉහත දැක්‌වූ අංග කෙරෙහි අවධානය දැක්‌වීම අත්‍යාවශ්‍යයි. සැළකිලිමත් වීම යනුවෙන් අදහස්‌ කරන්නේ ඒ ඒ නර්තනවල පවත්නා ශාස්‌ත්‍රීය පදනම පුළුල් දැනුමක්‌ අවබෝධයක්‌ කැමරා ශිල්පියාට හෝ ඔහුට මෙහෙයවන නිෂ්පාදකයාට තිබිය යුතුයි.

පාද දෙකෙන් විශේෂිත පද පෑගීම් සිදු කරන නර්තන අවස්‌ථාවක දී කැමරාකරු එහි විශේෂත්වය දන්නේ නැත්නම් ඒ දෙසට කැමරාව එල්ල නො කර යුවතියකගේ මුහුණට, නාභියට හෝ වෙනත් තැනකට කැමරාව යොමු කරන්න ඉඩ තියෙනවා. විෂය දන්නා කැමරාකරු සූම් කරන්නේ අවශ්‍යම ස්‌ථානයට යි. අංග චලන භාවිතයෙන් නර්තන නිර්මාණකරු හැඩතල රූප මවනවා. ඒ හැඩතල මවන්නේ කිසියම් කෝණයකට. කැමරාකරු මේ කෝණය ගැන නො දැන වෙන කෝණයක හිටියොත් හැඩතල නිසි ලෙස ග්‍රහණය වන්නේ නැහැ. මෙය යම් සිද්ධියක්‌ නිකම් වීඩියෝ කිරීමක්‌ නො වෙයි".

ඒ ජයසේන කෝට්‌ටගොඩ මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීමයි. ජයසේන කෝට්‌ටගොඩ සරසවි ඇදුරකු මෙන්ම රූප මාධ්‍ය හා නර්තනය පිළිබඳ විශේෂඥයෙක්‌ ද වෙයි. එනම් සිනමා හා රූපවාහිනී ක්‌ෂේත්‍රයේ ද දීර්ඝ පළපුරුද්දක්‌ ඇත්තෙකි. ඔහු රූපවාහිනි නාළිකාවකට සම්බන්ධ වී සිටිය දී එහි නර්තන ඒකකයක්‌ ඇරඹීමට ද උත්සාහ දැරුවේ ය.

"අද රූපවාහිනී නාළිකාවල ඉදිරිපත් කරන වැඩසටහන් බොහොමයක ප්‍රමිතියක්‌ නැහැ. කැමරාකරුවා හෝ නිෂ්පාදකයා හෝ නර්තනය දන්නේ නැහැ. නර්තන ශිල්පියා කැමරාකරණය හෝ රූපවාහිනි මාධ්‍ය ගැන දන්නේ නැහැ. මා රූපවාහිනී නාළිකාවක අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ කටයුතු කරද් දී ලොකු උත්සාහයක්‌ දැරුවා මේ තත්ත්වය වෙනස්‌ කරලා නර්තන ඒකකයක්‌ ආරම්භ කරන්න. එය කළ නො හැකි වුණා. ඒ නිසයි මං කල්පනා කළේ සරසවියේ සිටින නර්තකයන්ට හරි රූපමාධ්‍ය පිළිබඳ උගන්වන්න. ඒ නිසයි මේ විෂය ඒකකය පාඨමාලාවට එක්‌ කළේ. ඒ විතරක්‌ නෙමේ මං සිනමාවට සම්බන්ධ වෙලා සිටින කාලේදීත් නර්තනයේ වැදගත්කම ඉස්‌මතු කරවන්න උත්සාහ කළා. ඉන්දීය සිනමාව ගැන හිතන්න. එහි වීඩීයෝ නර්තනය ඉතා සාර්ථකව භාවිත වෙනවා. මට අවශ්‍ය වුණා අපේ සිනමාව තුළත් මෙවැනි රටා මවන්න. අපේ අධ්‍යක්‌ෂකවරුන් මොනවාද දන්නවද කිව්වේ. අපි දුප්පත් ඔය වගේ දර්ශන කරන්න සම්පත් නැහැ කියා. සමහර ෂොට්‌ ගන්න ඕනේ Bird eye view   එකෙන්. ඒ වගේ රටා පෙන්වන් පුළුවන් හොඳම ක්‍රමය වීඩියෝ නර්තනයයි.

මහාචාර්ය කෝට්‌ටේගොඩ ගේ නිර්දේශය මත සෞන්දර්ය විශ්වව්ද්‍යාල පරිශ්‍රය තුළ සියලු සම්පත්වලින් පිරි ස්‌ටුඩියෝවක්‌ ස්‌ථාපිත කර තිබේ. එහි වීඩියෝ නර්තනය හැදැරීම සඳහා පහසුකම් ඇත. එසේම මේ ක්‌ෂේත්‍රයේ හසල දැනුමක්‌ ඇති කථිකාචාර්යවරු ද මේ අංශයෙහි සිටිති.

පාඨමාලාවේ ස්‌වරූපය

මේ වීඩියෝ නර්තන පාඨමාලාව සැලකුව හොත් එය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හදාරන්නට අවකාශ ඇති විෂය ඒකකයකි. මෙවලම් භාවිතයට අදාළ නව තාක්‌ෂණික දැනුම, රූපමාධ්‍ය සඳහා නිර්මාණාත්මක රචනය ආදිය මේ පාඨාමාලාවේ දී ඉගැන්වේ. එසේම තිර රචනය, වීඩියෝ කැමරාකරණය, නර්තනය යන අංග මේ පාඨමාලාවට ඇතුළත් වේ. උසස්‌ පෙළ නර්තනය හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන අයට මේ පාඨමාලාවට ඇතුළු වන්නට හැකිය.

වීඩියෝ නර්තනය කලාවක්‌ වන්නාසේම කර්මාන්තමය අගයක්‌ ඇති දෙයක්‌ ද වේ. එනම් මෙහි පුළුල් අලෙවි වටිනාකමක්‌ ද ඇත. ඇමෙරිකාව, එංගලන්තය, ඕස්‌ටේ්‍රලියාව කැනඩාව වැනි රටවල් සැලකුවහොත් ඒවායේ වාණිජ මට්‌ටමෙන් වීඩීයෝ නර්තනය භාවිතා වේ. වීඩීයෝ නර්තනයේ යෙදෙන්නන්ට ඉහළ පිළිගැනීමක්‌ මෙන්ම ඉහළ මිලක්‌ ද ඇත.

වීඩියෝ නර්තනය, ප්‍රේක්‌ෂකයකු නෘත්‍යාගාරයේ සිට නර්තනයක්‌ නරඹනවාට වඩා වෙනස්‌ අත්දැකීමකි. වේදිකාවක හෝ ර`ගමඩලක නර්තකයා හා නරඹන්නට සිටින්නේ යම් දුරකිනි. ප්‍රේක්‌ෂකයා සිටින දුර ප්‍රමාණයට සාපේක්‌ෂව නර්තකයාගේ සියුම් චලන පෙනීම වෙනස්‌ වේ. ඇතැම් නර්තනවල දී සිදු කෙරෙන සියුම් චලන කිසිවක්‌ වේදිකාවේ ඈත සිටින නරඹන්නන්ට පෙනෙන්නේ නැත. සමීප රූප භාවිත කරමින් මේවා ගැන හොඳ දර්ශනයක්‌ හා තීව්‍ර රසයක්‌ ප්‍රේක්‌ෂකයාට ලබාදීම වීඩියෝ නර්තනයකින් සිදු වේ. මරු සන්නිය, මරු නැටීම, නානු මුරය ආදී රංගයන් හි දී ඇස්‌, ඇහි බැම දෙ කොපුල් ජීහ්වා ආදියේ චලන නිසි ලෙස නරඹන්නාට සම්ප්‍රේෂණය කරවීමට වීඩියෝ නර්තනයේ සමීප රූප වැදගත් වේ.

රංගමණ්‌ඩලයක වාඩි වී සිටින්නකුට නරඹන්නට ලැබෙනුයේ එක්‌ දෘෂ්ටි කෝණයක රූප පමණකි. මන්දයත් ඔහු වාඩී වී සිටින්නේ එක්‌ තැනක බැවිනි. එහෙත් වීඩීයෝ නර්තනයෙන් ප්‍රේක්‌ෂකයා විවිධ දෘෂ්ටිකෝණ වෙත යොමු කරයි. නිදසුනක්‌ ලෙස රවුමට කෙරෙන නැටුමක්‌ ඉදිරියෙන් බලා නිවැරැදි රස විඳිය නො හැක. ඒ සඳහා වායව දර්ශන අවශ්‍ය වේ. දොඹකර ආදිය භාවිත කරමින් මෙවැනි දසුන් කැමරාගත කොට ප්‍රේක්‌ෂකයාට පෙන්විය හැකි ය. වේදිකා නර්තනයේ දී විවිධ පසුබිම් මැවීම දුෂ්කරය. නර්තන පිටපතේ විවිධ පසුබිම් දක්‌වා තිබුණ ද, ඒවා ප්‍රායෝගිව සැපයීම අසීරුය. එසේ වුවද වීඩියෝ නර්තනයේ දී ඒ ඒ නිර්මාණවලට ගැලපෙන පසුබිම් දර්ශන උදව් කොට ගෙන අදාළ ස්‌ථානවලට ගොස්‌ පටිගත කිරීමේ හැකියාව තිබේ. වේදිකාව ඒකමානීය තලයකි. එනම් එක්‌ ස්‌ථානයකි. බහුස්‌ථානීය ස්‌වරූපයක්‌ තථ්‍ය කාලය තුළ දී තථ්‍ය ප්‍රේක්‌ෂකයා වෙත ලබාදීමේ හැකියාව ස්‌වාභාවික වේදිකාවට නැත. එහෙත් වීඩියෝ නර්තන තාක්‌ෂණයට බහු ස්‌ථානීය ස්‌වරූපය ලබා දීම අසීරු නො වේ. දර්ශන තල දෙකක්‌ හෝ කීපයක්‌ මිශ්‍ර කර එකවර ඉදිරිපත් කිරීමට වීඩියෝ නර්තනයට පුළුවන. එය නව රසයක්‌ ජනිත කරවයි.

සමහර නර්තනවලට මායාමය දර්ශන වලින් විශාල අලංකාරයක්‌ ලබාදිය හැකියි. එවැනි මායාමය දර්ශන වේදිකාව මත සජීවීව මැවීම ඉතා දුෂ්කර වුවද, වීඩියෝ ක්‍රමයට එය ලබා ගැනීම පහසුය. කිසියම් නර්තනයකට අදාළ දර්ශනයක යථා ස්‌වරූපය ඉස්‌මතු කිරීමේ දී ආලෝකයෙන් ඉටුවන්නේ වැදගත් මෙහෙයකි. ආලෝක ධාරා යොදන දිශාව අනුව ද, දර්ශනයෙන් රස මැවිය හැකිය. ඇතැම් විට ආලෝක පරිවර්තන තල (Reflex board) ද භාවිත කළ හැකිය.

මනෝඡ් රත්නායකි