logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 131
(ධනේෂ් විසුම්පෙරුම)


සරල ජීවීතය පරිසරයටත් සෞඛ්‍යයටත් යහපත්


අපේ ජීවීත මේ වන විට ඇත්තේ බෙහෙවින් සමාජයට අවශ්‍ය පරිදි වෙනස්‌ වූ වටපිටාවක ය. අපේ ඇඳුම් පැළඳුම්, ආහාරපාන මෙන්ම යන එන ආකාරය පවා තීරණය වන්නේ වෙනත් බොහෝ සාධක ගණනක්‌ මත ය. කැමැති වුවත් නැතත් සමාජය විසින් තීරණය කරනු ලබන යම් යම් කටයුතුවල නියෑළීමට හා යම් යම් භාණ්‌ඩ හා සේවා භාවිත කිරීමට අපට ද සිදු වී තිබේ. එය අපේ ජීවිතවලට, අපේ සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද බලපෑමක්‌ සිදු කරයි.

අද අප විමසා බැලීමට තෝරාගෙන ඇති පර්යේෂණය එවැනි කරුණක්‌ පිළිබඳ ව ය. අපේ ජීවන රටාව නිසා ශරීරගත වන රසායනික ද්‍රව්‍ය පිළිබඳව ය.

රසායනික ද්‍රව්‍යවලින් සිදු වන හානි

මේ අධ්‍යයනයේ දී අවධානය යොමු කර ඇත්තේ මිනිස්‌ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් සිදු කරන රසායනික ද්‍රව්‍ය (Endocrine disrupting chemicals - EDCs&) පිළිබඳ ව ය. මේ කාණ්‌ඩයට අයත් රසායනික ද්‍රව්‍ය බොහෝ වර්ගවලට අයත් වන අතර ඒවා ඇතුළත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්‌ අපි එදිනෙදා ජීවිතයේ දී භාවිත කරන්නෙමු. මේවා මඟින් මිනිස්‌ ශරීරවල හෝමෝනවල ක්‍රියාකාරිත්වයට බලපෑම් සිදු කරයි. මේ බලපෑම් ස්‌නායු පද්ධතියට, හැසිරීමට මෙන්ම ප්‍රජනනය හා සම්බන්ධ තත්ත්වවලට ආදි වශයෙන් විවිධ කරුණු සඳහා විය හැකි ය. මේ රසායන ද්‍රව්‍ය ඇඳුම්, ඖෂධ, ගෘහභාණ්‌ඩ, විවිධ ආලේපන වර්ග ආදි විවිධ ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී යොදාගන්නා අතර මේ නිසා පරිසරයේ සාමාන්‍යයෙන් සුලබ ද්‍රව්‍ය වේ. ආහාරවල, ජලයේ මෙන්ම දූවිල්ලේ ද මේවා ඇතුළත් විය හැකි ය. මෙවැනි බලපෑමක්‌ ඇති කරන බයිස්‌පිනෝල් ඒ (BPA) හා තැලේට වර්ග නවයක්‌ මේ අධ්‍යයනය සඳහා යොදාගෙන තිබේ.

මෙහි දී යොදාගෙන ඇත්තේ මෙනොනයිට්‌ (Mennonite) නම් ප්‍රජාවකට අයත් ගැබිනිs කාන්තාවන් පිරිසකි. නිව්යෝක්‌හි ජීවත් වන මේ ප්‍රජාවට අයත් ජනතාව සෙසු ඇමෙරිකානු ප්‍රජාවට වඩා වෙනස්‌ වූ ආගමික හා සාම්ප්‍රදායික ජීවන ක්‍රමයක්‌ අනුගමනය කරන පිරිසකි. ඔවුන් අලුත් ආහාර භාවිතයට ගන්නා අතර සැකසූ ආහාර භාවිතයට නො ගන්නා තරම් ය. මේ ආහාර ද්‍රව්‍ය නිපදවීමේ දී පළිබෝධනාශක භාවිතයට ගනු නො ලැබේ. එසේ ම ඔවුන් සුවඳ විලවුන් ආදි විවිධ ආලේපන වර්ග භාවිත කරන්නේ ද ඉතා අඩු වශයෙනි. මේ නිසා ඔවුන් සාමාන්‍ය ඇමෙරිකානුවන්ට වඩා වෙනස්‌ ජීවන ක්‍රමයක්‌ අනුගමනය කරන පිරිසකි.

මේ අධ්‍යයනය සඳහා උක්‌ත ප්‍රජාවේ තෝරාගත් පිරිසේ ජීවන ක්‍රමය, හැසිරීම් රටාව හා මුත්‍රා සාම්පලවල ඇතුළත් රසායන ද්‍රව්‍ය පිළිබඳව කරුණු සොයා බලා තිබේ. මෙහි දී හෙළි වී ඇති ආකාරයට ඔවුන් ගේ ශරීරයේ ඇති අන්තරාසර්ග පද්ධතියට හානි කරන රසායන ද්‍රව්‍ය ප්‍රමාණය සෙසු සාමාන්‍ය ජනතාවට වඩා අඩු මට්‌ටමක පවතී. මේ සංසන්දනය සඳහා තෝරාගෙන ඇත්තේ ජාතික මට්‌ටමේ සමීක්‌ෂණයක්‌ සඳහා යොදාගෙන ඇති දත්ත එකතුවකි.

මේ ජනතාව ගේ ජීවන ක්‍රමය පිළිබඳව සැලකිල්ලට ගැනීමේ දී උක්‌ත පර්යේෂකයන් පවසන්නේ වඩා සරල ජීවන ක්‍රමයක්‌ තුළින් ඉහත කී ආකාරයේ හානිකර රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම වළක්‌වාගත හැකි බවයි. මේ අනුව එවැනි ද්‍රව්‍ය ශරීරගත වීම වළක්‌වා ගැනීමට කළ හැකි කටයුතු තුනක්‌ වේ. ඒවා මෙසේ ය.

1. ආහාර තෝරා ගැනීමේ දී තම ගෙවත්තේ නිපදවන ලද වස විසෙන් තොර ආහාර භාවිත කළ හැකි නම් ආහාර මඟින් මේ රසායන ද්‍රව්‍ය ශරීරගත වීම වළක්‌වාගත හැකි ය.

2. විවිධ විලවුන්, ආලේපන හා වෙනත් එවැනි නිෂ්පාදන ආදිය භාවිතය සීමා කළ හැකි නම් සම හරහා අවශෝෂණය වීමෙන් මෙවැනි ද්‍රව්‍ය ශරීරගත වීම අඩු කළ හැකි වේ.

3. වාහන මඟින් සිදු කරන ගමනාගමනය අඩු කළ හැකි නම් ශ්වසනය මඟින් මේ රසායන ද්‍රව්‍ය ශරීරගත වීම වළක්‌වා ගත හැකි ය.

අපට දෙන පණිවිඩය

කෙසේ වෙතත් මේ අධ්‍යයනයේ දී යොදාගෙන ඇති නියෑදිය ප්‍රමාණයෙන් කුඩා ය. එහෙත් එය අධ්‍යයනයේ ප්‍රතිඵලවලට එතරම් බලපෑමක්‌ ඇති නො කරන බවක්‌ පෙනෙන්නේ එහි දී ඇති වන බලපෑම් ඉතා පැහැදිලි ඒවා වන නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත් මුත්‍රා සාම්පල ලබාගැනීමට පෙර පැය 24ක කාලයකට පෙර වාහනයක ගමන් කළ කාන්තාවන් අතර ඇතැම් තැලේට වර්ගයක සාන්ද්‍රණය ඉහළ වීම දැක්‌විය හැකි ය.

මේ අනුව අපට පෙනෙන්නේ සරල දිවි පැවැත්මක ඇති වැදගත්කම යළිත් පෙන්වා දෙන බවයි. එහෙත් වර්තමාන සමාජ-ආර්ථික වටපිටාව තුළ මේ සරළ දිවිපැවැත්ම අපෙන් ඈත් වෙමින් තිබේ. මේ තත්ත්වය වර්තමාන සංවර්ධන රාමුව මත පමණක්‌ තීරණය වන්නක්‌ නො ව, තවත් කරුණු රැසක්‌ නිසා ඇති වන්නකි. නිදසුනක්‌ ලෙස ජනමාධ්‍ය දැක්‌විය හැකි ය.

එවැනි සරල වූත් අල්පේච්ඡ වූත් දිවියක ඇති අගය ගැන අපේ රටේ බොහෝ දේ ලියෑවී තිබේ. එහෙත් මේ පිළිබඳව අපට ඇති ගැටලුව වන්නේ මෙවැනි එක්‌ පර්යේෂණයකින් පමණක්‌ මේ වෙනස ආපසු හැරවීමට හැකි ද යන්න ය. එය බෙහෙවින් අසීරු කරුණක්‌ වුවත් ඉන් පැනනැඟෙන පැනය වන්නේ මේ ජීවන ක්‍රමය අප (හා අපේ අනාගත පරපුර) යොමු කරන්නේ කොතැනකට ද යන්න ය. (මූලාශ්‍රයNeuroToxicology, DOI: 10.1016/j.neuro.2012.05.016)


තල්මහ සමුළුවේ දී තල්මහ අමාරුවේ?


පසුගියදා පැනමාවේ දී පවත්වන ලද ජාත්‍යන්තර තල්මහ කොමිසමේ රැස්‌වීමේ දී මිශ්‍ර ප්‍රතිඵල අත් වී ඇතත් පොදුවේ ගත්විට ඇති වී ඇත්තේ තවදුරටත් තල්මහ අනතුරට ලක්‌වන ආකාරයේ වර්ධනයකි.

තල්මහ සංරක්‌ෂණය එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලය වෙත යොමු කිරීම සඳහා මොනාකෝ රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාවක්‌ තල්මහ දඩයම් කරන රටවල විරෝධය නිසා යටපත් වී තිබේ. එහෙත් මේ පිළිබඳව එක්‌සත් ජාතීන් ගේ සංවිධානය තුළ තවදුරටත් කටයුතු කිරීමට මොනොකෝ රාජ්‍යය තීරණය කර තිබේ. මේ යෝජනාව මඟින් බොහෝ තල්මහ විශේෂ තල්මහ කොමිසමේ නීති යටතට නො ගැනෙන බව පෙන්වා දී තිබූ අතර විද්‍යාත්මක අවශ්‍යතා සඳහා සිදු කරනු ලබන දඩයම් කිරීම් පිළිබඳව ද දැඩි සැලකිල්ලක්‌ දක්‌වා තිබිණි. ඉන් යළිත් අනාවරණය වී ඇත්තේ තල්මහ දඩයමෙහි යෙදෙන රටවල් එය ඉන් පිටතට යනු දැකීමට කැමැත්තක්‌ නො දැක්‌වීම බව පෙනේa.

මේ අතර දකුණු අත්ලාන්තික්‌ කලාපයේ තල්මහ අභයභූමියක්‌ පිහිටුවීම සඳහා රටවල් කිහිපයක්‌ ඉදිරිපත් කළ යෝජනාවක්‌ ද කොමිසමේ රැස්‌වීමේ දී ප්‍රතික්‌ෂේප වී තිබේ.

මේ අතර තල්මහ දඩයම් කිරීම සඳහා ඇතැම් ධීවර කණ්‌ඩායම්වලට අවස්‌ථාව සලසා දීමට දකුණු කොරියාව සූදානම් වන බව මේ රැස්‌වීමේ දී වාර්තා වූ තවත් ආන්දෝලනාත්මක වර්ධනයකි. එය ද සිදු කරන්නට යන්නේ විද්‍යාත්මක පර්යේෂණවල මුවාවෙන් වුවත් කොරියානු ධීවරයන් තල්මහ දඩයම් කිරීමට ඉල්ලා සිටින බව එරට නියෝර්තයන් පෙන්වා දී තිබිණි. 1986 වර්ෂයේ දී ඇති කරගත් වාණිජ තල්මහ දඩයම තහනමෙන් පසු තවමත් එහි යෙදී සිටින රටවල් යොදාගන්නේ උක්‌ත තහනමේ ඇති 'විද්‍යාත්මක පර්යේෂණ' සඳහා වන අවසරය ය.

මෙවැනි අහිතකර තත්ත්ව යටතේ වුවත් යම් සතුටුදායක තීරණ ද ලැබී තිබේ. නිදසුනක්‌ ලෙස ග්‍රීන්ලන්තයේ ඉනුයිට්‌වරුන් ගේ තල්මහ දඩයම් කිරීමේ කෝටාව වැඩි කිරීමට කළ යෝජනාවක්‌ සමුළුවේ දී පරාජයට පත් වීම දැක්‌විය හැකි ය. මේ සඳහා බලපෑ එක්‌ කරුණක්‌ වූයේ සංචාරකයන්ට තල්මහ මස්‌ විකිණීමට තැබීම ඉහළ ගොස්‌ තිබීම පිළිබඳව සංරක්‌ෂණය අරමුණු කරගත් කණ්‌ඩායම් පළ කළ දැඩි විරෝධයයි.

පැනමා ඇළට ඇතුළු වන ප්‍රදේශයේ වාසය කරන තල්මහ සතුන් නැව් නිසා අනතුරුවලට ලක්‌ වීම වැළැක්‌වීමේ අරමුණෙන් යුතු ව නැව් ගමනාගමන මාර්ගය පටු කිරීමට අදහස්‌ කරන බව පැනමාව ප්‍රකාශ කළේ ය. ඒ සඳහා අදාළ නීති ලබන වසරේ දී පමණ ජගත් සාගර සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


පුවත් සැකෙවින්

බටහිර ඝාට්‌ස්‌ ලෝක උරුමයක්‌ වේ


ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති බටහිර ඝාට්‌ස්‌ කඳුවැටිය ආශ්‍රිතව ඇති ආරක්‌ෂිත ප්‍රදේශ ගණනාවක්‌ ලෝක උරුමයක්‌ සේ නම් කර තිබේ. වර්ග කිලෝමීටර් 160,000ක්‌ පමණ වන මේ උරුමයට අයත් වන්නේ කඳුකර පරිසර පද්ධති ඇතුළත් වේ. එසේ ම මේ ප්‍රදේශය ඉහළ ජෛවවිවිධත්වයකින් මෙන්ම ඉහළ ආවේණිකතාවකින් ද යුක්‌ත ප්‍රදේශයකි. ඉන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ තර්ජනයකට ලක්‌ ව ඇති ජීවී විශේෂ වීම ද වැදගත් ය.

මේ ප්‍රදේශය හා ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශය එකට ගෙන ජෛවවිවිධත්වය පිළිබඳ 'උණුසුම් ප්‍රදේශයක්‌' ලෙස නම් කරන ලද්දේ කලකට ඉහත දී ය. මේ ආකාරයෙන් ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීම ප්‍රදේශයේ සංරක්‌ෂණය සඳහා වැදගත් බව විශේෂයෙන් කිව යුතු නැත. එහෙත් ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ජනතාව ගේ හා පාලකයන් ගේ ද අවශ්‍යතාව තිබිය යුතු ය.


ෆුකුෂිමා අනතුර 'මිනිසුන් ගේ වැඩක්‌'.


2011 වර්ෂයේ ජපානයේ සිදු වූ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුර සඳහා මිනිසුන් ගේ නො සැලකිල්ල හා අතපසු වීම් ද හේතු වී ඇති බව එරට පාර්ලිමේන්තු කමිටුවක්‌ මඟින් පසුගිය දා නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබේ.

මේ අනතුර කල් තබා දැනගැනීමටත් වළක්‌වා ගැනීමටත් අවස්‌ථාවක්‌ තිබූ බව ද උක්‌ත වාර්තාව පෙන්වා දෙයි. රජයේ මෙන්ම අදාළ බලාගාරය පාලනය කළ සමාගම අතින් ද සිදු ව තිබූ අඩුපාඩු හා නොසැලකිලිමත්කම් මේ වාර්තාවේ ඇතුළත් වේ. නිදසුනක්‌ ලෙස බලාගාරය පාලනය කළ ටෙප්කෝ සමාගමේ සේවකයන්ට ප්‍රමාණවත් තරම් පුහුණුවක්‌ ලැබී නොමැත. මේ අනුව විවිධ වැරැදි හා නො සලකා හැරීම් නිසා බලාගාරය භූමිකම්පාවට හා සුනාමි තත්ත්වයට මුහුණ දීමට සූදානම් ව නො තිබූ බව මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම මෙවැනි තත්ත්ව වළක්‌වා ගැනීම සඳහා කළ හැකි කරුණු ඇතුළත් නිර්දේශ ගණනාවක්‌ ද මේ වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ. මේ වාර්තාව වැදගත් වන්නේ අනතුරෙන් පසු මාස කිහිපයකට පෙර සම්පූර්ණයෙන් ම ක්‍රියා විරහිත කර තිබූ එරට න්‍යෂ්ටික බලාගාර අතරින් එක්‌ බලාගාරයක්‌ පසුගිය දා නැවත ක්‍රියාත්මක කර ඇති නිසා ය. මේ තීරණයට එරෙහි ව දැඩි ජනතා විරෝධයක්‌ ද ඇති වී ඇතත් විදුලි අර්බුදයක්‌ වළක්‌වා ගැනීම සඳහා එය කළ යුතු බව රජය කියයි.


වනාන්තර අලෙවි නො කළ යුතුයි

රජයේ වනාන්තර ජාතික වත්කමක්‌ බවත් ඒවා කිසිසේත් අලෙවි නො කළ යුතු බවත් බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද ස්‌වාධීන කමිටුවක්‌ නිර්දේශ කර තිබේ. එසේ ම මේ වනාන්තර තිරසර ආර්ථික වර්ධනයක්‌ සඳහා ද යොදාගත හැකි බව එහි සඳහන් කර ඇත. පසුගිය වර්ෂයේ දී එරට රජය වනාන්තර කිහිපයක්‌ අලෙවි කිරීමට රජය සූදානම් වූ අවස්‌ථාවේ දී විශාල මහජන විරෝධයක්‌ ඇති විය. ඒ නිසා අදාළ තීරණය අත්හිටුවා ඒ ගැන විමසීම සඳහා උක්‌ත කමිටුව පත් කරන ලදි. ඔවුන් ඉදිරිපත් කර ඇති අනෙක්‌ නිර්දේශ අතර වන ආවරණය ඉහළ නැංවීම, සංරක්‌ෂණය සඳහා අරමුදල් සැපයුම් අඛණ්‌ඩව පවත්වා ගැනීම ආදිය ද වේ.

බ්‍රිතාන්‍ය රජය වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බවත්, රජයට අයත් වනාන්තර විකිණීමට වූ සැලසුම් නවත්වා දමන බවත් වාර්තා වේ. (මූලාශ්‍රයIndependentPanel on Forestry published its FinalReport, www.defra.gov.uk/forestrypanel/reports/)