logo3.gif (702 bytes)

HOME


කුමන ජාතික වනෝද්‍යානයත්
දේශපාලනඥයන්ට බිලි වෙයි ද?


රටක මිනිසුන් පමණක්‌ නො ව වන සතුන් මෙන්ම ගස්‌ වැල් ද, නිදහසේ ජීවත් විය යුතු ය. ලෝවැසි සත්ත්ව විශේෂ අතරින් කතා කිරීමේ හැකියාව ඇති එක ම සත්ත්වයා වන මිනිසාට වුවත් කතා කිරීමේ හැකියාවක්‌ නැති, වන සතුන් ගේ අයිතිය පැහැර ගැනීමට අයිතියක්‌ නැත. රටකට සංවර්ධනයක්‌ අත්‍යවශ්‍ය ය. එහෙත් සුන්දර වන පෙත් විනාශ කර වන සතුන් ගේ ජීවත් වීමේ අයිතිය නැති කර මිනිසාට පමණක්‌ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් කරන සංවර්ධනයෙන් නිසි ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ නැත. ගැමි ව්‍යවහාරයට අනුව එහි යා දීමක්‌ නැත. වත්මන් රජය විසින් දියත් කරනු ලබන ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාම - සැලසුමක්‌ නැති ව දේශපාලන වුවමනා එපාකම් පමණක්‌ මුදුන්පත් කර ගැනීම සඳහා කෙරෙන ව්‍යාපෘති හේතුවෙන් මෙරට වනගොමුවලටත්, වනයේ වෙසෙන වන සතුන්ටත් සිදු වන ගැහැට දිනෙන් දින වැඩි වන ලක්‍ෂණ පහළ වෙයි.

ගමේ ඉපිද, ගමේ ම හැදී වැඩී, ගමේ පන්සලෙන් හා පාසලෙන් අධ්‍යාපනය ලබා සමාජයේ කිසියම් වගකීමක්‌ දැරීමට හැකි පුද්ගලයන් බවට පත් වී, කවර හෝ දේශපාලන පක්‍ෂයක නායකත්වයකින් දේශපාලනයේ රන් කිරි කටගැමෙන් පසු, ඉපදුණු මොහොතේ රන් කිරි කටගෑ මවුකිරිවල ගුණය අමතක කර, උපන් ගමේ හා ප්‍රදේශයේ සම්පත් වනසා, බඩ කට පුරවා ගන්නට මාන බලන, ප්‍රාදේශීය දේශපාලනඥයන් නිසා මෙරට ස්‌වාභාවික සම්පත්වලට සිදු වන හානිය සුළු පටු නැත.

මෙරට ප්‍රධාන ජාතික උද්‍යානයකටමේ ආකාරයේ තවත් මහා ව්‍යසනයක්‌ සිදු කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනකු උත්සාහයක්‌ ගන්නා බව රාජ්‍ය හා රාජ්‍ය නො වන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත. මේ ආරංචි මාර්ග ඔස්‌සේ දැනගන්නට ලැබුණු කරුණු අනුව අද සතියේ විමසුම සැකසේ.

වර්ෂ 1941 දී අතරමැදි කලාපයක්‌ ලෙසට නම් කර තිබුණු යාල නැඟෙනහිර සීමාවට අයත් වූ මේ බිම් පෙදෙසට "කුමන" යනුවෙන් නම ලැබුණේ ඉපැරැණි ගම්මානයක්‌ මේ ජාතික වනෝද්‍යානයට අයත් බිමේ හමු වන බැවිනි. වර්ෂ 1969 දෙසැම්බර් 26 වැනි දින හෙක්‌ටයාර් 263ක්‌ ද, වර්ෂ 1970 ජනවාරි 02 දින හෙක්‌ටයාර 1763.4ක්‌ ද, ඉන්පසු වසර 2006 පෙබරවාරි 20 දින කුඩුම්බිගල, පානම අභය භූමිය ද ඇතු`ඵ හෙක්‌ටයාර 6533.91ක්‌ ද සේ අභය භූමියට ඇතුළත් කර ඇත. ඉන්පසු නැවත වරක්‌ එනම් වසර 2006 සැප්තැම්බර් 05 වැනි දින හෙක්‌ටයාර 35664.74ක්‌ සම්පූර්ණ වන සේ මේ බිම් සීමාව "කුමන" ජාතික වනෝද්‍යානය ලෙස නම් කෙරිණි. යාල ජාතික වනෝද්‍යානයේ කුඹුක්‌කන් ඔයෙන් වෙන් වන එහි නැඟෙනහිර සීමාව කුමන ජාතික වනෝද්‍යානයට අයත් විය. වසර 1985 සිට වසර 2006 දක්‌වා කාල සීමාවේ නිල නො වන අයුරින් වසා දැමූ කුමන ජාතික වනෝද්‍යානය වසර 2010 ජනවාරි 29 වැනි දින එවකට පරිසර ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.

අම්පාර දිස්‌ත්‍රික්‌කයටත්, මොණරාගල දිස්‌ත්‍රික්‌කයටත් අයත් වන කුමන ජාතික වනෝද්‍යානය පොතුවිල් මැතිවරණ බල ප්‍රදේශයෙහි පිහිටා ඇත. නැඟෙනහිර වනජීවී සහකාර අධ්‍යක්‌ෂ යටතේ පාලනය වන මේ වනෝද්‍යානයේ මායිම් පිළිබඳව විමසීමේ දී නැඟෙනහිර මායිම හැලව සිට කුමන මෝය දක්‌වාත්, දකුණු මායිම කුමන මෝය සීමාවේ සිට දිව්ලානගොඩ දක්‌වාත් විහීදී යයි. දිව්ලානගොඩ සිට අලකොලආර දක්‌වා බටහිර මායිම විහිදී ඇත. උතුරු මායිම බුදුබාව සිට කඩුම්බිගල හරහා හැලවට නැවත යා වේ.

භෞතික ලක්‍ෂණ

කටු පඳුරුවලින් හා වියළි මිශ්‍ර සදාහරිත වනාන්තරවලින් පිරුණු පරිසර පද්ධතිවලින් පිරිපුන් කුමන ජාතික වනෝද්‍යානය වැව් හා කලපු 20කින් පමණ සමන්විත වෙයි. මේ හැරුණු කොට තෘණ බිම්, මෝය, ගංගාධාර වන බිම්, වෙරළාශ්‍රිත ශාක පද්ධති, උස්‌ බිම් සහ තැනිතලා යනාදියෙන් යුක්‌ත ය. මේ සුන්දර වනබිම ලොව ප්‍රකට වීමට හේතුවක්‌ ඇත. එනම් හෙක්‌ටයාර 200ක හෙවත් අක්‌කර 500ක පමණ විශාලත්වයකින් යුත් විල්ලුවෙහි නැඟෙනහිර වෙරළ තීරයෙන් රට තුළට පැමිණෙන සංචාරක පක්‍ෂීන් අනාදිමත් කාලයක සිට ලැගුම් ගැනීමට හුරු වී සිටීම ය. උද්‍යානය තුළ තිබෙන ප්‍රකට කලපු අතර අන්දර කලපුව, ඉටිකළ කලපුව සහ යාකලෙයි කලපුව ප්‍රධාන තැනක්‌ ගනී. ඕකන්ද සහ ගිරිකාල යන කලපු පක්‍ෂීන්ට නවාතැන් දෙන කුඩා කලපු වෙයි. පිහිටා ඇති වැව් අතර පලුගස්‌ වැව, තුන්මුල්ල වැව, එරගම වැව, දිවුල්පල්ලව වැව, කුමන වැව, බාගුරේ වැව යන කුඩා වැව් වෙයි. ජල පොකුණු අතර නෙළුම් පත් පොකුණ, ඉටිකල පොකුණ, කිරි පොකුණ, යාළු පොකුණ යන පොකුණු රාශියක්‌ වෙයි. දර්ශනීය ගල් පර්වතවලින් හෙබි කුමන ජාතික වනෝද්‍යානයේ යෝධ ලිප් ගල් තුන දර්ශනීය පිහිටීමකි. බාගුරේ හෙළ යනුවෙන් හැඳින්වෙන මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක්‌ ඇති ගල් පර්වතය බඹරගස්‌ තලාවේ පිහිටි දර්ශනීය ගල් පර්වතයකි.

ජෛවවිවිධත්වය

යාල ජාතික වනෝද්‍යානය හා සමාන වූ ජෛවවිවිධත්වයක්‌ ඇති කුමන ජාතික වනෝද්‍යානයේ සුවිශේෂී ලක්‍ෂණ රැසක්‌ දක්‌නට ලැබේ. එනම් ගොඩබිම් පරිසර පද්ධතියක දක්‌නට නො ලැබෙන ජලාශ්‍රිත පරිසර පද්ධති රැසක්‌ මෙහි පිහිටා තිබේ. මෙනිසා ජලජ ජීවීන් ගේ හා උභය ජීවීන් ගේ සරු විවිධත්වයක්‌ කුමන ජාතික වනෝද්‍යානය තුළින් දක්‌නට ලැබේ. එබැවින් කුමන ජාතික වනෝද්‍යානයේ තෙත්බිම් ආශ්‍රිත ව ශාක විවිධත්වයක්‌ මෙන්ම වියළි කලාපීය ශාක විවිධත්වයක්‌ ද දක්‌නට ලැබේ. ඒ අනුව ශාක විශේෂ 223ක්‌ පමණ මේ උද්‍යානයේ දක්‌නට ලැබෙන අතර වීර, පලු, බුරුත, මිල්ල, කෝන්, ඇහැළ, තෙළෙඹු, මලිත්ත, මස්‌බැද්ද, කුකුල් කටු, තිඹිරි, කොස්‌ගොන්න යනාදී වියළි කලාපීsය ශාක විශේෂ මෙන්ම හීරැස්‌ස, හාතාවාරිය, ඉරමුසු, කලවැල්, පුස්‌වැල්, බඹරවැල්, නියඟලා වැනි වැල් වර්ග රැසක්‌ දක්‌නට ලැබේ. කලපු ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ ගණනාවක්‌ දක්‌නට ලැබෙන අතර කිරල ශාක ද බහුලව දක්‌නට ලැබේ. ගල් කඳු ආශ්‍රිතව නුග, බෝ වැනි ශාක විශේෂ මෙන්ම පතොක්‌, අක්‌කපාන වැනි කෘෂ්ටීය ශාක ද සරුවට වැඩේ. වෙරළ ආශ්‍රිත පරිසරයේ වරා ශාකය සරු ගහනයක්‌ දක්‌නට ලැබෙන අතර කටු ඉකිලිය මුහුදු බිම් තඹුරු, නෙරෙංචි වැනි ශාක විශේෂ ද දක්‌නට ලැබේ. මිරිදිය ජලාශ්‍රිත පරිසර ඕළු, නෙළුම් හා කෙකටිය වැනි ජලජ ශාක වෙයි.

සත්ත්ව ප්‍රජාව

සත්ත්ව විවිධත්වය සැලකූ විට යාල ජාතික වනෝද්‍යානයට වඩා දියුණු සත්ත්ව විවිධත්වයක්‌ කුමන ජාතික වනෝද්‍යානයේ දක්‌නට ලැබෙන්නේ ඊට සරිලන පරිසර පද්ධති රැසක්‌ එහි ඇති බැවිනි. කුමන ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වන පක්‍ෂි විශේෂ ගණන 255ක්‌ පමණ වෙයි. වසරේ අප්‍රේල් සිට ජූලි දක්‌වා වූ කාල සීමාව තුළ මෙහි ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සැරිසරන පක්‍ෂි ගහනය දස දහසකට අධික ය. මේ පක්‍ෂීන් අතර දුර්ලභ පක්‍ෂියකු වන අලි මානාවා, හීන් බහුරු මානාවා, ලතුවැකියා යුරේසියානු හැ`දිආලාවා, මහා ගොළු කිරලා, අළු කොකා, කරවැල් කොකා, සුදු මැදි කොකා, පොදු දම් කිරලා, පාදිලි මානාවා, රෑ කොකා, පුංචි දිය කාවා වැනි ජලජ පක්‌ෂීන් විශේෂ වෙයි. මාංශ භක්‍ෂක පක්‍ෂීන් අතර කුරුලුගොයා, බ්‍රාහ්මණ උකුස්‌සා, කොණ්‌ඩ උකුස්‌සා, අළු උකුස්‌සා, වැනි උකුසු විශේෂ රැසක්‌ වෙයි. ගොඩබිම් පක්‍ෂීන් අතර වලි කුකුළා, හබන් කුකුළා, මොනරා, පොරෝ කෑදැත්තා, නීල බිඟුහරයා වන හැලපෙන්දා, විල් කුකුළා, මහා විල් කුකුළා, රන් කිරලා වැනි පක්‍ෂී විශේෂ ගණනාවක්‌ හමු වෙයි.

යාල ජාතික වනෝද්‍යානයත් ලාහුගල ජාතික වනෝද්‍යානයත් අතර වන සතුන් ගේ සංක්‍රමණ මාර්ගයක්‌ කුමන ජාතික වනෝද්‍යානය හරහා වැටී ඇත. එබැවින් වන සතුන් රැසක්‌ කුමන ජාතික වනෝද්‍යානය තුළ දක්‌නට ලැබේ. කුඹුක්‌කන් ඔය ආශ්‍රිතව අලි ඇතුන් රංචු වශයෙන් සැරි සරනු දක්‌නට ලැබීම සුන්දර දර්ශනයකි. කොටියා, වලහා, ගෝනා, වැලි මුවා, ඕලු මුවා, කුළු හරකා, වල් ඌරා, නරියා වැනි ක්‍ෂීරපායි සතුන් අතර හෝතම්බුවා, මුගටියා, ඉත්තෑවා, කලවැද්දා වැනි ක්‍ෂීරපායින් විශේෂ 48ක්‌ පමණ කුමන ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වෙයි.

ජලාශ්‍රිත පරිසර පද්ධතිවලින් හමු වන උභය ජීවින් ගේ විශේෂ ගණන 14ක්‌ පමණ වෙයි. ඉබ්බන් හා කිඹුලන් හැරුණු කොට ගෙම්බන් විශේෂ ගණනාවක්‌ ද වෙයි. සර්ප විශේෂ අතර නයා, පොළඟා, මුදු කරවලා, මුහුදු නයා, පොළොන් තෙලිස්‌සා, තෙල් කරවලා, වැලි පොළ`ගා යන උග්‍ර විෂ සහිත සර්ප විශේෂ 7 ම කුමනින් වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ විශාල ම උරගයන් වන පිඹුරා සහ කිඹුලා යන දෙදෙනා ම මේ වනෝද්‍යානයෙන් වාර්තා වීම ද විශේෂත්වයකි. කටුසු විශේෂ රැසක්‌ මෙහි දක්‌නට ලැබේ. මේ කටුසු විශේෂ අතර පිනුම් කටුස්‌සා, තොලවිසිතුරු කටුස්‌සා, පළා කටුස්‌සා, කරමල් බෝදිලියා යන විශේෂ ද අයත් වෙයි. හුඹස්‌ හූනා, ගල් හූනා, සිකනලා ද හමු වන උරගයන් අතර වෙයි.

මිරිදිය මත්ස්‍ය විශේෂ රැසක්‌ ජලාශ්‍රිත පරිසර පද්ධතිවල වෙසේ. මඩ ආ`දා හෙවත් කලපු ආ`දා, මොරැල්ලා, මගුරා, වැලිගොව්වා ගංආරා, කනයා, කොරලියා, උඩ හඳයා, කාවයියා, මස්‌ පෙතියා, දම් කොළ පෙතියා, තඹලයා, ගං අයිරාවා වැනි දේශීය මත්ස්‍ය විශේෂ රැසක්‌ ඊට අයත් වේ. කඩොලාන පරිසර පද්ධති ආශ්‍රිතව කූනිස්‌සන්, මඩ පොකිරිස්‌සන්, ඉස්‌සන්, කකුළුවන් වැනි කරදිය මත්ස්‍ය විශේෂ ද, නිරීක්‍ෂණය කළ හැකි ය.

තර්ජන

එදා සිට අද දක්‌වා මේ උද්‍යානයේ සත්ත්ව සම්පතටත් ශාක සම්පතටත් සිදු වන හානි සුළුපටු නැත. ත්‍රස්‌තවාදී උවදුරු පැවැති සමයේ දී නිල නො වන අයුරින් කුමන ජාතික වනෝද්‍යානය වැසී ගියේ ය. ඒ සමයේ දී මෙහි සේවය කළ නිලධාරීන් කීප දෙනකු ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙසින් වන ජීවීන්ට හානියක්‌ සිදු නො විණි. එසේ වුවත් මේ වන විට සමහර අවස්‌ථාවල දී දඩයක්‌කරුවන් ගේ වෙඩි උණ්‌ඩයට ගොදුරු වන ගෝනුන්, මුවන් හා වල් ඌරන් ගේ මස්‌ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් ගේ සාදවල දී මෙන්ම හෝටල්වල රසමසවු`ඵ වූ බවට පත් වී දඩ මස්‌ කෑමට ගිජු වූ නරුමයන් ගේ දිව කට පිනවන බව ද රහසක්‌ නො වේ. එවන් හානිකර දැ කුමන ජාතික වනෝද්‍යානය තුළ සිදු වෙද්දී ඊටත් වඩා මහා විනාශයකට මුල පිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනකු එක්‌ ව ව්‍යාපාරිකයන් කීප දෙනෙක්‌ අරඅදින බැව් ප්‍රදේශයේ වගකිවයුතු පුද්ගලයන් කීප දෙනකු ගෙන් අනාවරණය වෙයි.

පැරැණි කුමන ගම්මානය අද ජාතික වනෝද්‍යානය තුළ දක්‌නට නැත. ඒ වෙනුවට ඇත්තේ මහා රූස්‌ස ගස්‌වලින් හා වන සතුන් ගෙන් පිරි වනාන්තරයකි. එදා කුමන ජාතික උද්‍යානය පිහිටුවීමේ දී පැරැණි කුමන ගම්මානයෙන් පිට වී ගිය ගම්වැසියෝ යහපත් ආර්ථික තත්ත්වයක්‌ ඇති ව ඔවුන් පදිංචි ගම් ප්‍රදේශවල ජීවත් වෙති. ඔවුන් ගේ දරුවන් මෙන්ම දරුවන් ගේ දරුවෝ ද සිය පැරැන්නන් කුමන ගම්මානයෙන් පැමිණි බව නො දනිති. සරලව කිව හොත් ඔවුහු කුමන පැරැණි ගම්මානයට නැවත පැමිණීමට සැලසුම් නො කරති. මෙවන් පසුබිමක්‌ තිබෙන අවධියක ලාහුගල ප්‍රාදේශීය දේශපාලනඥකයකු ඇතු`ඵ ඔහු ගේ හිතමිතුරු ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනකු හදිසියේ නින්දෙන් අවදි වූවා සේ කුමන ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කළ පැරැණි කුමන ගම්මානය නැවත පිහිටුවීමට අරඅදින්නේ කුමකට දැයි යන්න ප්‍රදේශවාසීන් ගෙන් අප වෙත ලැබෙන තොරතුරුවලින් අනුමාන කළ හැකි ය. මෙහි දී මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කීප දෙනා පැරැණි කුමන ගම්වාසීන් ගේ ගම්මානය නැවත පිහිටුවන බවට බලාපෙරොත්තු ඇති කර උසිගැන්වීමක්‌ කරන බවට ද ප්‍රදේශයේ ආරංචි මාර්ග පවසයි. සැබැවින් ම ඔවුන් මේ සැරසෙන්නේ ඉඩම් කොල්ලයකට බවට සැකයක්‌ මතු ව පවතියි. මේ වන විටත් ඔවුන් නැවත පදිංචි කරවීමේ අමාත්‍යාංශයට කරුණු කියා දී ලිපි ගනුදෙනු කර අවසන් ය. එසේ ගනුදෙනු කළ ලිපියකට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බලවතකු ද සිටින බව පැහැදිලි ය.

මාධ්‍යවේදියකු වශයෙන් මේ ලියුම්කරු කුමන ජාතික වනෝද්‍යානය හා අවට ප්‍රදේශවල මෙන්ම පානම්පත්තුව හා සම්බන්ධ ලාහුගල පානම වැනි ගම්මාන ආශ්‍රිත වත් විටින් විට කළ සංචාරවල දී ඒ ගම්වල වැසියන් හමු වී කළ සාකච්ඡා අනුවත් ඉපැරැණි කුමන ගම්මානයේ නැවත පදිංචි වීමට කැමැත්තක්‌ දැක්‌වූ කිසි ම ගම්වැසියකු අපට හමු වී නැත. අදත් එසේ ම ය. එහෙත් උසිගැන්වීම් සාධාරණ යෑයි සිතා දිරච්ච ලණු කෑ ගම්වැසියකු හෝ දෙදෙනකු සිටිය හැකි ය. මේ වන විටත් ප්‍රාදේශීය දේශපාලනඥයකු ගෙන් මෙන්ම ගම් වැසියන් ගෙන් දැනගන්නට ලැබෙන කරුණු අනුව මේ සැරසෙන්නේ ඉඩම් කොල්ලයකට බැව් පෙනෙයි. මොවුන් ගේ ප්‍රයත්නය කිසියම් අයුරකින් රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ සාර්ථක වුව හොත් රැම්සා තෙත් බිමක්‌ ලෙස ලොව ප්‍රකට වූ ශ්‍රී ලංකාවේ අගනා කුරුලු අභය භූමියක්‌ මෙන්ම වටිනා ජෛවවිවිධත්වයක්‌ සඟවාගත් කුමන ජාතික වනෝද්‍යානය පානම් පත්තුවේ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද අහිමි වනු ඇත.

ලිපි හුවමාරුව

ප්‍රාදේශීය දේශපාලන බලවතකු ඇතු`ඵ ප්‍රදේශීය දේශපාලනඥයන් කීප දෙනා ගේ ඉල්ලීම පරිදි වසර 2012 පෙබරවාරි 27 වැනි දින ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක්‌ යවන නැවත පදිංචි කරවීමේ අමාත්‍යාංශ ලේකම්වරයා කුමන ගම්මානයේ නැවත ජනතාව පදිංචි කිරීමේ දී ඇති වන බාධක හා අවහිරතා පිළිබඳ වාර්තාවක්‌ ඉල්ලයි. මෙයට පිළිතුරක්‌ සපයන ලාහුගල ප්‍රදේශීය ලේකම්වරයා කරුණු දක්‌වමින් වසර 2012 මැයි 30 වැනි දින නැවත පදිංචි කරවීමේ අමාත්‍ය ලේකම්වරයා වෙත ද වාර්තාවක්‌ ඉදිරිපත් කරයි. එම ලිපියේ නැවත පදිංචි කරවීමෙන් ඇති වන ප්‍රයෝජන කරුණු 4ක්‌ සහිතව ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ පෙන්වා දෙයි.

නැවත පදිංචි කරවීමේ ප්‍රයෝජන

1. දිගු ඉතිහාසයකට හිමිකම් කියන ගම්මානයක්‌ වීම.

2. ස්‌වයං පෝෂිත හා ස්‌වාභාවික පරිසරයකට අනුව ජීවත් වූ පවුල්වලට නැවත උපන් ගමට යැමට අවස්‌ථාව සැගසීම.

3. කුමන වැව යටතේ වගා කරන ලද අක්‌කර 200ක පමණ ඉඩම්වල නැවත වගා කළ හැකි වීම.

4. කුමන ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට හා කතරගම පාද චාරිකාවේ යෙදෙන බැතිමතුන්ට පහසුකම් සැලසීමේ හැකියාව හා ඒ තුළින් ගම්වැසියන් ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කර ගැනීමේ හැකියාව.

ඉහත සඳහන් කරුණු ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා දක්‌වන්නේ අනවබෝධයෙන් බැව් පැහැදිලි ය. ඔහු මෙහි දී සලකා බලන්නේ කුමන ජාතික වනෝද්‍යානයේ ගම්මානය නැවත පිහිටුවීම පමණක්‌ බැව් පැහැදිලි ය.

ඉහත දක්‌වා ඇති කරුණු අනුව කුමන ගම්මානය ඉතා දිගු ඉතිහාසයකට අයත් බැව් අපි කවුරුත් පිළිගනිමු. එය වසන් කළ නො හැක්‌කකි. එහෙත් එම කුමන ගම්මානය අදින් දශක 3කට පමණ පෙර සහමුලින් ම ඉවත් කළ බැවින් අද වන විට එය ජෛවවිවිධත්වයෙන් පිරි අභය භූමියක්‌ බවට පත් වී තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයා මේ බැව් නො දන්නේ ද? එසේත් නැත හොත් ප්‍රදේශීය දේශපාලනඥයන් විසින් ඔවුන් ගේ අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීම ස`දහා ප්‍රාදේශීය ලේකම්වරයා නොම`ග යෑවීමක්‌ කර තිබේ ද? මේ හැරුණු කොට ඉතිරි කරුණු ගැන ප්‍රාදේශීය ලේකම්වරයා ගේ ප්‍රකාශවලින් පෙනෙන්නේ ජාතික වනෝද්‍යානයක ස්‌වභාවය කුමක්‌ ද? ඒ තුළ මිනිස්‌ ක්‍රියාකාරකම් පවත්වාගෙන යා හැකි ද? යන කරුණු පිළිබ`දව ප්‍රාදේශීය ලේකම්වරයාට ඇති අවබෝධය ප්‍රමාණවත් නැති බව ය. ප්‍රදේශයේ ස්‌වාභාවික සම්පත් රැක ගැනීමේ වගකීම දරන රාජ්‍ය නියෝජිතයා වන ප්‍රාදේශීය ලේකම්වරයා ගේ සහාය ඇති ව සහ ජාතික වනෝද්‍යානයක ජෛව සම්පත් විනාශ කරමින් දේශපාලනඥයන් නැටීමට සරසෙන නාඩගම ගැන පරිසරවේදීහු කනස්‌සල්ලට පත් ව සිටිති.

කෙසේ වෙතත් මේ ලිපියෙන් ම ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා නැවත පදිංචි කරවීමේ දී ඇති වන ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරයි.

නැවත පදිංචි කර වීමේ ගැටලු

1. ජාතික වනෝද්‍යානයක්‌ තුළ පිහිටීම නිසා ඒ තුළ පෞද්ගලික ඉඩම් නොමැති බැවින් ඉන් නිදහස්‌ කර ගැනීමේ අපහසුතාව.

2. විදුලිය ආදි යටිතල පහසුකම් සැපයීමේ දී පානම සිට කිලෝමීටර් 36ක්‌ පමණ දුරක්‌ ගෙවිය යුතු වීම.

3. සියලු ම රජයේ සේවා සපයන කාර්යාල අලුතෙන් පිහිටුවීමට සිදු වීම.

4. ඒ සඳහා පත් වන රජයේ නිලධාරීන්ට පහසුකම් සැපයීම.

5. අසාධ්‍ය රෝගියකු මූලික රෝහලක්‌ පිහිටා ඇති පොතුවිල් නගරයට සැතපුම් 53ක්‌ දුර ගෙන යැමට වීම.

6. ප්‍රවාහන පහසුකම් සැපයීමට නො හැකියාව.

මේ සියලු ම කරුණු පෙන්වා දෙන ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා,

"ඒ අනුව මේ ඉල්ලුම්කරුවන් නැවත පදිංචි කරවීම පිළිබඳ අවසාන නිගමනයකට එළඹීමට පෙර වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ අදාළ අනෙකුත් ආයතනවල සහභාගිත්වයෙන් කරන ලද සාකච්ඡාවකින් පසු සිදු කිරීම වඩාත් යෝග්‍ය බැව් යෝජනා කරමි." යනුවෙන් සඳහන් කරයි.

ඉවක්‌ බවක්‌ නැති ව හිතුමතේ උන්මත්තක දේශපාලනඥයන් හා ඔවුන් ගේ සහායකයන් විසින් කරනු ලැබූ සහ කරනු ලබන වන විනාශය හේතුවෙන් ඉතිරි වී ඇත්තේ රටේ සමස්‌ත වන ගහණයෙන් සියයට 18ක්‌ වැනි අල්ප මාත්‍රයකි. මේ ප්‍රමාණයෙන් සියයට 14ක්‌ වැනි සු`ඵ ප්‍රමාණයක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ය. කුමන ජාතික වනෝද්‍යානය අයත් වන්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ය. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වත්මන් වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි. එබැවින් මේ පිළිබඳව පූර්ණ වගකීමක්‌ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් හා වනජීවී අමාත්‍යවරයාට ඇති බැව් සඳහන් කළ යුතු ය. රටක්‌ තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම තුළින් දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ආකර්ෂණයට වඩාත් ලක්‌ වූ ජාතික වනෝද්‍යානය තුළ ජෛව සංරක්‍ෂණයක්‌ කෙරෙන මෙවන් කාල වකවානුවක කුමන වැනි ජෛවවිවිධත්වයෙන් අති සංවේදී ජාතික වනෝද්‍යානයක්‌ තුළ පෞද්ගලික ඉඩම් තිබිය නො හැකි බව නීතියෙන් තහවුරු කර තිබිය දීත් බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන් නීතියට අවමින් කර ඉඩම් කරන්නේ ඉඩම් කොල්ලයකට අඩිතාලම දැමීමක්‌ බැව් පැහැදිලි ය.

යම් ආකාරයකින් කුමන වනෝද්‍යානය තුළ ගම්මානය පිහිටුවුව හොත් ගැටලුවකින් තොර ව ජීවත් වන ජනතාව තවත් ගැටලු රැසකට ඇද දැමීමක්‌ වනු ඇත. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ මෙරට ඇති සුන්දරත්වය නැරඹීමට මිස වන සතුන් නොමැති, තුරුලතා නොමැති, ගලා හැළෙන මනරම් දියඇළි, දිය කඩිති, සිඳී ගිය වියළි කර්කෂ කාන්තාර බිමක්‌ නැරඹීමට නො වේ.

එබැවින් මේ අකටයුතු දිගට ම මෙසේ වුව හොත් සංචාරක කර්මාන්තයටත් දෙවියන් ගේ ම පිහිට ය.

අද සතියේ විමසුම සහ ඡායාරූප
අමල් උඩවත්ත