logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
වෘෂභ රාශිය තුළින් බ්‍රහස්‌පති
සහ සිකුරු ගමන් කරයි


මේ දිනවල ඔබ පාන්දර 5.00ට පමණ නැඟෙනහිර අහස නිරික්‍ෂණය කළ හොත් නිල් සුදු වර්ණයෙන් යුත් තරු දෙකක්‌ දිස්‌ වනු ඇත. මෙය තරු දෙකක්‌ නො ව බ්‍රහස්‌පති සහ සිකුරු යන ග්‍රහලෝක දෙක ය. මෙයින් බ්‍රහස්‌පති ග්‍රහ ලොව ඉහළිනුත්, සිකුරු ග්‍රහ ලොව පහළිනුත් දිස්‌ වෙයි. මඳ වේලාවක්‌ බලා සිටින විට ග්‍රහලෝක දෙක මේ දිනවල වෘෂභ තාරකා රාශිය තුළ පිහිටා ඇති අන්දම දක්‌නට ලැබෙයි. සිකුරු ග්‍රහලොව අසලින් රතු පැහැති දීප්තිමත් තරුවක්‌ දිස්‌ වෙයි. මෙය වෘෂභ තාරකා රාශියේ දීප්තිමත් ම තරුව වන ඇල්ඩෙබරන් තරුවයි. බ්‍රහස්‌පති ග්‍රහලොවට ඉහළින් හත්දින්න තරු පොකුර (Plaedes star cluster) පියවි ඇසින් නිරීක්‍ෂණය කළ හැකි ය. මේ දිනවල සිකුරු ග්‍රහලොවේ දීප්ති විශාලත්වය සෘණ 4.5 (-4.5ක්‌) වන අතර බ්‍රහස්‌පති ග්‍රහලොවේ දීප්ති විශාලත්වය සෘණ 2.0 (-2.0)කි. දුරදක්‌නයක්‌ ආධාරයෙන් ග්‍රහලෝක දෙක නිරීක්‍ෂණය කළ විට බ්‍රහස්‌පති ග්‍රහලොවේ උපග්‍රහයින් වන අයෝ, යුරෝපා, කැලිස්‌ටෝ සහ ගැනිමිඩ් සහ සිකුරු ග්‍රහලොව කලා පිරෙන අඩ සඳක්‌ ආකාරයට නිරීක්‍ෂණය කළ හැකි ය. දෙනෙතියක්‌ ආධාරයෙන් හත්දින්න තරු පොකුර නිරීක්‍ෂණය කළ හොත් තරු 7ක්‌ වෙනුවට තරු සිය ගණනක්‌ නිරීක්‍ෂණය කළ හැකි ය.

අමල් උඩවත්ත