logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
රජරට වකුගඩු රෝගයට හේතු සෙවීමේ අරගලය
නැවත උණුසුම් වෙයි !


ධාවක රාජසිංහ

රජරට වකුගඩු රෝගයට හේතු සෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇති ව වසර කිහිපයක්‌ තිස්‌සේ සිදු කරගෙන යනු ලබන අධ්‍යයනයකට අදාළව දැනට ලබා ඇති තොරතුරු සමූහයක්‌ ඉකුත් සතියේ ප්‍රකාශයට පත් විය. මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවක දී සහ ඉහළ පෙළේ නිලධාරි මට්‌ටමේ සාකච්ඡා කිහිපයක දී අනාවරණය වී ඇත්තේ රෝගය සඳහා කැඩ්මියම්, ආසනික්‌ සහ ඊයම් වැනි බැර ලෝහවල සෘජු සබඳතාවක්‌ ඇති බවට සාධක ලැබී ඇති බවයි. මෙකී ලෝහ ශරීරගත වන්නේ පස හා ආහාර දාම හරහා බවත්, මේ තාක්‌ කළ අධ්‍යයනවල දී ජල මූලාශ්‍රවල සෘජු සම්බන්ධයක්‌ මෙහි ලා පෙනෙන්නට නැති බවත් මෙහි දී ප්‍රකාශ වී ඇත. ඇතැම් විට වායුගෝලය ද මෙකී මූලද්‍රව්‍ය ශරීරරගත වීමේ ප්‍රභවයක්‌ විය හැකි බවට මෙහි දී අදහස්‌ පළ වී ඇත. කෙසේ වෙතත් ජල මූලාශ්‍රවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, පසට බැර ලෝහ අධිකව මුසු වීම වැළැක්‌වීමේ පියවර ගැනීම සහ කිවුල් ජලය පානයට නො ගැනීම ආදිය, තත්ත්වය පාලනය කිරීම සඳහා දැනට කළ හැකි යෝජනා වශයෙන් ඉදිරිපත් කෙරී තිබේ.

මේ අතර මෙකී අනාවරණයන් ගෙන් කැඩ්මියම්, රෝගයට වැඩි දායකත්වයක්‌ දක්‌වන බව නැවත වරක්‌ තහවුරු වන්නේ යෑයි, කැඩ්මියම් මීට වගකිව යුතු යෑයි කියන වෙනත් පර්යේෂණ කණ්‌ඩායමක අදහස අනුමත කරන වෛද්‍යවරු පිරිසක්‌ තරයේ කියා සිටිති. පැවැති මාධ්‍ය හමු ආදියේ දී මේ බැව් සෘජුව ප්‍රකාශ වී නැතත් සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යයන කණ්‌ඩායමට සම්බන්ධ අතිශයින් ම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කැඩ්මියම්වල වැඩි දායකත්වයක්‌ මේ සඳහා ඇති බව තමන් තහවුරු කරගත් බව, එක්‌ වෛද්‍යවරයෙක්‌ විදුසරට පැවසී ය.

කෙසේ වෙතත් ආසනික්‌ සහ කිවුල් ජලය මේ සඳහා සෘජුව වගකිව යුතු බව කියා සිටින තවත් පර්යේෂණ කණ්‌ඩායමකට අයත් වෛද්‍යවරුන් කියා සිටින්නේ තවදුරටත් තම මතය නිවැරැදි බවට වන ස්‌ථාවරයේ සිටින අතර ම කැඩ්මියම්වල අමතර දායකත්වය ද තමන් ප්‍රතික්‌ෂේප නො කරන බවයි. ආසනික්‌ සහ කිවුල එක්‌ ව සිදු කරන හානියෙහි ප්‍රබලතාව වැඩි කරන සාධකයක්‌ ලෙස කැඩ්මියම්, තම කණ්‌ඩායම පෙර සිට ම හඳුනාගෙන තිබූ බව ඔවුහු පැහැදිලි කර සිටිති.

මේ අතර පාරිසරික විෂවේදය පිළිබඳ ප්‍රාමාණිකයකු වන රුහුණ සරසවියේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල ද සිල්වා මහතා පුවත්පත් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ පසට එකතු වන ප්‍රධාන ප්‍රභවය ප්‍රමිතියකින් තොර පළිබෝධනාශක හා රසායනික පොහොර බව ය. මේ කරුණ යටපත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යයන කණ්‌ඩායම උත්සාහ ගනිමින් සිටින්නේ ද යන සැකයක්‌ මතු වන බව ද ඒ මහතා සිය නිවේදනයෙන් කියා සිටියි.

මේ හා සමාන මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කරන ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය, රෝගයට හේතුව කෘෂි රසායන ද්‍රව්‍ය මඟින් එක්‌ වන බැර ලෝහ බව සෘජුව පිළිගෙන ඒ සඳහා සුදුසු පිළියම් හැකි ඉක්‌මනින් යොදන ලෙස වගකිව යුතු පාර්ශ්වයන්ට බල කර සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඇති ව සිදු කරගෙන යන අධ්‍යයනයේ අවසන් නිල පර්යේෂණ වාර්තාව තව මාස කිහිපයක්‌ ඇතුළත නිකුත් කිරීමට හැකි වෙතැයි ඉකුත් දා සෞඛ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කර තිබිණි.