logo3.gif (702 bytes)

HOME


අපේ ප්‍රවාද

බොරු කතා ගෙතීම


අපට බොහෝ අවස්‌ථාවල ප්‍රවාද ගොඩනැඟීමට සිදු වී ඇත්තේ ඇයි? එයට ප්‍රධාන ම හේතුව අපට ඇතැම් කරුණු ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වීම ය. අප ප්‍රවාද ගොඩනඟන්නේ බටහිර විද්‍යාවේ පමණක්‌ නො වේ. බටහිර දැනුම් පද්ධතියෙහි නම් ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂයවල ද බටහිරයෝ ප්‍රවාද ගොඩනඟති. එහි දී බොහෝ විට ගොඩනැඟෙන්නේ එක්‌ රටක ඉතිහාසය පිළිබඳ ප්‍රවාදයකි. එසේත් නැත්නම් ඉතා සංයුක්‌ත ව යම් කිසි කරුණක්‌ පිළිබඳ ව ගොඩනැඟෙන ඉතා සීමිත ප්‍රවාදයකි. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් සඳකඩපහණ යනු කුමක්‌ ද යන්න පිළිබඳ ව ප්‍රවාදයක්‌ ගොඩනැඟිය හැකි ය. එය ඉතා සීමිත ප්‍රවාදයක්‌ වන අතර ඒ පිළිබඳ ව ගොඩනඟන ලද ප්‍රවාද රාශියක්‌ ලංකාවේ වෙයි.

කාල් මාක්‌ස්‌ එක්‌ රටකට හෝ සිද්ධියකට හෝ පමණක්‌ සීමිත වූ ඉතිහාසයක්‌ ගොඩනැඟීම වෙනුවට මුළු ලෝකයට ම පොදු ඉතිහාසයක්‌, එනම් ඉතිහාස කතාවක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේ ය. ඔහු ගේ ඊනියා ඵෙතිහාසික භෞතිකවාදය යනු ඒ කතාව හෙවත් ප්‍රවාදය ය. එහි දී ඔහු උත්සාහ කළේ මිනිස්‌ සමාජය භෞතික හේතු මත වෙනස්‌ වන බව, විකාශය වන බව, පෙන්වා දීමට ය. ඔහු බටහිර භෞතික විද්‍යාඥයන් අනුගමනය කරමින් එසේත් නැත්නම් ඩාවිනීය පරිණාමවාදය අනුව යමින් තම ඉතිහාස කතාව ගොඩනැඟීමට උත්සාහ කළේ ය. අද ඒ ඉතිහාස කතාව ඉතිහාසයට අයත් වීම එක්‌තරා ආකාරයකින් ගත හොත් ඉතිහාසයේ ම සරදමකි.

මෙරට ඉතිහාසය විකාශය වී ඇත්තේ මහාවංසය කියන ආකාරයට විජය කුවේණි කතාන්දරය අනුව ද? එසේත් නැත්නම් වෙනත් ආකාරයකට ද? මෙරට විසූ යක්‍ෂ, නාග, දේව ආදීන් ගේ කාර්යභාරය කුමක්‌ වී ද? ඔවුහු සිංහල ජාතියට ඇතුළත් වූවෝ ද? එසේත් නැත්නම් ඔවුහු ඉතිහාසයෙන් මැකී ගියෝ ද? සිංහල යනුවෙන් ජාතියක්‌ ඇති වුණේ කවදා ද? ඒ බටහිර දැනුම කටගාගත්තවුන් කියන පරිදි ධනවාදය ඇති වීමෙන් පසුව ද? ලෝකයේ සියලු ජාතීන් ඇති වන්නේ එක ම ආකාරයකට ද? මෙවැනි ප්‍රශ්න රාශියක්‌ ඉතිහාසය සම්බන්ධයෙන් පමණක්‌ වුවත් ඇසිය හැකි ය.

මිනිස්‌ සමාජයේ ඉතිහාසය පමණක්‌ නො ව බටහිර විද්‍යාවේ ඉතිහාසය ගැන ද අපට විවිධ ප්‍රශ්න ඇසිය හැකි ය. බටහිර විද්‍යාව බටහිර රටවල ම ඇති වූයේ ඇයි? දහ හතර වැනි සියවස වන විට බටහිර විද්‍යාවක්‌ බටහිර රටවල ද නො තිබිණි. එකල දැනුම සම්බන්ධයෙන් ගත් කල යුරෝපීයයෝ එතරම් වර්ධනයක්‌ පෙන්නුම් නො කළ හ. එහෙත් පහළොස්‌ වැනි සියවසෙන් පසු බටහිරයන් අනෙක්‌ ජාතීන් හා ජනවර්ග පරදවා දැනුමෙන්, විශේෂයෙන් තාක්‍ෂණික දැනුමෙන්, අද සම්මත ආකාරයට නම් දියුණු වූයේ කෙසේ ද? මේ ප්‍රශ්නය බටහිර පඬුවකු වූ මහාචාර්ය නීඩිහම් මහතා අසා පිළිතුරක්‌ ද දී ඇත. ඔහු ගේ පිළිතුර වූයේ එයට හේතුව ධනවාදය බව ය. එහෙත් බටහිර විද්‍යාව ඇති වූයේ ධනවාදය බිහි වීමට පෙර ය.

මෙවැනි ප්‍රශ්න පසෙකට දමමු. අප ජීවිතයේ එදිනෙදා ද අපට මෙවැනි ප්‍රශ්න පැනනඟියි. අද මෙන් ජංගම දුරකථන නො තිබූ කාලයක යමකු පාසලට හෝ කාර්යාලයට හෝ පැමිණ නැත්නම් එයට හේතුව දැනගැනීමට අපට අවශ්‍ය වී යෑයි සිතමු. අප එහි දී කරන්නේ කුමක්‌ ද? ඒ තැනැත්තා පිළිබඳ ව අප දන්නා කරුණු අනුව අපි විවිධ හේතු දක්‌වමු. එක්‌කෝ ඔහු ගේ අසනීපයක්‌ නිසා, එසේත් නැත්නම් දරුවකු ගේ ප්‍රශ්නයක්‌ නිසා (පාසලකට ඇතුළු කිරීම, රෝගී තත්ත්වය), එසේත් නැත්නම් මවුපියන් ගේ රෝගීභාවයක්‌ නිසා ආදී වශයෙන් ඒ හේතු විවිධ වෙයි. අප ඒ හේතු ඉදිරිපත් කරන්නේ යම්කිසි පදනමක්‌ සහිත ව බව ද අමතක නො කළ යුතු ය.

අප ඒ පුද්ගලයා ගේ මවට හෝ පියාට හෝ අසනීප බව දැන සිටියේ නම් අපි දක්‌වන හේතුව එය සමග සංගත වන අයුරින් ඉදිරිපත් කරමු. දරුවකු පාසලට ඇතුළත් කිරීමට ඒ පුද්ගලයා උත්සාහ ගන්නා බව අප දැන සිටියේ නම් අප දක්‌වන හේතුව එය සමග පෑහෙන එකක්‌ වනු ඇත. එහෙත් ඒ කිසි විටෙකත් අදාළ පුද්ගලයා නො පැමිණියේ අහවල් හේතුව නිසා යෑයි අපට නිශ්චිත ව කිව හැකි නො වේ. අපට නිශ්චිත හේතුව දැනගත හැක්‌කේ එක්‌කෝ ඒ පුද්ගලයා හමු වීමට ගෙදරට ගොස්‌ ය. එසේත් නැත්නම් ඒ පුද්ගලයා ගේ නිවසෙහි දුරකථනයක්‌ වී නම් හා අපට ද දුරකථනයකට සම්බන්ධ විය හැකි ව තිබිණි නම් දුරකථන පණිවිඩයක්‌ දීමෙනි. ඒ කිසිවක්‌ කළ හැකි නො වේ නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය ආපසු පාසලට හෝ කාර්යාලයට හෝ පැමිණෙන තුරු බලා සිටීමට අපට සිදු වෙයි.

අදාළ පුද්ගලයා මුණගැසීමෙන් පසු අපට ඉදිරිපත් කළ හේතු නිවැරැදි දැයි දැනගැනීමට හැකි වනු ඇත. එහෙත් ඒ එක්‌ උපකල්පනයක්‌ මත ය. එනම් ඒ පුද්ගලයා සත්‍යය ප්‍රකාශ කරන්නේ ය යන උපකල්පනය කිරීමෙනි. එකී පුද්ගලයා අසත්‍යය ප්‍රකාශ කරන්නකු නම් අපට කළ හැක්‌කේ කුමක්‌ ද? එහි දී ද අප එතරම් ම අවශ්‍යතාවක්‌ වෙතොත් ඒ පුද්ගලයා පදිංචි ප්‍රදේශයට ගොස්‌ අසල්වැසියන් ගෙන් හේතුව දැනගැනීමට උත්සාහ කළ හැකි ය. ඇතැම් විට එය ද ප්‍රතිඵල රහිත වීමට හැකි ය. මා මේ කරුණු සඳහන් කළේ ඉතා සුළු කරුණක දී වුව ද එය අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ නම් අපට ඒ දැනගැනීමට ඇති බාධා ගැන ඉඟියක්‌ ලබා දීමට ය.

දැන් අවුරුදු දෙ දහස්‌ ගණනකට එසේත් නැත්නම් ලක්‍ෂයකට, ප්‍රකෝටියකට ඉහත සිදු වූ දේ දැනගන්නේ කෙසේ ද? විශ්වයේ ආරම්භය යෑයි අප සිතන සංසිද්ධිය දැනගන්නේ කෙසේ ද? එය කිසිසේත් ම අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන අතර ඒ පිළිබඳ කිසිදු අත්දැකීමක්‌ ද අප සතු නො වේ. ඊනියා විශ්වයේ ආරම්භය ඉඳහිට වත් සිදු වන්නක්‌ නො වේ. විජය ලංකාවට පැමිණියේ ද යන්න අපේ ප්‍රත්‍යක්‍ෂය නො වේ. අප ඒ පිළිබඳ ව යමක්‌ කියන්නේ කෙසේ ද?

අපට මහාවංසයෙහි ඒ පිළිබඳ සඳහනක්‌ තිබෙන බව සත්‍යයකි. එහෙත් ඒ කතාව මහාවංසයෙහි ලියා ඇත්තේ ඒ කියන සිද්ධියෙන් අවුරුදු දහසකට පමණ පසුව ය. මහාවංසය ලියා ඇත්තේ වෙනත් කෘතිවලින් හා ජනප්‍රවාදයෙන් ලබාගත් තොරතුරු අනුව ය. එසේ වුවත් ඒ කෘති ලියා ඇත්තේ කිනම් කාලයක ද, ජනප්‍රවාද හෙවත් ජනතාව ගේ කතාන්දර ගෙතුණේ කිනම් කාලයක දැයි අපි නො දන්නෙමු. අඩු තරමෙන් විජය විසින් පිහිටුවන ලද සෙල් ලිපියක්‌ තිබිණි නම් අපට ඒ ඔස්‌සේ කතාවක්‌ ගෙතිය හැකි ව තිබිණි. එහෙත් එහි දී ද මතක තබාගත යුත්තක්‌ නම් අප ඒ කතාව ගොතන්නේ අද දවසෙහි බව ය.

විජය රජු යනුවෙන් කෙනකු සිටිය ද, ඒ පිළිබඳ ඔහු ගේ සෙල්ලිපියක්‌ තිබිණි ද, එය තම ජීවිතය හා සම්බන්ධ නම් එය අසත්‍ය වීමේ හැකියාවක්‌ ද නැත්තේ නො වේ. අද පවා ඇතැම් ජනාධිපතිවරුන් තම ජීවිත කතා කීමේ දී ගොතා ඇති බොරු අපි දනිමු. තමන් ඉගෙන ගත් පාසල් පිළිබඳව මෙන්ම මාපියන් ගැන ද ඇතැමුන් කියා ඇති බොරු ගැන අපි දනිමු. එසේ නම් අප අදාළ තොරතුරු දැනගන්නේ කෙසේ ද?

අපේ ප්‍රත්‍යක්‍ෂ ද නිවැරැදි නො වන කල ප්‍රත්‍යක්‍ෂ නො වන ප්‍රවාදවල නිරවද්‍යතාව ගැන අපට ඇති විශ්වාසය කුමක්‌ ද? පාසලට හෝ කාර්යාලයට හෝ නො පැමිණි පුද්ගලයා අඩු ම තරමෙන් හමු වී යම් තොරතුරක්‌ දැන ගැනීමේ හැකියාව අප සතු වෙයි. එහෙත් ඉතිහාසයෙහි විජය රජු යනුවෙන් කෙනකු සිටියත් ඔහු හමු වීමේ හැකියාවක්‌ අද අපට නැත. අපට කළ හැක්‌කේ අනෙක්‌ ප්‍රවාද හා තොරතුරු සමග සංගත වන ආකාරයට ප්‍රවාදයක්‌ හෙවත් කතාවක්‌ ගෙතීම පමණකි.

අද ඇතැම් දෙමළ ජාතිවාදීන් මෙරට අනාදිමත් කාලයක සිට දෙමළ ජනයා සිටි බවට කතා ගොතනු දැකිය හැකි ය. එහෙත් ඔවුන්ට ඒ පිළිබඳ සංගත කතාවක්‌ කිව නොහැකි බව පැහැදිලි ය. ලංකාවේ ඇති සෙල් ලිපි ඉතා විශාල සංඛ්‍යාවකින් දෙමළ බසින් ලියෑවුණු සෙල් ලිපි ඇත්තේ ස්‌වල්පයකි. ඉනුත් බොහොමයක්‌ පිටරටින් මෙහි පැමිණි දෙමළ බස කතා කළ වෙළෙන්දන් සඳහා ලියෑවුණු සෙල් ලිපි ය. මෙරට දෙමළ රාජ්‍යයක්‌ තිබුණේ නම් සෙල් ලිපි විශාල ප්‍රමාණයක්‌ දෙමළ බසින් තිබිය යුතු ය. එහෙත් එසේ නො වන්නේ මෙරට අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ පැවතුණේ සිංහල රාජ්‍යයක්‌ වීම නිසා ය. අද කටුනායක ගුවන් තොටුපොළේ ඇතැම් දැන්වීම් ඉංගිරිසියට අමතරව ප්‍රංශ හා ජර්මන් භාෂාවලින් ද ඇත. එයින් කියෑවෙන්නේ මෙරට ඉංගිරිසින්, ප්‍රංශයන් ජර්මානුවන් පදිංචි ව සිටි බව නො වේ.

මෙරට ඉතිහාසය පිළිබඳ සිංහලයන් ගේ කතාවක්‌ වෙයි. එහි ඇතැම් තැනක යම් යම් පරස්‌පර තිබිණ ද සම්මතයක්‌ ලෙස ගත් කල මෙරට සිංහල ජාතියක්‌ හා සිංහල රාජ්‍යයක්‌ අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ පැවැති බව ඉතා සංගත ව පැහැදිලි කළ හැකි ය. එහි සංගත බව ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ සංගත බවට වඩා ඉහළ මට්‌ටමක පවතියි. එහෙත් මෙරට ඇතැම්හු සිංහල රාජ්‍යයක්‌ පැවැති බව කීමට මැළි වෙතත් පඬියන් මෙන් ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇතැයි කියති. එමෙන් ම ඔවුන් ගෙන් සමහරු තවමත් අනාගත කම්කරු පංති රාජ්‍යයක සිහින මවති.

විශේෂ වූ රටක විශේෂ වූ ඵෙතිහාසික සිද්ධියක්‌ සම්බන්ධයෙන් ද ප්‍රවාද ගෙතීමේ ප්‍රශ්න තිබිය දී කාල් මාක්‌ස්‌ මුළු ලෝකයේ ම ඉතිහාසයට ප්‍රවාදයක්‌ ගෙතීමට උත්සාහ කළේ ය. ඔහු තම ප්‍රවාදය යොදාගෙන ලෝකයේ අනාගතය පිළිබඳ ව ද අනාවැකි කීවේ ය. ඔහුට අනුව ඊනියා කම්කරු පංතිය ධනවාදී රාජ්‍ය විප්ලවවලින් පෙරළා කම්කරු පංති රාජ්‍ය හා අවසානයේ දී කොමියුනිස්‌ට්‌ සමාජ බිහි කළ යුතු ය. එමෙන් ම එංගලන්තය වැනි රටවල එය මුලින් ම සිදු විය යුතු යෑයි මාක්‌ස්‌ කීවේ ය. එහෙත් ඒ එක්‌ අනාවැකියක්‌ වත් ඉටු වන බවක්‌ පෙනෙන්නට නැත. බටහිර රටවල අර්බුද පැනනැඟී ඇත. එහෙත් ඊනියා කම්කරු රාජ්‍ය බිහි වන පාටක්‌ නැත.

කාල් මාක්‌ස්‌ ඵෙතිහාසික සංසිද්ධිවලට වියුක්‌ත ප්‍රවාද ගොඩනැඟීමට උත්සාහ කළේ ය. බටහිර භෞතික විද්‍යාවේ කෙරෙන්නේ භෞතික සංසිද්ධිවලට වියුක්‌ත ප්‍රවාද ගොඩනැඟීම ය. මේ වියුක්‌ත සංකල්ප කම්කරු පංතිය මෙන් ම ව්‍යාජ සංකල්ප ය. කම්කරු පංතිය යන්න බෙහෙතකට වත් සොයාගත නොහැකි සංකල්පයකි. බටහිර විද්‍යාවේ වියුක්‌ත සංකල්ප කිසිවකුට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත හැකි දේ නො වේ. එහෙත් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන ආකාරයට බොහෝ දෙනා සිතන්නට පුරුදු වී ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය වැනි දේ ඇත්තට ම පවතින බව ය. ඇතැමුන් තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කියන්නේ බටහිර භෞතික විද්‍යාවේ ඉගැන්වෙන කරුණුවලින් මත් වී සිටින බැවිනි.

පොළොවට පොල් ඇපල් ආදිය වැටෙන බව අපට ගෝචර වන සංසිද්ධියකි. නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ එසේ වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම සඳහා ප්‍රවාදයක්‌ හෙවත් කතාවක්‌ ගෙතීමට ය. ඔහු කතාවක්‌ ගෙතී ය. ඒ අසත්‍යයක්‌ මිස සත්‍යයක්‌ නො වේ. ඒ කතාව වෙනුවට අයින්ස්‌ටයින් විද්වතා වෙනත් කතාවක්‌ ගෙතී ය. මේ එක්‌ කතාවක්‌ වත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. ඒ කතා ඇතැම් කරුණු සමග සංගත යෑයි පෙනෙන්නට ඇති නමුත් ඒ එසේ නො වේ. ඩාවිනීය පරිණාමවාදය යනු තවත් කතාවක්‌ පමණකි. එහෙත් මේ කතා ඇත්ත යෑයි පැවසීමට බටහිර දේශපාලනය විසින් විවිධ උප්පරවැට්‌ටි සකස්‌ කරනු ලැබ ඇත. ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය යනු ප්‍රධාන උප්පරවැට්‌ටියක්‌ පමණකි. ඊනියා ප්‍රවාද ගොතන්නේ ම ප්‍රත්‍යක්‍ෂයක්‌ නොමැති වූ විට ය.

නලින් ද සිල්වා