logo3.gif (702 bytes)

HOME


වාෂ්ප වූ අපේ පොදු අනාගතය හා ඩෙංගි

මිහිතල සමුළුව හෙවත් තිරසාර සංවර්ධනය පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ සමුළුව දැන් හෙළමින් සිටින්නේ තම අවසන් හුස්‌ම පොද බැව් පැහැදිලි ය. 1992 වසරේ දල්වන ලද උදාර බලාපොරොත්තු පොළොව සිපගෙන බිම වැතිර සිටී. නව ලෝක රටාවේ ගිජුලිහිණියන් ඈත අහසේ පියාසර කරමින් සිටින්නේ ගොදුර අවසන් කරන්නට ය. වසර 20කට පසු තම උපන් බිමට පැමිණ කොළ පැහැයෙන් ආලෝකවත් කළ දෙවියන් ගේ පුත්‍රයා බලා සිටීය දී ම මෙය සිදුවීම එක අතකට අපූරු සරදමක්‌ ලෙස සැලකිය හැකි ය.

පසුගිය සමුළු අවසන ජයග්‍රහණ ලෙස කුමක්‌ හෝ අහුලාගත් රාජ්‍ය නො වන පරිසර සංවිධාන ද අද සිටින්නේ තක්‌කු මුක්‌කු වී ය. සමහරකු සමුළුව පසෙක ලා රියෝ නගරය විස්‌තර කර තිබෙනු දක්‌නට ලැබිණි. වසර 20කට පෙර රියෝ ද ජැනෙයිරෝ නුවර මිහිතල සමුළුව පැවැත්වූයේ පරිසර කතිකාවත ප්‍රබල ලෙස මෝරා තිබුණු අවස්‌ථාවක ය. ඕසෝන් වියන රැක ගැනීමේ මොන්ටි්‍රයල් සම්මුතිය 1987 වසරේ දී සාර්ථක ලෙස සම්මත වී තිබීම බොහෝ දෙනකු මිහිතල සමුළුව දෙස බලාපොරොත්තුසහගත ව බැලීමට හේතු විය. දේශගුණය වෙනස්‌ වීම හා ජෛවවිවිධත්ව විනාශය ආපසු හැරවීමේ ගිවිසුම් යුගලකට, පැමිණ සිටි රටවල් සියල්ල ම පාහේ සහයෝගය දැක්‌වීම, අනාගතය දෙස සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමට බොහෝ පරිසරවේදීන් පෙලඹවූයේ යෑයි කිව හැකි ය. මිහිතල සමුළුවේ යෝජනා මත පිහිටා අහිතකර භූමි පරිභෝජන ක්‍රම හේතුවෙන් ගොඩබිම් කාන්තාරකරණය වැළැක්‌වීමේ ගිවිසුමක්‌ ද මීට අමතර 1994 දී අත්සන් කරනු ලැබිණි.

මිහිතල සමුළුවේ 20 වසරක ප්‍රගතිය සමාලෝචනය, මේ ගිවිසුම් ත්‍රිත්වයේ ඉලක්‌ක සපුරාගැනීමේ සාර්ථකත්වය විමසීමෙන් කළ හැකි ය.

දේශගුණික වෙනස්‌වීමි පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ සම්මුතිය වූ කලී 1992 මිහිතල සමුළුවට මුල් වූ ප්‍රධානතම මාතෘකාව හා බැඳුණු ගිවිසුමයි. මිනිසා ගේ ක්‍රියාවන් නිසා මහ පොළොව උණුසුම් වීම පාලනය කිරීම එහි ප්‍රධානතම ඉලක්‌කය විය.

සංවර්ධිත රටවල් මුල සිට ම මේ සම්මුතිය මඟින් යෝජනා වූ කාබන්ඩයොක්‌සයිඩ් වායු පිට කිරීම සීමා කිරීමට විරුද්ධ විය. එවකට ලොව අංක එකේ කාබන්ඩයොක්‌සයිඩ් වායු පිට කරන රට වූ ඇමෙරිකා එක්‌සත් ජනපදය ගිවිසුමකට අත්සන් කිරීමෙන් වැළකී සිටියේ ය. සංවර්ධනය වෙමින් පවත්නා රටවල ස්‌ථාවරය වූයේ තම රටවල් තවමත් දියුණු වෙමින් පවතින නිසා එම සීමා තමන්ට පැනවීම අසාධාරණ බව ය.

සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන රටවල මේ පිළිවෙත පිටුපස සිටියේ ඛනිජ තෙල් සමාගම් ඇතුළු විශාල සමාගම් බලවේග බව රහසක්‌ නො වේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන කෙතරම් පාරම් බෑව ද මේ රටවල බලයේ සිටින දේශපාලනඥයන් ගේ ප්‍රතිපත්ති තීන්දු කරනුයේ පොදු ජනතාව නො ව මේ සමාගම් ය.

වසර 20කට පසු මිහිතලය උණුසුම් වීම නැවැත්වීමට ගන්නා ලද (ඇත්තට ම නො ගන්නා ලද) පියවරයන් ගේ ශේෂ පත්‍රය මෙසේ ය ( කාබන්ඩයොක්‌සයිඩ් වායුව වාර්ෂිකව පිට කෙරෙන ප්‍රමාණය 1992 වූ ටොන් බිලියන 22.7 සිට 2010 දී 33.0 දක්‌වා සියයට 45%කින් ඉහළ ගොස්‌ තිබේ. ඇමෙරිකා එක්‌සත් ජනපදය තම කාබන්ඩයොක්‌සයිඩ් වායු පිට කිරීම මේ කාලය තුළ සියයට 11කින් ඉහළ දමද්දී සංවර්ධනය වන රටවල් එය සියයට 50ක්‌ පමණ දක්‌වා ප්‍රමාණයකින් ඉහළ දමා තිබේ. අද අංක එකේ CO2 පිට කරන්නා චීනයයි.

පසුගිය වසර 20 තුළ මහපොළොව මත වාර්තා වූ උෂ්ණත්ව අගයන්, එතෙක්‌ මෙතෙක්‌ වාර්තා වී ඇති ඉහළ ම අගයන් වේ. මීට සමගාමීව පෘථිවිය පුරා විශාල දේශගුණික වෙනස්‌කම් ඇති වෙමිත් තිබේ. ආක්‌ටික්‌ පෙදෙසේ අයිස්‌ තට්‌ටු වපසරිය වර්ග කිලෝමීටර් මිලියන 3කින් අඩු ව තිබේ. දේශගුණ ව්‍යසනවලට අමතරව දේශගුණ වෙනස්‌ වීම් සමග නව රෝග තත්ත්ව ව්‍යාප්ත වීමේ අවදානමක්‌ ද බෙහෙවින් ඉහළ ගොස්‌ තිබේ.

මේ දිනවල නිතර කතාබස්‌ කැරෙන ඩෙංගි රෝගයේ ව්‍යාප්තිය ඉහළ යැම දේශගුණ වෙනස්‌වීම් සමග සමීප සබඳතාවක්‌ දක්‌වන බැව් පෙන්වා දී තිබේ. විශේෂයෙන් රාත්‍රි කාලයේ උෂ්ණත්වය ඉහළ යැම නිසා රෝගය පතුරුවන මදුරුවන් විනාශ නො වී ආරක්‍ෂා වන බව පෙන්වා දී තිබෙන අතර ඩෙංගි වයිරසය ගුණනය වීමේ වේගය ද මිහිතලය උණුසුම් වීමත් සමග වේගවත් වන බවට සාධක එකතු වෙමින් තිබේ.

දේශගුණ වෙනස්‌ වීම ග්‍රාමීය කෘෂි ආර්ථිකයට අහිතකර ලෙස බලපෑමෙන් ජනතාව නාගරික පෙදෙස්‌ වෙත වැඩි වැඩියෙන් සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක්‌ ඇති වී තිබෙන අතර ඩෙංගි රෝගයට ප්‍රතිශක්‌තියක්‌ නැති ජනතාවක්‌ ඒ සමග නගරබදව වෙසෙන ඩෙංගි වයිරසයට නිරාවරණය වී තිබේ. ඇත්තට ම මිහිතල සමුළුව පැවැති රියෝ ද ජැනේරෝ නගරය ද මෙලෙස ඩෙංගි වයිරස්‌ ආක්‍රමණයට ලක්‌ වූ ප්‍රධානතම නගරයකි. 2011 වසරේ බ්‍රසීලයේ වාර්තා වූ ඩෙංගි රෝගීන් සංඛ්‍යාව 168,242කින් 64,423ක්‌ වාර්තා වූයේ රියෝ ද ජැන්රෝහි ය. ඩෙංගි රෝගයෙන් එරට මිය ගිය ගණන 2011 දී 140ක්‌ විය.

1992 සිට මේ දක්‌වා මෙරට තුළ ද ඩෙංගි රෝගය ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙන බැව් රහසක්‌ නො වේ. ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල රාත්‍රී / දිවා කල උෂ්ණත්වය ද ක්‍රමයෙන් ඉහළ ගොස්‌ තිබෙන බව කාලගුණ විද්‍යා දත්ත පෙන්වා දෙයි.

මිහිතලය උණුසුම් වීමට දේශීය සාධකයන්ට වඩා ගෝලීය ප්‍රවණතා බලපාන්නේ යෑයි කියා රටකට ප්‍රශ්නයෙන් මඟහැර යා හැකි වුවත් ජෛවවිවිධත්වය විනාශ වී යැම වැළැක්‌වීමට ගත හැකි පියවර පිළිබඳව එසේ කිව නොහැකි ය.

මීට ලංකාවේ ම නිදසුනක්‌ ගනිමු.

ශ්‍රී ලංකාවේ ජෛවවිවිධත්වයෙන් වැඩි ම පංගුව හමු වන්නේ තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිත ව ය. ජෛවවිවිධත්වය සංරක්‍ෂණයට ගන්නා පියවරක දී මෙරට මුල් තැන හිමි විය යුත්තේ තෙත් කලාපයේ ඉතිරි වී තිබෙන වැසි වනාන්තර ආරක්‌ෂා කිරීමට පියවර ගැනීමට ය.

පසුගිය දා සිංහරාජයේ ඉලුඹකන්ද දක්‌වා පාරක්‌ තැනීමට ක්‍රියා කර තිබූ සිද්ධියේ දී පෙනී ගියේ සිංහරාජය ආශ්‍රිත ව ඉතිරි ව ඇති වර්ෂා වනාන්තර කුට්‌ටි සංරක්‍ෂණයට දෙන ලද ජනාධිපති නිර්දේශ පවා වසර 10ක්‌ තිස්‌සේ නො සලකා තිබෙන බව ය. එම වනාන්තර කුට්‌ටි සිංහරාජයට එකතු කොට ඉහළ ආරක්‌ෂාවක්‌ ලබා දෙන බවට පසුගිය වසරේ දී සපථ කරන ලද මුත් තවමත් එය සිදු වී නැත.

මේ අතරතුර විවිධාකාර බලවේගයන් ගේ බලපෑම්වලට ලක්‌ ව ඉතිරි ව තිබෙන මේ වනාන්තර සොච්චම විනාශ වෙමින් පවතියි.

කාබන්ඩයොක්‌සයිඩ් පිට කිරීම අඩු කරන්නට යෑයි සංවර්ධිත රටවලට කියන සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක ශේෂ පත්‍රය මෙබඳු ය.

පසගිය වසර 20 තුළ ගෝලීය වශයෙන් සිදු වන ජෛවවිවිධත්ව හානිය තවත් තීව්ර වී තිබේ. දැනට හඳුනාගෙන ඇති ශාකවලින් සියටට 68ක්‌ ද, උභය ජීවින් ගෙන් සියයට 30ක්‌ ද. ක්‍ෂීරපායින් ගෙන් සියයට 22ක්‌ ද, පක්‍ෂීන් ගෙන් හා මත්ස්‍යයන් ගෙන් සියයට 21ක්‌ ද වඳ වීමේ තර්ජනයට මුහුණ දී සිටී. මේ ජීව ගණයා ජීවත් වන ස්‌වාභාවික පරිසර පද්ධති විනාශ වීම හෝ වෙනස්‌ කිරීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී. කාන්තාරකරණය තවත් වේගවත් ව තිබෙන බැව් මෑතක දී ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප මඟින් සිදු කළ විශ්ලේෂණ පෙන්වා දේ.

මිහිතල සමුළුව අසාර්ථක වීමෙන් පෙන්වා දෙන ප්‍රධානතම කරුණු වන්නේ ලෝක ගැටුම් නිරාකරණයේ දී අසාර්ථක වූ එක්‌සත් ජාතීන් ගේ සංවිධානය මිහිතලයේ පාරිසරික වෙනස්‌ වීම් පාලනයේ දී ද අසාර්ථක ව තිබෙන බව ය. දැවැන්ත ව්‍යාපාරික බලවේග මඟින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත්, සාමූහික ලෝක ජනමතය ක්‍රියාත්මක වීමත් අත්හිටුවා ඇත.

"අපට අවැසි අනාගතය" නමින් සමුළුව අවසන ප්‍රකාශයට පත් කර තිබෙන දියාරු ලියවිල්ලෙන් ද කාබන්ඩයොක්‌සයිඩ් පිළිබඳව සඳහන් වීම හා වර්තමාන පරිභෝජන රටා සහ ස්‌වාභාවික සම්පත් ක්‍ෂය වීම අතර සම්බන්ධය හැඟවෙන කරුණු ඇතුළත් වීම වැළැක්‌වීමට මේ බලවේග දිගින් දිගට ම ක්‍රියා කළේ ය. මහ පොළොව බේරාගැනීමටත් අපේ පොදු අනාගතය බේරා ගැනීමටත් වෙනත් අතක්‌ බැලීමට කාලය පැමිණ තිබේ. ඉතිරි ව තිබෙන කාලය ද එතරම් විශාල විය නොහැකි බැව් පැහැදිලි ය.

වජිර ධර්මවර්ධන